ඇමරිකන් සිවිල් යුද්ධයට හේතු

ඇමරිකන් සිවිල් යුද්ධය ඇරඹුණේ 1861 දී. වසර හතරකට පසු එය 1865 දී අවසන් වුණා. ඇමරිකා එක්සත් ජනපද භූමියේ සිදු වූ විනාශකාරීම යුද්ධය ලෙස මෙය හඳුන්වන්නට පිළිවන්. මෙම යුද්ධයට මූලික හේතුව වූයේ වහල් මෙහෙය දිගටම පවත්වාගන යාම පිළිබඳව වූ විවාදය බව අප බොහෝ දෙනා අසා තිබෙන කරුණක්. නමුත් මෙම කරුණ ඊට වඩා තරමක් විස්තරාත්මකව සැලකිය හැකියි.

නිදහස් ජනපද​ සහ වහල් හිමි ජනපද​​

එක්සත් ජනපදයේ වහල් මෙහෙය ඉංග්‍රීසින් විසින් ඇති කළ ජනපද දහතුන වෙතම දිව යනවා. නමුත් එක්සත් ජනපදය බිහි වූ ස්වල්ප කලක් තුළ දී උතුරුදිග ජනපද බොහොමයක වහල් මෙහෙය සම්පූර්ණයෙන් තහනම් කිරීම හෝ ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම සිදු වී තිබුණා. මුලින්ම එක්සත් ජනපදයෙහි වූ ජනපද දහතුනෙන් පහක් 1789 වන විට වහල් මෙහෙය නොමැති නිදහස් ජනපද (Free States) වුණා. අනෙක් අට වහල් හිමි ජනපද (Slave States) වුණා.

වහල් මෙහෙය පිළිබඳ කරුණ ජනපදවල ආර්ථිකය සමග බැඳී තිබුණා. දකුණුදිග ජනපදවල ආර්ථිකය බොහෝකොටම වැවිලි කර්මාන්තය සමග බැඳුණ අතර උතුරුදිග ජනපදවල කාර්මික සහ වෙළෙඳ කටයුතු වඩා වැදගත් වුණා. වැවිලි කර්මාන්තය සඳහා, විශේෂයෙන්ම කපු වගාව සඳහා, ලාබ සහ නුපුහුණු ශ්‍රමය අවශ්‍ය වුණා. එහෙයින් දකුණුදිග ජනපදවල සුදු ජාතික වැවිලිකරුවන් වහල් මෙහෙය පවත්වාගැනීම පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූවා.

ජෝර්ජියා ජනපදයේ ඇට්ලන්ටා හි වහල් වෙළෙඳපොලක් (George N. Barnard)

මේ අතර උතුරුදිග ප්‍රදේශයන් කේන්ද්‍ර කරගත් වහල් මෙහෙයට එරෙහි දේශපාලන ව්‍යාපාර ඇති වුණා. පොදුවේ මේවා වහල් මෙහෙය තහනම් කිරීම සඳහා වූ ව්‍යාපාරය (Abolitionist Movement) ලෙස හඳුන්වනවා. එක්සත් ජනපද ව්‍යවස්ථාව විසින් පුද්ගල නිදහස පිළිබඳව කරුණු ගෙනහැර දක්වන අතරවාරයේ එම රට තුළම වහල් මෙහෙය පැවතීම කෙතරම් පරස්පර විරෝධී ද යන්න මෙම ව්‍යාපාරය විසින් තර්ක කෙරුණා.

වසර කිහිපයක් තුළ එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය විශාල වීමට පටන් ගැනුණා. මුලින්ම එරට ව්‍යාප්ත වුණේ බටහිර දෙසට යි. 1803 දී ලුවිසියානා ප්‍රදේශය ප්‍රංශයෙන් මිලට ගැනීම​, 1819 දී ෆ්ලොරීඩාව ස්පාඤ්ඤයෙන් මිල දී ගැනීම ආදිය මුල් කාලීනව සිදු වූ වෙනස්කම් වුණා.

