චීනයේ පළමු අධිරාජයා චින් ෂී හුවාන්ග් (මෙතැන් පටන් චින් අධිරාජයා ලෙස හැඳින්වේ) ක්‍රි. පූ. 221 දී චීනය එක්සේසත් කළ අයුරු අප කලින් ලිපියක දුටුවා. අවාසනාවකට මෙන් මෙතැනින් පසු ව ඇරඹුණේ ඔහුගේ නරක කාලය යි. ඔහු දිනෙන් දින තම ජීවිතය පිළිබඳ බිය හේතුවෙන් වඩ වඩා තනි වූ අයෙකු බවට පත් වූ බවත්, අමරණීයත්වය සොයා යාමේ දී සිය ජීවිතය ම විනාශ කරගත් බවත් දැනට ඇති ඓතිහාසික සාධක මත විශ්වාස කළ හැකියි.

චීන මහා ප්‍රාකාරය

චීනය එක්සේසත් කළ වහා ම චින් අධිරාජයා ආරම්භ කළ ප්‍රධානම ව්‍යාපෘතිය වුණේ මහා ප්‍රාකාරය ගොඩනැඟීම යි. චීනයේ උතුරුදිග ප්‍රදේශ​, ඊට එපිටින් ජීවත් වූ රණකාමී ගෝත්‍රවල ප්‍රහාරයන්ට නිතර ලක් වුණා. මීට එරෙහි ආරක්ෂක උපායක් ලෙස විවිධ දේශසීමා රාජ්‍යයන් විසින් ප්‍රාකාර ඉදිකර තිබුණා. නමුත් උතුරුදිග සීමාවම යා කෙරෙන නොනැවතුණ බාධකයක් වූයේ නැහැ. චින් අධිරාජයාට අවශ්‍ය වූයේ එවැන්නක්.

ඔහු ඒ වන විට ද පැවති පවුරු සහ බලකොටු ආදිය යා කර​, වඩා සවිමත් කර, දිගු පවුරක් ඉදිකිරීමට කටයුතු කළා. මෙය මීටර දහයක උසින් යුක්ත වූ බව යි සඳහන් වන්නේ.

චීන මහා ප්‍රාකාරය​ (Jakarta Post)

චින් අධිරාජයා මෙහි කටයුතු ආරම්භ කළේ ක්‍රි .පූ. 220 දී. යුද්ධ අවසන් වූ හෙයින් හමුදාවට බඳවා ගන්නා ලද විශාල පිරිසක් ඉන් ඉවත් කෙරුණා. ඒ විශාල පිරිසක් මේ සඳහා යොදාගත හැකි වුණා. එමෙන්ම වහලුන් සහ වෙනත් සිරකරුවන් ද මේ සඳහා යොදා ගත්තා. අව්, වැසි නොතකා දස දහස් ගණන් මිනිසුන් ශ්‍රමය වෙහෙසා මෙම පවුර ගොඩනැඟුවා. එහි දී විශාල පිරිසක් මියගිය අතර, ඔවුනගේ මළ සිරුරු ද පවුරටම යට කළ බව කියවෙනවා.

චින් අධිරාජයා විසින් නිර්මාණය කරවූ මහා ප්‍රාකාරයේ කොටස් වැඩි ප්‍රමාණයක් අද ඒ අයුරින් දකින්නට නැහැ. පසුකාලීන ව එහි ප්‍රාකාර ප්‍රතිසංස්කරණය කිරීම සහ දිගු කිරීම ද සිදු කෙරුණා.

මරණය සඳහා සූදානම් වීම​

චින් අධිරාජයාට මරණය පිළිබඳ බිය ඇති වූයේ අධිරාජයා වීමටත් පෙර සිට යි. විශේෂයෙන් ම ඔහු මුහුණ දුන් කුමන්ත්‍රණ සහ ඝාතන උත්සාහයන් ඊට හේතු වුණා. මළවුන්ගේ ලෝකයේ දී ඔහු විසින් මරා දමන ලද අයගේ ආත්මයන් ඔහු පීඩාවට පත් කරනු ඇත යන සිතුවිල්ල හේතුවෙන් ඔහු තවත් බිය වුණා.

