Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුල් වියවුල් මැද ශ්‍රී ලංකාව තුළ පැවති මැතිවරණ

2020 වසරේ මාර්තු මාසයේ මුල් භාගයේ දී මහා මැතිවරණයක් කැඳවනු ලැබුවේ 16 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරාගැනීමට යි. එම මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගත්ත ද, මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය නිසා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගියා. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් මීට පෙර සිදු වී නැතත්, අවුල් වියවුල් මැද පැවැත්වූ මැතිවරණ කිහිපයක් ලංකා ඉතිහාසය තුළ හමුවනවා. 

1947 මහා මැතිවරණය 

ශ්‍රී ලංකාව තුළ මුල්මවරට මහා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1947 වසරේ දී යි. වර්තමානයේ දී එක් දිනක් තුළ මැතිවරණය පවත්වා අවසන් කළ ද, එම අවධියේ මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා දින කිහිපයක් වැය වුණා. නමුත්, 1947 වසරේ දී  ලංකාවේ පළමු මහා මැතිවරණය අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 අතර දින 19ක් තුළ දී පවත්වන්නට සිදුවුණේ, මහනුවර ඇසළ පෙරහැර සහ යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ මංගල්‍යය එම කාල සමය තුළ යෙදී තිබුණු නිසා යි. 1947 මහා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබුවේ ජූලි 26 වැනි දා යි. නමුත්, අගෝස්තු මාසයේ දී ඇති වුණු අධික වර්ෂාවත් සමගින් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වුණා. එලෙස ආරම්භ වුණු ජලගැල්ම බොහෝ අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට විශාල බාධාවක් එල්ල කළා. එවර මැතිවරණයේ දී මහනුවර ආසනය සඳහා ඉදිරිපත් වුණු ටී.බී. ඉලංගරත්න, සිය චරිතාපදානය වුණු යුගයක ගමන පොතේ 67 සහ 68 පිටුවල මෙසේ සඳහන් කර තිබෙනවා. “1947 මහා ජලගැල්ම මගේ ඡන්ද ව්‍යාපාරයට මහත් බාධාවක් විය. මගේ ප්‍රතිවාදියා වාහනවලින් සහ සම්පත්වලින් මට වඩා ශක්තිමත් වුණු නිසා මම ඡන්ද 205කින් මැතිවරණ සටන පරාජය විය”. එම කෘතියෙන් මා උපුටාගත් කොටසින් පැහැදිලි වන්නේ එදා බොහෝ තරගකරුවන් ජලගැල්ම තිබිය දී ඉතාමත් අසීරුවෙන් සිය මැතිවරණ කටයුතු කර ඇති බව යි. එසේම, අධික ගංවතුර තත්ත්වයක් පැවතීම නිසා නුවරඑළිය, කොටගල, සහ ගම්පල ආසනවල ඡන්ද විමසීම නියමිතව පැවති දිනට වඩා පසු දිනයක පැවැත්වීමට ද සිදුවුණා.

1947 මහා ජලගැල්මේ දී ගම්පල පාලම (old ceylon)

1988 පළාත් සභා මැතිවරණය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක් කළ 13 වෙනි සංශෝධනය අනුව 1988 වසරේ පෙබරවාරි 03 වැනි දින එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ  ජේ.ආර්. ජයවර්ධන, රටේ පළාත් අටක් වෙනුවෙන් මැතිවරණය ගැසට් කරනු ලැබුවා. දිවයින තුළ පැවති පළාත් නවය වෙනුවට පළාත් අටක් සඳහා පමණක් නාම යෝජනා කැඳවීමට හේතු වුණේ  උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම නිසා යි. නමුත්, මැතිවරණය කැඳවා මාසයකට ආසන්න කාලයක් ගත වන විට ජේ.ආර්. ජයවර්ධන මහජන ආරක්ෂක අඥාපනත යටතේ නිකුත් කළ නියෝගයකට අනුව පළාත් සභා 4ක මැතිවරණය කල් දමනු ලැබුවා. 1988 වසරේ මාර්තු 2 වැනිදා නිකුත් කළ එම නියෝගයට අනුව කල් ගියේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සහ උතුරු නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ යි. එවකට ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණය වර්ජනය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. මැතිවරණය පැවති කාල සීමාව තුළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මැතිවරණය කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගිය නිසා මැතිවරණ කටයුතු සිදුවුණේ විවිධ හැලහැප්පීම් මැද යි. සබරගමුව, ඌව, වයඹ, සහ උතුරු මැද පළාත් සභාවල මැතිවරණය අප්‍රේල් 28 වැනිදා පැවැත්වෙන විට බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවල මැතිවරණය පැවැත්වුණේ ජූනි 2 වැනි දා යි. ඊට හරියටම සතියකට පසු එනම්, ජූනි 9 වැනිදා දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. එම මැතිවරණය පැවති කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දුත්, කලක් රත්තොට ආසනය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. යාලේගමත් නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනයට ලක් වුණා. 

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ දී පැවති දෙවන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබුවේ නොවැම්බර් 10 වැනිදා යි. එලෙස නාම යෝජනා කැඳවීමෙන් පසුව මැතිවරණය පැවති දෙසැම්බර් 19 වැනි දින දක්වා දේශපාලන ක්‍රියාකාරීන්ට විවිධ අඩන්තේට්ටම්වලට මුහුණදීමට සිදුවුණු බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම සිය ප්‍රචාරක කටයුතු කිරීමට ඉතාමත් අසීරුවෙන් කිරීමට සිදුවුණා. 1988 ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් ආකාරයට මැතිවරණ දිනය තුළ රට පුරා ප්‍රචණ්ඩත්වය රජකර තිබෙනවා. වෙඩි තැබීම්, බෝම්බ ගැසීම්, ඡන්ද පොළ නිලධාරීන් බියවැද්දීම් වැනි ක්‍රියාකාරකම් රැසක් සිදුවුණු එම මැතිවරණ දිනයේ දී විවිධ ප්‍රදේශවල ඡන්දය දැමීමට ගිය පුද්ගලයන් රැසකට වෙඩි තබා තිබුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණ කඩ කිරීම හේතුවෙන්. එම කාල සමය තුළ භීෂණය වැඩි වශයෙන් රජ කළ මාතර, හම්බන්තොට, මාතලේ, මොණරාගල, සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 31%ට අඩු වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. 

මැතිවරණ දිනයේ පාරට ගස් කපා දමා තිබුණු අයුරු (gettyimages)

1989 මහා මැතිවරණය

රණසිංහ ප්‍රේමදාස 1988 වසරේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරවනු ලැබුවා. ඒ අනුව, මහා මැතිවරණය පැවැත්වීමට තීරණය වුණේ 1989 වසරේ පෙබරවාරි 15 වැනිදා යි. නාම යෝජනා ලබාදීමෙන් පසුව මැතිවරණ දිනය තෙක් පැවති කාල සීමාව තුළ දී මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි අපේක්ෂකයන් කිහිපදෙනෙකුම නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. 1988 ජනාධිපතිවරණය පැවති දිනයේ දී මෙන්ම 1989 මහා මැතිවරණය පැවති දිනයේ දීත් රට පුරාම ප්‍රචණ්ඩත්වය රජ කරනු ලැබුවා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 20%ටත් අඩු අගයක් ගත්තා. 

1993 පළාත් සභා මැතිවරණය

1993 වසරේ මාර්තු 18 වැනිදා දෙවන පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබුවා. එලෙස නාම යෝජනා කැඳවීමෙන් පසුව ඒවා භාර දීම සඳහා 1993 අප්‍රේල් 1 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා සතියක කාලයක් හිමි වුණා. නාම යෝජනා භාර දීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි 17 වැනිදා යි. එම කාල සමය වන විට එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබුණේ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍රගේ මූලිකත්වය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවාගෙන තිබුණු නිසා යි. එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලත් පොදුජන එක්සත් පෙරමුණ නම් නව සන්ධානය යටතේ තරග බිමට පිවිසීම ආණ්ඩුවට දැඩි අභියෝගයක් වුණා. එලෙස රට පුරා මැතිවරණ උණුසුම වැඩි වෙමින් පැවති අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක මෙන්ම බස්නාහිර පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා වුණු ලලිත් ඇතුලත්මුදලි, කිරුළපන පැවති ජන රැළියක් අතරතුර නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකින් මියයාම දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. 1993 වසරේ අප්‍රේල් 23 වැනිදා සිදුවුණු එම සිදුවීමෙන් දින 8කට පසුව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස බෝම්බ ප්‍රහාරයකට ලක් වීමෙන් මියගියා. අනපේක්ෂිත අවස්ථාවක සිදුවුණු එම මරණ නිසා පළාත් සභා මැතිවරණය මැයි 17 වැනිදා පැවැත්වුණේ අර්බුදකාරී වාතාවරණයක් යටතේ යි. 

ලලිත් ඇතුලත්මුදලි (gettyimages)

1994 ජනාධිපතිවරණය 

ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලැබූ තෙවන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබුවේ 1994 වසරේ ඔක්තෝබර් 7 වැනිදා යි. එම ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් තරග බිමට පිවිසියා. නමුත්, 1994 වසරේ ඔක්තෝබර් 24 වැනිදා තොටළඟ පැවති රැළියේ දී ගාමිණී දිසානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනෙකුම ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බයකින් මරණයට පත් වෙනවා. එලෙස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මියයාමෙන් පසුව, එම පක්ෂයට නව ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට දින 3ක කාලයක් ලැබුණා. එහි දී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් විසින් නම් අපේක්ෂකත්වය සඳහා නම් කර වජිරා ශ්‍රීමතී දිසානායකගේ නම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළේ ඔක්තෝබර් 26 වැනිදා යි. එලෙස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මියයාමෙන් පසුව අර්බුදකාරී වටපිටාවක පැවති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කළේ 62.28%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ගාමිණී 1994 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර (lankadeepa)

කවරයේ ඡායාරූපය- 1988 ජනාධිපතිවරණයේ රැස්වීමක් අමතන රණසිංහ ප්‍රේමදාස (gettyimages)

මූලාශ්‍රයයන්:

1) යුගයක ගමන- ටී.බී ඉලංගරත්න 

2) මහා මැතිවරණ ප්‍රතිඵල 1989- මැතිවරණ දෙපාර්තමේන්තුව

3) ජනාධිපතිවරණ ප්‍රතිඵල 1988- මැතිවරණ දෙපාර්තමේන්තුව

4) 1947 මහා මැතිවරණ වාර්තාව- මැතිවරණ දෙපාර්තමේන්තුව

5) 1988 ජනාධිපතිවරණ වාර්තාව- මැතිවරණ දෙපාර්තමේන්තුව

Related Articles