මහ බැංකු බෝම්බය පිළිබඳ අමිහිරි මතකයට 26 වසරයි

1996 ජනවාරි මාසයේ අවසන් සතිය වන විට අප රටට ක්‍රිකට් වසන්තය උදා වී තිබුණා. ඒ විල්ස් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග හතරක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ව තිබුණු නිසා යි. ඉන් තරග 3ක් කොළඹ නගරයේ ක්‍රීඩාංගණ ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු නිසා නගරය පුරා ම ක්‍රිකට් උණුසුම පැතිරී ගොස් තිබුණා. නමුත් 1996 ජනවාරි 31 වැනිදා උදෑසන කිසිවෙකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ ඛේදවාචකයක් සිදුවුණා. 

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ටීටීඊ සංවිධානය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යි. එම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අප රටේ ආර්ථිකයට දැවැන්ත පාඩුවක් සිදුවුණා. එසේම 1996 ලෝක කුසලානයේ සත්කාරකත්වය පවා අපට අහිමි වන්නට ගියා. ඊට අමතර ව වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා. එම විනාශය සිදුවී මේ වන විට වසර 26ක කාලයක් ගෙවී තිබුණත් තවමත් සමහර උදවියගේ සිතේ එම අඳුරු මතක රැඳී තිබෙනවා. 

1995 රිවිරැස මෙහෙයුම 

ශ්‍රී ලංකා හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් 1995 ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ කළා. රිවිරැස නම් වුණු එම මෙහෙයුමේ අරමුණ වුණේ කොටින්ගේ ග්‍රහණයේ තිබුණු යාපනය නගරය සහ යාපන අර්ධද්වීපය මුදා ගැනීම යි. එදා මේජර් ජෙනරාල් රොහාන් දළුවත්ත, බ්‍රිගේඩියර් ජානක පෙරේරා වැනි දක්ෂ නිලධාරින් යටතේ ක්‍රියාත්මක වුණු මෙහෙයුමේ දී  එල්ටීටීඊ සංවිධානයට බරපතළ හානි සිදුවුණා.

එම අවස්ථාවේ දී හමුදා මෙහෙයුම් අඩපණ කිරීම සඳහා කොටි ත්‍රස්තවාදීන් කොළොන්නාව තෙල් ටැංකිවලට ප්‍රහාර එල්ල කළා. නොනැවතී සටන් කළ ශ්‍රී ලංකා හමුදා භට පිරිස් 1995 දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී යාපනය නගරය සතුරන්ගෙන් මුදා ගත්තා. එම පරාජය තමන්ට වුණු විශාල මදිපුංචිකමක් බව සිතූ  එල්ටීටීඊ සංවිධානය සිදුවුණු අවමානය අකාමකා ගන්නට අලුත් සැලසුමක් සකස් කළා. 

1995 රිවිරැස මෙහෙයුමේ අවස්ථාවක්
1995 රිවිරැස මෙහෙයුමේ අවස්ථාවක් – gettyimages

 

කොළඹ මර්මස්ථානයකට පහරදෙන්නට සැලසුම් 

වේළුපිල්ලේ ප්‍රභාකරන්  එල්ටීටීඊ සංවිධානයේ ටොසී රහස් ඔත්තු බළකායේ ප්‍රධානීන් කිලිනොච්චියට කැඳවූවා. ඒ කොළඹ නගරයේ ප්‍රධාන. ම ආර්ථික මර්මස්ථානය වුණු මහා බැංකුව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා යි. එම සාකච්ඡාවෙන් අනතුරු ව මහ බැංකු පරිශ්‍රයේ මරාගෙන බෝම්බයක් පුපුරවා හැරිය යුතු බවට තීන්දුවකට එළඹුණා.

එවැනි ප්‍රහාරයක් මඟින් එල්ටීටීඊ සංවිධානයේ කීර්ති නාමය ලොව පුරා පැතිර යන බව ඔවුන් හොඳින් ම දැන සිටියා. ඉන් අනතුරුව ටොසී රහස් ඔත්තු සේවයේ ප්‍රධානීන්, මෙහෙයුම සඳහා කළු කොටි සාමාජිකයන් කිහිපදෙනකු තෝරාගෙන ඔවුන්ට මනා පුහුණුවක් ලබා දුන්නා. 

