Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැබිනට් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ඝාතනය කළ ලයිබීරියා හමුදා කැරැල්ල

1980 වසරේ අප්‍රේල් 12 වන දා ලයිබීරියාවේ ජනාධිපති මන්දිරයට කඩා වදින ලයිබීරියානු හමුදාවේ සැරයන්වරයෙක් ප්‍රමුඛ 17 දෙනෙකුගෙන් යුක්ත හමුදා කණ්ඩායමක් එරට පාලන බලය අල්ලා ගන්නවා.

ඔවුන් විසින් ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ඝාතනය කරන අතර, දින 10කින් පසු ව එරට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේ ඝාතනය කරනවා. ඒ කැරලිකරුවන්ගේ අධිකරණයකින් ලබාදුන් මරණ දඬුවමේ ප්‍රතිඵල ලෙස යි.

හමුදා කුමන්ත්‍රණයෙන් ලයිබීරියාවේ බලය අල්ලා ගත් සැමුවෙල් දෝ (Samuel Doe) නම් සැරයන්වරයා ඉන්පසු ව එරට පාලකයා ලෙස කටයුතු කරන අතර, 1990 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු ව ඝාතනය කරන තුරු ලයිබීරියාව පාලනය කරනවා.

හමුදා කුමන්ත්‍රණයේ සැලසුම්

විලියම් ටෝල්බර්ට් හා ජිම් කාටර් (Wikimedia Commons)

සැමුවෙල් දෝ නම් හමුදා කුමන්ත්‍රණයේ ප්‍රධානියා 1951 වසරේ මැයි 26 වන දා ලයිබීරියාවේ උපත ලැබූ ඇමෙරිකානු ලයිබීරියානුවෙක් (Americo-Liberian). ඇමෙරිකාව විසින් වහල් භාවයෙන් නිදහස් කරන ලද කළු ජාතිකයන් ඇමෙරිකානු සුදු ජාතිකයන්ට එරෙහිව කැරලි මෙහෙයවනු ඇතැ යි උපකල්පනය කරන ඇමෙරිකානු රජය ඔවුන් අප්‍රිකානු රටක් වන ලයිබීරියාවේ එක ප්‍රදේශයක පදිංචි කරවනවා. ඔවුන්ගෙන් පැවත එන්නන් ඇමෙරිකානු ලයිබීරියානුවන් ලෙස හඳුන්වනවා.

අප්‍රිකානු රටවල් දියමන්ති ආකර හා වටිනා ලෝහ ද්‍රව්‍යවලට ප්‍රසිද්ධ අතර, ලයිබීරියාවේ දියමන්ති ඔවුන්ගේ ප්‍රධාන අපනයනයක්. මෙම ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ ව කෑදරකමින් සිටි ඇමෙරිකානු රජය ලයිබීරියාව තමන්ට හිතවත් රාජ්‍යක් බවට පත්කර ගැනීමට උත්සාහ දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලයිබිරියානු ජනාධිපති මන්දිරයේ පිහිටීම හා පහර දිය යුතු ආකාරය පිළිබඳ ව සැලසුම් CIA සංවිධානය විසින් සැමුවෙල් දෝ ට ලබාදුන් බව සඳහන් වෙනවා.

ජනාධිපති මන්දිරයේ බලය අල්ලා ගැනීම සඳහා පැමිණි සෙබළුන් කණ්ඩායම අතර සුදු ජාතික පුද්ගලයෙක් ද සිටි බව ඝාතනයට ලක් වූ ලයිබිරියානු ජනාධිපති විලියම් ටෝල්බර්ට්ගේ (William Tolbert) ආර්යාව පසු කාලයේ දී ප්‍රකාශ කරනවා.

