චීනයේ ක්‍රිස්තියානි රාජ්‍යයක් නිර්මාණය කළ ටයිපිං කැරැල්ල

චිං රාජවංශය යටතේ පාලනය වූ චීනය පළමු අබිං යුද්ධයේ දී බ්‍රිතාන්‍යයන් අතින් පරාජය වූ අයුරු අපි මීට පෙර ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇති. පළමු අබිං යුද්ධයේ ප්‍රතිඵලයක් වුණේ මෙතෙක් ප්‍රබල අධිරාජ්‍යයක් ලෙස සලකන ලද චිං අධිරාජ්‍යය ඇත්තෙන්ම යුධ ශක්තිය අතින් බටහිර රටවලට වඩා බෙහෙවින් පසුපසින් සිටින බව පෙනී යාම යි. මේ සමගම චිං අධිරාජ්‍යයට එරෙහි කණ්ඩායම් වඩා දිරිමත් වනු දකින්නට ලැබුණා.

1850 වෙද්දී මෙවන් එක් කණ්ඩායමක් රජයට එරෙහිව කැරැලි ගැසුවා. ඒ ක්‍රිස්තියානි කණ්ඩායමක් වූ “දෙවියන්වහන්සේ වන්දනාමාන කරන්නන්ගේ සමාජය​” නම් ආගමික සංවිධානය යි. ඔවුන් විසින් ඇති කරන ලද කැරැල්ල වසර 14 පුරා පැවති අතර ලෝක ඉතිහාසයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් අහිමි වූ සිවිල් යුද්ධය ලෙස ද සැලකෙනවා. මෙම සිවිල් යුද්ධය හඳුන්වනු ලබන්නේ ටයිපිං කැරැල්ල යනුවෙන්.

හොංග් ෂියුචුවාන්

ටයිපිං කැරැල්ලට නායකත්වය දෙන ලද්දේ හොංග් ෂියුචුවාන් නමැත්තෙක්. හක්කා ජාතිකයෙකු වූ ඔහු දකුණු චීනයේ ග්වන්ජෝ පළාතේ දුගී පවුලක උපත ලද්දේ 1814 ජනවාරි 1 වන දා බව යි කියවෙන්නේ. කුඩා කාලයේ අධ්‍යාපනයට දස්කම් පෙන්වූ හෙයින් ඔහුගේ පවුලේ අය හොංග්ට ඉගැන්වීමට ක්‍රියා කළා. මෙකල චීනයේ තිබූ එක් සාධනීය ලක්ෂණයක් වූයේ එහි සිවිල් සේවය සඳහා විභාගයකින් නිලධාරීන් තෝරාගැනීම යි. ඒ අනුව ඉගෙන ගැනීමට වාසනාව ලදොත් දුගී පවුලක අයෙකුට වුව ද සිවිල් සේවයට ඇතුළත්ව සමාජයේ වැදගත් ස්ථාවරයකට පැමිණීමේ අවස්ථාව තිබුණා. හොංග්ගේ පවුලේ අය බලාපොරොත්තු වූයේ ද ඔහු එම විභාගය සඳහා මුහුණ දී සාර්ථක වේ යනුවෙන්.

හොංග් 1860 දී පමණ​ (Public Domain)

හොංග්, ග්වන්ජෝ හෙවත් කැන්ටන් නගරයට ගියේ එම විභාගයට මුහුණ දෙන අටියෙන්. නමුත් කිහිපවරක්ම උත්සාහ කළත් ඔහුට එම විභාගය සමත් වීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙසේ 1836 දී ඔහු ග්වන්ජෝ වෙත පැමිණි විට​ ඔහුට ඇමෙරිකානු මිෂනාරිවරයෙකු වූ එඩ්වින් ස්ටීවන්ස් මුණ ගැසුණා. ස්ටීවන්ස් ඔහුට බයිබලයේ වැකි කිහිපයක් සහ වෙනත් අදහස් අඩංගු අත්පත්‍රිකා කිහිපයක් ලබා දුන්නා. හොංග් ඒවාට විශාල අවධානයක් යොමු නොකළ බව යි විශ්වාස කෙරෙන්නේ. නැවත විභාගය අසාර්ථක වූ හොංග් සිය උපන් ගම කරා ගොස් ගොවිතැනෙහි නිරත වුණා.

