උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව

සෙංකඩගල මහනුවර අගනුවර කර ගෙන  රට පාලනය කළ   රජවරුන් 13 දෙනෙක් හිටියා. මේ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළේ කොහේද කියා වැඩි දෙනෙක් දන්නේ නැහැ. රජවරුන් විතරක් නොවේ, රජතුමන්ගේ බිසෝවරුන්, මවු බිසව වගේ රජ පවුලේ ඉහළ ම පෙළේ අයත් මිය ගිය පසු ආදාහනය කරල තියෙන්නෙ එතැන බවයි සඳහන් වන්නේ. දළදා මාලිගයට නුදුරින් මහනුවර නගරය තුළ පිහිටා තිබෙන අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ තමයි මේ සොහොන් බිම පිහිටා තිබෙන්නේ. මේ විහාරයත් වන්දනාකරුවන් එතරම් යන තැනක් නම් නොවේ.

1
 1ගමන් මාලිගා විහාරයේ දළදා පෙරහර කරඬුව තැන්පත් කරමින්-  sites.google.com

දළදා ගමන් මාලිගාව

අස්ගිරි ගෙඩිගේ විහාරයට දළදා ගමන් මාලිගාව කියලත් කියනවා. ඒ නම ලැබෙන්නේ පළමුවැනි වැනි විමලධර්මසූරිය රජුගේ කාලයේදීයි. ඒ වන විට අස්‌ගිරි විහාරයට අවුරුදු 200 කට වඩා පැරණි ඉතිහාසයක්‌ හිමි ව තිබුණා.  

විමලධර්මසූරිය රජුගේ ඉල්ලීම පිට දෙල්ගමුව විහාරයේ සඟවා තිබූ  දළදා වහන්සේ ඌව ඉදල්ගස්‌හින්න පැරණි මාර්ගය ඔස්‌සේ භික්ෂුන් වහන්සේ මැදිහත් ව මහනුවරට වැඩම කරවූ බව දළදා පුරාණයේ සඳහන් වෙනවා. මේ වන විට  මහනුවර   දළදා මැඳුර සාදා නිම නොවීම හේතුවෙන් අස්‌ගිරි විහාර ආදාහන මළුව ගෙඩිගේ විහාරයට වැඩමවා තැන්පත් කර තිබෙනවා. දළදා වහන්සේ මුළු රැයක්‌ පුරා ගෙඩිගේ විහාරයේ තැන්පත් කර පසුවදා සවස මහා පෙරහරින් මහනුවර තැනූ මන්දිරයට වැඩම වූ බවයි, පැවසෙන්නේ.

2
ගෙඩිගේ විහාරයේ සිට දිය කැපීමට යන දවල් පෙරහර- youtube.com

 

එය සිහිපත් කරමින් අවසන් රන්දෝලි පෙරහර නිමාවී දළදා කරඬුව සහිත හස්තියා ගෙවදින්නේ දළදා මැදුරට නොවෙයි. ගෙඩිගේ විහාරයටයි. පසුව ශ්‍රී දළදා මාලිගාවේ වස්‌තුන් පිළිබඳ කටයුතු කරන ‘වට්‌ටෝරු රාල’ කරඬුවට පළඳවා ඇති ආභරණ සියල්ල ගණන් බලා ලේඛනවල සටහන් කර එම අවස්‌ථාවට සහභාගි වන ගෙඩිගේ විහාරයේ විහාරාධිපතීන් වහන්සේට එය දක්වා සිටිනවා. පසු දින දිය කපන්නට දහවල් පෙරහර පිටත්වන්නේ එහි සිටයි.

3
මහනුවර පැරණි ම ගොඩනැගිල්ලක් වන ගෙඩිගේ විහාරය- amazing lanka.com

මහනුවර පැරණි ම ගොඩනැගිල්ල

වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල පැරණිත ම පුරා විද්‍යාත්මක ගොඩනැගිලි දෙක අතරින් එකක් වන්නේ ගම්පොළ යුගයේ ( 14 වන සියවස) ඉදි කළ  ගෙඩිගේ විහාර ගොඩනැඟිල්ලයි. අනෙක් පැරණි ම ගොඩනැගිල්ල වන්නේ නාථ දේවාල ගොඩනැගිල්ලයි. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707- 1739) හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( 1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්.   ඔවුන්ට අමතර ව මහනුවර යුගයේ සිටි සියලු රජවරුන් මේ විහාරස්ථානයට විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙනවා. උඩමළුව, මැදමළුව, පාත මළුව කියා මළු තුනක් සහිත ව විහාර බිම පැතිර තිබෙනවා.  උඩමළුවේ තමයි බෝධින් වහන්සේ සහ විහාර මන්දිරය පවතින්නේ. දෙවැනි මළුවේ රජවරුන් ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස් වූ බවත් පොත්පත්වල සඳහන් වෙනවා.

