Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 2- මැද කොළඹ

1931 වසරේ සිටම පැවති මැද කොළඹ ආසනය ඡන්ද දායකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ආසනයක්. මුල් යුගයේ දී වාමාංශික පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය මෙම ආසනය තුළ බලවත් වුණා. නමුත්, රණසිංහ ප්‍රේමදාස මැද කොළඹ ආසනයට පැමිණීමත් සමගම එය එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් බවට පත් වුණා. එම නිසාම 1965 වසරේ සිට පැවති බොහෝ ජාතික මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මැද කොළඹ ආසනය ජයග්‍රහණය කළේ විශාල වැඩි ඡන්ද පරතරයකින්.

1947-1977 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1947 වසරේ සිට 1977 වසර දක්වා ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ පවත්වනු ලැබුවේ සරල බහුතර ඡන්ද ක්‍රමය යටතේ යි. එහි දී ඉතා විශාල ජන කොටසක් ජීවත් වුණු මැද කොළඹ ආසනය මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජනය කරන බහු ආසනයක් බවට පත් වුණා. එලෙස සරල බහුතර ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණවල දී මෙම ආසනය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස වැඩිම වාර ගණනක් තේරී පත් වුණේ කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් නම් අපේක්ෂකයා යි. ඔහු 1947-1970 දක්වා පැවැත්වුණු සියලුම මහා මැතිවරණවල දී මැද කොළඹ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණා.

1947 මහා මැතිවරණය 

1947 මහා මැතිවරණය පැවැත්වුණු කාල සමය වන විට වාමාංශික පක්ෂ මැද කොළඹ ආසනය තුළ වඩාත් බලවත් වුණා. එම නිසාම 1947 මහා මැතිවරණයේ දී මැද කොළඹ පළමු මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත් වුණේ ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහ යි. ඔහු පළමු මන්ත්‍රීවරයා ලෙස පත් වන විට එක්සත් ජාතික පක්ෂයේ ටී. බී. ජයා සහ කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් පිළිවෙලින් දෙවන සහ තෙවන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණා. 

පළමු මන්ත්‍රී- ඒ. ඊ. ගුණසිංහ (ලංකා කම්කරු පක්ෂය)- ඡන්ද 23,470

දෙවන මන්ත්‍රී- ටී. බී. ජයා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 18,439

තෙවන මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 15,435

1950 වසරේ දී මැද කොළඹට අතුරු මැතිවරණයක්

මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ ටී. බී. ජයා 1950 වසරේ දී  පාකිස්ථානු මහ කොමසාරිස්වරයා ලෙස පත් වුණා. ඒ අනුව මැද කොළඹ දෙවන මන්ත්‍රීවරයා තෝරාගැනීම සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවුණා. එලෙස පැවැත්වුණු අතුරු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මොහොමඩ් කලීල් ඉදිරිපත් වන විට, කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළේ එහි නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ යි. එහි දී මෙම අපේක්ෂකයින් දෙදෙනා අතර තියුණු තරගයක් පැවතුණත්, අවසානයේ දී මොහොමඩ් කලීල් අතුරු මැතිවරණය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2,295ක් ලබා ගනිමින්. 

මොහොමඩ් කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 14,796

එස්. ඒ. වික්‍රමසිංහ (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 12,501

ටී. බී. ජයා කථාවක් කරමින් (Lankadeepa)

පීටර් කේනමන් දෙවරක් මැද කොළඹ පළමු මන්ත්‍රීවරයා වෙයි

1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී තෙවන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වුණු පීටර් කේනමන්, 1952 සහ 1956 මහා මැතිවරණවල දී මැද කොළඹ ආසනයේ පළමු මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත් වුණා. කේනමන් එලෙස ආසනය තුළ ජනප්‍රිය වන විට 1947 දී මැද කොළඹ ආසනය ජයග්‍රහණය කළ ඒ. ඊ. ගුණසිංහ 1952 සහ 1956 මහා මැතිවරණ දෙකම පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

1952 මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 32,346

දෙවන මන්ත්‍රී- මොහොමඩ් කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 25,647

තෙවන මන්ත්‍රී- රාසික් ෆරීඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 24,911