මළවුන්ගේ ලෝකයේ දී තම ආරක්ෂාව උදෙසා සෙබළ හමුදාවක් රැගෙන යා යුතුයැ යි චින් අධිරාජයා තීරණය කළා. මීට පෙර ද චීන පාලකයින් කුඩා පරිමාණයේ ටෙරාකොටා සෙබළුන් සිය සොහොන් ගෙවල්වල තැන්පත් කළා. නමුත් චින් අධිරාජයාට අවශ්‍ය වූයේ සජීවී ප්‍රමාණයටත් වඩා තරමක් විශාල වූ හමුදාවක්.

වර්තමාන ෂියාන් ප්‍රදේශයේ පිහිටි ටෙරාකොටා සෙබළුන් නිර්මාණය වූයේ ඒ අයුරින්. එහි ටෙරාකොටා සෙබළුන් සහ නිලධාරීන් 8000ක් පමණ වන අතර අශ්ව රථ​, අශ්වයින් ආදිය ද වනවා. මෙම සෙබළුන්, අසුන්, සහ අශ්ව රථ ඉතා සූක්ෂම අයුරින් නිර්මාණය කර ඇති අතර, සෙබළුන්ගේ අත් අවි දරා සිටින ආකාරයේ ඉරියව්වලින් යුක්ත වනවා.

ටෙරාකොටා හමුදාවෙන් කොටසක් (National Geographic)

චින් අධිරාජයාගේ සොහොන් ගෙය සහ අවශේෂ ඉදිකිරීම් ඇතුළත් සොහොන් සංකීර්ණය​ පිළිබඳ 1974 වන තුරු ම වූයේ පුරාවෘත සහ සාහිත්‍යමය සාධක පමණයි. එම ඓතිහාසික වාර්තාවල ඔහුගේ සොහොන් සංකීර්ණය පිළිබඳ සඳහන් වුණා. 1974 දී චීන ගොවීන් පිරිසකට ටෙරාකොටා සෙබළුන් හමුවීමත් සමග එම ඓතිහාසික වාර්තා සත්‍යයැ යි විශ්වාසයක් ඇති වුණා.

සොහොන් ගෙය​

ටෙරාකොටා සෙබළුන් පිළිබඳ ඓතිහාසික වංශ කතා සත්‍ය වේ නම් මීළඟට සැක කළ හැකි වූයේ අධිරාජයාගේ සොහොන් ගෙය පිළිබඳ ද පවතින කතා සත්‍යය විය හැකි බව යි. මෙම ඓතිහාසික කරුණු අනුව අධිරාජයාගේ සොහොන රනින් නිමවා තිබුණා. එය මැදි කරගත් විශාල ශාලාවෙහි බිම චීනයේ භූමි සිතියමක් ලෙස සකසා තිබුණා. ගංගාවල් සඳහා යොදාගන්නා ලද්දේ රසදිය යි. චීනයේ විශාල රසදිය නිධි තිබුණ ද, මෙම සොහොන් ගෙය සඳහා යොදාගත් රසදිය ප්‍රමාණය පමණක් නිස්සාරණයට සැලකිය යුතු කාලයක් හා වෙහෙසක් වැය වන්නට ඇති බව කිව හැකියි. මීට අමතර ව එම සොහොන් ගෙයි සිවිලිමෙහි අහසෙහි වන තාරකා සංකේතවත් කිරීමට මැණික් ගල් ඔබ්බවා තිබුණ බවත් සඳහන් වනවා.

