Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජාසන කතාව පැරදී මාසයකට සීමා වූ ඩඩ්ලිගේ ආණ්ඩුව

1960 වසරේ මාර්තු 19 වෙනි දා පැවති මහා මැතිවරණයෙන් බහුතර බලය ලබා ගැනීමට එවකට පැවති ප්‍රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබෙන්නේ නෑ.

නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක විසින් විපක්ෂයේ හා අනෙකුත් කුඩා කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමේ දී ආණ්ඩුකාරවරයා විසින් පවත්වන රාජාසන කතාවේ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇතැ යි යන බලාපොරොත්තුව මත ආණ්ඩුවක් පිහිටුවනවා.

නමුත් ආණ්ඩුවට පක්ෂව හිමිවෙන ඡන්ද ප්‍රමාණයට වඩා විපක්ෂ ඡන්ද ප්‍රමාණය වැඩි වූ බැවින් පාර්ලිමේන්තුව විසුරවා නැවතත්, මහා මැතිවරණයකට යාමට ඩඩ්ලි සේනානායකට සිදුවෙනවා.

මාසයක් තරම් අඩු කාලයක් පැවති 1960 “ඩඩ්ලි පාර්ලිමේන්තුව” පිළිබඳව යි අද ලිපිය.

වෙනසක් සිදු වූ 1960 පාර්ලිමේන්තු මැතිවරණය

ඩඩ්ලි – දකුණු කෙළවරේ (The Senanayakes)

වෙනදා දින ගණනාවක් පැවැත්වෙන මහා මැතිවරණය මෙවර එක් දිනකට රැගෙන ඒම, මෙම මහා මැතිවරණයේ දකින්න ලැබුණු ප්‍රධාන ලක්ෂණය විය. සෑම දේශපාලන පක්ෂයකට ම පිළිගත් ඡන්ද ලකුණක් ලබා දීම ද මෙහි දී සිදුවෙනවා.

මහා මැතිවරණය සඳහා පක්ෂ 23ක් පමණ සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය- අත, එක්‌සත් ජාතික පක්‍ෂය- අලියා, ලංකා සමසමාජ පක්‍ෂය- යතුර, පෙඩරල් පක්‍ෂය- ගෙය, ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය- තරුව, මහජන එක්‌සත් පෙරමුණ- රෝදය, ලංකා සමාජවාදී පක්‍ෂය- මේසය, හා මුස්‌ලිම් ජනරජ පක්‍ෂය- හැලිය යන ඡන්ද සලකුණු භාවිතා කරනවා.

මීට අමතර ව, රජයේ සේවකයන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමිවෙනවා. තම පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශයන් ගුවන් විදුලිය ඔස්සේ කතාවක් මාර්ගයෙන් විකාශය කරවා ගැනීමට සියලුම පක්ෂවල නායකයන්ට අවස්ථාව ලබා දෙනවා.

කිසිදු පක්ෂයකට බහුතරය ලබා ගැනීමට නොහැකි වූ මහා මැතිවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (Lanka ABC News)

1960 වසරේ මාර්තු මාසයේ 19 වන දා පැවති මහ මැතිවරණයෙන් පසු ව එක්සත් ජාතික පක්ෂයට 29.89%ක ඡන්ද ප්‍රමාණයක් හිමි වන අතර, පාර්ලිමේන්තු ආසන 50ක් දිනා ගැනීමට සමත් වෙනවා. සි. පි. ද සිල්වාගේ නායකත්වයෙන් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46ක් දිනා ගන්නවා. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ආසන 15ක්, ලංකා සම සාමාජ පක්ෂය ආසන 10ක්, මහජන එක්සත් පෙරමුණ ආසන 10ක් ප්‍රධාන වශයෙන් හිමිකර ගන්නා අතර, අනෙක් සුළු පක්ෂ කිහිපයක් විසින් පාර්ලිමේන්තුවේ ඉතිරි ආසන කිහිපය දිනා ගන්නවා.

ඩඩ්ලි විසින් ආණ්ඩුවක් පිහිටුවයි

මුදල් ඇමතිවරයා ලෙස පත් වූ ජේ. ආර් (Famous People)

මැතිවරණයෙන් බහුතර ආසන ගණනාවක් දිනා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාව නොලැබූණු අතර, තනි පක්ෂයක් ලෙස වැඩි ම ආසන ප්‍රමාණයක් ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන ඩඩ්ලි සේනානායක ලංකාණ්ඩුවේ අගමැතිවරයා ලෙස දෙවන වරටත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිව්රුම් දෙනවා. ඒ 1960 වසරේ මාර්තු 21 වන දා යි.

ඩඩ්ලි විසින් ලංකාවේ හයවන කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත්කරන අතර, ඒ සඳහා අමාත්‍යවරුන් 8 දෙනෙක් නම් කරනවා. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වෙන අතර, බර්නාඩ් අලුවිහාරේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසත්, ජේ. ආර්. ජයවර්ධන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත්වෙනවා.

ලංකාවේ හතරවන පාර්ලිමේන්තුව රැස් වේ

මාර්තු 19 වන දා පැවති ඡන්දයෙන් පසු ව ප්‍රථම පාර්ලිමේන්තුව අප්‍රේල් 6 වන දා රැස් වනවා. ආණ්ඩු පක්ෂයෙන් කතානායක තනතුරට ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජයට පත්වෙන අතර, ලංකා ඉතිහාසයේ පළමුවරට විපක්ෂය නියෝජනය කරමින් කථානායකවරයෙක් පත්වෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි. බි. සුබසිංහ යි.

රාජාසන කතාව පරාජයට පත් වීම

එවකට රාජ්‍ය ලාංජනය (Wikipedia)

මේ වන විට ලංකාව පූර්ණ නිදහස ලබා නොසිටි අතර, දිනා සිටියේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් පමණ යි. ඒ අනුව ලංකාව තව දුරටත් බ්‍රිතානයේ කිරීටයේ යම් යම් කොන්දේසීවලට යටත් ව කටයුතු කළ යුතු විය.

එංගලන්ත පාර්ලිමේන්තුවෙන් පැවතගෙන එන රාජාසන කතාව ඒ ආකාරයෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ද සිදුකළ යුතු වුණා. පාර්ලිමේන්තුව රැස් වූ පළමු දවසේ ම ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඇතුළත් රාජාසන කතාව එවකට ආණ්ඩුකාරවරයා වූ ඔලිවර් ගුණතිලක විසින් ඉදිරිපත් කරනවා.

අප්‍රේල් මාසයේ 19 වන දින ආණ්ඩු පක්ෂයේ රාජාසන කතාව පිළිබඳ ව විවාදය ආරම්භ වූ අතර, ඒ සඳහා ආණ්‌ඩු පක්‍ෂයට පැය 12ක් ද, විරුද්ධ පක්‍ෂයට පැය 17කට මඳක් වැඩි කාලයක් ද ලබා දෙනවා.

ඊළඟ මැතිවරණය ජයගත් සිරිමාවෝ බණ්ඩාරනායක (Famous People)

විවාදය අවසන් වී රාජාසන කතාව පිළිබඳ ව ඡන්ද විමසීම ආරම්භ වෙන්නේ අප්‍රේල් 22 වන දා යි. මෙහිදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට ඩඩ්ලි විසින් බලාපොරොත්තු තබාගෙන සිටියත් එය සාර්ථක වන්නේ නෑ. ඩඩ්ලිගේ ආණ්ඩුවට සහාය ලැබෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ගෙන් පමණ යි. තව ද, මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීන් කිහිපදෙනෙකු ද විපක්ෂය සඳහා සහාය ලබා දීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වෙනවා.

ඡන්ද විමසීම අවසානයේ විපක්ෂයට පක්ෂව ඡන්ද 86ක් ද, ආණ්ඩුවට පක්ෂව ඡන්ද 61ක් ද ලැබෙනවා. ඒ අනුව විපක්ෂය විසින් ගෙන ආ යෝජනාව සම්මත වී රාජාසන කතාව පරාජයට පත් වෙනවා.

ඒ අනුව 1960 වසරේ මාර්තු 19 වන දා පැවති ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුව 1960 අප්‍රේල් 22 වන දා විසුරුවා හැරීමට සිදුවෙන අතර, රාජාසන කතාවක් පරාජය කර ගෙදර යැවූ එකම අගමැතිවරයා හා ඔහුගේ පක්ෂය ලෙස ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ලංකා ඉතිහාසය තුළ ලියවෙනවා.

ඉන්පසු ව පාර්ලිමේන්තුව එම වසරේ ජූලි මාසයේ දී පැවැත්වෙන අතර, එහි දී ජයග්‍රහණය හිමිවෙන්නේ පාර්ලිමේන්තු ආසන 75ක් හිමි කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. ඒ යටතේ ඇය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙනවා.

 

කවරයේ පින්තූරය: Daily News

මූලාශ්‍රයයන්:

deshaya.lk

resa.lk

dailymirror.lk

Related Articles