Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤයෙන් නිදහස් වූ කියුබාවේ ඇමරිකානු හිතවාදී පාලනය

බැටිස්ටාගේ පාලනය බිද දමමින් විප්ලවීය නායක පිදෙල් කැස්ත්‍රෝ නම් 33 හැවිරිදි තරුණයා ගෙන ගිය කියුබානු විප්ලවයෙන් අනතුරුව සමාජවාදී කියුබාව ගොඩ නැගෙනවා. මෙම ලිපි පෙළ ලියවෙන්නේ පිදෙල් කැස්ත්‍රෝ විසින් බැටිස්ටා පාලනය ඉවත් කිරීමට මෙහෙයවන ලද කැරැල්ල හෙවත් “කියුබානු විප්ලවය” පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එමටයි.

කියුබානු විප්ලවයට ප්‍රථම, ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධය නිම වීමෙන් පසුව  කියුබාවේ දේශපාලනික, සාමාජිය හා යුධමය තොරතුරු පිළිබඳවත් මෙහිදී අපි අවධානය යොමු කළා.

ඇමරිකානු හිතවාදී පාලනයක් නිර්මාණය වූ ආකාරය

යුද්ධයෙන් ඇමරිකාව ජයග්‍රහණය කිරීම (reseauinternational.net)

කියුබාව දීර්ඝ කාලයක් තිස්සේ ස්පාඤ්ඤයට යටත්ව තිබූ අතර කියුබාවේ අයිතිය මුලික කරගනිමින් 1898  වසරේ අප්‍රේල් මාසයේදී ස්පාඤ්ඤ – ඇමරිකා යුද්ධය ආරම්භ වෙනවා.

ඇමරිකාව හා ස්පාඤ්ඤ අතර පැවති යුද්ධය අවසන් බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ 1898 වසරේ දෙසැම්බර් 10 වන දා දෙපාර්ශවය විසින් ප්‍රංශයේ පැරිස් නුවර දී අත්සන් කරන ලද පැරිස් ගිවිසුම (Treaty of Paris) හරහායි.

පොරොන්දු වූ පරිදි ඇමරිකාව විසින් ස්වාධීන පාලනයක් කියුබාවට ලබා නොදෙන අතර ඇමරිකානු හමුදාවේ පුර්ණ අධීක්ෂණය මත කියුබාව වසර තුනක් පමණ පාලනය වෙනවා.  ඔවුන් 1901 වසරේදී නැවතත් ප්ලැට් නමින් සංශෝධන යෝජනාවක් (Platt Amendment) ගෙන එමින් කොන්දේසි කිහිපයකින් කියුබාව යටත් කර තමන්ට වාසිදායක වන ආණ්ඩුවක් නිර්මාණය කර 1902 වසරේ මැයි 20 වන දා කියුබාවෙන් ඉවත්ව යනවා.

ප්ලැට් සංශෝධන යෝජනාව

ඇමරිකානු හමුදා කියුබාවෙන් ඉවත්ව යාමට ප්‍රථම ඇමරිකානු සෙනට් සභාවෙන්  කියුබාව සම්බන්ධයෙන් අනුමත වූ මෙම යෝජනාව තුළ ඇමරිකාවට වාසිදායක ආකාරයේ බොහෝ කරුණු අඩංගු වුණා. ඇමරිකාවේ අනුදැනුමකින් තොරව කියුබානු භුමියේ අයිතිය වෙනත් පර්ශවයකට පැවරිය නොහැකිය, ඇමරිකානු නාවික හමුදා මුලස්ථාන කියුබානු වරායවල් ආශ්‍රිතව ඉදි කිරීමට ඉඩ දිය යුතුය හා කියුබාව තුළ යම්කිසි මොහොතක දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගුණහොත් ඊට මැදිහත් වීමට ඇමරිකානු හමුදාවට බලය තිබිය යුතුයි (එය ඇමරිකානු රජය විසින් හදුන්වන ලද්දේ කියුබාවේ ස්වාධිනත්වය ඇති කිරීම සඳහා මැදිහත් වීමට ඇමරිකාව ට අයිතියක් ඇති ලෙසයි) වැනි යෝජනා එහි අඩංගුව තිබුණා.