1837 දී ද ඔහු යළිත් වරක් විභාගය අසමත් වුණා. මෙවර ඔහු අසමත් වුණේ තුන්වන​ වරට යි. මෙවර යළි ගමට ගිය ඔහු සිය බලාපොරොත්තු කඩ වීම සහ ඇතැම් විට වෙනත් සාධක මත දරුණු ලෙස රෝගාතුර වුණා. මෙසේ අසනීප තත්ත්වයෙන් සිටිය දී තමා දෙව්ලොව කරා ගමන් කළ ලෙසින් දර්ශනය වූ බව හොංග් විශ්වාස කළා. ඒ අනුව ඔහු දිව්‍යමය පවුලකට අයත් වග හොංග් විශ්වාස කිරීමට වුණා. මේ අතර ඔහු ගුරුවරයෙකු ලෙස රැකියාවක් සොයාගත්තා.

1843 දී හොංග් සිව්වන වරට ද අධිරාජ්‍යයීය සිවිල් සේවා විභාගය අසමත් වුණා. මේ අවස්ථාවේ බලාපොරොත්තු කඩ වූ ඔහු ක්‍රිස්තියානි දහම පිළිබඳ හදාරන්නට වුණා. ස්ටීවන්ගෙන් ලැබුණ පත්‍රිකා ද කියවූ ඔහු කෙමෙන් විශ්වාස කිරීමට වූයේ තමා අයිති දිව්‍යමය පවුල සත්‍ය වශයෙන්ම දෙවියන්වහන්සේගේ පවුල බවත්, තමා දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු වන බවයි. මේ අනුව තමා ජේසුස් වහන්සේගේ සහෝදරයෙකු බව හොංග් විශ්වාස කළා. ඔහුට තම නෑදෑ හිතමිතුරන් පිරිසක් එකතු කරගැනීමට හැකි වුණා. මෙම නෑදෑයින් අතර ෆෙන්ග් යුන්‍ෂාන් සහ හොංග් රෙන්ගන් නම් ඥාති සොයුරෙකු ද වුණා.

හොංග්ගේ අනුගාමිකයන් ප්‍රදේශයේ කොන්ෆියුසියානු පිළිම බිඳ දමන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ ඔවුන්ව ප්‍රදේශයෙන් එළවා දැමීම යි. හොංග් සහ අනුගාමිකයන් මේ අනුව ගුවන්‍ෂී පළාතට ළඟා වුණා. 1844 දී ඔහු සහ හොංග් රෙන්ගන් යළි සිය ගම් පළාතට පැමිණියා. හොංග් ෂියුචුවාන් එහි දී යළිත් සිය රැකියාව පටන් ගත්තා.

1847 දී හොංග් සහ ඔහුගේ ඥාති සොයුරා ග්වන්ජෝ නගරය කරා ගොස් ඉසාකාර් ජේකොක්ස් රොබර්ට්ස් නම් වූ මිෂනාරිවරයෙකු යටතේ ක්‍රිස්තියානි දහම වැඩිදුර ඉගෙනගත්තා. ​ඔහු එහි දී බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සහ නව තෙස්තමේන්තුවේ කාර්ල් ගුට්ස්ලාෆ් විසින් කළ පරිවර්තන අධ්‍යයනය කළා.

ටයිපිං කැරැල්ල 1854 දී පැතිර තිබූ ප්‍රදේශය​ (තද රතු පාටින්). මෙම කැරැල්ල ඇරඹියේ රතු සහ කහ සිරස් ඉරිවලින් දැක්වෙන​ දකුණුදිග ගුවන්‍ෂි ප්‍රාන්තයෙන් (Wikimedia Commons)