LTTE සාමාජිකයන්
එල්ටීටීඊ සාමාජිකයන් – gettyimages

 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලැබුණු රහස් ලිපිය

1996 ජනවාරි 19 වැනිදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත එල්ලාලන් බළකාය යන ශීර්ෂය යටතේ රහසිගතයි යනුවෙන් සීල් තැබූ ලිපියක් ලැබී තිබුණා. එහි දක්වා තිබුණේ කොළඹ නගරය මුළුමනින් ම ක්‍රියා විරහිත කරන බව යි. රජයේ හමුදා යාපනයේ දී සිදු කළ ඝාතන හෙළා දැකීමට ඉදිරිපත් නොවුණු අයට කොළඹ සිදුකරන මිනිස් ඝාතන ද හෙළා දැකීමේ අයිතියක් නැති බව එහි සටහන් ව තිබුණා.  

විදෙස් සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් යුද්ධය සඳහා ශ්‍රී ලංකා රජයට දෙන ආධාර නතර නොකළහොත් ඔවුන්ට ද එහි විපාක ලැබෙනු ඇති බවට වැඩිදුරටත් ලිපියේ සඳහන් කර තිබුණා. 

එම රහසිගත ලිපිය ලැබුණු විගස ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එහි අඩංගුව තිබුණු දේ පිළිබඳ ව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වෙත දැනුම් දුන්නා. එලෙස ලැබුණු තොරතුරු අමෙරිකානු තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන්ට ද දැනගන්නට ලැබුණා. ඒ වන විටත්  එල්ටීටීඊ සංවිධානය කොළඹ නගරයේ මහා විනාශයක් කිරීම සඳහා කළු කොටින් පිරිසක් එවා ඇති බව හමුදා බුද්ධි අංශවලට ආරංචි වී තිබුණා. එනිසා කොළඹ නගරයේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වුණා. එල්ටීටීඊ සංවිධානය කුමන ස්ථානයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය සිදු කිරීමට සූදානම් වනවා ද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට හැකිවුණේ නැහැ. 

ප්‍රහාරය එල්ල කරන දිනය තීරණය කරයි 

මෙහෙයුම සැලසුම් කිරීම ආරම්භ කළ දිනයේ සිට ම ටොසී රහස් ඔත්තු සේවයේ සාමාජිකයන් කොළඹ නගරය ආශ්‍රිත ව ස්ථානගත කර සිටියා. ඒ මහ බැංකු ප්‍රහාරය සඳහා ඔත්තු බැලීමට යි.  එදා කොටි බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරුවලට අනුව ජනවාරි 31 වන බදාදා දින ජනාධිපතිනිය කොළඹින් බැහැර ව සිටින දිනයක් වුණා.

එනිසා මහ බැංකුව, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය අසල පෙදෙසේ ආරක්ෂක මුරකාවල් ලිහිල් කිරීමට නියමිත ව තිබෙන බව ඔවුන්ට දැනගන්නට ලැබුණා. ඔවුන්ට එම තොරතුරු ලැබී තිබුණේ ප්‍රහාරය එල්ල කළ දිනයට සතියකට පමණ පෙර යි. ඒ අනුව ප්‍රහාරය සිදු කිරීමට වඩාත් ම සුදුසු ජනවාරි 31 වැනිදා බව එල්ටීටීඊ සංවිධානයේ අවසන් තීරණය වුණා. 

මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව – dfe.lk

 

බෝම්බ පිරවූ ලොරියක් කොළඹට 

මෙහෙයුම සඳහා තෝරාගත් කළු කොටි කොටි සාමාජිකයන් කිහිප දෙනාට ප්‍රභාකරන් හමුවීමට අවස්ථාවක් ලැබුණා. එහි දී ප්‍රභාකරන් සමඟ පැවති භෝජන සංග්‍රහයේ දී ප්‍රහාරය සඳහා වැඩිදුරටත් උපදෙස් ලැබුණා. ඒ ආකාරයෙන් ප්‍රභාකරන් හමුවීමට ලැබීම මරාගෙන මැරෙන කොටි සාමාජිකයන්ට හිමිවන විශේෂ අවස්ථාවක් ලෙසින් සැලකුණා. භෝජන සංග්‍රහය අවසානයේ දී මෙහෙයුමට සම්බන්ධ වන සෑම කොටි සාමාජිකයකුට ම උපහාර සමරු පලකයක් ලබාදීමට ප්‍රභාකරන් කටයුතු කර තිබුණා. 

