Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 4- නැගෙනහිර කොළඹ

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණා. එලෙස නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණු කාල සමයේ සිටම එය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම නිසාම පසුගිය වසර 42ක කාලය තුළ පැවති ජාතික මැතිවරණ බහුතරයක දී නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1947-1977 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1947-1977 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ කේවල ක්‍රමය යටතේ යි. ඒ අනුව මෙම ආසනය වෙනුවෙන් මුල්මවරට අපේක්ෂකයින් තරග කළේ 1977 මහා මැතිවරණයේ දී යි. එහි දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එඩ්මන්ඩ් සමරවික්‍රම, 1960 මහා මැතිවරණයේ දී දකුණු කොළඹ බහු මන්ත්‍රී ආසනය ජයග්‍රහණය කළ අපේක්ෂකයා වුණා. ඔහුට විරුද්ධව ලංකා සමසමාජ පක්ෂයෙන් තරග වැදුණේ බර්නාඩ් සොයිසා නම් ප්‍රබල අපේක්ෂකයා යි. 1947 වසරේ සිටම දකුණු කොළඹ ආසනය සඳහා තරග කළ බර්නාඩ් සොයිසා, 1956 වසරේ දී දකුණු කොළඹ ආසනය ජයග්‍රහණය කළා. නමුත් 1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව දකුණු කොළඹ බහු මන්ත්‍රී ආසනයක් බවට පරිවර්තනය වුණා. ඉන් අනතුරුව පැවති 1960 මාර්තු, 1960 ජූලි, සහ 1970 මහා මැතිවරණවල දී දකුණු කොළඹ ආසනය සඳහා තරග වැදුණු සොයිසා දකුණු කොළඹ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එහි දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වුණු ප්‍රබලම දේශපාලඥයෙකු වුණු ජේ. ආර්. ජයවර්ධන යි. එවැනි වටපිටාවක පැවති 1977 මහා මැතිවරණයේ දී නැගෙනහිර කොළඹ ආසනයේ ජයග්‍රහණය එඩ්මන්ඩ් සමරවික්‍රමට පහසුවෙන්ම හිමි වන විට බර්නාඩ් සොයිසාට හිමි වුණේ තෙවන ස්ථානය යි.

එඩ්මන්ඩ් සමරවික්‍රම (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 19,721
විවියන් කොඩිකාර (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 7,678
බර්නාඩ් සොයිසා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 5,951

1989-2015 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ මුල්මවරට ක්‍රියාත්මක වුණු 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 56.48%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 17,908 (56.48%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 8,654 (27.29%) 

ඉන් වසර 5කට පසුව එනම්, 1994 වසරේ මහා මැතිවරණය පැවැත්වෙන කාල සමය වන විට ජනබලය තල්ලු වෙමින් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල දෙසට යි. එම නිසාම 1994 මහා මැතිවරණයේ දී මෙම ආසනය වැඩි ඡන්ද 353කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ පොදුජන එක්සත් පෙරමුණ යි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල මහා මැතිවරණයක දී නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළ එකම අවස්ථාව ලෙසින් සටහන් වුණු බවත් මෙහි දී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද 18,211 (45.60%)
එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 17,858 (44.70%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

1994 වසරේ බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණු රජය 2000 මහා මැතිවරණය වන විට අප්‍රසාදයට ලක්වෙමින් තිබුණා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය යි.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 22,232 (49.85%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 13,922 (31.22%) 

2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ආසන 107ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 89ක් පමණ යි. එම නිසාම සුළු පක්ෂ එකතු කරගනිමින් පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණය කළ ආණ්ඩුව 2001 වසරේ අග භාගයේ දී කඩාවැටීමකට ලක් වුණා. ඒ අනුව 2001 දෙසැම්බර් මාසයේ දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලබාගන්නා විට ඔවුන් නැගෙනහිර කොළඹ ආසනයේ බලය තහවුරු කරගත්තේ 58.23%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 26,636 (58.23%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 11,807 (25.81%) 

එලෙස වසර ගණනාවකට පසුව බිහි වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිය නිල කාලය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි දී එවකට ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසුරුවා හැරීම නිසා 2004 වසරේ අප්‍රේල් මාසයේ දී යළි මහා මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණය සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් නව දේශපාලන සන්ධානය යටතේ තරග වැදුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එවර මහා මැතිවරණයේ දී වැඩි ආසන ප්‍රමාණයක් හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ආසන 105ක් පමණක් ලබාගත් නිසා සුළු පක්ෂ සමග එකතු වී ආණ්ඩුවක් නිර්මාණය කළා. එලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය හිමි වුණත්, නැගෙනහිර කොළඹ ආසනය සුපුරුදු පරිදි ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.  

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 23,739 (52.09%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 12,141 (26.64%)

ඉන් අනතුරුව 2010 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල ජනවරමක් හිමිකර ගැනීමට සමත් වුණත්, නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 19,241 (49.34%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 14,662 (37.60%)

අවසන්වරට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණයක් පැවැත්වුණේ 2015 වසරේ දී යි. එවර මහා මැතිවරණයේ දී කලකට පසුව වැඩි ආසන ප්‍රමාණයක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 65.44%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. එය මහා මැතිවරණ ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ප්‍රතිශතය ලෙසින් වාර්තා වුණා. 

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 31,450 (65.44%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 12,917 (26.88%)

ජනාධිපතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1982 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටෙන් 7ක දී ම නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නැගෙනහිර කොළඹ ආසනය පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී උතුරු කොළඹ ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබෙන්නේ 2015 ජනාධිපතිවරණයේ දී යි. ඒ මෛත්‍රීපාල සිරිසේන වාර්තා කළ 67.45% ඡන්ද ප්‍රතිශතය යි. ඔහුට අමතරව 1994 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂක චන්ද්‍රිකා බණ්ඩාරනායක නැගෙනහිර කොළඹ ආසනය තුළ වාර්තා කළ 63.80%ත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වුණා.

මෛත්‍රීපාල සිරිසේන (Daily News)

 

 

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය: 

මැතිවරණ ප්‍රතිඵල 1947-2019 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles