Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොව යට චීන ජනාවාසවල සැඟවී තිබූ විස්මිත උමං නිවාස

මනුෂ්‍යයා යනු මේ වන විට දියුණුවේ හිණි පෙත්තටම නැග සිටින සත්වයෙක්. මේ තරම් දිගු ගමනක් එන්නට මනුෂ්‍ය ඉතිහාසය තුළ ගොඩ නැගුණු විවිධ ශිෂ්ටාචාරයන් තුළින් අප ලද පන්නරයත් අති විශාලයි. රෝදය, ගින්දර යනාදිය සොයා ගැනීමේ සිට මේ දක්වා අප පැමිණ ඇති ගමන් මග විස්මිත එකක් වන්නේ ඒ අතීත සොයා ගැනීම් තුළින් අප කෙමෙන් කෙමෙන් ඉදිරියට ගමන් ගත් නිසාවෙනුයි.

වර්තමානය වන ඉපැරණි ශිෂ්ටාචාරයන් ඉදි වී තිබූ ස්ථානයන්හි විවිධ කැණීම් කටයුතු නොකඩවා සිදු කෙරෙන්නේ ඒ පැරණි ශිෂ්ටාචාරයන් තුළ මිනිසුන් කෙසේ දිවි ගෙව්වාද යන්න සැක හැර දැන ගැනීමට මෙන්ම ඔවුන්ගෙන් අපට ලබාගත හැකි, උගත හැකි දේ මොනවාදැයි සොයා බැලීමටයි. ඉතා ගැඹුරට කැණීම් කිරීමට අපහසු අවස්ථාවන්හිදී මෙන්ම අදාළ කැණීම් කළ යුතු වන ස්ථානයන්ට ළඟා වීමේ අපහසුතාවයන් පවතින අවස්ථාවන්හිදී සැටලයිට් තාක්ෂණය මගින් ඡායාරූප ලබා ගැනීමට සහ කිරණ තාක්ෂණය යොදා ගනිමින් ත්‍රිමාණ රූප ලබා ගැනීමටත් පුරාවිද්‍යාඥයින් පෙළඹෙනවා. එලෙස සිදු කරන ලද ඡායාරූප ලබා ගැනීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසින් මධ්‍යම චීනයෙන් ලැබුණු අපූර්වතම සහ සැබවින්ම විස්මයජනක ජනාවාස කොට්ඨාශයක් පිළිබඳයි මෙම ලිපිය ලියැවෙන්නේ.

“වැළලුණු නගරය”

චීනයේ ශැංහයි නගරයේ සිට සැතපුම් හත්සියයක් පමණ බටහිර දෙසින් පිහිටා ඇති මධ්‍යම චීනයේ හෙනාන් ප්‍රාන්තයේ සන්මෙන්(ක්)ශියා (Sanmenxia) නැමති නගරය තුළ සිදු කරන ලද කැණීම් වලින් අනාවරණ කොටගෙන ඇත්තේ එම නගරය තුළ පොළොව යට විශාල ජනාවාස අතීතයේ තිබී ඇති බවයි. ඉතාමත් සියුම් ලෙස නිමවා ඇති  උමං මාර්ගයක් තුළ ගොඩනංවා ඇති මෙම “වැළලුණු නගරය” තුළ විවෘත වූ එළිමහන් කොටස් සියයක් පමණ තිබී ඇති අතර මිලියන දෙකකට පමණ අධික ජනගහනයකට සෙවණ සැලසූ නිවාස දස දහසක් පමණ එහි පිහිටා තිබූ බවත් වාර්තා වනවා. චීනයේ සියලු නිල පුවත් වාර්තාකරණයෙහි යෙදෙන “Peoples’ Daily Online” නැමති චීන වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ නුදුරු අනාගතයේදීම මෙම අනර්ඝ ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුත් නිමැවුම සහ එහි වන සියුම් කලාවන් දැක බලා ගැනීමට මහජනතාව හට අවස්ථාව සැලසෙනු ඇති බවයි.

උඩු ගුවනේ සිට ලබාගත් ඡායාරූපයක් (chinadaily.com.cn)

“යාඔදොන්ග්” (Yaodong) නිවාස සංකීර්ණය

“යාඔදොන්ග්” (Yaodong) යන නමින් හඳුන්වනු ලබන මෙම නිවාස සංකීර්ණය පුරා ශතකයක කාලයක් ඔස්සේ පරම්පරා හයකට සෙවණ සපයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පොළෝ මට්ටමට යටින් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණයට ශීත සමයේදී අවශ්‍ය උණුසුම සපයා ගැනීමට මෙන්ම ග්‍රීෂ්ම සෘතුවේදී අවශ්‍ය සිසිල සපයා ගැනීම පිණිස එළිමහන් බිම් කොටස් සකසා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

Easy Tour China (ETC) නම් වන චීනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමේ විද්වතුන් ප්‍රකාශ කරන්නේ මෙම නිවාස රාශිය ඓතිහාසික වශයෙන් පමණක් නොව, විද්‍යාත්මකව සහ කලාත්මකවද අතිශය වැදගත්කමක් උසුලනා බවයි. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන අන්දමට, පොළෝ මට්ටමේ සිට අඩි විසි තුනක් පමණ පහතට හෑරීමට පමණක් වසර තුනක පමණ කාලයක් ගත වන්නට ඇති බවයි.

