Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 1 – උතුරු කොළඹ

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාතික මැතිවරණවල දී ඡන්ද බල ප්‍රදේශ 160ක් හමුවනවා. එලෙස හමුවන ඡන්ද බල ප්‍රදේශ අතුරින් අංක 1 හිමිවී තිබෙන්නේ උතුරු කොළඹ ඡන්ද බල ප්‍රදේශයට යි. මුල් යුගයේ දී පැවති ජාතික මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය මෙම ආසනය ජයග්‍රහණය කිරීම සඳහා සටන් කළා. නමුත් 1960 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් බවට පත්වුණු උතුරු කොළඹ ආසනය අනතුරුව පැවැත්වුණු බොහෝ ජාතික මැතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1947-1977 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1947-1977 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර ඡන්ද ක්‍රමය අනුව යි. 1931 වසරේ සිටම පැවති උතුරු කොළඹ ආසනය සරල බහුතර ක්‍රමය යටතේ පැවැත්වුණු මැතිවරණවල දී වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වී. ඒ. සුගතදාස යි. ඔහු 1960-1970 කාල සමය තුළ පැවැත්වුණු මහා මැතිවරණ 4 දීම උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළා. එලෙස වී. ඒ. සුගතදාස එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් බවට පත්කළ උතුරු කොළඹ ආසනය 1960-2015 අතර පැවැත්වුණු සෑම මහා මැතිවරණයක දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය යි.

1947 මහා මැතිවරණය 

1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කිරීම සඳහා සටන පැවතුණේ එක්සත් ජාතික පක්ෂයේ ජෝර්ජ් රෙජිනල්ඩ් සිල්වා සහ ලංකා සමසමාජ පක්ෂයේ ලයනල් කුරේ අතර යි. එහි දී වැඩි ඡන්ද 1371ක් ලබාගත් ජෝර්ජ් සිල්වා ප්‍රතිවාදී අපේක්ෂක ලයනල් කුරේව පරාජයට පත් කළා.

ජෝර්ජ් රෙජිනල්ඩ් සිල්වා (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 7,501

ලයනල් කුරේ (ලංකා සමසමාජ පක්ෂය) – ඡන්ද 6,130

1952 මහා මැතිවරණය 

1952 මහා මැතිවරණය වන විට ජෝර්ජ් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වී සිටියා. එම නිසා එම මැතිවරණයේ දී උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කිරීම සඳහා තුන්කොන් සටනක් පැවතුණා. එහි දී ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයා වුණු ලෙස්ලි ගුණවර්ධනව පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සිරිල් පෙරේරා උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 3494ක් ලබාගනිමින්.

සිරිල් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 10,630

ලෙස්ලි ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය) – ඡන්ද 7,136

ජෝර්ජ් රෙජිනල්ඩ් සිල්වා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 3,592

1956 මහා මැතිවරණය 

1956 මහා මැතිවරණයේ දී උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ විවියන් ගුණවර්ධන යි. ඇය 1952 දී උතුරු කොළඹ ආසනය සඳහා ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කළ ලෙස්ලි ගුණවර්ධනගේ බිරිඳ යි. එසේම මෙය මහා මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ ආසනය පරාජය වුණු එකම අවස්ථාව ලෙසින් සටහන් වුණා. 

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය) – ඡන්ද 16,841

ජේ.සී ද සිල්වා විජේරත්න (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 9,489