සොහොන් ගැබෙහි ඇතුල් කාමරය ප්‍රතිනිර්මාණයක්. මැද කොටසෙහි අධිරාජයාගේ දේශය රඳවා තිබෙන අතර, රසදිය ගංගාවල් දිලිසෙමින් දක්වා ඇත (Peron Rants)

ටෙරාකොටා සෙබළුන් හමු වූ ස්ථානයට ආසන්නයේ පස් කන්දක් යට අධිරාජයාගේ සොහොන වන බව එක්ස් රේ පරීක්ෂණ මඟින් සොයා ගැනුණා. මෙහි කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ, එහි මධ්‍යයේ වූ කුටියක් ආශ්‍රිත ව පස් සාම්පලවල​ විශාල රසදිය සාන්ද්‍රණයක් වන බව යි. රසදිය වාෂ්පය ඉහළ පස් කන්දෙහි තැන්පත් වීමෙන් එය සිදු වී තිබෙන බව සිතිය හැකියි. ඒ අනුව අධිරාජයාගේ සොහොන පිළිබඳ වන විස්තරය සත්‍යයක් ම විය හැකිය යි සිතිය හැකි වනවා.

අමරණීයත්වය සෙවීමෙන් මරණය කරා

මුලින් මරණයට සූදානම් වෙමින් තමන් මළවුන්ගෙන් ආරක්ෂා කිරීමට හමුදාවන් පවා තැන වූ අධිරාජයා පසු ව වෙනත් අතකට සිත යොමු කළා. එනම් අමරණීයත්වය සඳහා ඖෂධයක් සොයාගැනීම යි. දිව්‍යමය වරමින් අධිරාජයා බවට පත් වූ තමාට අමරණීයත්වය ළඟා කරගත හැකිය යි ඔහු විශ්වාස කරන්නට පටන් ගත්තා.

ඔහුගේ වෛද්‍යවරුන් ඔහුට විවිධ ඖෂධ නිර්දේශ කළා. එකක් නම් ලිංගික සංසර්ගය යි. විවිධ කාන්තාවන් සමග වැඩි වැඩියෙන් ලිංගික සංසර්ගයෙහි යෙදීම ජීවිත කාලය වැඩි කරන්නක් බවට විශ්වාසයක් එකල වුණා. ඒ අනුව යි මෙම උපදෙස ලබා දී තිබුණේ.

මේ අතර ම ඔහුගේ රසායනඥයන් අධිරාජයාට රසදිය මිශ්‍ර ගුලි ලබාදීමට වුණා. රසදිය යනු රත්‍රන් දිය කළ හැකි එක ම ද්‍රව්‍යය යි. එහෙයින් එයට විශාල බලයක් ඇතැ යි විශ්වාස කෙරුණා. විශේෂයෙන් ම ජීවන කාලය වැඩි කරන්නට හැකියාව ඇතැ යි ද විශ්වාස කෙරුණා.

සොහොන පිහිටියේ මෙම කඳු ගැටය යට ය (homunculus.blogspot.com)

නමුත් රසදියෙන් කෙරෙන්නේ අනෙකක්. එය බැර ලෝහයක් වන අතර, ස්නායු පද්ධතියට සහ මොළයට බලපෑම් සිදු කරනවා. රසදිය විශාල වශයෙන් ශරීරගත වීම මඟින් මනස විකල් වන්නට හැකියි. අධිරාජයාට අවසන් කාලය වන විට සිදු වූයේ එය යි.

ක්‍රි. පූ. 210 දී අධිරාජයා මුහුදුබඩ ප්‍රදේශයක් කරා ගිය ගමනකින් පසු ආපසු යන අතරවාරයේ දී මියගියා.

රාජ්‍යය කඩා වැටේ

අධිරාජයා සමග ඔහුගේ උපදේශක ලී හ්ස සහ රාජ සභාවේ ප්‍රධාන උපදේශකයෙකු වූ චාඕ ගාඕ ද වුණා. ලී හ්ස​, අධිරාජයාගේ අවසන් සමයේ දී ඉතා බරපතල ලෙස කලකිරී සිටියා. තනි අධිරාජයෙකු වෙත බලය කේන්ද්‍ර කොට රදලයින්ගේ බලය අඩු කිරීමේ පාලන ක්‍රමය හඳුන්වා දුන් ලී හ්ස ම, එහි අඩුපාඩුව අත් දැක තිබුණා. එනම් "පිස්සු වැටුණ​" අධිරාජයෙකු තම රටට කරන විනාශය යි.

