හම්බන්තොට හැංගුණු යටත්විජිත සිහිටවන

කොළඹ සිට කිලෝ මීටර 259ක දුරකින් පිහිටි හම්බන්තොට,ඉඩෝරයෙන් නිතර බැටකන ශුෂ්ක කලාපයේ පිහිටි බිම් පෙදෙසක්. බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ අතීත මතක සිහිපත් කරන ස්මාරක කිහිපයක්ම හම්බන්තොට නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒවා තනා තිබෙන්නේ ‘හම්බන්තොට කොටුව’ නමින් එදා ප්‍රසිද්ධ වූ මුහුදුට නුදුරින් පිහිටි තුඩුවක් වැනි උස්බිමේ. පැරණි කච්චේරිය පිහිටා තිබෙන්නෙත් එතැනයි. හම්බන්තොට උපදිසාපති ලෙස 1908 සිට සේවය කළ ප්‍රකට ලේඛක ලෙනාඩ් වුල්ෆ්ගේ මතක සැමරුම් ද මේ අතර සැඟව පවතිනවා. ඔහු සිය රාජකාරි දිනපොතේ ද ඒවා ගැන සටහන් කර තිබෙනවා. ඒ අතර දිසාපති නිල නිවස, පැරැණි ප්‍රදීපාගාරය, පැරැණි තානායම, අශ්වගාල, එල්ලුම් ගස සහ සොහොන් භූමියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මේ, ඒ අතරින් කිහිපයක මතක අවුස්සා බැලීමට ගත් උත්සාහයක්.

 හම්බන්තොට පැරණි ස්මාරක- අපි හම්බන්තොට fb page

දිසාපති නිල නිවසේ වුල්ෆ්ගේ මතක

ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට සහකාර ඒජන්ත ලෙස පත්වීම ලබන්නේ 1908 අගෝස්තු 27 දායි. එදින සිට 1911 රටින් පිටවී යන තුරු සේවය කළේ මෙම නිල නිවසේ පදිංචිව සිටිමින්. ඔහු හම්බන්තොට අත්දැකීම් ආශ්‍රිතව ලියූ Tන්he Village In the Jungle නවකතාව ජාත්‍යන්තර ඇගැයීමට පවා පාත්‍ර වූ කෘතියක්. එය බැද්දේගම නමින් ඒ. පී. ගුණරත්න සිංහලට පරිවර්තනය කර තිබෙනවා. පසුකාලීනව තවත් උපදිසාපතිවරු කිහිපදෙනෙකුම මෙහි වාසය කරමින් හම්බන්තොට පාලන කටයුතු සිදු කළා. පැරණි කච්චේරිය පිහිටා තිබුණෙත් මෙම දිසාපති බංගලාවෙමයි. මෙය අවුරුදු 150කට වඩා පැරණි ගොඩනැගිල්ලක් ලෙස සැලකෙනවා.

 කෞතුකාගාරයක් වූ දිසාපති නිල නිවස – dinamina.lk

වුල්ෆ් පසුව ලියූ සිය චරිතාපදානයේ ( Growing) එහිදී ලත් අත්දැකීම් දෙකක් මෙසේ විස්තර කරනවා:

ඔබ මිදුල හරහා මුහුද දෙසට ගමන් කළ විට ඔබට සිනිඳු සුදු වැලි සහිත කුඩා කඳුගැටයක් හමුවේ.ඒ තුඩුවේ කෙළවරයි. දකුණු දෙස පැත්තේ සුදුවැලිවලින් යුක්තව කෙළින්ම විහිදී යන සැතපුම් දෙකක් දිග මුහුදු වෙරළයි. උදෙන්ම මා තේ පානය කළ විට නොකඩවා සෑම දිනකම එකම වෙලාවක දී 30-40ක් පමණ වූ මුහුදු ලිහිණින් රංචුවක් බටහිර සිට නැගෙනහිරට සැතපුම් දෙකක් දිග මුහුද වෙරළ දිගේ පියාඹා යති. උන් නිල නිවස පිහිටි තුඩුවට ළඟා වූ පසු කෙළින්ම ඉහළින් ගොඩබිම දෙසට පියාඹා නගරයේ උතුරෙන් පිහිටි ලේවාය වෙත යති. -ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ සටහන්-පරි. එල්. එම්. ආරියපාල

 ලෙනාඩ් වුල්ෆ් සිය බිරිය වර්ජිනියා සමඟ – wikipedia.org

මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කර මෑතකදී මාගම්පුර රුහුණ උරුම කෞතුකාගාරය එහි විවෘත කළා. එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙන අතර මාගම රාජධානියට අයත් සංස්කෘතිය පිළිබිඹු කරන පුරාවස්තු රාශියක් එහි තැන්පත් කර තිබෙනවා.

 මාටෙලෝ කුලුන – ayoma-jayasingha.blogspot.com

ඕලන්දයන්ගේ මාටෙලෝ කුලුන

කාගෙත් අවධානය දිනාගත් සිලින්ඩරාකාර ගොඩනැඟිල්ලක් වරාය දෙසට මුහුණපා තරමක් උස් කඳු මුදුනක පිහිටා තිබෙනු දැකගත හැකියි. මාටෙලෝ කුලුන නමින් හැඳින්වූ මෙය මුලින්ම ඕලන්ද ජාතිකයන් 1794 දී ඉදිකළ බවයි සඳහන් වන්නේ. එකල විශේෂ යුද අට්ටාලයක් ලෙස භාවිතයට ගන්නට හැකි අයුරිනුයි එය නිර්මාණය කර තිබෙන්නේ. එය එතරම් උස්නොවූ බළකොටුවක් ලෙස ද භාවිත කළ හැකි ගොඩනැගිල්ලක්. ගොඩබිමින් සහ මුහුදෙන් පැමිණෙන සතුරන් ඉතා පහසුවෙන් දැකගැනීමට එහි සිට හැකියාව ලැබෙනවා. අංශක 360කට කැරකැවිය හැකි කාල තුවක්කුවක් මාටෙලෝ ගොඩනැඟිල්ලේ ඉහළම මහලේ ස්ථාන ගතකර තිබූ බවට සාධක තිබෙනවා. කාලතුවක්කුව සවිකර තිබූ වෘත්තාකාර වේදිකාව අදද දැකගත හැකියි. ඕලන්දයන් පරදවා ලංකාව ඉංග්‍රීසින් යටතට පත්වූ පසුව මෙම ගොඩනැගිල්ල වඩාත් සංවර්ධනය කර අලුත්වැඩියා කර තිබෙනවා. පසුව මෙවැනි කුලුනු බ්‍රිතාන්‍යන් ලොව විවිධ යටත්විජිතවල ඉදිකර ඇති අතර ඒවාත් මාටෙලෝ නමින් හඳුන්වා තිබෙනවා.

  කුලුන මත සවිකර ඇති කාලතුවක්කුව – ayoma-jayasingha.blogspot.com

අඩි 25ක් උස්වූ අඩි 40ක විෂ්කම්භයක් ඇති සිලින්ඩරාකාර තාප්පයකින් හා වෘත්තාකාර පාදමකින් මෙය සමන්විතයි. ගොඩනැඟිල්ල මහල් තුනක් වන සේ ඉදිකර තිබෙනවා. එහි උස අඩි 120ක්. ඇතුළතින් එයට පිවිසීමට පියගැට සහ ඉණිමං සකස් කර තිබෙනවා. ඉහළම මහළ කොන්ක්‍රීට්වලින් තනා කාලතුවක්කුව සවිකොට තිබෙනවා. දෙවැනි මහල නිමා කර ඇත්තේ ලෑලි තට්ටුවකින්. ආරක්ෂක සෙබළුන්ගේ නවාතැන ලෙස භාවිත කර ඇත්තේ දෙවැනි මහලයි. බිම් මහලේ වෙඩිබෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ බව සඳහන් වෙනවා. බිත්තියේ විවිධ ස්ථානවල කුඩා වා කවුළු තබා තිබෙන්නේ අවට නිරීක්ෂණය කිරීම පහසු වීමටයි. ඇතුළට පිවිසීමට ඇත්තේ තරප්පු පෙළක් සහිත එක් දොරටුවක් පමණයි.

බ්‍රෝහියර් දුටු ලංකාව (Seeing Ceylon) ග්‍රන්ථයේ ආර්.එල් බ්‍රෝහියර් සඳහන් කර සිටින්නේ 1806 වනවිටත් මෙම කුලුන ඉදිකර තිබුණු බව ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන් අගවිනිසුරු ලියූ දිනසටහන්වලින් පැහැදිලි වෙන බවයි. එය ඉදිකළ බව පැවසෙන්නේ ඉංජිනේරු කැප්ටන් ගෝපර් විසින්.