ඇමරිකානු පාලනයෙන් නිදහස් වීම හා මැතිවරණය පැවැත්වීම

තෝමස් පැල්මා (CiberCuba)

කියුබාව විසින් ස්පාඤ්ඤයට විරුද්ධව කළ සටන් වලදී කියුබානු විප්ලවවාදී සංවිධානයේ නායකයා වූ හොසේ මාර්ටි, (José Martí) 1895 වසරේ ස්පාඤ්ඤ හමුදාව විසින් ඝාතනය කරනවා.  ඔහු සමඟ සිටි එම සංවිධානයේ දෙවන ජේෂ්ඨ සාමාජිකයා වන තෝමස් පැල්මා (Tomás Estrada Palma) 1902 වසරේ මැයි මාසයේදී කියුබානු ජනාධිපතිවරයා බවට පත් වන්නේ ජනතා ජන්දයෙන් .

ප්ලැට් යෝජනාව මත කියුබානු ඉඩම් ඇමරිකානු සමාගම් වලට මිලදී  ගත හැකි බැවින් බොහෝ ඇමරිකානු ව්‍යාපාරිකයන් විසින් කියුබානු භූමියේ දුම්කොළ හා උක් වගාව අත්පත් කරගන්නවා. 1903 වසරේ පෙබරවාරි මාසයේදී ඇමරිකානු – කියුබා ගිවිසුම යටතේ කියුබාවේ ග්වන්තනාමෝ (Guantanamo) වරාය ඇතුළු ග්වන්තනාමෝ බොක්කේ සම්පූර්ණ අයිතිය ඇමරිකාව විසින් අත්කර ගන්නවා. ඒ ඇමරිකානු නාවික කඳවුරක් පිහිටුවා ගැනීම සඳහායි.

තෝමස් පැල්මා විප්ලවීය ගරිල්ලා සංවිධානයකින් බිහි වූ අයෙක් බැවින් ඔහු කියුබානු ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කළ නායකයෙක් ලෙස ප්‍රසිද්ධයි. ඇමරිකානු රජය විසින් තම නාවික කඳවුරු 5ක් කියුබානු වෙරළ ආශ්‍රිතව පිහිටුවිය යුතුයැයි ප්‍රකාශ කර සිටියද පැල්මාගේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවය හේතුවෙන් එය එක් කඳවුරකට සීමා කර ගැනීමට හැකිවෙනවා.

ඇමරිකාව​ විසින් නැවත කියුබාව ආක්‍රමණය කරයි

ග්වාතනාමෝ බොක්කේ ඇමරිකානු නාවික යාත්‍රා (Guantánamo Public Memory Project)

1906 වසරේදී පැල්මාගේ රජය සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් ඇමරිකානු රජය විසින් දක්වනවා. කියුබානු පාලනය තුළින්, ඇමරිකානු ආර්ථිකය වර්ධනය නොවීම හේතු කොටගෙන කියුබානු පාලනය පෙරළා දැමීම සඳහා නැවතත් කියුබාව ආක්‍රමණය කිරීමට තියොඩෝර් රූස්වෙල්ට් විසින් කටයුතු කරනවා. අනතුරුව පැල්මාගේ රජය පෙරළා දමන ඔවුන් 1909 වසරේ නැවත කියුබාවෙන් පිටවී යන්නේ නව ජනාධිපතිවරයා ලෙස හොසේ ගෝමස් (José Miguel Gómez) පත්කිරීමෙන් පසුවයි.