මේ වන විට අධිරාජයේ කිරුළ හිමි කුමරු වූයේ ෆූසූ කුමාරයා යි. ඔහු ද ඉතා තද චරිතයක් ඇති අයෙකු වුණා. කෙදිනක හෝ ඔහු ද උන්මත්තකයෙකු වේය යි බිය ලී හ්සට ඇති වුණා. අධිරාජයා ඔහු ව තම අනුප්‍රාප්තිකයා ලෙස ලියවිල්ලකින් නම් කර තිබුණා. ලී හ්ස සහ චාඕ ගාඕ එම ලියවිල්ල වෙනස් කොට චින් යර් ෂී කුමරු අනුප්‍රාප්තිකයා ලෙස පත් කළා.

මියගිය අධිරාජයා සිය සොහොනෙහි තැන්පත් කෙරුණා. ඔහු සමග ඊළඟ ලෝකයට යාමට ඔහුගේ අන්තඃපුර කාන්තාවන් ද එහි රඳවනු ලැබුණා. දේහය තැන්පත් කිරීම සඳහා බාර දී තිබුණේ එම සොහොන තුළ වූ මාර්ග දැන සිටි එහි නිර්මාණකරුවන් ඇතුළු පිරිසකට යි. ඔවුන් අධිරාජයාගේ සිරුර එහි තැන්පත් කර පිටතට පැමිණීමට පෙර සොහොන් ගෙයි ප්‍රධාන දොරටුව වසා දැමුණා.

මේ අතර චින් යර් ෂී සිය පවුලේ තමන්ට එරෙහි වූ හෝ එරෙහි වේය යි සිතූ අය ව ඝාතනය කරන්නට පටන් ගත්තා. ෆූසූ කුමරුට දිවි නසා ගැනීමට බල කෙරුණා.

කෙසේ නමුත් පළමු අධිරාජයාගේ මරණින් පසු යටපත් ව සිටි රදලයින් නැගී සිටින්නට වුණා. රජපවුල බල අරගලවලින් හෙම් බත් වුණා. චාඕ ගාඕ විසින් ලී හ්ස පාවා දෙනු ලදුව ඔහුට මරණ දඬුවම දෙනු ලැබුණා. මේ අතර රදල නායකයින් කැරලි ගසමින් රාජ්‍යයම අවුල් කළා. මංකොල්ලකරුවන් නිදැල්ලේ සැරි සැරීමට වුණා.

ක්‍රි. පූ. 207 දී නැවත කුමන්ත්‍රණයක් සිදු වුණා. චාඕ ගාඕ විසින් චින් යර් ෂී අධිරාජයාට දිවි නසා ගැනීමට බල කෙරුණා. රජ පවුලට සම්බන්ධ සියින්ග් නම් කුමරුවෙකු චින් හි රජු ලෙස ප්‍රකාශ කෙරුණා. නමුත් ඔහු විසින් චාඕ ගාඕ ද මරා දැමුණා. ඉන් දින ගණනකට පසු කැරලිකාර හමුදා චින් අගනගරය අල්ලාගත්තා.

චින් රාජවංශය එතැනින් නිම වුණත් චීනයේ අධිරාජ තනතුර අහෝසි වූයේ නැහැ. එය රාජවංශ ගණනාවක් ඔස්සේ ගලා ආවා. එම අධිරාජයන් අතුරින් අවසාන අධිරාජයා පිළිබඳ මෙම ලිපියෙන් ඔබට කියවිය හැකියි.

කවරයේ පින්තූරය: චීනයේ පළමු අධිරාජයා මළවුන්ගේ ලෝකයේ දී ආරක්ෂා කිරීමට තැනූ ටෙරාකොටා හමුදාවෙන් කොටසක් (PBS)

මූලාශ්‍රයයන්: