1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී බටහිර කොළඹ ආසනය නිර්මාණය වුණා. එලෙස මෙම ආසනය නිර්මාණය වුණු කාල සමයේ එවකට එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන නියෝජනය කළේ බටහිර කොළඹ ආසනය යි. එම නිසාම එදා සිට අද දක්වා බටහිර කොළඹ ආසනය වඩාත් වාසිදායක වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි.

1947-1977 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1947-1977 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ කේවල ක්‍රමය යටතේ යි. ඒ අනුව මෙම ආසනය වෙනුවෙන් මුල්මවරට අපේක්ෂකයින් තරග කළේ 1977 මහා මැතිවරණයේ දී යි. එහි දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ජේ. ආර්. ජයවර්ධන එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණා. දේශපාලන පිටියේ ප්‍රබල චරිතයක් වුණු ජේ. ආර්. ජයවර්ධන 1947-1970 කාල සමය තුළ පැවති මහා මැතිවරණවල දී පරාජයට පත් වුණේ 1956 මහා මැතිවරණයේ දී පමණ යි. එසේම ඔහු 1960 ජූලි මහා මැතිවරණයේ සිට අඛණ්ඩව දකුණු කොළඹ ආසනය ජයග්‍රහණය කළා. එම නිසාම ඔහුට බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කිරීම අභියෝගයක් වුණේ නැහැ. එවැනි වටපිටාවක පැවති මෙම මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන ඡන්ද 21.707ක් ලබාගෙන ආසනය ජයග්‍රහණය කළේ 79.22%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

ජේ. ආර්. ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 21,707

චන්ද්‍රලාල් සල්ගාදු- (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 3,769

ජේ. ආර්. ජයවර්ධන (Daily News)

1978 වසරේ දී බටහිර කොළඹට අතුරු මැතිවරණයක් 

1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන 1978 වසරේ දී විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණු නිසා බටහිර කොළඹ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අනුර බැස්ටියන් තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ඩී. ඩබ්ලිව්. අබේකෝන් නම් අපේක්ෂකයා යි. ඔවුන් දෙදෙනාට අමතරව ලංකා සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත් වුණු බර්නාඩ් සොයිසා දකුණු කොළඹ ආසනයේ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් කිහිපවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබුණා. නමුත්, එදා ජනරැල්ල එක්සත් ජාතික පක්ෂය දෙසට නැඹුරුව තිබුණු නිසා එම පක්ෂයෙන් ඉදිරිපත් වුණු අනුර බැස්ටියන් වැඩි ඡන්ද 10,132ක් ලබාගනිමින් අතුරු මැතිවරණය ජයග්‍රහණය කළා.

අනුර බැස්ටියන් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 13,156

ඩී. ඩබ්ලිව් අබේකෝන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 3,024

බර්නාඩ් සොයිසා (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 3,019

1989-2015 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ මුල්මවරට ක්‍රියාත්මක වුණු 1989 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 66.25%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 15,265 (66.25%)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ඡන්ද 4,100 (17,79%) 

ඉන් වසර 5කට පසුව එනම්, 1994 වසරේ මහා මැතිවරණය පැවැත්වෙන කාල සමය වන විට ජනබලය තල්ලු වෙමින් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල දෙසට යි. එම නිසාම එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ ආසන රැසක් පරාජය වුණත්, බටහිර කොළඹ ආසනය පරාජය වුණේ නැහැ. ඒ අනුව එදා එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 51.10%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 12,983 (51.10%)

පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද 8,977 (35.30%)

1994 වසරේ බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණු රජය 2000 මහා මැතිවරණය වන විට අප්‍රසාදයට ලක් වෙමින් තිබුණා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 10,981ක් ලබා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 15,480 (59.79%)

පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද 4,999 (19.30%) 

2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ආසන 107ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 89ක් පමණ යි. එම නිසාම සුළු පක්ෂ එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණය කළ ආණ්ඩුව 2001 වසරේ අග භාගයේ දී කඩාවැටීමකට ලක් වුණා. ඒ අනුව 2001 දෙසැම්බර් මාසයේ දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලබාගන්නා විට ඔවුන් බටහිර කොළඹ ආසනයේ බලය තහවුරු කරගත්තේ 66.03%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 18,020 (66.03%)

පොදුජන එක්සත් පෙරමුණ- ඡන්ද 4,053 (14.85%) 

එලෙස වසර ගණනාවකට පසුව බිහි වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිය නිල කාලය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි දී එවකට ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසුරුවා හැරීම නිසා 2004 වසරේ අප්‍රේල් මාසයේ දී යළි මහා මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණය සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් නව දේශපාලන සන්ධානය යටතේ තරග වැදුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එවර මහා මැතිවරණයේ දී වැඩි ආසන ප්‍රමාණයක් හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට යි. එහි දී ඔවුන් ආසන 105ක් පමණක් ලබාගත් නිසා සුළු පක්ෂ සමග එකතු වී ආණ්ඩුවක් නිර්මාණය කළා. එලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය හිමි වුණත්, බටහිර කොළඹ ආසනය සුපුරුදු පරිදි ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.  

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 19,084 (73.64%)

එක්සත් ජනතා නිදහස් සන්ධානය- ඡන්ද 3,613 (13.94%)

ඉන් අනතුරුව 2010 වසරේ පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල ජනවරමක් හිමිකර ගැනීමට සමත් වුණත්, බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 13,056 (64.28%)

එක්සත් ජනතා නිදහස් සන්ධානය- ඡන්ද 5,169 (25.45%)

අවසන් වරට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණයක් පැවැත්වුණේ 2015 වසරේ දී යි. එවර මහා මැතිවරණයේ දී කලකට පසුව වැඩි ආසන ප්‍රමාණයක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ 80.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. එය මහා මැතිවරණ ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය මෙම ආසනය ජයග්‍රහණය කළ ඉහළම ප්‍රතිශතය ලෙසින් වාර්තා වුණා. 

එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 22,060 (80.11%)

එක්සත් ජනතා නිදහස් සන්ධානය- ඡන්ද 4,204 (15.27%)

ජනාධිපතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1982 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටෙන් 7ක දී ම බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල බටහිර කොළඹ ආසනය පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. එලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළ සෑම අවස්ථාවක දී ම ඔවුන් 62%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී බටහිර කොළඹ ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේ 2005 ජනාධිපතිවරණයේ දී යි. එහි දී රනිල් වික්‍රමසිංහ වාර්තා කළ ප්‍රතිශතය සටහන් වුණේ 79.16%ක් ලෙස යි.

රනිල් වික්‍රමසිංහ (Hindustan Times)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය: 

මැතිවරණ ප්‍රතිඵල 1947-2019 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)