එම වසරේ දී ම හොංග් සහ ෆෙන්ග් යළි හමුවුණා. ෆෙන්ග් ඒ වනවිට “දෙවියන් වහන්සේ වන්දනාමාන කරන්නන්ගේ සංගමය​” පිහිටුවාගෙන තිබුණා. මේ අතර හොංග් බයිබලයේ තම පරිවර්තනයක් පිළියෙල කිරීමට පටන් ගත්තා. එය ඔහු විසින් හඳුන්වන ලද්දේ ශ්‍රේෂ්ඨ වූ සාමයේ බයිබලය නොහොත් ටයිපිං බයිබලය යනුවෙන්. මේ අතර හොංග්ගේ බලපෑම වැඩි වන්නට වූ අතර ග්වන් ජෝ හි මිෂනාරීන් ඒ පිළිබඳ නොසතුටින් පසු වුණා. මෙහි ප්‍රතිඵලයක් විදියට හොංග් යළිත් ගුවන්‍ෂි කරා ගමන් කළා.

මෙකල ගුවන්‍ෂි පළාතේ මං පහරන්නන් බහුලව සිටියා. පුදුමයකට මෙන් මෙම පිරිස් ද කෙමෙන් කෙමෙන් දෙවියන්වහන්සේ වන්දනාමාන කරන්නන්ගේ සංගමය වටා එක් වුණා. එම සංවිධානය 1850 වන විට 30,000ක් පමණ සාමාජිකයන්ගෙන් යුතු ශක්තිමත් සංවිධානයක් වූ බව කියනු ලබනවා. මේ අවස්ථාවේ ෆෙන්ග් වැනි ඇතැම් නායකයින් චිං අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම පිළිබඳ අදහස් දක්වන්නට වුණා.

කැරැල්ල ඇරඹේ

1850 දෙසැම්බරයේ දී ගුවන්‍ෂි හි චිං අධිරාජ්‍යයීය ප්‍රාදේශීය නිලධාරීන් මෙම සංවිධානය මර්දනය කිරීමට ප්‍රාදේශීය හමුදාවක් එවූ නමුත්, එම හමුදා පරාජයට පත් වුණේ ප්‍රාදේශීය නිලධාරීන් පුදුම කරවමින්.

1851 ජනවාරියේ දී චිං අධිරාජ්‍යයීය හමුදා සේනාංකයක් හොංග්ගේ අනුගාමිකයන් මර්දනය කිරීමට එවනු ලැබුණා. නමුත් දෙවියන්වහන්සේ වන්දනාමාන කරන්නන්ගේ සංගමය හමුවේ ඔවුන් ද පරාජය වුණා. මේ අතර ජනවාරි 11 වන දා හොංග් “ටයිපිං දිව්‍යමය රාජධානිය​” නම් වූ රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. මෙහි දිව්‍යමය රජු ලෙස හොංග් තමාවම පත්කර ගත්තා. ඔහුගේ යටතේ සුළු රජවරුන් ලෙස කිහිපදෙනෙකු පත් වුණා. ඔවුන් දකුණුදිග රජු, උතුරුදිග රජු, පෙරදිග රජු ආදී ලෙස හඳුන්වනු ලැබුණා. ෆෙන්ග්, දකුණුදිග රජු ලෙස පත් කරනු ලැබුණා.

ටයිපිං දිව්‍යමය රාජධානියේ නිල මුද්‍රාව​ (Public Domain)

1852 මැයි මාසයේ දී ෆෙන්ග් යුන්‍ෂාන් ක්වන්ජෝ නගරය අසල දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවා. මෙයින් කිපිණු ටයිපිං හමුදා එම නගරය වටලා, එය යටත් කරගෙන​, එහි වූ සියල්ලන් මරා දැමුවා. ෆෙන්ග් ජූනි මාසයේ දී සිය තුවාල හේතුවෙන් මිය ගියා.

නැන්ජිං අල්ලා ගැනීම​

ටයිපිං දිව්‍යමය රාජ්‍යය දිනෙන් දින ශක්තිමත් වෙද්දී එහි නායකයින් තවත් හමුදා මෙහෙයුම් සූදානම් කළා. පෙරදිග රජු යෑංග් ෂියුචිං, උතුරුදිග රජු වෙන් චන්හුයි සහ චින්ග් රිගංග් ආදීන් තීරණය කළේ වූහාන් සහ නැන්ජිං (නැන්කිං) නගර අල්ලා ගැනීමට යි. මෙම නගර 1853 මාර්තු මාසයේ දී අල්ලා ගනු ලැබුණේ 500,000ක් තරම් විශාල​ ටයිපිං හමුදාවක් විසින්. නැන්ජිං යනු දකුණුදිග චීනයේ වැදගත්ම නගරය වූ අතර හොංග් විසින් එහි නම ටියැන්ජිං (දිව්‍යමය අගනුවර​) ලෙස වෙනස් කොට සිය අගනුවර ලෙස එම නගරය ප්‍රකාශයට පත් කළා.