කිලිනොච්චි ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලබා ගත් ඉසුසු වර්ගයේ ලොරියක් මෙම ප්‍රහාරය සඳහා යොදා ගෙන තිබුණා. දහයියා පැටවූ ලොරිය තුළ සූක්ෂම අයුරින් බෝම්බ සඟවා තිබුණා. කොළඹ ස්ථානගත වී සිටි තවත් කොටි සාමාජිකයන් පිරිසක් එම ලොරිය එන තුරු මග බලාගෙන සිටියා. එය දහයියා පැටවූ ලොරියක් නිසා ආරක්ෂක මුර කපොළු පසුකර කොළඹට පැමිණීමට හැකියාව ලැබුණා. ඒ බැලූ බැල්මට ම සැක සහිත කිසිවක් එම ලොරිය තුළ නොතිබුණු නිසා යි. එහි දී ලොරිය කොළඹට රැගෙන ආ කළු කොටියන් දෙදෙනා ව්‍යාජ අහිංසක බවක් මවාපාමින් අනුකම්පාව දිනා ගත්තා. 

එකල කොළඹ නගරයේ දසුනක්
එකල කොළඹ නගරයේ දසුනක් – gettyimages

 

මහ බැංකුව අසල කලබලයක් 

කිලිනොච්චියේ සිට කොළඹට පැමිණි ලොරියේ සිටි කොටි සාමාජිකයන් ඔවුන්ගේ නවාතැන්පොළ වෙතට ගියා. එම ස්ථානයේ ටොසී රහස් ඔත්තු සේවයේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙක් සිටියා. ඉන් අනතුරු ව  ඔවුන් එකතු වී ප්‍රහාරයේ අවසන් සැලසුම පිළිබඳ ව සාකච්ඡා කළා. එහි දී ප්‍රහාරය සඳහා තෝරා ගත්තේ උදේ 10-11 අතර හෝරාව යි.

මෙම ප්‍රහාරයේ මූලික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රඝු සහ කුට්ටි යන කොටි සාමාජිකයන් දෙදෙනා ත්‍රීරෝද රථයක නැගී මහ බැංකුව දෙසට ගියා. ඒ මොහොත වන විට මහ බැංකු පරිශ්‍රය මත සැලකිය යුතු තරම් පිරිසක් රැඳී සිටියා. එදා ත්‍රීරෝද රථය ප්‍රධාන පිවිසුම අසල නතර කරනවාත් සමඟ ම ඉන් බැසගත් රඝු සහ කුට්ටි හතර වටේට ම වෙඩි තබන්නට පටන් ගත්තා. ඒ සමඟ ම මහ බැංකු ආරක්ෂක නිලධාරින් ද ප්‍රතිප්‍රහාර එල්ල කළා. මහ බැංකු පරිශ්‍රයේ සිටි ජනතාව හිස්ලූලූ අත දිවයන්නට වුණා. එනිසා එහි කලබලකාරී වටපිටාවක් නිර්මාණය වුණා. 

බෝම්බ ලොරිය මහ බැංකුව වෙත 

අනපේක්ෂිත අයුරින් එල්ල වුණු වෙඩි ප්‍රහාර මාලාව නිසා මහ බැංකු පරිශ්‍රයේ සිටි ආරක්ෂක නිලධාරින් පිරිස දැඩි ලෙස කලබලයට පත් ව සිටියා. එනිසා ඔවුන්ගේ පූර්ණ අවධානය යොමුව තිබුණේ වෙඩි ප්‍රහාර එල්ල කළ නාඳුනන පුද්ගලයන් දෙදෙනා කොටුකර ගැනීම සඳහා යි. ඒ මොහොත වන විට බෝම්බ ලොරිය සැලසුමේ තිබුණු ආකාරයට මහ බැංකු පරිශ්‍රය වෙත පැමිණෙමින් තිබුණා.

එය ප්‍රධාන දොරටුව පසු කරමින් ආරක්ෂක සීමාව වෙත ඇතුළු වනවාත් සමඟ ම තවදුරටත් ඉදිරියට නොඑන ලෙස ආරක්ෂක නිලධාරින්ගෙන් සංඥාවක් ලැබුණා. ඒ පිළිබඳව තැකීමක් නොකළ ලොරි රථයේ රියදුරු එය වේගයෙන් ඉදිරියට පදවාගෙන ගියා. ඒ සමඟ ම ආරක්ෂක නිලධාරින් ක්‍රියාත්මක වී ලොරියේ ගමන නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පලක් වුණේ නැහැ. වේගයෙන් පැමිණි ලොරිය මහ බැංකුව ඉදිරිපිට යකඩ වැටේ තෙවරක් වැදීමෙන් පසුව මුළු කොළඹ නගරය ම දෙදරුම්කමින් උදෑසන 10.47ට පමණ බෝම්බය පුපුරා ගියා.

