Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

19 වැනි සියවසේ දී කොළරාවෙන් ලෝකය බැට කෑ හැටි

කලින් කලට ලෝකය පුරා විවිධ රෝග වසංගත පැතිරී යනවා. ඉන් සමහර රෝග වසංගත සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කර තිබුණත් සමහර රෝග තවමත් විටින් විට හිස ඔසවනවා. මහාමාරිය සහ කොළරාව වැනි රෝග ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් නොකළ වසංගත රෝග කිහිපය අතරට ඇතුළත් වනවා. එම රෝග ද්විත්වය අතුරින් මහාමාරිය අතීතයේ සිටම වසංගතයක් ලෙසින් ලොව පුරා දරුණු ලෙස පැතිරී ගියත් කොළරාව දරුණු වසංගතයක් ලෙස පැතිරී ගියේ 19 වැනි සියවසේ මුල භාගයේ දී යි. එදා ඉන්දියාවෙන් ආරම්භ වුණු කොළරා රෝගය පසුව ඉතාමත් දරුණු අන්දමින් රටවල් රැසකට පැතිරී ගියා.

කොළරාව ඇතිවන ආකාරය 

කොළරාව යනු විබ්‍රියෝ කොළරා නම් බැක්ටීරියාව මඟින් ඇති කෙරෙන රෝගයක්. සාමාන්‍යයෙන් ජලයේ ජීවත් වන මෙම බැක්ටීරියාව වෙරළබඩ ප්‍රදේශවල ලවණ සහිත මඳ උණුසුම් ජලයේ වැඩි වශයෙන් ජීවත් වනවා. බැක්ටීරියාව අඩංගු අපිරිසිදු ජලය පානය කළ විට හෝ ලවණ සහිත ජලයේ සිටින මුහුදු ජීවීන් නිසි පරිදි සකස් නොකර ආහාරයට ගැනීමෙන් මෙම රෝගය වැළඳිය හැකියි. එසේම කොළරා බැක්ටීරියාවේ විශේෂයන් රැසක් තිබුණත් වසංගතයක් දක්වා වර්ධනය වන්නේ O1 සහ O139  යන ප්‍රභේදයන් දෙක යි. එම ප්‍රභේදයන් මඟින් කොළරා විෂ නිපදවන අතර එම විෂවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් අන්ත්‍රවල තිබෙන සෛලවලින් වැඩි ජල ප්‍රමාණයක් මුදාහරිනු ලබනවා. එම නිසාම පාචනය මෙන්ම සිරුරින් තරල සහ ලවණ පිටවීම වේගවත් වනවා.

කොළරාබැක්ටීරියාවේ අන්වීක්ෂීය ඡායාරූපයක් (gettyimages)

රෝග ලක්ෂණ 

කොළරා බැක්ටීරියාව ආසාදනය වන පුද්ගලයන්ගෙන් 80%කට කොළරාව රෝග ලක්ෂණ ඇති නොකරන අතර එය ඔවුන්ගේ සිරුර තුළින්ම මර්දනය කරගත හැකියි. නමුත් බැක්ටීරියාව ආසාදනය වන ඉතිරි 20%කට දරුණු පාචනය, වමනය, වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. එහි දී රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් විජලනය සිදුවී පසුව මරණයට පත්විය විය හැකියි.

කොළරා රෝගියෙක් (gettyimages)

කොළරා වසංගතයේ ආරම්භය 

1817 වසරේ දී ඉන්දියාවේ ජෙසෝර් ප්‍රදේශයෙන් කොළරා වසංගතය ආරම්භ වුණා. එහි දී ගංගා නිම්න ආශ්‍රිතව තිබුණු අපිරිසිදු ජලය පරිභෝජනය කිරීමෙන් මෙම වසංගතය ආරම්භ වුණු බවට විශ්වාසයක් පවතිනවා. ඉන් පසුව ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යයන් මඟින් මෙම රෝගය ඉන්දියාව, ශ්‍රී ලංකාව, සහ බුරුමය යන රටවල් පුරා පැතිර ගියා. එහි දී මෙම රෝගය පැතිරයාමට හේතු වුණේ යුරෝපීයයන් විසින් පිහිටවනු ලැබූ වෙළඳ මාර්ග ඔස්සේ වෙළඳාම් කටයුතු දිගින් දිගටම සිදුකිරීම යි.

වසංගතය සීඝයෙන් ආසියාව තුළ පැතිර යයි 

1820 වසර වන විට වසංගතය තායිලන්තය, ඉන්දුනීසියාව, සහ පිලිපීනය දක්වා ව්‍යාප්ත වුණා. එහි දී ජාවා දූපතේ පමණක් 100,000ක් පමණ මියගිය බව සඳහන්. ඉන් පසුව වසර 2ක් ඇතුළත මෙම රෝගය නැව් මඟින් චීනය සහ ජපානය දක්වා ව්‍යාප්ත වුණේ දරුණු වසංගතයක් බවට පත්වෙමින්. ඒ අතරතුර ඉන්දියාවේ සිට ඕමානය බලා යාත්‍රා කළ බ්‍රිතාන්‍යය නැව් මඟින් වසංගතය පර්සියානු බොක්ක දක්වා රැගෙන ගියේ එය ආසියාවෙන් පිටතට පැතිර යාමේ අවදානමක් ඇතිකරමින්.

