ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබුණු “කොළඹ ක්‍රමය”

1948 වසරේ ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත් වුණා. එම අවධියේ ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජූනියස් රිචඩ් ජයවර්ධන බටහිර රටවල්වලින් ආධාර ලබාගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළා. ඒ අනුව ඔහු 1949 වසරේ දී ලංඩන් නුවර දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී කරන ලද යෝජනාවක් කොළඹ ක්‍රමය ආරම්භ කිරීමට අඩිතාලම දමනු ලැබුවා. ඉන් වසර 2කට පමණ පසුව, 1951 වසරේ ජූලි 1 වැනි දා සිට ක්‍රියාත්මක වුණු  කොළඹ ක්‍රමයෙන් අදටත් අපට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. 

කොළඹ ක්‍රමය ආරම්භ වීමට අඩිතාලම වැටුණු හැටි 

1949 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී එවකට ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය රටවල් සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන යෝජනා කළා. එලෙස කොළඹ ක්‍රමය පිළිබඳව අදහසක් එම සමුළුවේ දී මුල්ම වරට ඉදිරිපත් කළත්, ඒ පිළිබඳව මුලින්ම යෝජනාවක් ඉදිරිපත් වුණේ මාසය 6කට පමණ පසුව යි. එලෙස එම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකරගත්තේ 1950 වසරේ ජනවාරි 9 වැනිදා කොළඹ දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය විදෙස් අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී යි. එවකට ලංකාවේ අගමැතිවරයා ලෙසින් කටයුතු කළ ඩී. ඇස්. සේනානායක මුලසුන හෙබවූ මෙම සමුළුව සඳහා ජේ. ආර්. ද සහභාගි වුණා. එදා ඔහු කොළඹ ක්‍රමය පිළිබඳව මුල්මවරට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. 

කොළඹ ක්‍රමය පිළිබඳව ඉදිරිපත් වුණු යෝජනාව 

එදා සමුළුවට සහභාගි වෙමින් ජේ. ආර්. ජයවර්ධන කොළඹ ක්‍රමය පිළිබඳව මෙලෙස යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. 

අපේ පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත්වන හා අයත් නොවන ආසියා කලාපයේ නොදියුණු රටවල් දියුණු කිරීම සඳහා වන ආර්ථික වර්ධනයක්‌ ඇති කිරීම අත්‍යවශ්‍ය වන කරුණක්. ඒ රටවල කෘෂිකර්ම ක්‍ෂේත්‍රයත් කාර්මික ක්‍ෂේත්‍රයත් වර්ධනය කිරීමෙන් එය ජයග්‍රහණය කළ හැකියි. එසේම එම රටවල් සංවර්ධනය කිරීමේ දස අවුරුදු සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කිරීම පිණිස ඊට අවශ්‍ය දත්ත ලබා ගැනීමට මෙන්ම අදාළ රටවලට අවශ්‍ය නිලධාරීන් පත්කර ගැනීමටත මෙම සම්මේලනයේ දී අනුමැතිය ලැබිය යුතු යි. ඊට අමතරව අරමුදල්, තාක්‍ෂණ ඥනය, යන්ත්‍රසූත්‍ර හා නිෂ්පාදන දායකත්වය ලබාදීමේ හැකියා පිළිබඳව ද සොයා බැලිය යුතු යි.” 

ජේ. ආර්. එලෙස යෝජනාව ඉදිරිපත් කළත් කොළඹ ක්‍රමය පිළිබඳව සම්පූර්ණ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව, නවසීලන්තය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ඒකාබද්ධව යි. 

යෝජනාවට අනුමැතිය ලැබෙයි 

එලෙස ඉදිරිපත් වුණු යෝජනාව සම්මත සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ 1950 වසරේ ජනවාරි 12 වැනිදා යි. එහි දී සිදු වුණු ඡන්ද විමසීමේ දී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඉන් පසුව ආධාර සැපයීම සඳහා සොයාබැලීම පිළිබඳව උපදේශක කමිටුවක් ද පත්කරනු ලැබුවා. 1950 වසරේ මැයි 10 වැනි දා එම කමිටුව මුල්ම වරට රැස් වුණු අවස්ථාවේ ජේ. ආර්. ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඒ සඳහා සහභාගි වුණා. එම සමුළුවේ දී ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනු ලැබුවා.

ජූනියස් රිචඩ් ජයවර්ධන (Colombo Telegraph)

කොළඹ ක්‍රමය ආරම්භ වෙයි 

1950 වසරේ සැප්තැම්බර් මාසයේ දී නැවතත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් අමාත්‍යවරුන් ලංඩන් නුවර දී හමු වුණා. එහි දී තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසුව කොළඹ ක්‍රමය ආධාර ලබාදීමේ ක්‍රමයක් ස්ථාපනය කරන ලැබුවා. ඒ අනුව එහි මුල්ම සාමාජිකයින් 7 දෙනා බවට පත්වුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, සහ කැනඩාව යන රටවල් හත යි. එලෙස ස්ථානපනය කළ කොළඹ ක්‍රමය 1951 වසරේ ජූලි 1 වැනිදා සිට ක්‍රියාවට නංවනු ලැබුවා. 1951 වසරේ දී කොළඹ ක්‍රමය සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟ වීම ජේ. ආර්. ප්‍රමුඛ පිරිස ලබාගත් විශාල ජයග්‍රහණයක් වුණා. 

