ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට නතු වෙනවා. ඔවුන් කියුබාව යටත් කරගෙන නොසිටියත් ඔවුන්ට හිතවත් පාලනයක් කියුබාව තුළ නිර්මාණය කිරීමට ඇමරිකානු රජය තම බලය යෙදවීම මෙහිදී සිදු වුණා.

ඒ පිළිබඳව විස්තර පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආ අතර අද දිග හැරෙන්නේ කියුබාවේ බලය, බැටිස්ටා නම් ඒකාධිපති පාලකයෙක් විසින් ලබා ගැනීම හා ඔහුට එරෙහිව ෆිදෙල් කැස්ත්‍රෝ නම් විප්ලවවාදියාගේ නැගී සිටීම පිලිබන්දවත් ය.

බැටිස්ටා විසින් බලය පැහැර ගැනීම  

කර්ලොස් ප්‍රියෝ (fr.wikipedia.org)

ඇමරිකාවෙන් නැවත කියුබාවට පැමිණෙන බැටිස්ටා 1952 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කරනවා. නමුත් ජනාධිපතිවරණයට මාස තුනකට ප්‍රථම එනම් 1952 වසරේ මාර්තු 10 වනදා හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට බටිස්ටා සමත්වෙන අතර එවකට කියුබානු ජනාධිපතිවරයා වූ කර්ලොස් ප්‍රියෝ (Carlos Prío Socarrás) ව බලයෙන් නෙරපා දමා එදිනම බැටිස්ටා කියුබානු ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා.

ජනාධිපතිවරයා ලෙස පත්වෙන ඔහු එම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවලංගු කරන්නට කටයුතු කරන අතර බලය පැහැරගෙන ඉතා සුළු දවසකින් එනම් මාර්තු 27 වනදා ඔහුගේ ආණ්ඩුවට ඇමරිකානු රජයේ අනුමැතිය හිමිවෙනවා.

බැටිස්ටාගේ අත්තනෝමතික පාලනය

බැටිස්ටා (ThoughtCo)

බැටිස්ටාගේ පාලන සමය වන විට කියුබාවේ ආර්ථිකය ඉතා අඩාල තත්වයක පැවති අතර රජයේ නාස්තිය හා දූෂණය​ ද ඉතා අධික විය. නීතිය හා අධිකරණය පිළිබඳව ද විශ්වාසයක් තැබිය නොහැකි යුගයක් ලෙස බැටිස්ටා පාලනය හඳුන්වා දිය හැකියි. රජය විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු පහසුකම් වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම ද රට තුළ බලවත් නොසන්සුන්තාවයක් නිර්මාණය කරන්නට සමත් වෙනවා.

1953 වසර වන විට කියුබානු පවුලක සතියක් තුළ දළ අදායම ඩොලර් හයක් තරම් අඩු අගයක් ගත් අතර රටේ වැඩ කළ හැකි ජනතාවගෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙනවා. විශ්ව විද්‍යාල හා ජන මාධ්‍යය  තම පාලනයට හසු කරගන්නා ඔහු දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් ලෙස ද සදහන් කළ හැකියි.

ඔහුගේ පාලනය, ඇමරිකානු හිතවාදී පාලනයක් ලෙස හදුන්වා දිය හැකි අතර බැටිස්ටාගේ පාලන සමයේ දී කියුබානු උක් වගා බිම් වලින් 40%ක අධික ප්‍රමාණයක අයිතිය හිමිව තිබෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයන්ටයි. රටේ පැවති ඛනිජ තෙල් නිධි හා ස්භාවික සම්පත් වලද වැඩි අයිතියක් ඇමරිකානුවන්ට හිමිව තිබුණා. තවද බොහෝ ඇමරිකානු ව්‍යාපාරික ආයතන ද කියුබාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව සිටිනවා.

විප්ලවයක අවශ්‍යතාවය

ඇමරිකානු ව්‍යාපාරිකයන් හා කියුබානු ඉහළ පන්තියට පමණක් හිමි වූ හවානා නුවර ප්‍රිය සාද (mashable.com)

ඒකාධිපති පාලනය එරෙහිව නැගී සිටි නීතිවේදියෙක් වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු තරුණ කණ්ඩායමක් බැටිස්ටාගේ දූෂිත හා බලහත්කාරී පාලනය විරුද්ධව කියුබානු අධිකරණයේ නඩු පවරන නමුත් අධිකරණය විසින් එය නිෂ්ප්‍රභා කර දමනවා. මේ සමඟම බැටිස්ටා පාලනය නීතිමය ක්‍රියා මාර්ග මගින් පරාජය කිරීම කළ නොහැකි බව අවබෝධ කරගන්නා ෆිදෙල් ඒ සඳහා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක නිරත විය යුතු බව වටහා ගන්නවා.

හවානා නුවර බැටිස්ටාගේ මන්දිරය (mashable.com)

ඒ අනුව ක්‍රියාත්මක වන ෆිදෙල් හා ඔහුගේ සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ ඇතුළු පිරිසක් අවි ආයුධ එකතු කිරීමේ රහස්‍ය වැඩ කටයුතු හා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට නව සාමාජිකයන්  සොයා ගැනීමේ වැඩ කටයුතු බොහෝමයක් 1952 වසරේ අග භාගය වන විට සම්පූර්ණ කරගන්නවා.

