ශ්‍රී මහා ‌බෝධියේ ගිහි භාරකාරවරු – බුලන්කුලම- නුවරවැව පරපුර

ලෝකයේ පැරැණිත ම පූජනීය වෘක්ෂයන් අතරට ගැනෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම- නුවරවැව’ පවුල පිළිබඳ ව බොහෝ දෙනකු නොදන්නවා විය හැකි ය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා ද එම පරපුර උරුමකම් කී බව වාර්තාගත ය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ – www.srimahabodhi.lk

වර්තමානය වන විට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද ඇතුළු අටමස්ථානය හා බැඳුණු සුවිශේෂී වගකීම් රැසක් බුලන්කුලම පවුල සතු වන අතර අටමස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ තීරක බලය ඒ අතුරින් සුවි⁣ශේෂී වේ. අටමස්ථානයේ ගිහි භාරකාරත්වය ද දරන මෙම පරපුර පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

පවුලේ ආරම්භය හා විකාශය

වර්තමානයේ නුවරවැව හෙවත් බුලන්කුලම නමින් හැඳින්වෙන මෙම පවුලේ ඉතිහාසය පිළිබඳ ව සොයා බැලීමේදී එය අනුරාධපුර යුගය දක්වා දිව යන බව පෙනේ. දුමින්දාගමනය සමඟ මෙරටට පැමිණි බෝධිගුත්ත නම් වූ කුමාරයකු නුවරවැව පවුලේ ආදිතමයා වශයෙන් පිළිගැනෙන අතර ඔහු සමඟ මෙරටට පැමිණි තවත් කුමාරවරුන් අට දෙනකුට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක බලා ගැනීම භාර විය.

බෝධිගුත්ත කුමරුට හා ඔහුගේ බිසව වූ  සුනන්දා දේවියට දාව උපන් දරු පරපුර පසු කලෙක මෙහෙණවර වංශය නමින් ප්‍රචලිත වූ බව රාජරත්නාකරයේ දැක්වෙයි. එම දෙපළගේ පුතුන් වූ මහින්ද හා විධුරින්ද යන කුමාරවරුන් පිළිබඳ ව බෝධිවංසයේ සදහන් වේ. මේ අනුව පෙනී යන්නේ මෙම ‌බෝධිගුත්ත පරපුර ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව පිළිබද වගකීම නොපිරිහෙළා ඉටුකළ බව යි.

ගම්පොළ රාජධානිය ආරම්භ කිරීම සදහා මුලිකත්වය ගෙන කටයුතු කළ සේනාලංකාධිකාර අමාත්‍යවරයා මෙන්ම ගම්පොළ රජ බවට පත් වූ වීරබාහු ඈපාණන් ද මෙම වංශයෙහි සමාජිකයන් බව සාහිත්‍යය මුලාශ්‍රයන්හි සඳහන් වේ. අනුරාධපුර යුගයේ දී  රජ කළ ලමැණි හෙවත් ලම්බකර්ණ  රාජවංශය ද  මෙම පරපුරෙන් ජනිත වූවක් බව ඇතැමුන්ගේ මතයයි.

ගම්පොළ සහ මහනුවර යුගයේ දී මෙම පවුලට හිමි වූ තැන

ගම්පොළ යුගයෙන් පසුව ‌බෝධිගුත්ත පරපුරට සම්බන්ධ පිරිසක් පිළිබඳ ව තොරතුරු හමුවන්නේ මහනුවර යුගයේ දී  වන අතර නුවරකලාවිය දිසාව තුළ ප්‍රාදේශීය නිලධාරීන් හෙවත් වන්නිවරුන් ලෙස කටයුතු කළ සූරියකුමාර වන්නිසිංහ පෙළපත් නාමය භාවිත කළ  නුවරවැව පවුල ඔවුන් ලෙස හඳුනාගත හැකි ය.

උඩරට රාජධානි සමයේ නුවරකලාවිය භාර ව සිටි දිසාවේ මහනුවර නේවාසික ව සිටි බැවින් එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ වන්නිවරු නම් වූ මුලාදැනීන් විසින් ය. ඔවුන් දිසාවේ වරයකු යටතේ සිටිය ද, දිසාවේ වරයකු සතු වූ බලතල ඔවුන් සතු ව ද තිබූ බව පෙනෙ යි. වන්නිවරුන් අතර ප්‍රධානියා මහවන්නියා වූ අතර එම තනතුර පාරම්පරික ව නුවරවැව පවුල සතු වූ බව පෙනෙ යි.

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී ඉලපන්ගමුවේ අත්ථදස්සී නම් ස්වාමීන්වහන්සේ නමක් ජය ශ්‍රී මහා ‌බෝධීන් වහන්සේ වටා ශිලාමය ප්‍රාකාරයක් ඉදි කළ අවස්ථාවේ දී එවකට මහවන්නියා ද ඒ සඳහා උපකාර කළ බව සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1713 දී රාජාධිරාජසිංහ රජු, නුවරවැව සූරියකුමාර වන්නිසිංහ මුදලිගේ රාජපාක්ෂිකභාවය අගයමින් ඔහුට ගම්වරයක් ද ප්‍රධානය කොට ඇත. පසුව රජ බවට පැමිණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහු සමඟ යම් අමනාපයකින් පසු වූ බවත් සදහන් වේ.

බුලංකුලම වලව්ව අද – www.amazinglanka.com

රාජ උදහසට පත්ව මන්නාරම ප්‍රදේශයට පලා ගිය මහවන්නියාට නැවතත් එකී ධූරය ඉංග්‍රිසි පාලන සමයේ දී ලැබුණු අතර, ජෝන් ඩොයිලි  ඔහු බුලංකුලමේ වන්නියා යනුවෙන් ද හඳුන්වා දී තිබේ. 1818  දී ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරැල්ලේ දී ඒ සඳහා මහවන්නියාගේ සහයෝගය ද ලැබී ඇත. ඒ අනුව කැරැල්ල අසාර්ථක වීමෙන් පසු ව ඔහු ද සිරභාරයට ගැනිණි. වර්ෂ 1830 දී පමණ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට නිදහස ලබා දුන් අතර මහවන්නියා නැවැතත් පෙර දැරූ තනතුරේ පිහිටුවී ය.  1837  දී පමණ මෙම මහවන්නියා මිය යෑමෙන් අනතුරුව  නුවරවැව පවුලේ ප්‍රධානත්වය ඔහුගේ පුත්‍රයා වූ තරුණ නුවරවැව බංඩාට හිමි විය.

නුවරවැව වලව්ව හා බුලංකුලම වලව්ව අතර නඩුව

1818 කැරැල්ලට උපකාර කිරීමේ හේතුවෙන් ගාල්ලේ සිරගත ව සිටි මහවන්නියා හක්කිද කුමාරිහාමි නම් උඩරට රදළ කාන්තාවක් සමග වාසය කළ අතර ඒ අනුව ඔවුන්ට දාව පුංචි මැණිකා නම් දියණියක් ඉපදිණි. මහවන්නියා නැවත පැමිණෙන විට ඇය අනුරාධපුරයට රැගෙන ආ අතර ඇය නුවරවැව වලව්වේ දියණියක ලෙස හැදී වැඩිණි.

පසුව විවාහ වූ ඇය නුවරවැව වලව්වේ විසූ අතර මහවන්නියාගේ බිරිය පසුව තෑගි ඔප්පුවකින් නුවරවැව වලව්ව ඇයට පවරා ඇත. මේ නිසා නුවරවැව බංඩා අනුරාධපුරයේම පිහිටි බුලංකුලම  වලව්වේ පදිංචියට පැමිණි අතර එම නිසා ඔහු බුලංකුලමේ නුවරවැව බණ්ඩා ලෙස ද හඳුන්වා තිබේ.

සියලු ඉඩම් සහ වරප්‍රසාද

කෙසේ වෙතත් මහවන්නියා භුක්තිවිදි සියලු ඉඩම් සහ වරප්‍රසාද තම බිරියට ලබා දෙන මෙන් ඉල්ලමින් පුංචිමැණිකාගේ සැමියා 1851 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික් උසාවියේ නඩු පැවරූ අතර එහි ප්‍රතිඵලය වූයේ එම වරප්‍රසාද නුවරවැව බණ්ඩා සතු බවට නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් වීම යි.

