Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ කුණු කඳු ගොඩගැහුණේ මෙහෙම යි

අප රටේ ප්‍රධාන වෙළඳ නගරය වන කොළඹ, රටේ වැඩිම ජන ඝණත්වය සහිත දිස්ත්‍රික්කය යි. දිනපතා කොළඹින් පිට ප්‍රදේශවලින් ද බොහෝ පිරිසක් කොළඹට පැමිණෙනවා. එම නිසා දිනපතා කොළඹ නගරය ආශ්‍රිතව රැස්වන්නේ විශාල අපද්‍රව්‍ය ගොඩක්. 

මෑතක් වන තුරු කොළඹ නගරයට එකතුවන කුණු බැහැර කිරීම සඳහා බ්ලූමැන්ඩ්ල් සහ මීතොටමුල්ල යන ප්‍රදේශ භාවිතා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ප්‍රදේශවල කුණු කඳු නිර්මාණය වුණේ විශාල පාරිසරික විනාශයක් සිදුකරමින්. වර්තමානය වන විට බ්ලූමැන්ඩල් කුණු කන්දට අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කර තිබුණත්, මීතොටමුල්ල කුණු කන්දට සුපුරුදු පරිදි අපද්‍රව්‍ය බැහැර කරනවා. දැනට දශක කිහිපයක සිට පවතින මෙම කුණු ප්‍රශ්නය නිසා බොහෝ ප්‍රදේශවල ජීවත්වන වැසියන් පත්ව තිබෙන්නේ විශාල අපහසුතාවකට. අතීතයේ දී සුන්දර නගරයක් ලෙසින් පැවති කොළඹ මෙතරම් අසුන්දර වුණේ 1950-1990 කාල සමය තුළ සිදුවුණු විශාල ජනගහන වර්ධනය නිසා යි. 

කොළඹ නගරයේ ජනගහනය වර්ධනය වුණේ ඇයි?

1950 දශකය පමණ වන විට කොළඹ නගරය ආශ්‍රිතව ජීවත්වුණේ ලක්ෂ 4කට ආසන්න පිරිසක්. නමුත් 1990 දශකය ආරම්භ වන විට එය ලක්ෂ 6 ඉක්මවා තිබුණා. එසේම 1990 දශකය වන විට කොළඹට ආසන්න නගරවල ජනගහනය ද සැලකිය යුතු තරම් ඉහළ ගොස් තිබුණා. කොළඹ ජනගහනය සීඝ්‍රයෙන් ඉහළයාමට කාර්මීකරණය ප්‍රධානතම හේතුවක් වුණා. කාර්මීකරණය හේතුවෙන් කොළඹ ආශ්‍රිතව රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය වුණා. එම නිසා රැකියා සොයාගෙන විශාල පිරිසක් කොළඹට සංක්‍රමණය වුණා. එසේම විශ්වවිද්‍යාලයයට ගොස් උපාධියක් ලබාගත් බොහෝ පිරිසක් පිරිසක් රැකියාව කළේ කොළඹ නගරය අවට යි. ඔවුන්ගෙන් ඇතැම් උදවියට දිනපතා තම ගම් ප්‍රදේශවල සිට රැකියාවට පැමිණීම අසීරු කාර්යයක් වුණු නිසා ස්ථීර පදිංචිය සඳහා කොළඹට පැමිණියා. 

එවැනි හේතු නිසා 1950-1990 කාලය තුළ කොළඹ නගරයේ ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියා. 1990 දශකය ආරම්භ වන විට කොළඹ නගරය තුළ සිටි ජනගහනය උපරිම මට්ටමකට ළඟා වී තිබුණා. එම නිසා  1990-2020 දක්වා ගෙවුණු කාල සමයේ දී කොළඹ නගරයෙන් පිටත පිහිටි ප්‍රධාන නගරවල ජනගහනයත් වේගයෙන් වර්ධනය වුණා. 

80 දශකය ආරම්භයේ දී කොළඹ නගරය දිස්වුණු ආකාරය (Thuppahi’s Blog)

කුණු කඳු නිර්මාණය වීම 

කොළඹ නගරයේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවන විට නාගරිකයන්ගේ කුණු බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය වුණා. මුල් යුගයේ දී කොළඹ මහ නගර සභාව එම කාර්යය සාර්ථකව සිදුකළත්, 1990 දශකය වන විට කුණු බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් අවශ්‍ය වුණා. කොළඹ නාගරිකයන්ගේ කුණු බැහැර කිරීමට තෝරා ගැනුණේ බ්ලූමැන්ඩල් ප්‍රදේශය යි. එසේම පසුකලෙක මීතොටමුල්ල ප්‍රදේශය ද කුණු බැහැර කිරීම සඳහා යොදාගනු ලැබුවා. අඛණ්ඩව කුණු බැහැර කිරීම හේතුවෙන් බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල යන ප්‍රදේශවල විශාල කුණු කඳු නිර්මාණය වුණා. 

බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල කුණු කඳුවල ඉතිහාසය

1995 වසරේ සිට කොළඹ නගර සභාවට අයත් ප්‍රදේශවල කුණු බ්ලූමැන්ඩල් ප්‍රදේශයට බැහැර කිරීම ඇරඹුනා. නමුත් එය ගිවිසුමකට අනුව සිදුවුණේ 2001 වසරේ සිට යි. එහි දී කොළඹ නගර සභාව සහ පෞද්ගලික සමාගමක් අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව නගර සභාව බැහැර කරන සෑම කුණු ටොන් 1ක් සඳහාම නිශ්චිත මුදලක් ගෙවීමට නියම වුණා. වසර ගණනාවක් බ්ලූමැන්ඩල් ප්‍රදේශයට කුණු බැහැර කිරීම නිසා එහි විශාල කුණු කන්දක් නිර්මාණය වුණා. ඒ සමගම මතුවුණු පරිසර ගැටළු නිසා දැවැන්ත ජනතා විරෝධයක් මතුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්ලූමැන්ඩල් කුණු කන්දට කුණු බැහැර කිරීම තහනම් කළා. 2009 වසරේ දී මෙම කුණු කන්දේ ගින්නක් හටගත්තා. ගින්න නිසා ආසන්නයේ පිහිටා තිබුණු පැල්පත් නිවාස කිහිපයකට හානි සිදුවුණා  

බ්ලූමැන්ඩල් කුණු කන්දේ ගින්න (Newsradio)

වර්තමානයේ මීතොටමුල්ල කුණු කන්ද පිහිටා තිබෙන ප්‍රදේශය එකල විශාල කුඹුරු යායක්. එම කුඹුරු යාය පොතුවිල් කුඹුර යන නමින් හඳුන්වනු ලැබුවා. 1989 වසරේ දී කොළඹ නගරයට පැමිණි විශාල ගංවතුර නිසා පොතුවිල් වෙල් යාය විනාශයට පත්වුණා. ඉන්පසුව මුල්ලේරියාව නගර සභාව එම ඉඩම ගොඩකර කොළොන්නාව, මුල්ලේරියාව, සහ කොටිකාවත්ත වැනි ප්‍රදේශවල එකතුවුණු කැළිකසල දැමීමට භාවිතා කළා. මීතොටමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහා කුණු කන්දක් නිර්මාණය වන්නට පටන්ගත්තේ බ්ලූමැන්ඩල් කුණු කන්දට අපද්‍රව්‍ය බැහැර කිරීම නවතාදැමීමත් සමග යි. 2008 වසරේ සිට කොළඹ නගරයේ කුණු මීතොටමුල්ලට බැහැර කිරීමත් සමගම විශාල කුණු කන්ද නිර්මාණය වීම ආරම්භ වුණා. මේ කුණු කන්ද 2017 වසරේ අප්‍රේල් 14 වැනිදා නායයෑමකට ලක්වුණු බව ඔබට මතක ඇති. එම විපතෙන් මිනිස් ජීවිත 32ක් රටට අහිමි වී, නිවාස 145ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම (Daily News)

කුණු කඳු නිසා ඇතිව තිබෙන ගැටළු 

බ්ලූමැන්ඩල් සහ මීතොටමුල්ල කුණු කඳු නිසා පරිසර දූෂණය විශාල වශයෙන් සිදුවනවා. ඒවා මඟින් ජල දූෂණය, වායු දූෂණය, සහ පස දූෂණය වන ආකාරය මෙසේ දක්වන්නට පුළුවන්.

  • ජල දූෂණය

1) කාන්දු වන අපදියර වර්ග ජලයට මිශ්‍රවීම 

2) ජල මාර්ග අවහිර වීම.

3) අපද්‍රව්‍ය සෘජුවම ජලයට මිශ්‍රවීම 

4) ජල දේහයන් තුළට වැටෙන ආලෝකය සීමාවීම

  • පස දූෂණය

1) පසේ භෞතික සහ රසායනික තත්ත්වයන් වෙනස්වීම

2) පසට ජලය උරාගැනීම සීමාවීම

3) ශාකවල මූල පද්ධතිවලට පස තුළ ගමන් කිරීමට අපහසුවීම 

  • වායු දූෂණය

1) මිනිසාට අහිතකර මෙතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු වර්ග ජනනය වීම 

2) අපද්‍රව්‍ය පිළිස්සීමේ දී හානිකර සංයෝග ඇතිවීම

3) නිතරම දුගඳ හැමීම නිසා අවට වායුගෝලය අපවිත්‍ර වීම 

4) කුණු කඳුවලින් විෂ දූවිලි වළාවන් නිකුත් වීම 

ඊට අමතරව කුණු කඳු නිසා ලෙඩරෝග පැතිරීම, රෝගවාහකයන් බෝවීම, අවට වායුගෝලය දූෂණයවීම හේතුවෙන් ජීවත්වීමට අපහසු පරිසරයක් නිර්මාණය වීම වැනි ගැටළු ඇතිවනවා.

බ්ලූමැන්ඩල් කුණු කන්ද අසල ජීවත්වන මිනිසුන් ගෙවන දුක්ඛිත ජීවිතය (Dinamina)

කොළඹ නගරයේ කුණු ප්‍රශ්නයට තවමත් ස්ථීර විසඳුමක් ලැබී නැහැ. දැනට විවිධ ස්ථානවල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත්, එය තාවකාලික විසඳුමක් පමණ යි. තවමත් කොළඹ නාගරිකයන් කුණු ප්‍රශ්නයෙන් බැටකමින් සිටිනවා. එම නිසා මෙම ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් දිය යුතු කාලය එළඹ තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- මීතොටමුල්ල කුණු කන්ද (Aruna)

මූලාශ්‍රයයන්- පරිසර අමාත්‍යාංශ වාර්තාව- 2005

Related Articles