එළිමහන් පීඨයක සමීප දසුනක් (baoxaydung.com.vn)

බටහිරට නොදෙවෙනි වූ ගෘහනිර්මාණ ශිල්පය

චීනයේ සන්මෙන්(ක්)ශියා නගරය පුරා විහිදී ඇති මෙම නිවාස සංකීර්ණය නිවාස ජාලයක් ලෙසින්ද හැඳින්විය හැකියි. මීට වසර දෙසියයකට පමණ පෙර සාදන ලද බවට සැක කෙරෙන මෙම නිවාස ජාලයේ අනර්ඝතම ගොඩනැගිලි පිහිටා ඇත්තේ සන්මෙන්(ක්)ශියා නගරයේ රෙන්මා (Renma) සහ මියාඔශෑන්ග් (Miaoshang) නැමති නගර වලට අභ්‍යන්තරයෙනුයි. බැලූ බැල්මට මෙම නිවාස සහ ගොඩනැගිලි දෙස බලන්නෙකුට ඇතැම් විට මෙම නිවාස තුළින් විශේෂ යමක් නොපෙනෙන්නටත් පුළුවන. අතිශය සරල සහ පෞරාණික බවකින් යුතු බව පෙනුනද, මෙම නිවාස සහ ගොඩනැගිලි තුළ මෑත කාලීන බටහිර නිවසක දැකගත හැකි පහසුකම් සියල්ලක්ම පාහේ දැකගත හැකි වීම සැබවින්ම විශ්මය දනවනා පුවතක් වුණා. එහි වූ එළිමහන් පීඨයන්හි වෙන් වෙන්ව තනන ලද නාන කාමර, විවේක ගැනීමට අවශ්‍ය කාමර (sitting rooms), වෙන්ව සාදන ලද නිදන කාමර සහ සත්ව පාලනය සඳහා අවශ්‍ය වන මඩු වැනි ගොඩනැගිලිද තිබී ඇති බවට පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා.

මෙහි වාසය කර ඇති මිනිසුන් අතුරින් ධනවත් පුද්ගලයින් නිතරම තම තමන්ගේ එළිමහන් පීඨයන් අලුත්වැඩියා කරගනිමින් නවතම පහසුකම් ගොඩනගා ගැනීමට පුරුදු වී සිට ඇති අතර, කලින් කලට ආ නවතම විලාසිතාවන්ට අනුව එම පීඨ අලංකරණ කටයුතු වලද නියැලී ඇති බවයි ETC ආයතනය පවසන්නේ. “මෙහි වාසය කළ අයගෙන් බොහෝ දෙනා තම නිවසේ මුළුතැන්ගෙයි තබා ඇති උදුන ලිප් හතකින් පමණ සමන්විත වනවා. මින් එක් එක් ලිප් විවිධ උෂ්ණ මට්ටම් වලට අනුව හැසිරවිය හැකියි” ETC ආයතනයේ පුරෝගාමීන් පවසනවා. “ඉන් අදහස් වන්නේ ඔවුන් විවිධ උෂ්ණ මට්ටම් යටතේ විවිධ ආහාර වර්ග එකවර නිපදවා ඇති බවයි”

නිවසක ඇතුළත දිස්වන්නේ මෙලෙසයි (dailymail.co.uk)

සන්මෙන්(ක්)ශියා නගරයේ ඉතිහාසයෙන් බිඳක්

සන්මෙන්(ක්)ශියා යන වචනය සරලව ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ විට “The gorge of the Three Gateways” හෙවත් “දොරටු ත්‍රිත්වයේ දුර්ග මාර්ගය” යන තේරුම හැඟවෙනවා. මෙම නගරයට එම නම පටබැඳී ඇත්තේ චීනයේ කහ ගඟ කොටස් තුනකට වෙන් කරමින් පිහිටා ඇති කුඩා දූපත් ද්විත්වය නිසාවෙනුයි. “මහා යූ අධිරාජ්‍යයා” හෙවත් “Yu the great” නැමති සුප්‍රකට චීන අධිරාජ්‍යයා විසින් මෙම ප්‍රදේශය කහ ගඟේ ජල මට්ටම වැඩි වී ගලන ගංවතුර ආපදාවන්ගෙන් බේරා ගැනීම සඳහා තමා සතු වූ බලගතු පොරොවක් මගින් එම භූමිය දෙකඩ කළ බවට මිථ්‍යා මතයක් ඔවුන’තර පවතිනවා.

නුදුරේදීම උදාවන අවස්ථාව

මෙසේ අනාවරණ කරගත් නිවාස සංකීර්ණයේ ඇති එළිමහන් පීඨයන් වෙත මේ වන විට චීන පුරාවිද්‍යාඥයින් ළඟා වී ඇති අතර, සන්මෙන්(ක්)ශියා නගරයේ ප්‍රාදේශීය පාලන අධිකාරිය මගින් එම පීඨයන් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් යාර දස දහසක පමණ සංරක්ෂණ කටයුතු තවමත් නිම කිරීමට නියමිතව පවතිනවා.

සංරක්ෂණ වැඩ කටයුතු නිම වූ වහාම මෙම අපූර්වතම නිර්මාණය සියැසින් දැක බලා ගැනීමේ හැකියාව මහජනතාවට උදා වනු ඇතැයි චීන බලධාරීන් විශ්වාසය පළ කර සිටිනවා.

කවරයේ ඡායාරූපය – telegraph.co.uk

තොරතුරු උපුටා ගැනීම – www.nypost.com වෙබ් අඩවියේ “Cave dwellers lived in mysterious network of underground homes” ලිපිය ඇසුරිනි.

Related Articles