ලංකාව ලෝකෙට කැන්දාගෙන ගිය සුද්දෝ

අපේ රට යුරෝපීය ජාතීන්ට යටත්වීම ඇරඹුණේ වර්ෂ 1505 දී පෘතුගීසින් පැමිණි පසුව සිට බව අපි දන්නවා. සුද්දො අපේ රටේ වස්තුව කොල්ලකාගෙන රටේ සම්පත් රට පැටවූ බව ඇත්ත. නමුත් අපට 17 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වා රටේ ජනතාව, සමාජය සහ පාලන ක්‍රමය ගැන දැනගන්න පුළුවන් වෙන්නෙ ඔවුන් ලියපු පොත්පත්වලින් පමණයි. මොකද අපි මහාවංශෙ ලිව්වට සාමාන්‍ය ජන ජීවිතය ගැන ලියන්න කාටවත් මතක් වී නොතිබුණු හින්දා. අන්න එහෙම මේ රටේ සිට යුරෝපයට ගිහින් සුද්දන්ගේ භාෂාවෙන් ලියපු පොත් අදත් ජනප්‍රියයි. ඒ පොත් රචනා කළ ලේඛකයො කිහිපදෙනෙක් ගැන මතකයට නගන්නයි මේ උත්සාහය.

එදා හෙළදිව දුටු රොබට් නොක්ස්

රොබට් නොක්ස් එංගලන්තයට ගිය පසු-  wikipedia.org

සිංහයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කතාකරන ජනතාව මෙන්ම ශ්‍රේෂ්ඨ වූ සුඛනම්‍ය සුමධුර භාෂාවකි.

(එදා හෙළදිව පෙරවදනින්)

එලෙස සදහන් කරන ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්. ඔහු බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි සේවය කළ ඉංග්‍රීසි නැව් කපිතාන්වරයෙක්. මොහු රොබට් නොක්ස් නමින්ම හැඳින්වුනු තවත් නාවික කපිතාන්වරයෙකුගේ පුත්‍රයා වශයෙන් තමයි ඈන් කියන නැවෙන් අහම්බෙන් ලංකාවට ගොඩබසින්නේ. 

1659 දී මදුරාසියේ සාන්ත ජෝර්ජ් කොටුවේ (වර්තමානයේ චෙන්නායි) සිට තම ගම් රට බලා නැව් නැගි නොක්ස්වරුන් සිටි ඈන් නෞකාව  කුණාටුවකට හසුව බිඳී මුහුදුබත්ව අබලන් වෙනවා. ලංකාවේ නැගෙනහිර වෙරළට නැව පැමිණෙන්නේ අලුත්වැඩියා කර ගැනීමට යි. ඔවුන් ගොඩබිමට පැමිණි අවස්ථාවේ දී එවකට මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තා. ඒ ත්‍රිකුණාමලයේ මූතුර් අසල දී යි. නැවෙහි සේවක කණ්ඩායමේ තවත් 17 දෙනෙකු සමග නොක්ස් පිය පුතු දෙදෙනාත් දින ගණනාවක් තිස්සේ කළ ගමනකින් මහනුවරට කැඳවාගෙන එනු ලැබුවා.

නොක්ස් ලියූ පොත –  abbaybooks.com

මේ නාවික කණ්ඩායමට මහනුවර රාජධානිය තුළ සැරිසරමින්, විවාහපත් වී, දරුවන් ලැබ, තමන්ගේම නිවෙස් ඉදිකරගෙන්  ජීවනෝපායයක යෙදෙමින් ජීවත්වීමට දෙවැනි රාජසිංහ රජුගේ අවසරය ලැබුණා. නමුත් ඔවුන්ට සිය රටට යාමට තබා රාජධානියෙන් පිටවීමට වත් අවසර ලැබුණේ නැහැ.   නාවික සේවක පිරිසෙන් බොහොමයක් දෙනා මහනුවර දී දේශීය කාන්තාවන් සමග විවාහ වි දරුවන් ද බිහි කළ බව නොක්ස් පවසනවා.  මැල්රියාව වැලඳුනු නොක්ස්ගේ පියා මිය යනවා. අවිවාහකව ජීවත් වන නොක්ස්ගේ එකම අරමුණ වූයේ සිය රටට පලායාම යි. ඔහු මහනුවරට නුදුරු එලදැත්තේ පැල්පතක වාසය කරමින් තොප්පි විවීම, භාණ්ඩ වෙළඳාම කරමින් ජීවිතයක් ගෙන යනවා.  