මාටෙලෝ කුලුනට පිවිසෙන දොරටුව පිහිටි තැන දකුණු පසින් එක කවුළුවකින් යුක්තව තනා ඇති කුඩා කුටියත්, එයට නුදුරුව වම්පසින් පිහිටි අඳුරු කාමරයත් සතුරන් සිරකර තැබීමට යොදාගන්නට ඇතැයි සැලකෙනවා. 1999 වසරේදී මාටෙලෝ කුලුන ප්‍රතිසංස්කරණයට ලක්කෙරුණා. පසුව 2013 වසරේදී යළිත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉටු කළා. මේ වනවිට මාටෙලෝ කුලුන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

 එල්ලුම් ගස ඈතට දිස්වන අයුරු- dinamina.lk

සුද්දන්ගෙ කාලෙ එල්ලුම් ගස

දිසාපති නිල නිවසට නුදුරින් මුහුද අද්දර පිහිටි එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතිනවා. පොළොවේ සිටුවා ඇති එහි පාමුලට යකඩවලින් ආවරණයක් යොදා තිබෙනවා. පසුකාලිනව පුරාවිද්‍යා සංරක්ෂණයේ දී එල්ලුම් ගසේ දිරාගිය ස්ථානවලට යකඩ වළලු යොදා සුරක්ෂිත කර තිබෙනවා. ඉංග්‍රීසින් මෙම එල්ලුම් ගස තනා තිබෙන්නේ එකවර පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා මැරීම සඳහායි. 1818 උඩරට කැරැල්ලේ ප්‍රධාන චරිතයක් වන කොහුකුඹුරේ රටේ රාල සහ තවත් කැරලිකරුවන් මෙම එල්ලුම් ගසෙහි එල්ලා මරා දැමූ බවයි පැවසෙන්නේ. එල්ලුම් ගස තැනීමට හේතුව ලෙස සඳහන් වන්නේ වෙඩි තැබීමට අවශ්‍ය උණ්ඩ හිඟයක් ඇතිවීමයි.

 එල්ලුම් ගස තිබූ කිතුල් කඳ – amazing lanka.com

එල්ලුම් ගස අඩි 25 ක් පමණ උසයි. අද වන විට එල්ලුම් ගසේ ඉහළ කුලුන දිරාපත් වී පවතිනවා. හම්බන්තොට නගරයේ උසම ස්ථානයේ එල්ලුම් ගස පිහිටා තිබෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල්කාලයේ හම්බන්තොට උසාවියේ විභාග කළ නඩුවලින් මරණ දඩුවම නියම වු වැරදිකරුවන් එල්ලා මරා දමා ඇත්තේ මෙහි එල්ලීමෙන්.
ලෙනාඩ් වුල්ෆ්ගේ මතක සටහන්වල දැක්වෙන්නේ ඔහු එල්ලුම් ගස දෙස නිල නිවසේ ජනේලයක් හරහා බැලීමට පුරුදුව සිටි බවයි. ඔහුගේ නිල කාලය තුළ (1908-1911) මෙම එල්ලුම් ගස පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනයට යොදාගෙන ඇති බව පැවසෙනවා. පසුකාලීනව එල්ලුම් ගස කොඩි කණුවක් ලෙසත් භාවිත කර තිබෙනවා.

 ප්‍රදීපාගාර කුලුන -Nishan Weerasooriya- amazing lanka.com

කළු සුදු ප්‍රදීපාගාරය

මාර්ටෙලෝ කුළුණ ආසන්නයේ මෙම ප්‍රදීපාගාරය පිහිටා තිබෙනවා. කළු සහ සුදු වර්ණයෙන් පින්තාරු කර ඇති නිසා එය පැහැදිලිව හඳුනාගත හැකියි. මෙම ප්‍රදීපාගාරය 1913 දී පමණ ඉංග්‍රීසින් විසින් ඉදිකර තිබෙන බව සඳහන් වෙනවා. දැන් එය භාවිත කරන්නේ නැහැ. එය අඩි 43 ක් ( මීටර් 14 ක් පමණ) උසකින් යුක්තයි. මෙම ගොඩනැගිල්ල ද මෑතක දී ප්‍රතිසංස්කරණයට ලක්ව 2019 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

 පැරණි තානායම – Trip adviser.com

පැරැණි හම්බන්තොට තානායම ද අවුරුදු එකසිය පනහකට වඩා පැරැණියි. මුහුණට මුහුණලා ඉදිකරන ලද මෙය එක් මහල් ගොඩනැඟිල්ලක් සේ තිබූ අතර එය පසුව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය කර තිබෙනවා. පැරණි අධිකරණ සංකීර්ණය ද අවුරුදු 150කට වඩා පැරැණි බ්‍රිතාන්‍ය යුගයේ හදපු ගොඩනැගිල්ලක්.

කවරයේ ඡායාරූපය:  මාටෙලෝ කුලුන - ayoma-jayasingha.blogspot.com

මූලාශ්‍ර:
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ සටහන්-පරි. එල්. එම්. ආරියපාල
Seeing Ceylon- R.L. Brohier
Dinamina.lk

Related Articles