මොන්කාඩා ප්‍රහාරය සඳහා ෆිදෙල් සුදානම් වේ

තරුණ පිදෙල් කැස්ත්‍රෝ (Mathrubhumi English)

1952 වන විට ෆිදෙල් කැස්ත්‍රෝ  කියුබානු ජනතාවාදී පක්ෂයේ (Party of the Cuban People) තරුණ නායකයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික, විප්ලවීය ක්‍රියාකාරම් හේතුවෙන් ෆිදෙල් වටා රැස් වූ තවත් ආයුධ සන්නද්ධ වීප්ලවවාදීන් 160 දෙනෙකු කියුබාවේ සන්තියාගෝ නගරයේ පිහිටි මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීමට සුදානම් වන අතර 1953 වසරේ ජූලි 26 වනදා සිදු වෙන මෙම ප්‍රහාරය “ජූලි 26 කැරැල්ල” ලෙසත් නම් කරනවා.

ප්‍රහාරය සඳහා සහභාගී වූ 160 දෙනා අතරින් විශාල පිරිසක් අවුරුදු 20 ගණන් වල තරුණයන් වූ අතර ප්‍රහාරය සඳහා පැහැදිලි ලෙස කොමියුනිස්ට් සංවිධානයක් මුල් නොවූ අතර බැටිස්ටා පාලනයට විරුද්ධ වූ පහළ මධ්‍යම ප්‍රාන්තිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ලෙස ජූලි 26 ව්‍යාපාරය හදුන්වන්නට පුළුවන්. ප්‍රහාරකයන් 160 දෙනාගෙන් හතර දෙනක් පමණක් උසස් අධ්‍යාපනය ලද පුද්ගලයන් වූ අතර බහුතර පිරිස ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ තරුණයන් වුණා.

1952 වසරේ අවසානය වන විට 1200 ක පමණ තරුණ පිරිසක් සංවිධානය වටා රොක් වෙන අතර කැරැල්ල සඳහා රයිෆල් හා හමුදා ඇදුම් මිලදී ගැනීම ද ෆිදෙල් විසින් බොහෝ දුරට අවසන් කරනවා.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර දා රාත්‍රියේ  සන්තියාගෝ නගරයට ආසන්න සිබෝනි (Siboney) ගම්මානයේ ගොවිපොළක ප්‍රහාරකයන් 160 දෙනා රැදී සිටි අතර 26 වනදා හිමිදිරියේ ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සන්තියාගෝ බලා පිටත්ව යනවා.

අසාර්ථක වූ පළමු ප්‍රහාරය

අසාර්ථක ප්‍රහාරය (Sara Davidson)

කැරලිකරුවන් 135 දෙනෙක් පිදෙල්ගේ නායකත්වයෙන් යුතුව මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීම පාන්දර 5ට පමණ ආරම්භ කරන අතර රාවුල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් තවත් කැරලිකරුවන් 24 දෙනෙක් බෙයමෝ (Bayamo) නගරයේ බලය අල්ලා ගැනීම සඳහා පිටත් වෙනවා.

කැරලිකරුවන්ගේ ප්‍රහාරය ඉතා දුර්වල වූ අතර සංවිධානාත්මකව පහර දීමට නොහැකිවීම මෙහි ප්‍රධාන දුර්වලතාවය විය.  රජයේ හමුදාව හා පොලිසිය විසින් කැරැල්ල පැය කිහිපයකින් මර්දනය කරන අතර කැරලි කරුවන් බොහෝ දෙනෙක් ඝාතනය කර අනෙක් පිරිස අත් අඩංගුවට ගැනීමට ඔවුන් විසින් ක්‍රියා කරනවා.(පසුව ෆිදෙල් විසින් පවසන්නේ  මරණයට පත් වූ කැරලිකරුවන් 61 දෙනාගෙන් සටන අතරතුර මරණයට පත් වූයේ 5ස් දෙනෙකු පමණක් බවත් ඉතිරි 56 දෙනාම අත්අඩංගුවට ගත් පසු බැටිස්ටාගේ හමුදාව විසින් ඝාතනය කළ බවයි) සටන අතරතුර රජයේ හමුදා හා පොලිස් භටයන් 19 දෙනෙක් මරණයට පත්ව 30 කට අධික පිරිසක් තුවාල ලබනවා.  

1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට  විරුද්ධව අධිකරණයේදී නඩු විභාග වූ අතර සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමිවෙනවා.  අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් ( Raúl Castro) ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde) පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol) ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස් වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමිවෙනවා.

නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා.

අත්අඩංගුවට පත් ෆිදෙල්ඇතුළු පිරිස (Cuba 1952-1959 - Blogger)

සිරගත කළ ෆිදෙල් ඇතුළු පිරිස දැඩි මහජන ඉල්ලීම මත 1955 වසරේදී නිදහස් කිරීමට බැටිස්ටාට සිදුවෙන අතර ඔහු විසින් එම පිරිස මෙක්සිකෝවට පිටුවහල් කරනවා.

විප්ලවය අත් නොහරින ෆිදෙල් ඇතුළු පිරිස එහිදී ඔවුන්ට හමු වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ ගුවේරා සමඟ නැවත කියුබාවට පැමිණෙන්නේ බැටිස්ටා පාලනය කියුබාවෙන් ඉවත් කිරීම අරමුණු කරගෙනයි. එතැන් සිට කියුබානු විප්ලවයේ ජයග්‍රහණය දක්වා තොරතුරු රැගත් තවත් ලිපියකින් හමුවෙමු.

කවරයේ ඡායාරූපය​ - 2016 වසරේදී කියුබාව විසින් ජූලි 26 සන්නද්ධ සටන සැමරීම (cpcml.ca)