1861 වසරේ දී නුවරවැව බණ්ඩා දරුවන් නොමැති ව මිය යන අතර ඒ සමග මෙම පවුලේ නායකත්වය හා එම පවුල ගිහි භාරකාරත්වය දැරූ ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ ද ඇතුළු අටමස්ථානයේ භාරකාරීත්වය පිළිබඳ ව ගැටලුවක් ඇති විය.

1862 වසරේ දී නුවරවැව බණ්ඩාගේ බිරිය වූ ඕවිල්ලේ කුමාරිහාමි නැවත විවාහ වූ අතර ඒ කලාගම්පලාතේ රටේ මහත්තයා වූ ඒකනායක බණ්ඩාරගේ පුත්‍රයා වූ එවකට අනුරාධපුර කච්චේරියේ සරප් මුහන්දිරම්වරයා සමඟ ය. එම විවාහයෙන් 1863 දී ලැබුණු පුතුට පෙර සැමියාගේ වාසගම ලබා දීමෙන් පරපුරේ අඛණ්ඩ උරුමය පවත්වාගෙන යාම ඇය අපේක්ෂා කළ බව පෙනේ. ඒ අනුව ඔහුට ලබා දුන් නාමය වන්නේ සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ රාලහාමිලාගේ බුලන්කුලමේ ලොකු බණ්ඩා යන නාමය යි.

 පවුලට පැවැරුණු බලතල සහ කාර්යයන්

අටමස්ථානාධිපති හිමියන් පත් කිරීමේ බලය සහ ඉවත් කිරීමේ බලය අටමස්ථාන කමිටුව වෙත පැවරී ඇති අතර එහි ගිහි නියෝජනය වශයෙන් නුවරවැව පවුලේ ප්‍රධානියාට වැඩි බලතල තිබෙන බව පෙනෙයි.

මෑත අඩසියසකට ආසන්න කාලයේ දී අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගනු ලබන පිළිවෙලෙහි යම් වෙනස්කම් කිහිපයක් සිදු වී ති‌බේ. ඒ අනුව යම් අවස්ථාවක එම පදවිය හිස් වූ විට නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මුලිකත්වයෙන් රැස් වන අටමස්ථාන කමිටුව මගින් සුදුසකම් සපුරා තිබෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ ව සහ පෙර අටමස්ථානාධිපති හිමියන්  වැඩ සිටිය දී නම් කළ ලැබූ භික්ෂූන් වහන්සේ පිළිබඳ ව අවධානය යොමු කොට සුදුසු අයකු පිළිබඳව වන කමිටුවේ නිර්දේශය මල්වතු මහනාහිමියන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දෙයි.

අනතුරුව එය අනුමත කොට ස්ථීර කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වන අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා  අටමස්ථානාධිපති ධූරයට අදාළ අක්ත පත්‍රය අත්සන් තබා අභිනව අටමස්ථානාධිපති හිමියන්ට පිළිගන්වයි.

 බෝ මළුවේ දේවාලය සහ කපුමහත්වරුන් පත්කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන ප්‍රභූවරුන් පිළිගෙන උඩමළුවට කැදවාගෙන යාම, ශ්‍රි මහා බෝධියේ පරණ අවුරුදු මංගල්‍යය පැවැත්වීම යනාදිය ද නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බව පෙනෙයි.

අටමස්ථානයේ ගිහි භාරකාරීත්වය කාන්තාවකට ලැබීම

1870 වසරේ දී එවකට අටමස්ථානාධිපති පදවිය දැරෑ කලුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් අපවත් වීමත් සමඟ නව අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගැනීම සදහා නුවරවැව පවුලේ ප්‍රධානියකු නොවීමෙන් එය ගැටලුකාරී තත්වයක් බවට පත් විය. එක් පාර්ශවයකින් නුවරවැව බණ්ඩාගේ බිරිය වූ ඕවිල්ලේ කුමාරිහාමි මෙහි අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටි අතර අනික් පසින් පුංචි මැණිකාගේ පුත්‍රයා වූ ගලගොඩ බණ්ඩාත් මේ සදහා ඉදිරිපත් විය. පසුව ඉංග්‍රිසි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මෙය විසඳූ අතර ඒ අනුව 1872 වසරේ ජූලි මස 13 දින ඕවිල්ලේ කුමාරිහාමි මෙම පවුලේ ප්‍රධානියා බව පිළිගැනිණි.