අලුතින් එක් වන ප්‍රදේශයන් ජනපද ලෙස සංවිධානය කිරීමේ දී නිදහස් ජනපද සහ වහල් හිමි ජනපද අතර සමතුළිතය පවත්වාගැනීම කෙරෙහි විශේෂයෙන්ම දකුණුදිග ජනපද අවධාරණය කළා. අලුතින් එක්වන ජනපදවල වහල් මෙහෙය අහෝසි වියයුතු බවට වහල් මෙහෙයට එරෙහි කණ්ඩායම් කියා සිටියා. නමුත් වහල් හිමි ජනපද මේ පිළිබඳ බිය වුණා. වහල් මෙහෙය තහනම් කළ ජනපද සංඛ්‍යාව විශාල වුවහොත් ඔවුන් සුළුතරයක් බවට පත්ව තම දේශපාලන බලය හීන වේ යයි සැකයක් මෙම ජනපදවලට ඇති වුණා.

එමෙන්ම මේ පිළිබඳව වූ ගැටුමෙහි ප්‍රධාන විවාදයක් වූයේ එක්සත් ජනපදයෙහි මධ්‍යම ආණ්ඩුව (ෆෙඩරල් ආණ්ඩුව​) සහ ජනපද අතර බලය බෙදීම පිළිබඳ මත ගැටුම යි. ජනපදයක වහල් මෙහෙය නීතිගත කිරීම හෝ නොකිරීම හෝ පිළිබඳ නීති පැනවීමට ෆෙඩරල් රජයට ඇති අයිතිය පිළිබඳ මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මිසූරි සම්මුතිය​

1820 මිසූරි සම්මුතිය (Missouri Compromise) ඇති වූයේ මම පදනම යටතේ යි. එහිදී මේන් සහ මිසූරි යන ප්‍රදේශ දෙක නව ජනපද දෙකක් ලෙස එක්සත් ජනපදයට එක් වුණා. එහිදී මිසූරි ප්‍රදේශය වහල් හිමි ජනපදයක් ලෙසත් මේන් ප්‍රදේශය නිදහස් ජනපදයක් ලෙසත් ඇතුළ් කරගැනීමට තීරණය කෙරුණා. තව ද, ලුවිසියානා මිල දී ගැනීම මඟින් එකතු වූ ප්‍රදේශය තුළ මිසූරිය හැර උතුරු දේශාංශ 36° 30’ ට වඩා උතුරින් වන කිසිදු ප්‍රදේශයක් වහල් හිමි ජනපදයක් ලෙස ඇතුළත් නොකර ගැනීමටත් තීරණය වුණා.

මිසූරි සම්මුතියට අයත් සීමාව​. මින් උතුරෙහි වන්නේ මිසූරි ජනපදයයි (Wikimedia Commons)

මිසූරි සම්මුතිය විසින් පැවති තත්ත්වය තාවකාලික සම්මුති ස්ථාවරයක් කරා ගෙන ආවා. නමුත් මෙය මෙක්සිකෝ – ඇමරිකා යුද්ධය සමග වෙනස් වීමට නියමිත වුණා.

මෙක්සිකෝ – ඇමරිකන් යුද්ධය​

1845 දී එක්සත් ජනපදය විසින් ටෙක්සාස් ජනරජය තම රටට ඈඳා ගත්තා. ටෙක්සාස් ප්‍රදේශය මෙක්සිකෝවෙන් නිදහස ප්‍රකාශ කළේ 1836 දී යි. නමුත් මෙක්සිකෝව එය පිළිගත්තේ නැහැ. ටෙක්සාස් ප්‍රදේශය එක්සත් ජනපදයට ඈඳා ගැනීමත් ඉන් පසුව ඇති වූ දේශසීමා අර්බුදත් සමග එක්සත් ජනපදය සහ මෙක්සිකෝව 1846 දී යුධ වැදුණා. 1848 දී මෙම යුද්ධය අවසන් වූයේ මෙක්සිකෝව අන්ත පරාජයකට පත් වෙමින්. මේ අනුව වර්තමාන කැලිෆෝර්නියා, නව මෙක්සිකෝ, ඇරිසෝනා, යූටා, නෙවාඩා යන ප්‍රාන්තවලට අයත් භූමිය සහ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් භූමියෙන් කොටසක් ඇතුළු විශාල ප්‍රදේශයක් එක්සත් ජනපදය විසින් මෙක්සිකෝවෙන් ලබාගත්තා. එමෙන්ම ටෙක්සාස් හි ඇමරිකන් පාලනය ද මෙක්සිකෝව විසින් පිළිගැනුණා.