පළමු කොළරා වසංගතය නිමාවෙයි 

පළමු කොළරා වසංගතය ආසියාවෙන් පිටතට පැතිරී යනු ඇතැ යි අනුමාන කළත් 1823 වසරේ ශීත සෘතුව එළඹීමෙන් පසුව කොළරා වසංගතයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවන ආකාරය දක්නට ලැබුණා. එලෙස ක්‍රමයෙන් පාලනය වුණු කොළරා වසංගතය 1824 වසර පමණ වන විට අවසන් වී තිබුණා. ඉන් පසුව යළි කොළරා වසංගතයක් පැතිරී නොයනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාස කළත් එය එසේ වුණේ නැහැ.

දෙවන කොළරා වසංගතයෙන් යුරෝපය සහ ඇමරිකාව බැට කයි

1830 වසරේ සරත් සෘතුව උදාවන විට රුසියාවේ මොස්කව් නුවරින් යළි කොළරා වසංගතය හිස එසවීමට පටන් ගත්තා. නමුත් ඉන් අනතුරුව ශීත සෘතුව එළඹුණු නිසා වසංගතය පැතිරීම සිදුවුණේ ඉතාමත්ම සෙමින්. 1831 වසරේ වසන්ත සෘතුව උදාවීමත් සමගම යළි වේගයෙන් පැතිරී ගිය කොළරා වසංගතය ෆින්ලන්තය සහ පෝලන්තය දක්වා පැතිරුණා. ඉන් අනතුරුව අඛණ්ඩව ව්‍යාප්ත වුණු මෙම වසංගතය 1832 වසර වන විට යුරෝපයේ රටවල් රැසකට පැතිරී ගොස් තිබුණා. 

යුරෝපය පුරා පැතිරී ගිය කොළරා වසංගතය ඇමරිකාවට ව්‍යාප්ත වුණේ යුරෝපයෙන් ඇමරිකාවට ගිය වෙළඳ නැව් මඟිනු යි. එදා ඇමරිකාව දක්වා පැතිරුණු වසංගතය  කැනඩාවට ද, මෙක්සිකෝව සහ කියුබාව වැනි ලතින් ඇමරිකානු රටවලට ද විශාල බලපෑමක් කළා. 

කොළරාවෙන් බැට කෑ ප්‍රංශයේ පැරිස් නගරය (gettyimages)

කොළරා වසංගතය දශක ගණනාවක් ලෝකවාසීන්ට පීඩාවක් ගෙනදුන්නා 

දෙවන කොළරා වසංගතය අවසන් වීමෙන් පසුව 1852-1923 කාල සමය තුළ සිව්වරක් කොළරා වසංගතය විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වුණා. එහි දී 1852-1859 කාල සමය තුළ තෙවන වතාවටත්, 1863-1875 කාලයේ සිව්වන වතාවටත්, 1881-1896 කාලයේ පස්වැනි වතාවටත්,  1899-1923 කාලයේ හයවැනි වතාවටත් කොළරාව වසංගතයක් ලෙස පැතිරී ගියා. වසර 106ක් තුළ ලොව පුරා පැතිරීගිය කොළරා වසංගතවලින් මිලියන 38කට අධික පිරිසක් මියයන්නට ඇතැ යි අනුමාන කරනවා.

5 වැනි කොළරා වසංගතයේ අවස්ථාවක් (gettyimages)

කොළරාව සඳහා කළ ප්‍රතිකාර

1832 වසරේ දී කොළරාව රෝගය යුරෝපය පුරා පැතිරී යන විට ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලෙස සේලයින් ලබාදුන් බව සඳහන් වනවා. 19 වැනි සියවසේ විසූ ප්‍රසිද්ධ ක්ෂූද්‍රජීවී විද්‍යාඥයන් වුණු ෆිලිපෝ පැසිනි සහ රොබට් කොක් කොළරාව මර්ධනය කිරීම සඳහා විවිධ පර්යේෂණ කරනු ලැබුවා. නමුත් මෙම රෝගය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ක්‍රමයක් සොයාගැනීමට ඔවුන් අසමත් වුණා.

රොබට් කොක් පර්යේෂණ කළ අයුරු (gettyimages)

කොළරාව තවමත් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී නැහැ 

1917 වසරෙන් පසුව කොළරා වසංගතයෙහි අඩුවක් දක්නට ලැබුණත් 7 වැනි වරටත් එය පැතිරී ගියේ 1961 වසරේ දී යි. එවර ඉන්දුනීසියාවෙන් ආරම්භ වුණු කොළරා වසංගතය පසුව මැද පෙරදිග හරහා අප්‍රිකාවට පැතිර ගියා. පසුකලෙක සෑහෙන දුරට පාලනය වුණු කොළරා රෝගයෙන් වර්තමානයේ දී වැඩි වශයෙන් බැටකන්නේ අප්‍රිකානු මහද්වීපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමූහය යි. එසේම අනිත් මහද්වීපවලත් දිළිඳු රටවල් තවමත් පීඩා විඳින කොළරාව තවමත් ලෝකයෙන් තුරන් වී නැහැ. නමුත් අනාගතයේ දී කොළරාව පාලනයට සාර්ථක පිළිවෙතක් හඳුන්වා දෙනු ඇතැ යි බලාපොරොත්තු වන්නට පුළුවන්. 

මූලාශ්‍රයයන් - cholera- World Health Organization

                History of cholera World Health Organization

කවරයේ ඡායාරූපය- දෙවන කොළරා වසංගතය යුරෝපයේ පැතිර ගිය ආකාරය (gettyimages)

Related Articles