උතුරු කොළඹ ආසනය වී.ඒ සුගතදාසට වෙන් වුණු යුගය 

1960 වසරේ පැවති මහා මැතිවරණ 2 දීම උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කිරීම සඳහා සටන් වැදුණේ එක්සත් ජාතික වී.ඒ සුගතදාස සහ ලංකා සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන යි. එලෙස පැවති  මැතිවරණ දෙකම තියුණු තරගයකින් පසුව වී. ඒ. සුගතදාස ජයග්‍රහණය කළා. ඉන් 1960 ජූලි මහා මැතිවරණයේ දී වී. ඒ. සුගතදාස ලබාගත් ඡන්ද 144ක ජයග්‍රහණය සුවිශේෂී ජයග්‍රහණයක් වුණා. ඉන් අනතුරුව පැවැත්වුණු 1965 සහ 1970 මහා මැතිවරණ සඳහා ද උතුරු කොළඹ ආසනය වෙනුවෙන් තරග කළ වී. ඒ. සුගතදාස එම මැතිවරණ 2ම ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7000 සීමාව ඉක්මවමින්. එලෙස උතුරු කොළඹ ආසනය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටි වී. ඒ. සුගතදාස 1973 වසරේ දී අභාවයට පත්වීමෙන් පසුව මෙම ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වුණා.

වී. ඒ. සුගතදාස (silumina)

1973 උතුරු කොළඹ අතුරු මැතිවරණය 

1973 වසරේ දී උතුරු කොළඹ ආසනය සඳහා පැවැත්වුණු අතුරු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් වින්සන්ට් පෙරේරා තරග කළා. එහි දී ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා වුණේ 1965 මහා මැතිවරණයේ දී වී.ඒ සුගතදාස හමුවේ පරාජයට පත් වුණු ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂක ආනන්ද ප්‍රේමසිංහ යි. එවැනි වටපිටාවක් යටතේ පැවති අතුරු මැතිවරණයේ දී  සමසමාජ පක්ෂයේ අපේක්ෂකයාව වැඩි ඡන්ද 17,138කින් පරාජය කළ වින්සන්ට් පෙරේරා පහසු ජයග්‍රහණයක් ලබාගත්තා.

වින්සන්ට් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 26,956

ආනන්ද ප්‍රේමසිංහ (ලංකා සමසමාජ පක්ෂය) – ඡන්ද 9,818

1977 මහා මැතිවරණය 

1977 මහා මැතිවරණයේ දී වින්සන්ට් පෙරේරාට එරෙහිව උතුරු කොළඹ ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළේ ඒ. එච්. එම්. ෆවුසි නම් අපේක්ෂකයා යි. එහි දී කිසිදු අභියෝගයකින් තොරව වින්සන්ට් පෙරේරා උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 15,142ක් ලබාගනිමින්.

වින්සන්ට් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 26,759

ඒ. එච්. එම්. ෆවුසි (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 11,617

1989-2015 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණ 7 දී ම උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය යි. එහි දී 1994 සහ 2000 මහා මැතිවරණවල දී 60%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින් උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය ඉතිරි මහා මැතිවරණවල දී උතුරු කොළඹ ආසනය තුළ 60%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තා. එලෙස එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළ අවස්ථාවල දී වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණේ 2015 මහා මැතිවරණයේ දී යි. එම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 80.03% වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරගනිමින්. එසේම 2004 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ ආසනය තුළ දී ලබාගත් 70.20%ත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වුණා.

ජනාධිපතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1982 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටෙන් 7ක දීම උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල උතුරු කොළඹ ආසනය පරාජයට පත්වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල උතුරු කොළඹ ආසනය ජයග්‍රහණය කළ අවස්ථා 7 දීම 60%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා තිබීම සුවිශේෂී සිදුවීමක් වනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී උතුරු කොළඹ ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබෙන්නේ 2005, සහ සහ 2015 ජනාධිපතිවරණවල දී යි. ඒ 2005 වසරේ දී රනිල් වික්‍රමසිංහ වාර්තා කළ 75.13% ඡන්ද ප්‍රතිශතය සහ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන වාර්තා කළ 75.07% ඡන්ද ප්‍රතිශතය යි. ඔවුන් දෙදෙනාට අමතරව 2019 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස උතුරු කොළඹ ආසනය තුළ වාර්තා කළ 72.94%ත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වුණා.

රනිල් වික්‍රමසිංහ (colombo telegraph)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රයයන්: 

මැතිවරණ ප්‍රතිඵල 1947-2019 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

 

Related Articles