අලුතින් එක් වූ ප්‍රදේශ කවර දිනෙක හෝ නව ජනපද ලෙස එක්සත් ජනපදය තුළ සංවිධානය වීමට නියමිත වුණා. මෙම අවස්ථාවෙහි දී එම ජනපදවල වහල් හිමි හෝ නිදහස් හෝ ස්වභාවය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මත ගැටුමක් ඇති වුණා. මෙම මත ගැටුම වර්ධනය වීමත් සමග වහල් මෙහෙය තහනම් කිරීමේ ව්‍යාපාරය ද ශක්තිමත් වුණා.

මෙක්සිකෝව සමග යුද්ධයෙන් එක්සත් ජනපදය ලබාගත් ප්‍රදේශ සුදු පැහැයෙන් දැක්වෙන අතර දුඹුරු පැහැයෙන් දැක්වෙන කොටස පසුව මිලදී ගන්නා ලදී (Wikimedia Commons)

මෙම ගැටුම මුලින්ම කරලියට පැමිණියේ මෙක්සිකෝ-ඇමරිකානු යුද්ධයේ ආරම්භක අවස්ථාවල දීම යි. අනාගතයේ යුද්ධය අවසන් වූ පසුව මෙක්සිකෝවෙන් ලබා ගන්නා යම් ප්‍රදේශයක් වේ ද එහි වහල් මෙහෙය තහනම් කළ යුතු බවට කොන්ග්‍රස් සභික ඩේවිඩ් විල්මට් 1846 දී යෝජනා කළා. මෙම කොන්දේසිය ටෙක්සාස් වෙත අදාල නොවන ලෙසයි ඔහු යෝජනා කළේ. “විල්මට් කොන්දේසිය​” ලෙස ප්‍රකට වූ මෙම යෝජනාව කොන්ග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ නමුත් සෙනට් සභාවේ දී නිශ්ප්‍රභ වුණා.

1850 සම්මුතිය​

මෙක්සිකෝව සමග යුද්ධයෙන් ලබාගත් නව ප්‍රදේශයන් පිළිබඳ වාදය අවසන් කිරීම සඳහා එකඟතාවක් ලෙස 1850 සම්මුතියට එක්සත් ජනපද කොන්ග්‍රස් සභාවේ අනුමැතිය ලැබුණා. මෙහි කරුණු අනුව ටෙක්සාස් හි ජනපද සීමාවන් වෙනස් කරන ලද අතර එහි වහල් මෙහෙය නීතිගත කරනු ලැබුණා. කැලිෆෝර්නියාව නිදහස් ප්‍රාන්තයක් ලෙස ඇතුළත් කරගනු ලැබුණා. යූටා සහ නව මෙක්සිකෝ පාලන ප්‍රදේශයන් හි වහල් මෙහෙය පිළිබඳ තීරණය කිරීම එම ප්‍රදේශයන් හි ජනයා වෙත පවරනු ලැබුණා. කෙසේ නමුත් මෙම ප්‍රදේශයන් හි වැවිලි කර්මාන්තය දියුණු  කිරීමේ හැකියාවක් නොවූ හෙයින් වහල් මෙහෙය නීතිගත කිරීම කෙරෙහි එහි ජනතාව අතර විශේෂ උද්‍යෝගයක් වූයේ නැහැ.

මීට අමතරව කොළොම්බියා දිස්ත්‍රික්කයේ වහල් වෙළෙඳාම තහනම් කරන ලද අතර පලා යන වහලුන් අල්ලා ගැනීම පිළිබඳ නීති දැඩි කරනු ලැබුණා. ඒ අනුව දකුණු ජනපදයකින් පලා යන වහලුන් උතුරු ජනපදයක දී හසු වුණත් ඔවුන් ඔවුනගේ අයිතිකරුවන්ට බාර දිය යුතු වුණා. මෙය විවේචනය කළ වහල් මෙහෙය අහෝසි කිරීම සඳහා වූ ව්‍යාපාරයේ සාමාජිකයන් ඊට “දඩ බල්ලන්ගේ නීතිය​” යන නම පට බැන්ඳේ පලා යන වහලුන් අල්ලා ගැනීමට බල්ලන් ද යොදාගත් නිසාවෙන්.