පුංචිබණ්ඩා බුලන්කුලම මහතා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ- Facebook- Bulankulame Family

මෙම පත්වීම ඓතිහාසික පත් වීමක් වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගිහි භාරකාරීත්වයට කාන්තාවක් පත් වීම සිදු විය. ඒ අනුව නුවරවැව පවුලේ ප්‍රධානියා සතු බලතල අනුව  ඇයගේ, නුවර කලාවියේ රටේ මහත්වරුන් තිදෙනාගේ, හා කෝරළේවරුන් උදුරුව හල්මිල්ලවැවේ රතනසාර හිමි අටමස්ථානාධිපති ලෙස නම් කළ අතර ආණ්ඩුව මගින් එම පත් වීම අනුමත කරමින් 1872 වසරේ අගෝස්තු මස 27 වැනි දින වැනි දින උන්වහන්සේ ට අක්ත පත්‍ර ප්‍රදානය කර ඇත. මෙම පත්වීම සිදු කිරීම රුවන්වැලිසෑය අසල බෙර වාදනයන් සහිතව ඕවිල්ලේ කුමාරිහාමිගේ මූලිකත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

බුලන්කුලම නමින් අටමස්ථානයේ ගිහි භාරකාරීත්වය ඉසිලූවන්

ඕවිල්ලේ කුමාරිහාමිගේ දෙවැනි විවාහයෙන් ලැබුණු දරුවා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද  සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ රාලහාමිලාගේ බුලන්කුලමේ ලොකු බණ්ඩා තම මව වූ කුමාරිහාමිගෙන් අනතුරුව 1880 වසරේ දී ගිහිභාරකාර පදවියට පත් වූ අතර ඔහු නුවරගම් පළාතේ රටේමහත්මයා හා ගම්සභාවේ සභාපති ලෙස ද කටයුතු කර තිබේ.

මහින්ද බුලන්කුලම මහතා දෙවැනි එළිසබෙත් රැජන සමඟ-  Facebook- කන්ද උඩරට රදළවරු

ඔහු නව නුවරවැව වලව්ව 1906 වසරේ දී නිමාවට පත් කොට එහි පදිංචි වූ අතර එතැන් පටන් අද දක්වා නුවරවැව පවුලේ ප්‍රධානීන් සියලු දෙනා සිය නිවස බවට පත් කර ගත්තේ එය යි. ඔහුගේ බිරිය මාතලේ කහඳ වලව්වේ වේරගම ටිකිරි කුමාරිහාමි වූ අතර ඇය ස්වකීය ධන පරිත්‍යාගයෙන් ශ්‍රී මහා බෝධිය මැද පන්සලේ ධර්මශාලාවක් කරවා තිබේ.

1936 දී ලොකුබණ්ඩා ගේ ඇවෑමෙන් ඔහු පුත් පුංචි බණ්ඩා බුලන්කුලම දිසාවේ අටමස්ථානයේ ගිහි භාරකාරත්වයට පත් කෙරුණු අතර ඉන් අනතුරුව ඒ සඳහා ඔහුගේ බාල සොයුරන් පත් කොට ඇත. ඒ  අනුව 1944 වසරේ දී වෛද්‍ය අශෝක බුලන්කුලමත්, 1950 දී පුංචිබණ්ඩා  බුලන්කුලමත් ඒ සඳහා පත් කෙරිණි.

බුලන්කුලම පරපුරේ ලාංඡනය – Facebook- Bulankulame Family

ඉන් පසුව පුංචි බණ්ඩාගේ යෝජනාවෙන් 1968 වසරේ දී ඔවුන්ගේ බාල ම සහෝදරයාගේ පුතු වූ ප්‍රසිද්ධ නොතාරිස් මහින්ද බුලන්කුලම ඒ සඳහා පත්විය. ඔහු එම පදවිය දරන අවධියේ දී නුවරවැව පවුලේ සාමාජිකයන් ජය ශ්‍රී මහා ‌බෝමලුවට පිවිසෙන ස්ථානයේ පිහිටා ඇති මකර තොරණ ඉදි කරවා ඇත. වර්තමානයේ මෙම තනතුර දරන්නේ මහින්ද බුලන්කුලම මහතාගේ පුත් වෛද්‍ය ජානක අනුරාධ බුලන්කුලම ය.  ඔහු 2006 වසරේ දී එම තනතුර සදහා පත් විය.

පවුලට අනන්‍ය වූ සම්ප්‍රදායයන්

නුවරවැව හෙවත් බුලන්කුලම පවුලට අන්‍යය වූ ලාංජනයක් දක්නට හැකි අතර එය සූරියකුමාර වන්නිසිංහ බුලන්කුලමේ ලොකු බණ්ඩා රටේමහත්තයාගේ සොහොන් ගෙයි ද්වාරයට ඉහළින් කැටයම් කර තිබෙන් බැවින් එම ලාංජනය ඔහුගේ යුගයේදී නිර්මාණය වන්නට ඇති බව සිතිය හැකි ය. එම ලාංජනයේ මධ්‍යයෙහි පද්මයක් දක්නට ලැ‌බෙන අතර ඒ දෙපසට විහිදුනු බෝ කොළ ද්විත්වයකි.

රුවන්වැලි සෑය අසල ඇති බුලන්කුලම පවුලට අයත් සොහොන් කොතක් – Facebook- Bulankulame Family

නුවරවැව පවුලේ ප්‍රධානියා සඳහා උත්සව අවස්ථාවල දී ඇඳීමට විශේෂිත ඇදුම් කට්ටලයක් පවතී. එය උඩරට මුල් ඇඳුමට බොහෝ සෙයින් සමාන වුවත් සියුම් වෙනස්කම් ඇති අතර ඉන්දියාවේ නිර්මාණය කර තිබෙන එය අලුත්වැඩියා කිරීම සදහා ද ඉන්දියාවට යවයි. වර්තමානයේ භාවිත කරන ඇදුම් කට්ටල වසර සියයක් පමණ පැරණි බවත් පැවසේ. දෙවැනි එළිසබත් රැජන 1981 වසරේ දී අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ දී මහින්ද බුලන්කුලම හැඳ සිටියේ ද එම ඇඳුම වේ.

නුවරවැව පවුලේ ප්‍රධානත්වය ඕවිල්ලේ කුමාරිහාමිගෙන් පසුව පිය- පුතු පරපුරෙන් පැවත එන අතර එය විටෙක සොහොයුරන් අතර ද හුවමාරු වන බව පෙනෙයි. බොහේ විට පෙර එම ධූරය දැරූ අය විසින් අනුප්‍රාප්තිකයා නම් කළ අතර පසුව පවුලේ සියලු දෙනාගේ කැමැත්ත ද ඒ සඳහා ලබාගෙන බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත නුවරවැව පවුලේ නව ප්‍රධානියා පිළිබඳ ව දැනුම් දීමත්, ලිඛිත ලියවිල්ලකින් නුවරවැව පවුලේ ප්‍රධානියා ලෙස එකී පුද්ගලයා බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පිළිගැනීමත් වර්තමානයේ දී සිදු කරනු ලබයි.

කවරයේ පින්තූරය- බුලංකුලම- නුවරවැව පෙළපතට අයත් නුවරවැව වලව්ව - www.srilankatravelguide.com 

මූලාශ්‍ර-

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරීත්වය හිමි නුවරවැව පවුල - කථිකාචාර්ය හසිත චාමිකර ගුණසිංහ

බුලන්කුලම පරපුරේ උරුමයක්‌ව බැඳුණු අටමස්‌ථානයේ යටගියාව (අධිලේඛන ඇසුරින්)  - ජෝශප් පැට්‌ට්‍රි‍ක්‌ පීරිස්‌

Related Articles