Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තේ බීමේ පුරුද්ද නිසා යුධ ටැංකි අහිමි කරගත් බ්‍රිතාන්‍ය හමුදාව

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ව බ්‍රිතාන්‍ය හමුදා සන්නද්ධ රථ බලකායට එකතු වූ සියලුම යුධ ටැංකිවල අපූරු පහසුකමක් සඳහා උපකරණ සවිකර තිබෙනවා. එලෙස නිර්මාණය කර ඇත්තේ ටැංකිය තුළ සිටින රියදුරුට හා වෙඩික්කරුට අවශ්‍ය වේලාවන් හි දී තේ සෑදීම සඳහා අවශ්‍ය උපකරණ යි.

මෙය එක්තරා හාස්‍යජනක සංසිද්ධියක් ලෙස බැලූ බැල්මට පෙනුණු නමුත් බ්‍රිතාන්‍යය විසින් දෙවන ලෝක යුද්ධයේ දී ලබාගත් අමිහිරි යුද අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස යි මෙවැනි නිර්මාණ බිහිවන්නේ. ඉතින් අද ලිපිය ලියවෙන්නේ තේ සෑදීම සඳහා පහසුකම් සලසා තිබෙන යුධ ටැංකි හා සන්නද්ධ රථවල එම පහසුකම් නිර්මාණය කිරීම සඳහා බලපෑ හේතූන් පිළිබඳ ව යි.

තේ බීම සඳහා ඇබ්බැහි වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ

මාර්ගය දෙපස නවතා ඇති බ්‍රිතාන්‍ය යුද ටැංකි (warisboring.com)

පෘතුග්‍රීසින් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් ද තේ පානය සඳහා ඉමහත් රුචිකත්වයක් දැක්වූ ජාතීන් වශයෙන් නම් කරන්න පුළුවන්. බ්‍රිතාන්‍ය තේ පානය කිරීමේ සම්ප්‍රදාය වඩා බලවත් ලෙස පැවතුණේ එරට හමුදා භටයන් අතර යි.

දෙවන ලෝක යුද්ධයට පෙර සිට ම ඉංග්‍රීසි භටයන් මෙම පුරුද්දට ඇබ්බැහි වී සිටි අතර, දෙවන ලෝක යුද කාලය තුළ ද පාබල හමුදා භටයන් හැකි සෑම විටෙක තේ පානය කරනවා. මෙලෙස යුද්ධ භූමියේ තේ පානය කිරීමේ පුරුද්ද හේතුවෙන් වඩා භයානක අත්දැකීම්වලට මුහුණදෙන ලද්දේ යුධ ටැංකි හා සන්නද්ධ රථ තුළ ගමන් කළ භටයන් ය.

තේ පානය සඳහා යොමුවෙන විට මෙම භූමියේ බලවත් ව සිටින්නේ මිත්‍ර හමුදාව ද නැත්නම් අක්ෂ හමුදා ද යන්න ඔවුන් ඒ හැටි සොයාබැලීම් නොකළ අතර බොහෝ අවස්ථාවන්වල දී යුද භුමියේ දී පවා යුධ ටැංකිවලින් ඉවතට පැමිණ තේ පානය කිරීම සිරිතක් වශයෙන් සිදු කරනවා.

යුද ටැංකිය තුළ තේ සාදා ගැනීමට ක්‍රමයක් නොතිබුණු බැවින් මෙම රථවල රියැදුරන් හා වෙඩික්කරුවන් රථයෙන් ඉවතට පැමිණ අසල ස්ථානයක තේ සකස් කිරීමේ දී සතුරු ප්‍රහාරවලට ලක් වෙනවා.  මෙම ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදාවට අවස්ථා කිහිපයක දී සෙබළ ජීවිත මෙන්ම යුද ටැංකි හා සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා.

දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් හා තේ පානය

තේ පානය සඳහා සූදානම් වන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් (did-you-kno)

දෙවන ලෝක යුද සමය තුළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් යුධ ටැංකි හා සන්නද්ධ රථවලට භාවිතා කරන ලද පෙට්‍රල් යොදා ගනිමින් එළිමහනේ තේ පිළියෙල කරන අතර, එය විනය රීති කඩ කිරීමක් මෙන් ම නොයෙකුත් සතුරු ප්‍රහාරවලට අත වැනීමක් විය. ජර්මානු හමුදා අණදෙන නිලධාරීන් ද මෙම තේ බිමේ ක්‍රියාව පිළිබඳ ව හොඳින් දැන සිටි බව සඳහන් වෙනවා.