ටොම් මාමාගේ කාමරය​

1850 දශකය වහල් මෙහෙය පිළිබඳ සටන තීව්‍ර කළ කාලයක් වුණා. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූ තනි සාධකයක් වේ නම් ඒ හැරියට් බීචර් ස්ටෝව් විසින් ලියන ලද Uncle Tom’s Cabin (ටොම් මාමාගේ කාමරය​) කෘතිය යි. 1851 දී පුවත්පතක පළ වූ මෙය 1852 දී පොතක් ලෙස එළි දැක්වුණා. මෙමඟින් වහලුන් ගේ ජීවිත පිළිබඳ සාමාන්‍ය ජනයා නොදත් කරුණු දැනගැනීමට ලැබුණ අතර එහෙයින් වහල් මෙහෙයට එරෙහි කඳවුර ශක්තිමත් වුණා.

ටොම් මාමාගේ කාමරය (චිත්‍රය​ හමාට් බිලිංග්ස් විසිනි)

ටොම් මාමාගේ කාමරය සහ පලා යන වහලුන් පිළිබඳ නීති හේතුවෙන් වහල් මෙහෙය අහෝසි කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් වූ අතරම “යටිබිම්ගත දුම්රිය මාර්ගය​” (Underground Railway) ද වඩා සක්‍රියව ක්‍රියාවට නැගීමට මෙම කරුණු හේතු වුණා. “යටිබිම්ගත දුම්රිය මාර්ගය​” යනු සැබෑ දුම්රිය මාර්ගයක් නොවේ. එය ඇමරිකාවේ වහල් හිමි ජනපදවලින් පලා යන වහලුන් කැනඩාවට ගෙන යාම සඳහා ක්‍රියාත්මක වූ රහසිගත මාර්ග පද්ධතියක් වූ අතර වහල් මෙහෙය අහෝසි කිරීමේ ව්‍යාපාරයේ පිරිස් එම කටයුතුවල නිරත වුණා.

කැන්සස්-නෙබ්‍රස්කා පනත සහ ලේ වැකි කැන්සස්

1854 දී එක්සත් ජනපද කොන්ග්‍රස් සභාව විසින් කැන්සස්-නෙබ්‍රස්කා පනත සම්මත කළා. මේ අනුව කැන්සාස් සහ නෙබ්‍රස්කා ප්‍රදේශයන් නව ජනපද ලෙස එක්සත් ජනපදයට ඇතුළත් විය යුතු වූ අතර ඒවායේ වහල් මෙහෙය නීතිගත කරන්නේ ද යන්න තීරණය කිරීම එහි ජනයා වෙත පවරනු ලැබුණා. මෙම පනත වහල් මෙහෙය අහෝසි කිරීම සඳහා වූ ව්‍යාපාරයේ අය අතර දැඩි විවේචනයට ලක් වුණා. ඊට හේතුව වූයේ මිසූරි සම්මුතියේ සඳහන් උතුරු අක්ෂාංශයන්ට උතුරින් වහල් මෙහෙය සඳහා ඉඩ නොදෙන්නේය යන සම්මුතිය මෙයින් උල්ලංඝණය කිරීමට අවස්ථාවක් සැලසීම යි.

නෙබ්‍රස්කාහි මෙම ප්‍රශ්නය පිළිබඳ ගැටුම් ඇති නොවුණත් කැන්සස් ප්‍රදේශයේ බරපතල ගැටුම් ඇති වුණා. වහල් මෙහෙයට පක්ෂ සහ විපක්ෂ පිරිස් එහි පැමිණි අතර ඔවුන් අතරේ අවි ගැටුම් පවා ඇති වුණා. අවස්ථා දෙකක දී ජනමත විමසුම්වලින් වහල් හිමියන්ට පක්ෂව වැඩි ඡන්ද ලැබුණ ද එම මත විමසුම් දෙකම දූෂිත වූ බව පවසමින් කොන්ග්‍රස් සභාව ඒවා ප්‍රතික්ෂේප කළා. එමෙන්ම කැන්සස්, එක්සත් ජනපදයට ඇතුළත් කරගැනීම ද මේ හේතුවෙන් ප්‍රමාද වුණා. 1861 ජනවාරි 29 වන දා, එනම් සිවිල් යුද්ධය ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබිය දී (ඒ වනවිට ජනපද හයක් එක්සත් ජනපදයෙන් වෙන්ව ගොස් අවසන්) කැන්සස්, එක්සත් ජනපදයට එක් වුණේ නිදහස් ජනපදයක් ලෙසයි.

ඩ්‍රෙඩ් ස්කොට් සහ ජෝන් බ්‍රවුන්

සිවිල් යුද්ධය ආසන්නයේ දී ඒ කෙරේ විශේෂ වැදගත්කමකින් යුතු වූ සිද්ධි වූයේ ඩ්‍රෙඩ් ස්කොට් නඩුව සහ ජෝන් බ්‍රවුන්ගේ කැරැල්ල යි.

