Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළමයින්ගේ කුරුස යුද්ධය​

කුරුස යුද්ධ යනු 11 වන ශතවර්ශ වල සිට 13 වන ශතවර්ශය දක්වා කාලය තුළ කතෝලික රාජ්‍යයන් විසින් මූලික වශයෙන් ඉස්ලාම් ලබ්ධිකයන්ට, සහ ඇතැම් විට වෙනත් ක්‍රිස්තියානු ආගමිකයන්ට එරෙහිව කරන ලද යුද්ධ ගණනාවක් හඳුන්වන තනි නමයි. සාමාන්‍යයෙන් කුරුස යුද්ධයක් ඇරඹුණේ එම සමයෙහි ජීවත් වූ පාප් වහන්සේගේ අනුමැතිය සහ අනුබලය සහිතව යි. මේ ආකාරයේ ප්‍රසිද්ධ කුරුස යුද්ධවලට පළමු කුරුස යුද්ධය​, දෙවන කුරුස යුද්ධය ආදී වශයෙන් නම් තබා තිබෙනවා.

කෙසේ නමුත් මේ කාලය තුළ කතෝලික රටවල කුරුස යුද්ධ අරමුණු කරගත් වෙනත් ආගමික ව්‍යාපාර ද මතුවී තිබෙනවා. මේවාට ඇතැම් විට නිල වශයෙන් පාප් වහන්සේගේ අනුමැතිය නොලැබුණත් ඒවායේ ආගමික පසුබිම හේතුවෙන් ඒවාට “කුරුස යුද්ධ” යයි සාමාන්‍ය ව්‍යවහාරයේ දී කියැවෙනවා. ළමයින්ගේ කුරුස යුද්ධයත් එවැන්නක්.

ක්‍රිස්තුස් වහන්සේ ලියූ ලිපියක්?

1212 වසරේ මැයි මාසයේ දී සෙන්ට් ඩෙනිස් නගරයේ දී එවකට ප්‍රංශයේ රජු වූ II වන ෆිලිප් රජු හමුවීමට ගැටවරයකු පැමිණියා. ඔහුගේ නම ස්ටීවන් බවත් ඔහු වයස අවුරුදු 12 ක පමණ එඬේර කොලුවකු වූ බවත් කියැවෙනවා. ඔහුගේ අත ලිපියක් වූ අතර එමගින් කුරුස යුද්ධයක් සඳහා ජනතාව පෙළ ගස්වන ලෙස කියැවුණු බවත් පසුකාලීන වාර්තාවල​ සඳහන් වනවා. ස්ටීවන් විසින් ෆිලිප් රජුට පවසා ඇත්තේ තමන් සතුන් බලා ගන්නා අතර වාරයේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණ එම ලිපිය තමන්ට ලබා දී කුරුස යුද්ධයක් පිළිබඳ පණිවිඩය ජනතාවට ලබා දෙන ලෙස පැවසූ බවයි.

කෙසේ නමුත් රජතුමා මෙම කතාව පිළිබඳව පැහැදී නැහැ. ඔහු ස්ටීවන්ට පවසා ඇත්තේ සිය නිවෙස බලා යන ලෙසයි. ස්ටීවන් මෙම අවවාදය පිළි නොගත් අතර ඒ වෙනුවට නගරයෙන් නගරයට ගමන් කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය පිළිබඳව පැවසූ බව සඳහන් වනවා. ඔහුගේ පණිවිඩය කෙරෙහි බොහෝ කොටම අවධානය යොමු කර ඇත්තේ ගැටවර වයසේ වූ පිරිමි ළමයින් විසින්. ඇතැම් වාර්තා අනුව ගැහැණු ළමයින් සහ වැඩිහිටියන් ද ටික දෙනෙකු මෙම ව්‍යාපාරය හා එක්වූ බව සඳහන් වන අතර, ඇතැම් ප්‍රාදේශීය පූජකයන් ද සිය ආශීර්වාදය ඒ වෙත ලබා දුන් බව සඳහන් වනවා.

ළමයින්ගේ කුරුස යුද්ධය (Wikimedia Commons)

මෙකල දකුණු දිග ප්‍රංශයේ කතාර්වරුන්ට එරෙහි ඇල්බිග්නේසියන් කුරුස යුද්ධය ක්‍රියාත්මක වෙමින් පැවතුණා. මේ හේතුවෙන් ප්‍රංශයේ ආගමික යුධ ව්‍යාපාර කෙරෙහි විශාල අවධානයක් යොමු වීම ස්වාභාවිකයි. ස්ටීවන් බලාපොරොත්තු වූයේ ශුද්ධ වූ භූමිය​, එනම් ජෙරුසලම, ඉස්ලාම් ලබ්ධිකයන්ගෙන් මුදවා ගෙන ඔවුන් අතට පත් වූ සත්‍ය කුරුසය ද තම අතට ගැනීමයි.

මුහුද දෙබෑ කරමින් ශුද්ධ වූ භූමියට

පුරාවෘත්තවල සඳහන් අන්දමට ස්ටීවන් සහ ඔහු හා එක්වූ ළමයින් ජූනි මාසයේදී මධ්‍යම ප්‍රංශයේ වෙන්ඩෝම් වෙත පැමිණ එතැන් පටන් දකුණු දිග ප්‍රංශයේ මාර්සේයි වෙත පැමිණ තිබෙනවා. අසුන් විසින් ඇදගෙන ගිය ගොවි කරත්තයක නැගුණ ස්ටීවන් පිටුපස ඔහුගේ අනුගාමිකයන් වෙන්ඩෝම් සිට මාර්සේයි වෙත පාගමනින් පැමිණි බව සඳහන් වනවා. ඔවුන් ආහාර පාන​, ඉඳුම් හිටුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර නැහැ. ස්ටීවන් ඔවුනට පවසා ඇත්තේ තමාට ක්‍රිස්තුස් වහන්සේගේ ආශීර්වාදය ඇති බැවින් සියල්ල දේව අනුහසින් සැපයෙනු ඇති බවයි. එමෙන්ම මාර්සේයි වෙත පැමිණි කල​, බයිබලයේ සඳහන් මෝසස්ගේ කතා පුවත මෙන්, මුහුද දෙබෑ කරමින් ශුද්ධ වූ භූමිය වෙත මාර්ගය විවර වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ළමයින්ගේ කුරුස යුද්ධය – ගුස්ටාව් ඩෝර් විසින් අඳින ලද්දක් (Wikimedia Commons)

මේ අතර ඇතැම් පුරාවෘත්තවලට අනුව මෙවැනිම වූ කුරුස යුද්ධයක් පිළිබඳව නිකොලස් නම් වූ ගැටවරයකු ජර්මනියේ රයින් නදී නිම්නයේ ප්‍රදේශවල දී ප්‍රකාශ කර තිබෙනවා. ඔහුද රයින් නදිය දිගේ ඉහළට එමින් ජනතාව තමා වටා එකතු කරගත් බව සඳහන්. අදාල කතා පුවත් අනුව මෙම පිරිස ද බොහෝ කොටම ගැටවර වයසේ වූ ළමුන්ගෙන් සුසැදි කණ්ඩායමක් වනවා. ස්ටීවන් මාර්සේයි වෙත ළඟා වද්දී නිකොලස් ඉතාලියේ ජිනෝවා නගරය වෙත පැමිණ තිබෙනවා. නිකොලස්ගේ අනුගාමිකයන් ජිනෝවා වෙත පැමිණියේ ඇල්ප්ස් කඳු තරණය කරමින් දුෂ්කර මගක් ගෙවාගෙනයි. එහෙයින් එම පිරිසෙන් සැළකිය යුතු පිරිසක් අතරමගදී මියගොස් තිබෙනවා.

ප්‍රාතිහාර්යය නොවූ තැන​

කෙසේ නමුත් මාර්සේයි වලදී හෝ ජිනෝවා වලදී මුහුද දෙබෑ වීමේ ප්‍රාතිහාර්යය සිදු වූයේ නැහැ. දින ගණනක් මෙම ප්‍රාතිහාර්යය වේ යයි බලාපොරොත්තුවෙන් සිටි ස්ටීවන්ගේ සහ නිකොලස්ගේ අනුගාමිකයන්, එය සිදු නොවූ තැන​, ආපසු හැරී ගොස් තිබෙනවා.

පුරාවෘත්ත අනුව ස්ටීවන් සමඟ රැඳුණ සුලු පිරිස වෙත නොමිලේ ගමනාගමන පහසුකම් සැළසීම සඳහා මාර්සේයි හි වෙළෙන්ඳන් ඉදිරිපත් වුණා. මේ අනුව ඔවුන් මාර්සේයි නගරයෙන් නැව් නැග තිබෙනවා.

කෙසේ නමුත්, ඇතැම් ලේඛකයන්ට අනුව පසු කලෙක වාර්තා වී ඇත්තේ, මෙම වෙළෙන්ඳන් විසින් එම ළමුන් ශුද්ධ භූමියට ගෙන යනු වෙනුවට ඇල්ජීරියාවේ වහල් වෙළෙඳපොලවල් වෙත විකුණා ඇති බවයි.

නිකොලස්ගේ අනුගාමිකයන් ඊට වඩා වාසනාවන්ත වූ බව ඓතිහාසික වාර්තා කියා සිටිනවා. ඔවුන් රෝමයට ගොස් පාප්වහන්සේ මුණ ගැසී ඇති අතර​, ඔහු ඔවුනට පවසා ඇත්තේ ආපසු නිවෙස් බලා යන ලෙසයි. ඇතැම් විට​, වැඩුණු මිනිසුන් ලෙස පසු කලෙක කුරුස යුද්ධයක් සඳහා ඔවුනට සහභාගී විය හැකි වනු ඇතැයි පාප්වහන්සේ පවසා ඇති බව සඳහන් වනවා. මේ අනුව එම ළමුන් ආපසු නිවෙස් බලා යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඇතැම් මෑත කාලීන ලේඛකයන් විසින් මෙම සිද්ධීන් මේ ආකාරයෙන්ම සිදු වීද යන්න පිළිබඳ ප්‍රශ්න කර සිටිනවා. නමුත් පැරණි වාර්තා පදනම් කරගත්, ළමයින්ගේ කුරුස යුද්ධය පිළිබඳ කතා පුවත, කුරුස යුද්ධ සමය පිළිබඳ පුරාවෘත්තයක් වී අවසන්. බ්‍රිටැනිකා විශ්වා කෝෂය සඳහන් කරන අන්දමට මෙය යුරෝපයේ පළමු තරුණ ව්‍යාපාරය ලෙස වුවද හැඳින්විය හැකියි.

Cover Image: Getty Images

Related Articles