කුමන්ත්‍රණය ආරම්භ වේ

බලය අල්ලා ගැනීමෙන් පසු ව සැමුවෙල් දෝ (historycollection.co)

1980 අප්‍රේල් මාසයේ 12 වන දා සැරයන් සැමුවෙල් දෝ ඇතුළු ලයිබිරියානු හමුදාවේ සෙබළුන් 17 දෙනෙක් සියලු ආරක්ෂක මුරකාවල් මඟහරිමින් ලයිබිරියානු ජනාධිපති මන්දිරයට ඇතුල් වෙනවා. ඇතුල් වූ වහා ම සතර අතට වෙඩි තැබීමට පටන් ගන්නා කුමන්ත්‍රණකරුවන් ජනාධිපති මන්දිරයේ සිටි 27 දෙනෙකු මරා දමනවා. මරා දැමූ පුද්ගලයන් අතරට ඉහළ රාජ්‍ය නිලධාරීන් හා පාලක පක්ෂයේ ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් අයත් වෙනවා.

ජනාධිපති විලියම් ටෝල්බර්ට් ව අල්ලාගෙන වෙඩි තබා මරා දමනවා. එසේ මරා දැමූ ඔහුගේ සිරුර හා අනෙකුත් සිරුරු සමූහ මිනී වලකට දැමූ බව සඳහන්.

කැබිනට් ඇමතිවරුන්ට එරෙහිව ගොනු වූ චෝදනා

කැබිනට් ඇමතිවරුන් කණු වල ගැට ගසා (rarehistoricalphotos.com)

පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ව ලයිබිරියානු කැබිනට් ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් අතරින් 91 දෙනෙකු අන්ත දූෂිතයන් බව සඳහන් කරමින් අත්අඩංගුවට ගැනීමට කැරලිකරුවන්  ක්‍රියා කරනවා. රජයේ නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන සිර කිරීම හේතුවෙන් තම දිවි බේරා ගැනීමට තවත් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ලයිබීරියාව හැර යනවා.

ඔවුන්ට එල්ල වූ ප්‍රධාන චෝදනා වූයේ දියමන්ති අපනයනයෙන් ලැබෙන මුදල් සියල්ල සිය පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම යි. ඊට අමතර ව තවත් විවිධ වංචා පිළිබඳ ව හා මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් ද චෝදනා ගොනු වෙනවා.

මේ කාලය වන විට ජනාධිපති විලියම් ටෝල්බර්ට්ගේ ආණ්ඩුව දූෂිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත බවට ජනතාව අතර ද මතයක් ගොඩනැඟී තිබූ බැවින් ජනතා කැමැත්ත හිමි වෙන්නේ කැරලි කණ්ඩායමට යි. දින 9ක නඩු විභාගයකින් අනතුරුව 10 වන දින අත්අඩංගුවට ගත් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතරින් 13 දෙනෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීමට අධිකරණය තීන්දු කරනවා.

කැබිනට් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කිරීම

විදේශ අමාත්‍යවරයාට වෙඩි තැබීමට සුදානම් වන සෙබලෙක් (rarehistoricalphotos.com)

1980 අප්‍රේල් 22 වන දින මොන්රෝවියා (Monrovia) නගරයේ වෙරළ ආසන්නයේ කනු කිහිපයක ගැටගසා ජනතාව ඉදිරියේ වෙඩි තබා මරා දැමීමට සියලු කටයුතු සුදානම් වෙනවා. මේ වන විට ජනයා කැරලිකරුවන්ට ඉතා පක්ෂ වූ අතර, ඔවුන් ප්‍රීතිඝෝෂා නගමින් කැබිනට් ඇමතිවරුන් මරා දැමීම පිළිබඳ ව තම කැමැත්ත පළ කරනවා.

එදින වෙඩි තබා ඝාතනය කල පුද්ගලයන් අතරට ඝාතනයට ලක් වූ ජනාධිපතිවරයාගේ සොහොයුරා, ලයිබීරියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකරු, අධිකරණ ඇමතිවරයා, විදේශ කටයුතු ඇමතිවරයා, වාණිජ හා වෙළඳ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා, කෘෂිකර්මාන්තය පිළිබඳ නියෝජය ඇමතිවරයා හා රජයේ අයවැය පිළිබඳ අධ්‍යක්ෂවරයා ඇතුල් වෙනවා.