මෙරටට පැමිණෙන විට 19 හැවිරිදි යෞවනයකු වූ නොක්ස්ට තවත් දහනව වසක් අත් අඩංගුවේ පසුවීමට සිදුවුණා.  නොක්ස් අවසානයේ දී තවත් සහායකයෙකු හා එක්ව අනුරාධපුරයට ගොස්, මල්වතු ඔය දිගේ මන්නාරමට  පැන ගොස්, දිවයිනෙහි වයඹ ඕලන්ද බලකොටුවක් පිහිටි වූ අරිප්පු වෙත පැමිණ නැවක නැගී එංගලන්තයට යනවා.  

නොක්ස්ගේ ලංකාව- wikipedia.org

ශ්‍රී ලංකාවේ රටවැසියන්, ඔවුන්ගේ සිරිත් විරිත් සහ කෘෂිකාර්මික හා ආගමික උත්සව ආදිය පිළිබඳව ඔහු ලියූ An Historical Relation of the Island of Ceylon නමැති කෘතිය 1681 දී එංගලන්තයේ දී මුද්‍රණයෙන් නිකුත් කරනවා. එම පොත ලංකාවේ ජන ජීවිතය හා රජවරුව්ගේ වැඩවසම් පාලනය ගැන පිළිබඳව යුරෝපීය දෘෂ්ඨිකෝණයෙන් දුටු කදිම විවරණයක් ලෙස ලොව පුරා සැලකෙනවා. 17වන සියවසෙහි දිවයින පැවැති තත්ත්වය පිළිබඳ ඉතාමත් අගනා වාර්තාවක් ලෙසත් කොන්ස්ගේ පොත සැලකෙනවා. එය එදා හෙළදිව නමින් ශ්‍රි ලංකාවේ දී ඩේවිඩ් කරුණාරත්න විසින් සිංහලට පරිවර්තනය කළා. පසුව නොක්ස් දුටු ලක්දිව නමින් ප්‍රේමචන්ද්‍ර අල්විස් ද එහි අසංෂිප්ත පරිවර්තනයක් පළ කළා. නොක්ස් එංගලන්තයට ගිය පසු 1680 දී නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමට එක්ව සේවය කළා. ඔහු අවිවාහකව සිටිමින් ලන්ඩන් නගරයේ දී 1720 ජුනි 19 දා මියගියේ වයස අවුරුදු 77 දී යි.

පසුව ඔවුන් අත්අඩංගුවට පත් ස්ථානයේ පිහිටි සියඹලා ගස ද ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කළා. 1964 දී සුළිසුළගකින් එම ගස ඇද වැටී විනාශ වූ අතර අද එම ගසේ පැලයක් වීශාල ගසක් ලෙස එම ස්ථානයේ දීම දැකගත දැකගත හැකියි. එය සුද්දාගේ ගස ලෙසයි හඳුන්වන්නේ.

කොළඹට පයින් ගිය ජේ. හාෆ්නර්

හාෆ්නර් වියපත් කාලයේ – wikipedia.org

ලන්දේසි ජාතික ජේකොබ් හාෆ්නර් යාපාපටුනේ සිට කොළඹ දක්වා දුෂ්කර චාරිකාවක් ගිය සංචාරකයෙක්. ඔහු චාරිකා සටහන් කෘතීන් කිහිපයක්ම ලියා ලංකාව ලෝකයට හඳුන්වා දී තිබෙනවා. 1754 මැයි 13 දා උපත ලැබූ හාෆ්නර් මියගියේ 1809 සැප් 4 දා අවුරුදු 55 දී යි. ඔහු ප්‍රංශ සම්භවයක් සහිත ඕලන්ද සංචාරකයෙක් ලෙස යි සැලකෙන්නේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වාසය කළ කාලය අළලා ඔහු ලියූ චාරිකා කෘති රසවත් කතන්දර මෙන් කියවිය හැකියි. ඉන්දියානු සංස්කෘතිය හා ජනතාව ගැන ලියන ඔහු යුරෝපීය අධිරාජ්‍යවාදය හා වහල් මෙහෙය විවේචනයට ලක්කරනවා. හාෆ්නර් වෘත්තියෙන් ගිණුම් ලිපිකරුවෙක්.

ඔහු ලංකාව ගැන ලියූ කෘතියක් යාපාපටුනේ සිට කොළඹට පා ගමනක් නමින් කුමාර සිරිවර්ධන අතින් සිංහලට පරිවර්තනය වුණා. හාෆ්නර් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිරකරුවෙක් වශයෙන් සිටින අතර පලා ඒමෙන්. ඔහු මුහුදු යාත්‍රාවකින් යාපනයට පැමිණ ඇත්තේ මෙරට මුහුදුබඩ පළාත් විලියම් ෆැල්ක් නම් ඕලන්ද ආණ්ඩුකාරයා පාලනය කරන අවධියේ යි. ඔහු සඳහන් කරන්නේ ඒ වන විට ඉංග්‍රිසි බලය ඉන්දීය උපමහාද්වීපයේ පැතිරෙමින් තිබූ බව යි.

ලංකාව ලෝකෙට ගෙනගිය පොත් – Kusumsiri Wijayawardhana

ඔහු මෙරට ගත කළ කාලයේ කන්ද උඩරට පාලනය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු යි. මහනුවර නගරයට යාමට ඔහු තුළ කැමැත්තක් තිබුණ ද එය ඉටුකර ගැනීමට නොහැකි වූ බව ඔහු සිය කෘතියේ සදහන් කරනවා. බොහෝදෙනා ඔහුට සදහන් කරන්නේ උඩරටට විදේශියකු යාම අවදානම් ගමනක් බව යි. මව් රටට යාමෙන් පසු 1796 දී ඔහු දුම් පයිප්ප සාප්පුවක් විවෘත කර ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. 1806 සිට 1821 දක්වා ඔහු සිය අත්දැකීම් සහිත චාරිකා කෘති ලිවීම සිදු කළා. ස්වචරිතාපදානයක් සමග පොත් 5ක් හාෆ්නර් පළ කර තිබෙනවා. ඔහුගේ පොත් දෙකක්ම ලියැවී ඇත්තේ ලංකාවේ අත්දැකීම් පසුබිම්කර ගෙන යි. ලංකාවේ වනාන්තර, මිනිසුන්ගේ චර්යාව, වන සතුන් ආදිය ගැන විස්තර රාශියක් එම පොත්වලින් ලබාගත හැකියි. වඩාත් නිර්මාණශීලී  කුතුහලය සහිත භාෂාවක් හාෆ්නර්ගේ පොත්වල හමුවෙනවා.

ලංකාව වර්ණනා කළ කෝඩිනර්           

කෝඩිනර් පියනම- wikipedia.org

A Description of Ceylon ලියූ ජේම්ස් කෝඩිනර් 1799 සිට 1804 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය බලකොටුවේ හමුදා සේනාංක දේවගැති වශයෙන් කටයුතු කළා. ඒ වගේම ලංකාවේ සියලුම යටත්විජිත පාසල්වල ප්‍රධානාචාර්ය ලෙසත් සේවය කළා. එවකට බ්‍රිතාන්‍ය යටත්විජිතවල සිටි එංගලන්ත සභාවට අනුයුක්ත එකම පූජකවරයා වුණේ ද ඔහු යි. 

කෝඩිනර් මෙරට සේවය කළ කාලය සුද්දන් උඩරට රාජධානියට ඇහැ ගහගෙන සිටි වියවුල් පිරුණු සමයක්. මේ අර්බුදකාරී වාතාවරණය තුළ ලංකාවේ භූගෝලය, කොළඹ කොටුව ගැන වගේම බුද්ධාගම, අලිඇතුන් ඇල්ලීම, මුතුපර කැඩිම, කොළඹ සිට ගාල්ලට සහ ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා මාතරට ගිය ගමන් පිළිබදව රසවත් විස්තර ඔහු ඉදිරිපත් කරනවා. ලංකාව සුද්දන් පාලනය කල මුල් කාලය ගැන විස්තර රාශියක් කෝඩිනර්ගේ පොතෙන් අද අපට ලබාගන්නට පුළුවන්. අගනා චිත්‍ර සටහන් රාශියක් ද මේ පොතේ ඇතුළත්. ඔහු සැමවිටම ඉංග්‍රීසින්ට පක්ෂපාති මතවාදයක සිටිය ද යටත්විජිත ලංකාව ගැන නිවැරදි විස්තර අපට කියවීමට ලැබෙනවා. වර්ෂ 1775 දී උපත ලද කෝඩිනර්, පූජකවරය ලබා ඉන්දියාවේ මදුරාසියේ සේවය කර පසුව ලංකාවට පැමිණෙනවා. ඔහු 1804 දී නැවත එංගලන්තයට යන අතර, මියයන්නේ 1836 ජනවාරි 13 දා යි. ඉන්දියාවේ ගතකළ කාලයේ අත්දැකීම් ඇතුළත් කර A Voyage to India නමින් පොතක් 1820 දී ඔහු පළ කළා. ලංකාව ගැන කෝඩිනර්ගේ කෘතිය නිස්සංක පෙරේරා විසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ලංකාව ගැන වර්ණනාවක් ලෙසින්.