විහාරය, කළුගල් කුට්ටි යොදා ගෙන ඉදිකර තිබෙනවා. එහි පියස්ස ද කළුගලින් ම තනා තිබෙනවා. විහාරය පැත්තක දිග අඩි 21ක් වන ආකාරයේ සම චතුරස්‍රාකාකාර ගොඩනැගිල්ලක්  මහනුවර නාථ දේවාලය,  ගඩලාදෙණිය රාජ මහා විහාර ගොඩනැගිල්ල, නාලන්දා ගෙඩිගේ විහාරය ආදී ගොඩනැගිලි ගෙඩිගේ සම්ප්‍රදායට උදාහරණ සපයනවා. උතුරු දෙස බලා සිටින මහනුවර සම්ප්‍රදායේ හිටි බුදු පිළිමයක්‌ ද, දෙපැත්තේ හිඳි පිළිම දෙකක්‌ ද මෙහි දැකගත හැකියි. ගොඩනැගිල්ලේ උඩ කොටසේ ඇත්තේ දාගබයි. මහනුවර යුගයේ ඉදි කළ විවෘත හේවිසි මණ්ඩපයක් ද විහාරයට යාබද ව දැකගත හැකියි.

4
 ආදාහන මළුව විහාර බිමේ අද ස්වරූපය- gloriusebygone.com

 

චන්ද්‍රවතී දේවිය හෙවත් අස්ගිරි දේවිය

රජවරුන් ආදාහනය කිරීම මේ බිමේ ආරම්භ වුණේ  ගම්පොළ යුගයේදියි. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ( 1347-1375) මවු බිසව වන චන්ද්‍රවතී දේවිය හෙවත් අස්ගිරි දේවිය තමයි මුලින් ම මෙතැන ආදාහනය කරල තියෙන්නේ. ඇයගේ චිතකය තිබූ ස්‌ථානයෙහි මෙය කරවන ලදැයි අස්‌ගිරි තල්පතෙහි සඳහන් වන අතර, චිතකයට ගිනි දැල් වූ ස්‌ථානය රත්නභානු හෙවත් ගිනිසුරිය යන නමින් හැඳින්වෙන බව ද කියවෙනවා. ඒ වනවිට සෙංකඩගල රාජධානියක් තිබුණේ නැහැ. ගෙඩිගේ සමීපයෙහි අද ද දැකිය හැකි සුවිසල් බෝධිය සිටුවා ඇත්තේ අස්‌ගිරි දේවිය ආදාහනය කළ ස්‌ථානයේ තිබූ කණු මත බව සඳහන් කරන ලෝරි, මෙම බෝධිය වටා අඩි හයක්‌ පමණ උස සමචතුරශ්‍රාකාර කවුලු සහිත ප්‍රාකාරයක්‌ තිබූ බවත්, දැල් වූ පහන් තැබීමට එම කවුලු යොදා ගත් බවත් පවසනවා. මේ බෝධියට කියන්නේ චන්ද්‍රවතී බෝධිය කියලයි.

5
1800 මුල් භාගයේ ආදාහන මළුව පැවති අයුරු පෙන්වන පැරණි චිත්‍රයක් – facebook.com

රාජකීය ආදාහන

රජවරුන්ට අමතර ව 1753 දි කීර්ති ශ්‍රී රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත් වූ පසුත් ආදාහනය කර තිබෙන්නේ ආදාහන මළුව විහාර භූමියේ දී ම යි. එය සිහිවීමට තායි රජපවුල විහාර භූමියේ ඉදි කළ කළුගල් ස්මාරකය අදත් දකින්නට ලැබෙනවා.

පළමුවැනි විමලධර්මසූරිය ( 1591- 1604),  සෙනරත් ( 1604- 1635), දෙවැනි රාජසිංහ ( 1635- 1687) දෙවැනි විමලධර්මසූරිය ( 1687- 1707),  වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ( 1707- 1739), ශ්‍රීවිජය රාජසිංහ ( 1639- 1757), කීර්ති ශ්‍රී රාජසිංහ   (1747- 1782), රාජාධි රාජසිංහ  (1782- 1798) යන රජවරුන් මිය ගිය පසු ආදාහනය කර ඇත්තේ ආදාහන මළුව විහාර භූමියේ බවයි සඳහන් වෙන්නේ.  මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මවු බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සඳහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් රටින් පිටුවහල් කළ නිසා මෙහි සැතපෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කර විහාර භූමියේ කුඩා චෛත්‍ය වැනි ස්මාරක ඉදි කර තිබෙනවා. ඉංග්‍රීසින් උඩරට යටත් කර ගත්තාට පසු ව එම ස්මාරක ක්‍රමයෙන් වනසා දමා තිබෙනවා. 