බෝම්බය පුපුරායාමෙන් පසුව
බෝම්බය පුපුරායාමෙන් පසුව – gettyimages

 

සිදු වුණු මහා විනාශය 

එම අධිබලැති බෝම්බය පුපුරා යාම නිසා මහ බැංකු ගොඩනැගිල්ලට විශාල හානියක් සිදුවුණා. ඒ අවට තිබුණු විශාල ගොඩනැඟිලි රැසකට ද එහි කම්පනය හොඳින් ම දැනී තිබුණා. එදා තුවාලකරුවන් නැගූ අඳෝනා හඬ දසත පැතිරී ගියා. සැලකිය යුතු තරම් පිරිසක් එම ස්ථානයේ දී ම මරණයට පත් ව සිටියා. ඒ මොහොතේ තුවාලකරුවන් හැකි ඉක්මනින් ම රෝහල්ගත කිරීම සඳහා එහි සිටි පිරිස ඉදිරිපත් වුණා.

ගිනිගනිමින් තිබුණු මහ බැංකු ගොඩනැගිල්ලේ සිටි පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් ද ඒ අතරතුර ක්‍රියාත්මක වුණා. අවසානයේ දී විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුව තත්ත්වය සමථයකට පත් කළා. මෙම කුරිරු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් 100කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වෙද්දී 1500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඉන් සමහර උදවිය සදාකාලික ආබාධිතයන් බවට පත්වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා.

බෝම්බ ප්‍රහාරය ගැන එකල පුවත්පත්වල වාර්තා වුණු ආකාරය
බෝම්බ ප්‍රහාරය ගැන එකල පුවත්පත්වල වාර්තා වුණු ආකාරය – Divaina 

 

බෝම්බ ප්‍රහාරය නිසා ඇති වූ අයහපත් ප්‍රතිඵල  

බෝම්බය පුපුරා යාමත් සමඟ ම බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් විල්ස් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතිකේෂ්ප කළා. එහි දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මාක් ටේලර් පවසා සිටියේ  “ක්‍රිකට් තරගයක් වෙනුවෙන් දිවිපිදීම මෝඩකමක්” බව යි. එදා කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතිකේෂ්ප කිරීමත් සමඟ ම සිම්බාබ්වේ සහ කෙන්යාව යන කණ්ඩායම් ද අප රටට පැමිණීමට අදිමදි කළා. ඒ අනුව ලෝක කුසලානයේ සත්කාරකත්වය අපට අහිමි වන තැනට වැඩ සිදුවෙමින් තිබුණා. එදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් අපට ලෝක කුසලාන සත්කාරකත්වය රැකගැනීමට හැකියාව ලැබුණා.  

 මෙම බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා අර්ථිකයට මිලියන 1000කට වැඩි පාඩුවක් සිදුවුණු බවට ගණන් බලා තිබුණා. මෙරට ප්‍රධානත ම සංචාරක හෝටල් කිහිපයකට වඩාත් ආසන්න ස්ථානයක දී මෙම බෝම්බය පුපුරා යාම අප රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු කළා. එකල විදෙස් මාධ්‍ය මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳ විස්තර ඉස්මතු කර පෙන්වීම නිසා සංචාරකයන්ගේ පැමිණීම තවත් අඩු වුණා. මෙම ප්‍රහාරයෙන් පසුව කොළඹ කොටස් වෙළඳපොළ ද ශීඝ්‍රයෙන් පහත වැටුණා. එනිසා එහි ගනුදෙනු සඳහා ඉදිරිපත් වී සිටි දැවැන්ත සමාගම් රැසක් ගනුදෙනුවලින් ඉවත් වුණා. එවායේ බලපෑම හේතුවෙන් මෙරට ආර්ථිකය පහතට ඇද වැටුණා.

කවරයේ ඡායාරූපය- මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් පසුව - gettyimages

මූලාශ්‍ර: 

cbsl.gov.lk 

lankadeepa.lk 

Related Articles