සාජන්ට්ගේ කැරැල්ල හෙවත් බැටිස්ටාගේ ප්‍රථම හමුදා කුමන්ත්‍රණය

ෆුල්ජෙන්සියෝ බැටිස්ටා (Famous People)

1933 වසරේ සැප්තැම්බර් මාසයේ  4 වනදා කියුබානු හමුදාවේ සැරයන්වරයෙක් වූ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා (Ruben Fulgencio Batista Zaldívar) ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් එවකට කියුබානු ජනාධිපතිවරයා වූ මැනුවෙල් ද සැස්පිඩ්ස් (Manuel de Céspedes) බලයෙන් පහකර රේමන් ග්‍රවු (Ramón Grau) ජනාධිපතිවරයා ලෙස පත්කර ගන්නා අතර කියුබානු හමුදාවේ ප්‍රධානියා ලෙස බැටිස්ටා පත්වන්නේ  ඇමරිකානු රජයේ සහයෝගය ද ඇතිවයි.

නව ආණ්ඩුව මෙහෙයවීම බැටිස්ටා විසින් සිදු කල අතර ඔහු රේමන් ජනාධිපතිවරයා ඉවත්කර නව ජනාධිපතිවරයා ලෙස කර්ලොස් මෙන්ඩියටා (Carlos Mendieta) පත් කරනවා. 1934 වසරේ ජනවාරි මාසය වන විට ඔහුගේ මෙම රජය, ඇමරිකානු රජය විසින් පිළිගනු ලබනවා.

1940 වසරේදී කියුබාවේ ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් බැටිස්ටා පත්වෙන අතර ඒ සඳහා ඔහුට කියුබාවේ කොමියුනිස්ට්වරුන්ගේ ද සහය ලැබෙනවා.  ඔහු ඇමරිකාවට හිතවාදී පාලනයක් වසර හතරක් පුරාවට කියුබාව තුළ ගෙන යනවා. බැටිස්ටාගේ නායකත්වයෙන් යුතු කියුබාව දෙවන ලෝක යුද්ධ දී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලට තම සහයෝගය පළ කර සිටිනවා.

1944 ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වෙන බැටිස්ටා ඇමරිකාවේ පදිංචියට යන අතර නව ජනාධිපතිවරයා ලෙස  ග්‍රව් සැන් මාර්ටින් (Grau San Martín) පත්වෙනවා.

බැටිස්ටා දෙවන වරටත්

1950 වසරේදී හවානා නගරයේ දර්ශනයක් (YouTube)

මාර්ටින් ජනාධිපතිවරයා විසින් 1948 වන තුරු කියුබාව පාලනය කරන අතර 1948 වසරේ ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ කාලෝස් ප්‍රියෝ (Carlos Prío Socarrás) ය. මෙම කාලය වන විට කියුබාවේ ආර්ථිකය බොහෝ දුරට අස්ථාවර වූ අතර රජයේ දුෂණය, නාස්තිය ඉතා අධික වෙනවා.

1948 වසරේ කියුබානු සෙනට් මණ්ඩලයට තේරී පත්වෙන බැටිස්ටා නැවත වරක් කියුබානු දේශපාලනයට අවතීර්ණය වෙනවා. එලෙස පැමිණෙන බැටිස්ටා කියුබාව තුළ ජනාධිපතිවරණය ඉවත් කරමින් බලය ලබාගෙන ඇමරිකානු හිතවාදී ඒකාධිපති පාලනයක් රැගෙන යන අතර ඊට විරුද්ධව පිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් සන්නද්ධ වූ පිරිසක් 1953 වසරේ ජූලි 26 වනදා කියුබාවේ සන්තියාගෝ නගරයේ  මොන්කාඩා හමුදා බැරක්කයට ප්‍රහාර එල්ල කරමින් “කියුබානු විප්ලවය” ආරම්භ කරනවා. ඒ පිළිබඳව තවත් විස්තර සමඟින් දෙවන කොටසින් හමුවෙමු.

කවරයේ ජායාරූපය -CGTN America

Related Articles