1956 මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 45,296

දෙවන මන්ත්‍රී- රාසික් ෆරීඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 26,512

තෙවන මන්ත්‍රී- එම්. එස්. තේමිස් (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 20,378

පීටර් කේනමන් 

මැද කොළඹ වාමාංශික බලය බිඳ වැටීම ආරම්භ වෙයි 

1947-1956 කාලසමය තුළ පැවති මහා මැතිවරණවල දී වාමාංශික පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයින් මැද කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. නමුත්, 1960 වසරේ පැවති මැතිවරණ දෙකේ දී වාමාංශික පක්ෂවල අපේක්ෂකයින්ට මැද කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ.

1960 මාර්තු මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- මොහොමඩ් කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 33,121

දෙවන මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 30,574

තෙවන මන්ත්‍රී- රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 29,828

1960 ජූලි මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- රාසික් ෆරීඩ් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 45,342

දෙවන මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 38,663

තෙවන මන්ත්‍රී- මොහොමඩ් කලීල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 37,486

රාසික් ෆරීඩ් (මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව)

මැද කොළඹ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වෙයි 

1965 වසරේ සිට 1977 දක්වා පැවැත්වුණු මහා මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් මැද කොළඹ පළමු හා දෙවන මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත් වුණා. එහි දී රණසිංහ ප්‍රේමදාස 1970 සහ 1977 මහා මැතිවරණවල දී මැද කොළඹ ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එලෙස රණසිංහ ප්‍රේමදාස ලබාගත් ජයග්‍රහණවලින් සුවිශේෂී ජයග්‍රහණය ලබාගත්තේ 1970 මහා මැතිවරණයේ දී යි. එම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයක් ලැබුවත්, රණසිංහ ප්‍රේමදාස මුල්මවරට මැද කොළඹ පළමු මන්ත්‍රීවරයා බවට තේරී පත් වීම කැපී පෙනෙන ජයග්‍රහණයක් වුණා.

1965 මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- ෆලීල් කපූර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 68,372

දෙවන මන්ත්‍රී- රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 64,438

තෙවන මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 41,478

1970 මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 69,310

දෙවන මන්ත්‍රී- ෆලීල් කපූර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 63,624

තෙවන මන්ත්‍රී- පීටර් කේනමන් (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 58,557

1977 මහා මැතිවරණයේ ප්‍රතිඵල

පළමු මන්ත්‍රී- රණසිංහ ප්‍රේමදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 94,128

දෙවන මන්ත්‍රී- ජබීර් කාදර් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 58,972

තෙවන මන්ත්‍රී- හලීම් ඉෂාක් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 53,777

රණසිංහ ප්‍රේමදාස (gettyimages)

1989-2015 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණ 7 දී ම මැද කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය යි. 2001 වසරේ සිට පැවැත්වුණු මහා මැතිවරණවල දී මැද කොළඹ ආසනය 63%ට වඩා වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය 2001 සහ 2015 මහා මැතිවරණවල දී මැද කොළඹ ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශත රඳවා ගත්තා. ඉන් වැඩිම ප්‍රතිශතය වුණු 84.64%, 2015 මහා මැතිවරණයේ දී වාර්තා වන විට 2001 මහා මැතිවරණයේ දී ලබාගත් ප්‍රතිශතය 75.08% ලෙස සටහන් වුණා.

ජනාධිපතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1982 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටෙන් 7ක දී ම මැද කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මැද කොළඹ ආසනය පරාජය වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණයි. එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මැද කොළඹ ආසනය ජයග්‍රහණය කළ අවස්ථා 7 දී ම 60%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා තිබීම සුවිශේෂී සිදුවීමක් වනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී මැද කොළඹ ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබෙන්නේ 2015, සහ 2019 ජනාධිපතිවරණවල දී යි. ඒ, 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන වාර්තා කළ 81.28% ඡන්ද ප්‍රතිශතය සහ 2019 වසරේ දී සජිත් ප්‍රේමදාස වාර්තා කළ 80.33%ක ඡන්ද ප්‍රතිශතය යි. 

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රයයන්: 

මැතිවරණ ප්‍රතිඵල 1947-2019 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles