Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය

අප රටේ 15 වන පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා අවසන් ය. 16 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන ජනවාරියේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලංකාව, බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. එම පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ ඩි. එස්. සේනානායක විසින් නිර්මාණය කරන ලද එක්සත් ජාතික පක්ෂය යි. නමුත් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට නොතිබූ අතර, ඔවුන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හා එකතුව පාර්ලිමේන්තුව තුළ තම බලය ස්ථාපිත කරනවා.

අද ලිපිය තුළින් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ව විමසා බැලීමක් සිදුකිරිමට යි අප සූදානම් වෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාවය

එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – හෙන්රි මුවර් -දකුණේ (Imperial War Museum)

මෙරටට පැමිණි සෝල්බරි කොමිසම හමුවේ පවතින රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ අවකාශය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය නමින් නවතම දේශපාලන පක්ෂයක් පිහිටුවාගත් දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයෙක් වූ ඩි. එස්. සේනානායක විසින් ඉල්ලා සිටිනවා.

සිංහලයන් බහුතරයක් සිටින එක්සත් ජාතික පක්ෂය මේ ඔස්සේ රටේ බලය ලබා ගැනීමට තමන් විරුද්ධ බවත්, මේ හේතුවෙන් රටේ කුඩා ජන කොටස්වලට අසාධාරණයක් වන බවත් එවකට දමිළ නායකයන් විසින් පෙන්වා දෙනවා. නමුත් විවිධ යෝජනා හා එකඟතා මධ්‍යයේ සේනානායකගේ මෙම යෝජනාව අනුව පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබා දෙනවා.

දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාලය 1947 ජුලි මස දක්‌වා ම අවුරුදු 11ක්‌ තිස්‌සේ පැවතුණු අතර, දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවසන් රැස්‌වීම ජූලි මස 01 වැනි දා පැවැත්වෙනවා. එහි දී පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා හයවන ජෝර්ජ් රජුගේ  අවසරය ලංකාවට හිමිවෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පක්ෂ

ඇන්. ඇම්. පෙරේරා – වමේ (Amazon.com)

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ පළමු හා පැරණි ම දේශපාලන පක්ෂය ලෙස ආචාර්ය ඇන්. එම්. පෙරේරා හා පිලිප් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් 1935 වසරේ දෙසැම්බර් 18 දින ලංකා සමසමාජ පක්‍ෂය පිහිටවනවා. මෙරටට පූර්ණ නිදහස ලබාගැනීම සහ ලංකාවේ සමාජවාදය ස්‌ථාපිත කිරීම අරමුණු කොටගත් පුළුල් වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්‌ ලෙස ඔවුන් විසින් මෙය හඳුන්වා දෙනවා.

1940 වසරේ පෙබරවාරි මස අග දී සම සමාජ පක්ෂය සමග ඇති වූ න්‍යායාත්මක මතභේදයක්‌ මුල් කරගෙන දොස්‌තර වික්‍රමසිංහ ඇතුළු කිහිපදෙනෙක් සම සමාජ පක්ෂයෙන් ඉවත්වෙන අතර, ඔවුන් විසින් 1943 දී කොමියුනිස්ට් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඊට පසු ව එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් 6 වන දා ඩි. එස්. සේනානායකගේ ප්‍රධානත්වයෙන් බිහිවෙනවා.

ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙම පක්ෂ තුනට අමතර ව 1944 වසරේ අගෝස්තු මාසයේ දී පිහිටුවන ලද සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ද, ලංකා ඉන්දියානු කොංග්‍රසය හා බොල්ෂෙවික් සම සමාජ පක්ෂය ද ඉදිරිපත් වෙනවා.

පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ

ඩි. එස්. සේනානායකගේ පුත් ඩඩ්ලි (Daily News)

1931 හා 1936 දී පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්ද විමසීම්වල දී විවිධ පාටින් යුක්ත ඡන්ද පෙට්ටිවලට ඡන්දය දැමීම වෙනුවට අපේක්ෂකයන් වෙත ලබා දී තිබූ ඡන්ද ලකුණ අනුව සලකුණු කිරීම ප්‍රථමවරට ආරම්භ වන්නේ මෙම මැතිවරණය තුළ යි.

මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම 1947 ජූලි මස 26 දින සිදු වූ අතර අලියා, පාපැදිය, නිවෙස, සමනලයා, යතුර, කණ්ණාඩිය, කුරුල්ලා, රෝදය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගුවන්යානය, ඇස, හා හැන්ද මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පක්ෂවල අපේක්ෂකයන්ගේ හා ස්වාධින අපේක්ෂකයන්ගේ ඡන්ද ලාංඡනවලින් කිහිපයක්.

1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක් තිස්සේ පැවති මහා මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 3,048,145ක් සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 56.10%ක ප්‍රමාණයක් තම ඡන්දය භාවිතා කරනවා.

පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 101 දෙනෙක්‌ තෝරා පත්කර ගැනීමට නියමිත විය. ඔවුන්ගෙන් 95 දෙනෙක්‌ මැතිවරණ කොට්‌ඨාශවලින් ද, 6 දෙනෙක්‌ ආණ්‌ඩුකාරතුමා විසින් ද පත් කිරීමට නියමිත විය.

ඡන්ද ප්‍රතිඵල

පළමු කැබිනට් මණ්ඩලය (Daily FT)

ප්‍රතිඵල අනුව වැඩි ම ආසන ප්‍රමාණයක් දිනා ගන්නේ ඩි. එස්. සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය යි. පළමු මහා මැතිවරණයෙන් ආසන 42ක ප්‍රමාණයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වෙන නමුත්, එම ප්‍රමාණය ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑ. මේ හේතුවෙන් ඔවුන් ආසන 7ක් දිනා සිටි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග එකතුව නව ආණ්ඩුව ගොඩනඟනවා.

ඡන්ද ප්‍රතිඵල අනුව පක්ෂ අතරින් දෙවැනියට වැඩි ම ආසන ප්‍රමාණයක් එනම්, ආසන 10  දිනා සිටි ලංකා සම සමාජ පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වෙනවා.

ප්‍රතිඵල අනුව ආසන 6ක් දිනා ගන්නා ලංකා ඉන්දියානු කොංග්‍රසය හතරවන ස්ථානටත්, ආසන පහක් දිනාගන්නා බොල්ෂෙවික් ලෙනින් පක්ෂය පස්වන ස්ථානටයත් (බොල්ෂෙවික් සමසමාජ පක්ෂය), ආසන තුනක් දිනාගන්නා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හයවන ස්ථානයටත්, හා එක් ආසනයක් දිනාගන්නා ලංකා කම්කරු පක්ෂය හත්වන ස්ථානයටත් පත්වෙනවා.

සේනානායකගේ කැබිනට් මණ්ඩලය

ඩි. එස්. ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා – එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක (Daily News)

18 දෙනෙකුගෙන් සමන්විත පළමු කැබිනට් මණ්ඩලය අගමැති සේනානායක විසින් පත් කරන අතර, එහි ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ ව ඇමතිවරයා ලෙස කටයුතු කරන්නෙත් ඔහු ම යි.

පසු ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මෙම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දෙනවා.

ජේ. ආර්. ජයවර්ධන මුදල් ඇමතිවරයා ලෙසත්, ජෝන් කොතලාවල ප්‍රවාහන ඇමතිවරයා ලෙසත්, ටි. බි. ජයා කම්කරු ඇමතිවරයා ලෙස, හා ඩඩ්ලි සේනානායක කෘෂිකාර්මික ඇමතිවරයා ලෙසත් කටයුතු කරනවා.

1952 මාර්තු මාසයේ දී ඩි. එස්. සේනානායක අසු පිටින් වැටි මියගිය පසු ව ඔහුගේ පුත් ඩඩ්ලි අගමැතිවරයා බවට පත්ව, මෙම කැබිනට් මණ්ඩලය වෙනස් කරන තුරු ඩි. එස්. සේනානායකගේ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.

 

කවරයේ පින්තූරය: Wikipedia

මූලාශ්‍රයයන්:

divaina.com

dinamina.lk

parliament.lk

slelections.gov.lk

Related Articles