නැන්ජිං නගරයේ දී අල්ලාගන්නා ලද මැංචුවරුන් සියලු දෙනා ඝාතනය කරන ලද අතර උසස් මැන්ඩරින් නිලධාරීන් ඝාතනය හෝ පිටුවහල් කිරීම සිදුකරනු ලැබුණා. චිං රජ පවුල මැංචුවරුන් වූ අතර ඔවුන් කෙරේ චීන ජනතාව අතරේ විශාල පැහැදීමක් වූයේ නැහැ. ටයිපිං කැරලිකරුවන් මැංචුවරුන්ට දැඩි සේ වෛර කළ බව නැන්ජිං සිද්ධියෙන් ද පෙනෙන්නට තිබුණා.

නැන්ජිං අල්ලාගන්නා ලද පසු හොංග් ෂියුචුවාන් පොදු ජනතාවගෙන් ඈත් වූ ජීවිතයක් ගත කරන්නට වුණා. ඔහු සිය හමුදාවන්ට ද අණ දෙන ලද්දේ ලිඛිතව යි. මේ අතර සිය මාළිගයේ විශාල අන්තඃපුරයක් ද සහිතව ඔහු දිවි ගෙවන්නට වුණා.

ටයිපිං දිව්‍යමය රජුගේ සිහසුන (Wikimedia Commons)

පෞද්ගලිකව විශාල අන්තඃපුරයක් පවත්වාගෙන ගිය ද​, හොංග් විසින් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණයන් කාන්තාවන්ට විශාල සේවයක් කළා. කාන්තාවන් සහ පිරිමින් සමාන ලෙස සැලකීම හේතුවෙන් ටයිපිං ප්‍රදේශයන්හි බිළිඳියන් මරා දැමීම අඩු වුණා. කකුල් බැඳීමේ චාරිත්‍රය ද තහනම් කෙරුණ අතර කාන්තාවන්ට හමුදා සේවය පවා විවෘත වුණා. ටයිපිං කාන්තා හමුදාවල නායිකාව වූයේ හොංග් ෂියුචුවාන්ගේ සොයුරිය වූ හොංග් ෂුවජිආඕ. ඇය උතුරුදිග රජු වූ වෙන් චන්හුයිගේ බිරිඳ වුණා.

මේ අතර ටයිපිං හමුදා විසින් කරන ලද මෙහෙයුම් එතරම්ම සාර්ථක වූයේ නැහැ. තව ද එහි අනෙකුත් ප්‍රධානීන් අතර ද ගැටුම් ඇති වන්නට වුණා. මෙම ගැටුම් අභ්‍යන්තර සිවිල් යුද්ධයක තරමටම වර්ධනය වීමේ තර්ජනයක් ඇති වූ නමුත්, අවසානයේ දී ෂී ඩෙකායි නම් හමුදා නායකයා අනෙක් ප්‍රධානීන් පරයා නැගී සිටියා.

ප්‍රතිප්‍රහාරය​

ටයිපිං හමුදා සමග ගැටීම සඳහා චිං අධිරාජ්‍යයට ප්‍රමාණවත් හමුදා ශක්තියක් වූයේ නැහැ. එමෙන්ම 1856 සිට 1860 දක්වා කාලය තුළ චිං බලයට ඊට වඩා ප්‍රබල තර්ජනයකට මුහුණ දීමට සිදුව තිබුණා. එනම් දෙවන අබිං යුද්ධය යි.

මේ අනුව චිං අධිරාජ්‍යය කළේ ප්‍රාදේශීය යුධ නායකයන්ට මෙම නව තර්ජනයට මුහුණ දීම සඳහා ඉඩ හැරීම යි. ප්‍රාදේශීය නායකයන් තමන්ට පක්ෂපාත හමුදා රැස් කරන්නට වුණා. මේ අතර ප්‍රධානම යුධ නායකයා වූයේ හුනාන් ප්‍රදේශයේ නායකයකු වූ සෙංග් ගුඔෆන්. සෙංග් විසින් බඳවාගත් සේනාංකය ෂියාන් හමුදාව හෙවත් හුනාන් හමුදාව ලෙස හඳුන්වනු ලැබුණා. සෙංග් දැඩි කොන්ෆියුසියානුවකු වූ අතර බටහිර බලපෑම් පිළිකුල් කළා. කෙතරම් බලයක් පැවතියේ වුව ද සෙංග්, අධිරාජයාට ඉතා පක්ෂපාතී වූ බව ඉතිහාසය පෙන්වා දෙනවා.

රුයිචෞ නගරය යළි අල්ලා ගැනීම (Wu Youru)

1860 දී ටයිපිංවරුන් ෂැංහයි දෙසට ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරය මැඩ පවත්වන ලද නමුත් ඒ සමගම බටහිර රටවල් යුද්ධයට සම්බන්ධ වීමේ ඉඩ තවත් වැඩි වුණා. ෆෙඩ්‍රික් ටවුන්සෙඩ් වෝර්ඩ් යටතේ යුරෝපීය කුලී හේවායන්ගෙන් සමන්විත වූ හමුදාවක් නිර්මාණය වූ අතර පසුව ඊට විශාල ලෙස චීන ජාතිකයන් බඳවා ගනු ලැබුණා. 1862 දී වෝර්ඩ්ගේ මරණින් පසු එහි නායකත්වය චාර්ල්ස් ජෝර්ජ් ගෝර්ඩන් අතට ගියා. මෙම හමුදාව නම් කරන ලද්දේ “සදා විජයග්‍රාහී හමුදාව​” යනුවෙන්.

ෂැංහයි වෙත එල්ල වූ තර්ජනය සහ වෙනත් කරුණු ද මත බටහිර රටවල් චිං අධිරාජ්‍යයට සහාය දීමට ඉදිරිපත් වුණා. මේ අතර විවිධ හමුදා කණ්ඩායම් ටයිපිංවරුන්ට එරෙහිව ප්‍රහාරයන් එල්ල කළා. 1863 දී ෂී ඩෙකායි යටත් වූ පසු මරණ දඬුවමට ලක් කෙරුණා. මීළඟ අවුරුද්ද වන විට ටයිපිං අගනුවර නැන්ජින් (හෙවත් ටියැන්ජින්) වටලනු ලැබුණා.

ටයිපිං අගනුවර වටලෑම​ (Wu Youru)

මෙම සටන ඇදී යන අතර නගරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වුණා. හොංග් තම මන්දිරය අවට වැවී තිබූ ශාක සහ ගෙඩි වර්ග​ ආහාරයට ගනිමින් ජීවත් වුණා. දිනක් ඔහු ආහාර විෂ වීමකට ලක් වූ අතර​ ඉන් දින කිහිපයකට පසු 1864 ජූනි 1 වන දා මරණයට පත් වුණා. ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා වූ හොංග් ටියැන්ගුයිෆු දිව්‍යමය රජු ලෙස කිරුළු පැළඳූ නමුත් සති කිහිපයක දී නගරය වැටෙද්දී ඔහු පළා ගියා. ජූලි මාසය වනවිට ටයිපිං රාජ්‍යය කඩා වැටුණා. හොංග් ටියැන්ගුයිෆු ඔක්තෝබර් අග දී චිං හමුදා විසින් අල්ලාගන්නා ලදුව නොවැම්බරයේ දී මරා දැමුණා.

ටයිපිං කැරැල්ල හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් නොමැතිමුත්, එය මිලියන 20ක් සහ 30ක් අතර ප්‍රමාණයක් වේයැ යි අනුමාන කෙරෙනවා.

Cover Image: ටයිපිං හමුදා (Pinterest)

මූලාශ්‍රයයන්:

Related Articles