1944 ජූනි මාසයේ දී සිදු වූ නොර්මැන්ඩි ආක්‍රමණ සටනේ දී බ්‍රිතාන්‍ය 22 වැනි යුධ ටැංකි හමුදාංකය සතුව තිබූ Cromwell යුද ටැංකි දෙකකට ජර්මානු ප්‍රහාර එල්ල වෙනවා. එම ප්‍රහාරය එල්ල වන්නේ යුද ටැංකි දෙකේ සාමාජිකයන් උදේ තේ පානය සඳහා යුධ ටැංකියෙන් ඉවතට ගොස් සිටින අවස්ථාවක දී යි.

දෙවන ලෝක යුද සමයේ සුප්‍රසිද්ධ සටනක් වූ කුර්ස්ක් අඩකවයේ සටනේ දී සෝවියට් යුද ටැංකි විශාල ගණනාවක් විනාශ කළ ජර්මන් යුධ සෙනෙවියෙකු වන මයිකල් විට්මන් වරෙක බ්‍රිතාන්‍යය සමග ඇති වූ සටනක දී විනාඩි 15ක් තුළ යුද ටැංකි 14කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ යුද ටැංකි කාර්ය මණ්ඩල භටයන් ටැංකිය තුළ නොසිටීම යි. ඔවුන් තේ පානය සඳහා ඉවතට පැමිණ සිටින්නට ඇතැ යි අනුමාන කරනවා. 

දකුණු අප්‍රිකාවේ සිදු වූ සටන්වල දී මෙන් ම යුරෝපයේ සිදු වූ විවිධ සටන්වල දී ද බ්‍රිතාන්‍ය යුධ ටැංකිවලට මෙම ඉරණම අත් වෙනවා.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව 1946 වසරේ දී බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (British Medical Research Council) දෙවන ලෝක යුද්ධයේ වයඹදිග යුරෝපයේ සිදු වූ යුද්ධවල දී සන්නද්ධ රථවල හා යුධ ටැංකිවල සෙබළුන්ගේ තුවාලවලින් 37%කට හේතු වී ඇත්තේ සෙබළුන්, සන්නද්ධ හා යුද ටැංකිවලින් පිටත රැදී සිටීමෙන් බව වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ව මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කරන යුධ හමුදා කාර්මික අංශය විසින් යුද ටැංකිය තුළ උණුසුම් බොයිලේරුවක් හෝ විද්‍යුතයෙන් ක්‍රියා කරන කේතල් නිර්මාණය කරනවා.

යුද ටැංකි තුළ තේ හා ආහාර සෑදීම සඳහා උපකරණ සවි කිරීම

Centurion යුද ටැංකිය (Flickr)

එංගලන්ත රජය විසින් දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම් ක්‍රියාත්මක කරමින් 1945 වසරෙන් පසු යුධ ටැංකි හා සන්නද්ධ රථවල උණුසුම් බොයිලේරු සවිකිරීම සිදු කරනවා. ඒ යටතේ පළමුවෙන්ම උණුසුම් බොයිලේරු සවිකරන්නේ Centurion යුද ටැංකිවල යි.

ටැංකිය ඇතුළත උණුසුම් බොයිලේරුවක් හෝ ටැංකිය තුළ ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඝනකාභ හැඩති කේතලයක්  සවිකිරීම Centurion යුධ ටැංකිවල සිදුකර තිබුණි. මේ ආකාරයෙන් වැඩි දියුණු වූ යුධ ටැංකි තුළ වර්තමානය වන විට විද්‍යුත් තාප උදුන් ඇතුළු තවත් ආහාර සාදා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසා තිබෙනවා.

යුද ටැංකියක් තුළ තේ පානය කරන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙදෙනෙක් (Reddit)

බ්‍රිතාන්‍ය හමුදාව අනුගමනය කරමින් ඉන් ටික කාලයකට පසු ව එනම්, 1950 වසරෙන් පසු ව ඇමෙරිකානු හමුදා ද මේ ආකාරයේ සැලසුම් තම යුද ටැංකි නිර්මාණය කිරීමේ දී යොදා ගන්නවා. අද වන විට බොහෝ රටවල යුද ටැංකි එම උපකරණවලින් සමන්විත වෙනවා.

කවරයේ ඡායාරූපය: Reddit

මූලාශ්‍රයයන්:

warisboring.com/the-british-perfected-the-art-of-brewing-tea-inside-an-armored-vehicle/

wearethemighty.com/articles/this-is-why-every-armored-vehicle-has-british-tea-making-gear

Related Articles