කොළඹ ක්‍රමයේ ආරම්භක සාමාජිකයින් (The Colombo Plan)

කොළඹ ක්‍රමයෙන් සහනය ලැබුණු රටවල් 

එලෙස දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සඳහා ආධාර දීම වෙනුවෙන් නිර්මාණය වුණු කොළඹ ක්‍රමය නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, මලයාසියාව, සිංගප්පූරුව වැනි රටවල් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබුවා. කොළඹ ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසුව ගත වුණු මුල් වසර කිහිපය තුළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රන්පවුම් මිලියන 1863ක් පමණ වෙන්කර තිබුණා. ඉන් රන්පවුම් මිලියන 1084ක් බාහිර අරමුදල් ලෙසින් ලැබී තිබුණා. 

කොළඹ ක්‍රමයෙන් ලංකාවට ලැබුණු සහන 

එදා කොළඹ ක්‍රමය ආරම්භ වී මුල් වසර 6 ගතවන විට ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා රන්පවුම් මිලියන 102ක මුදලක් ලැබී තිබුණා. එලෙස ලැබුණු මුදල වෙන්කරනු ලැබුවේ ලංකාවේ ගමනාගමනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා යි. කොළඹ ක්‍රමය නිසා අපට ලැබුණු ප්‍රතිලාභ අතුරින් කිහිපයක් මෙලෙස දැක්විය හැකියි.

1) කෘෂිකාර්මික කටයුතු පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කිරීම 

2) හිඟුරාණ සීනි කම්හල ආරම්භ වීම 

3) ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමයේ ආරම්භය සිදුවීම 

4) 1950 වසරේ දී මහ බැංකුව ආරම්භ වුණේත් කොළඹ ක්‍රමයේ අතුරු ඵලයක් වශයෙනි 

5) කැනඩා මිත්‍රත්ව පදනම යටතේ ලැබුණු ඩීසල් දුම්රිය එංජින් නිසා දුම්රිය ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදු වීම. එකල ලංකාවට ලැබුණු සමහර කැනේඩියානු දුම්රිය එංජින් අදටත් භාවිතා කරන ආකාරය දක්නට ලැබෙනවා 

කොළඹ ක්‍රමය නමින් බිහිවුණු සංවිධානයේ වර්තමාන තත්ත්වය

1977 වසරේ දී මෙම සංවිධානයේ නම ආසියා පැසිෆික් රටවල ආර්ථික සහ සමාජ සහයෝගීතා සංවර්ධන ක්‍රමය ලෙසින් වෙනස් කරනු ලැබුවා. ඒ අනුව වර්තමානය වන විට මෙම රටවල් 27ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබනවා. නමුත් කොළඹ ක්‍රමය ආරම්භ වුණු අවධියේ එහි සිටි ප්‍රබලම සාමාජිකයින් දෙදෙනෙකු වුණු බ්‍රිතාන්‍යය සහ කැනඩාව 90 දශකයේ මුල භාගයේ දී සංවිධානයෙන් ඉවත් වුණා. වර්තමානය වන විටත් ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතින මෙම සංවිධානය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් වන්නේ පහත සඳහන් වැඩසටහන් 6 යි.

1) පුද්ගලික අංශය සංවර්ධන වැඩසටහන 

2) ඔසු උපදේශන වැඩසටහන 

3) මහජන පරිපාලනය සහ පරිසරය පිළිබඳව වැඩසටහන 

4) දිගුකාලීන ශිෂ්‍යත්ව වැඩසටහන 

5) පාරිසරික සහ දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහන

6) ලිංගික අධ්‍යාපනය පිළිබඳව වැඩසටහන 

එදා ශ්‍රී ලංකා දේශපාලඥයෙකුගේ අදහසකට අනුව ආරම්භ වුණු කොළඹ ක්‍රමය නම් ආධාර යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ අදටත් රටවල් රැසකට ලැබෙනවා. එසේම අනාගතයේ දීත් මෙම ආධාර යෝජනා ක්‍රමය මගින් කලාපයේ රටවල් රැසකට ආධාර ලැබෙනු ඇති. එලෙස මෙම සංවිධානය ක්‍රියාකාරීව පවතින තෙක්ම එයට මුල්වූ ලාංකීය දේශපාලඥයාගේ නම ඒ හා බැබළී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය- කොළඹ ක්‍රමයේ ආරම්භක අවස්ථාව (The Colombo Plan)

මූලාශ්‍රයයන්- Colombo-plan.org 

Related Articles