රජයේ පාලන මණ්ඩලයේ සිටි ඇමතිවරු අතරින් දිවි බේරා ගැනීමට හැකි වන්නේ උප ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරිය ඇතුලු හතර දෙනෙකුට පමණයි. ඔවුන් ඇමෙරිකානු – ලයිබිරියානු සම්බවයක් සහිත වූවන් වීම දිවිගලවා ගැනීමට හේතු වන්නට ඇතැ යි ඇතැමෙක් පවසනවා.

කුමන්ත්‍රණයෙන් පසු ව

ප්‍රසිද්ධියේ ඝාතනය කිරීමෙන් පසු ව (rarehistoricalphotos.com)

කුමන්ත්‍රණයෙන් පසු ව ඔහු තම නිලය හමුදා ජෙනරාල් ධූරයට තමා විසින් ම ඉහළ දමා ගන්නා අතර, කුමන්ත්‍රණයට සම්බන්ධ වූ අනෙකුත් සෙබළුන් ද අධිකාරි ලත් නිලධාරීන් ලෙස උසස් කරනවා. පැවති ආණ්ඩුව අහෝසි කරන ඔහු මහජන විමුක්ති මණ්ඩලය (People’s Redemption Council) පිහිටුවා එහි නායකයා බවට පත්වෙනවා. ඒ ඔස්සේ 1985 වන තුරු ලයිබීරියාව පාලනය කරනවා.

ලයිබීරියාව වෙත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන සැමුවෙල් දෝ 1985 දී මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන අතර, ඉන් ජයගැනීමට ද ඔහු සමත් වෙනවා. ඒ අනුව ලයිබීරියාවේ 21 වන ජනාධිපතිවරයා ලෙස සැමුවෙල් දෝ දිවුරුම් දෙනවා.

ඔහු, ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමීප සම්බන්ධතා පැවැත් වූ අතර, මැතිවරණය සඳහා CIA සංවිධානයේ සහාය ලබා ගත් බව ද සඳහන්. ඔහු විසින් ලයිබීරියානු භූමිය හා සාගරය ඇමෙරිකා හමුදා පුහුණුවීම් සඳහා ලබා දීමට එකඟ වෙනවා. සීතල යුධ සමයේ අප්‍රිකාවට සිදුකෙරෙන රුසියානු සංගමයේ අතපෙවීම් වැලැක්වීමට ඒ ඔස්සේ ඇමෙරිකානුවන්ට හැකියාව ලැබෙනවා.

සැමුවෙල් දෝ ඝාතනය

සැමුවෙල් දෝ ඇමෙරිකානු නියෝජිතයෙක් සමග වමේ (FrontPageAfrica)

1989 වසර වන විට චාල්ස් ටේලර් නම් පුද්ගලයෙක් නායකත්වය දැරූ ලයිබීරියානු ජාතික ව්‍යාපාරය නම් ගරිල්ලා සංවිධානය ‘සැමුවෙල් දෝ’ගේ හමුදා පාලනයට විරුද්ධව නැඟී සිටිනවා. ඔවුන් අයිවරි කෝස්ට් රාජ්‍යයෙන් උපකාර ලබා ශක්තිමත් වී සැමුවෙල් දෝගේ හමුදාවට විරුද්ධ ව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා.

ඒ අනුව ලයිබීරියාවේ පළමු සිවිල් යුද්ධය ආරම්භ වන අතර, ගරිල්ලා සංවිධානය විසින් 1990 වසරේ සැප්තැම්බර් 9 වන දා සැමුවෙල් දෝ ව අල්ලාගෙන වධ බන්ධනවලට ලක් කිරීමෙන් පසු ව ඝාතනය කරනවා.

 

කවරයේ පින්තූරය: Rare Historical Photos

මූලාශ්‍රයයන්:

rarehistoricalphotos.com

globalsecurity.org

washingtonpost.com

Related Articles