කෝපි වතු ගැන ලියූ ජෝන් කැපර්  

පුරාණයේ කෝපි වතුයායක කම්හලක් –  lankapura.com

ලන්ඩනයේ 1814 සැප්තැම්බර් 29 දා උපත ලද ජෝන් කැපර් ලේඛකයෙක් මෙන්ම චින්තකයෙක් ලෙස ද ප්‍රකට යි. ලන්ඩනයේ ඇක්ලන්ඩ් ඇන්ඩ් බොයිඩ්  කෝපි තොග වෙළෙඳ සමාගමේ සේවයට එක්වන ඔහු ශ්‍රී ලංකාවට එවනු ලබන්නේ මෙරට කෝපි, කුරුඳු  වෙඳෙදාම කළමනාකරණය කිරීමට යි. ඒ වර්ෂ 1837 දී යි. ඒ ලංකාවේ කෝපි වගාව වතු වගාවක් ලෙස ආරම්භ කළ කාලය යි. කෝපි අලුතින් වැවීම ගැන ඔහු උනන්දු වූ අතර ඒ ගැන තමා ලියූ Old Ceylon පොතේ සවිස්තරාත්මකව විස්තර ඉදිරිපත් කරනවා. පුවත්පත් කලාවට ඔහු තුළ වූ හැකියාව ප්‍රකට කරමින් The Ceylon Magazine නම් සඟරාවක් ආරම්භ කර 1840- 1842 කාලය තුළ පවත්වාගෙන යන්නේ පාඨක ප්‍රසාදයට ලක්වෙමින්.

ලේඛක පුවත්පත් කලාවේදී ජෝන් කැපර්- wikipedia.org

මෙරට ශාස්ත්‍රීය පර්යේෂණ එකමුතුවක් වූ රාජකීය ආසියාතික සංගමය 1845 දී ආරම්භ කිරීමට මුල්වුවන් අතර කැපර් ද එක් පුද්ගලයෙක්. ඔහු එහි භාණ්ඩාගාරිකධුරය ටික කලක් දරනවා. 1846 දී Ceylon Examiner පුවත්පත පටන් ගැනීමටත් කැපර් මුල් වෙනවා. මේ අතර 1847 වනවිට කෝපි වෙළෙඳපොළ බිඳ වැටිම නිසා ඇක්ලන්ඩ් සමාගම මෙරට මෙහෙයුම් නවතා දැමීමෙන් පසු කැපර් නැවත එංගලන්තයට යනවා. ඔහු එහිදී චාල්ස් ඩිකන්ස්ගේ Household World සඟරාවට ලංකාව පිළිබඳ ලිපි ලියනවා. නැවත 1858 දී ශ්‍රී ලංකාවට එන කැපර් Ceylon Times පුවත්පත මිලදී ගන්නේ පුවත්පත් කලාවට ඇති ඇල්ම නිස යි. ඒ අතර ව්‍යවස්ථාදායක සභාවේ නිලනොවන නියෝජිතයෙකු ලෙස ද ඔහු කටයුතු කරනවා. 1874 දී නැවත එංගලන්තයට යන කැපර් යළිත් ශ්‍රී ලංකාවට එන්නේ සිය පුතුන් ද සමග යි. ඒ වනවිට ඔහු ආරම්භ කළ  පුවත්පත මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පත බවට පත්වී අවසන්. යළිත් එංගලන්තයට යන කැපර් 1898 මාර්තු 31 දා මිය යනවා. ශ්‍රී ලංකාව සහ එහි ජන ජීවිතය ගැන ඔහු ලියූ Old Ceylon කෘතිය කෝපි වගාව ගැන මෙන්ම කොළඹ වෙළෙදාම ගැන ද සියුම්ව විග්‍රහ කරනවා. එකල ගම්වල ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ආරම්භ කරන අරක්කු තැබෑරුම් නිසා දුප්පත් ජනතාව තව තවත් දුප්පත්කමේ ගිලෙන අන්දම ඔහුගේ කෘතියේ විස්තර කෙරෙනවා. එමෙන්ම සබරගමුවේ පෙරහර, කෝරළේ සහ දිසාවවරු ජනතාව පීඩාවට පත්කරන අයුරු ඔහු සියුම් උපහාසයකින් යුක්තව විස්තර කරනවා.