ඩ්‍රෙඩ් ස්කොට් අප්‍රිකානු වහලකු වූ අතර ඔහු කලක් උතුරු ජනපදයක ජීවත් වුණා. ඒ අනුව ඔහුට නිදහස ලැබිය යුතු යයි ඔහු තම නඩුව මඟින් කියා සිටියා. 1857 දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූයේ අප්‍රිකානු සම්භවය ඇත්තකුට එක්සත් ජනපද පුරවැසිකම ලබාගත නොහැකි බව සහ මිසූරි සම්මුතිය ව්‍යවස්ථා විරෝධී බව යි. මෙය වහල් හිමි කඳවුර ශක්තිමත් කළ නඩු තීන්දුවක් වූ අතර ඊට එරෙහි පිරිස් ප්‍රකෝපයට පත් කළා මෙන්ම වඩා ශක්තිමත්ව සටන් වැදීම සඳහා අදිටන් කරගැනීමට ඔවුන් පෙළඹූවා.

ඩ්‍රෙඩ් ස්කොට් (Public Domain)

වහල් මෙහය අහෝසි කළ යුතු බවට විශ්වාස කරමින් සටන් කළ අයකු වූ ජෝන් බ්‍රවුන් කැන්සස්හි ඒ වෙනුවෙන් වහල් හිමි පාර්ශවය හා අවි ගැටුම්වලට සම්බන්ධ වූවකු වුණා. 1859 දී ඔහු තීරණය කළේ රජයට ඊට වඩා තදින් දැනෙන ප්‍රහාරයක් දියත් කළ යුතු බව යි. මේ අනුව 1859 ඔක්තෝබර් 16 වන දා රාත්‍රියේ ඔහු වර්ජිනියා ජනපදයේ (වර්තමාන බටහිර වර්ජිනියාවේ) හාර්පර්ස් ෆෙරීහි ෆෙඩරල් ආයුධ ගබඩාව අල්ලාගත්තා. ඔහු හා ඔහුගේ පිරිස විශ්වාස කළේ වහලුන් මෙම ප්‍රහාරයෙන් දිරිමත්ව කැරලි ගසනු ඇති බවයි. නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

බ්‍රවුන් ඇතුළු පිරිසට එරෙහිව ෆෙඩරල් හමුදාව එවන ලද අතර ඔහුව අත්අඩංගුවට ගෙන පසුව මරණ දඬුවමට යටත් කෙරුණා. බ්‍රවුන්ට එරෙහිව හමුදාව මෙහෙයවූයේ එවකට ලුතිනන් කර්නල්වරයකු වූ රොබර්ට් ඊ. ලී නම් නිලධාරියා යි. ඇමරිකානු සංයුක්ත ජනපදයේ හමුදා ප්‍රධානියා වූයේ ද ඔහු යි.

ලින්කන් ජනාධිපති ධුරයට පත් වීම

1860 ජනාධිපතිවරණයේ දී ඒබ්‍රහම් ලින්කන් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණා. ඔහු අපේක්ෂකයා ලෙස පත්කර ගත්තේ පක්ෂයේ විවිධ කඳවුරුවලට පිළිගත හැකි මධ්‍යස්ථ ආයකු විදියටයි. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂය දෙකඩ වී තිබුණා.

ලින්කන් කෙරෙහි දකුණුදිග ජනපදවල විරෝධය කෙතෙක් වී ද යත් එම ජනපද සමහරක ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවට පවා ඇතුළත් වූයේ නැහැ. එහෙත් ඔහු එම ජනාධිපතිවරණය ජයගත්තා.

ලින්කන්ට තදින්ම එරෙහි වූ දකුණු කැරොලිනාව 1860 දෙසැම්බර් 20 වන දා එක්සත් ජනපදයෙන් ඉවත් වුණා. තවත් ජනපද කිහිපයක් 1861 ජනවාරියේ දී ඉවත්ව ගියා. ඊළඟ මාසවලත් මෙසේ ජනපද කිහිපයක් ඉවත් වුණා. ඔවුන් පසුව ඇමරිකා සංයුක්ත ජනපදය (Confederate States of America) පිහිටුවා ගත්තා.

Cover: ෆ්‍රැන්ක්ලින් සටන​ (Kurz and Allison)

Related Articles