6
 සියම් උපාලි හිමි ස්මාරකය- facebook

ආදාහන මළුවේ විනාශය

ලෝරිගේ ‘ගැසටියර්’ කෘතියට අනුව ආදාහන මළුව ලෙස හැඳින්වෙන්නේ ගෙඩිගේ විහාරයට පහළින් එයට යාබද ව පිහිටා ඇති භූමි ප්‍රදේශයයි. රජවරුන් ආදාහනය කිරීමෙන් පසු නො දැවී ඉතිරි වන ඇට කැබලි, උණු වූ ආභරණ ආදිය තැන්පත් කොට සොහොන් කොත් තනවා ඇත්තේ ද මෙහි බව ඔහු විස්තර කර තිබෙනවා.

1815 ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයත් සමඟ ඉංග්‍රීසින්ගේ ම අනුග්‍රහය ඇතිව, කොල්ලකරුවන් මෙම සියලු ම සොහොන් කොත් කඩා ඒවායේ තැන්පත් කර තිබූ ආභරණ හා රන් ආදිය පැහැර ගෙන තිබෙනවා. වර්ෂ 1825 දී මහනුවරට සංචාරය සඳහා පැමිණි ඉංග්‍රීසි ජාතික හෙබර් මහත්මිය සිය දිනපොතෙහි ලියා ඇත්තේ, දෙවන රාජසිංහ රජුගේ සොහොනින් හමු වූයේ යයි කියවුණු ඔහුගේ අස්‌ථි කොටස්‌, ආදාහන මළුවට යාබද විහාරස්‌ථානයක දී  විශාල ගෞරවාදරයකින් යුක්‌ත ව තමන්ට ප්‍රදර්ශනය කළ බවයි. ඇය මේ කියන්නේ ගෙඩිගේ විහාරය ගැන බවයි පෙනෙන්නේ. ආදාහන මළුවේ තිබූ සියලු ම සොහොන් කොත් කැටයම් සහිත ගලින් බැඳ තිබූ බව ඇය පවසනවා. කොල්ලකරුවන්ඒ වාට දැඩි ලෙස හානි පමුණුවා තිබූ බව ද ඇය සඳහන් කරනවා.

7
විහාරයේ බුද්ධ ප්‍රතිමාව -budusarana.lk

මේජර් ෆෝබ්ස්‌ සඳහන් කරන්නේ  1828 මැයි වන විටත් දෙවන රාජසිංහ රජුගේ සොහොන  හොඳ මට්‌ටමකින් සුරක්‌ෂිත ව තිබු බවයි. නමුත් වර්ෂ 1837 දී  ඔහුට එහි දක්‌නට ලැබුණේ සුන්බුන් ගොඩක්‌ පමණක්‌ බව සඳහන් කර තිබෙනවා. එහි හැඩයවත් සිතා ගත නොහැකි අයුරින් විනාශ වීමට හේතුව සොහොනේ ගල් ගැලවීම බවයි ඔහු පවසන්නේ. පසුව ඉංග්‍රීසින් මහනුවර – මාතලේ දුම්රිය මාර්ගය ඉදිකරන්නේ ආදාහන මළුව විහාර බිමත් අසුවන ලෙසයි. එය 1878- 1880 කාලයේ දී යි ඉදි කරන්නේ. දුම්රිය මාර්ගය තැනීමට ආදාහන මළුවට යටින් කැපූ උමඟ නිසා එතෙක්‌ ඉතිරි ව තිබූ චෛත්‍යයක හැඩය ගත් එකම සොහොන් කොත වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොන ද විනාශ වී ගොස් තිබෙනවා. ආදාහන මළුවේ මතුපිට ස්‌වරූපය හඳුනාගත නොහැකි අයුරින් මේ නිසා වෙනස් වී ගොස් තිබෙනවා.  ගෙඩිගේ විහාරය ද එම උමඟ නිසා  පුපුරා තිබූ බව පැවසෙනවා.   අවසානයේදී ආදාහන මළුවේ ඉතිරි වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොනට අයත් රවුම් ගල් කීපයක්‌ හා කැඩුණු බිඳුණු පිය ගැට කිහිපයකුත්, ඇතුළු වන දොරටුව තිබූ තාප්පයේ යාරයක පමණ කොටසකුත් පමණක්‌ යයි ලෝරි සඳහන් කරනවා. ඉංග්‍රීසින් සිතාමතා ම වනසා දැමූ ඓතිහාසික ස්මාරකයක කතාව එයයි.

කවරයේ ඡායාරූපය: අස්ගිරි ගෙඩිගේ විහාරය - Getty Images

මූලාශ්‍ර:

Sridaladamaligawa.com

මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන

budusarana.lk

Related Articles