හෙන්රි චාල්ස් සර්ගේ කුරුදු දූපතේ කතා

කුරුදු බේල් සකස් කරමින්- lankapura.com

ප්‍රකෘතියෙන්ම ප්‍රාචීන ලක්ෂණ අතිමාත්‍රයෙන් උරුම කරගත් මේ කුරුදු දිවයිනේ උත්තෘෂ්ට චමත්කාරය පිළිබද අව්‍යාජ චිත්‍රයක් මවාපෑම සදහා කුසතා පූර්ණ කවියකුගේ රසාලිප්ත වාග් මාලාවත්, ප්‍රතිභාසම්පන්න සිත්තරකුගේ තෙලිකූරත් පමණක්ම විනා සරල ගද්‍ය භාෂාව කිසිසේත්ම පිරිමසින්නේ නොවේ.  

(ලංකාව සහ සිංහලයෝ- හෙන්රි චාල්ස් සර් පරි. ප්‍රෙමචන්ද්‍ර අල්විස් , 13 පිට)

Ceylon and the Cinhalese පොතේ එසේ ලංකාව වර්ණනා කරන්නේ හෙන්රි චාල්ස් සර් නම් ලේඛකයා යි. ඔහු 19 වැනි සියවසේ ලංකාව දකින්නේ සෞන්දර්යාත්මක දෘෂ්ටියකින්. 1850 දී පළ කළ ඔහුගේ කෘතිය ලංකාවේ ජන ජීවිතය, එහි පිහිටීම, කොළඹ වරාය, මහනුවර, නුවරඑළිය, මෙන්ම කුරුඳු හා කෝපි වගාව ගැනත් කරුණු දක්වනවා. ඒ කාලෙ තේ වගාව ආරම්භ වී නොතිබුණු නිසා ලංකාව ප්‍රසිද්ධ වී තිබුණේ කුරුඳුවලට යි.

හෙන්රි චාල්ස් සර්- wikipedia.org 

 පසුව කෝපිත් වාණිජ වගාවක් ලෙස ආරම්භ වෙනවා. තමන්ම අසන්නට ලැබුණු කරුණු අනුව ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුරිරු පාලනයත් විස්තර කරනවා.   සැඟවුණු උපහාසයත් ඔහුගේ බස් වහරේ දකින්න ලැබෙනවා.

එදා කොළඹ කුරුදුවත්ත- lankapura.com

වර්ෂ 1807 දී එංගලන්තයේ උපත ලද හෙන්රි පසුව දක්ෂ නීතිඥයෙක් බවට පත් වෙනවා. රාජනීතිඥයෙකු ලෙස යටත්විජිත සේවයේ යෙදුණු ඔහු හොංකොං දිවයිනේ සේවය කිරීමෙන් පසු ලංකාවට පැමිණෙනවා. ඒ දක්ෂිණ ලංකාවේ අධිකරණ කලාපය භාර රාජනීතිඥ වශයෙන්. ඔහු ලංකාවට පා තබන්නේ ගාල්ල වරායෙන්. ඉන්පසු අශ්වකෝච්චියේ නැගී කොළඹට පැමිණ සේවය කරන අතරම රට පුරා සංචාරය කරනවා. ඔහු හොංකොංහි අත්දැකීම් අලලා China and the Chinese නම් පොතක් ද ලියනවා. ලංකාවේ සේවය නිම කිරීමෙන් පසු සියරටට නැව් නගින හෙන්ර් චාල්ස් 1872 දී ලන්ඩනයේ දී දිවිගමනින් සමු ගන්නවා. නමුත් ඔහු ලියූ පොත ලංකාවේ පමණක් නොව ලොව පුරා විද්වතුන්ගේ සම්භාවනාවට ලක්ව තවමත් නිතර ප්‍රතිමුද්‍රණ එළිදක්වනවා. ඔහුගේ පොත ප්‍රෙමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කර ඇත්තේ ලංකාව සහ සිංහලයෝ නමින්.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

යාපාපටුනේ සිට කොළඹට පා ගමනක්- ජේ. හාෆ්නර්, පරි. කුමාර සිරිවර්ධන

Old Ceylon- John Capper            

එදා හෙළදිව- රොබට් නොක්ස්- පරි. ඩේඩිඩ් කරුණාරත්න

ලංකාව සහ සිංහලයෝ- හෙන්රි චාල්ස් සර් පරි. ප්‍රෙමචන්ද්‍ර අල්විස්

ජේම්ස් කෝඩිනර්- ලංකාව ගැන වර්ණනාවක්, පරි. නිස්සංක පෙරේරා

කවරය- උඩරට පැරණි පවුලක්-  lankapura.com

Related Articles