Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝගයටත් වඩා භයානක අතීත ප්‍රතිකාර ක්‍රම

බටහිර වෛද්‍ය විද්‍යාව දිනෙන් දින දියුණු වන විද්‍යාවක්. අද ඵලදායී යැයි සැලකෙන ක්‍රමය බැහැරකොට හෙට වන විට ඊටත් වඩා සාධනීය ප්‍රතිකාර ක්‍රම ලොවට එළි කිරීම දිනෙන් දින සිදුවන්නක්. තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහොමත්ම රෝගයන් ඇති වීමට හේතු සාධකත්, එම රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමත් අද වන විට සොයාගෙන තිබුණත්, මෑතක් වන තුරුත් බටහිර වෛද්‍ය විද්‍යාව තිබුණේ ඉතාමත්ම ප්‍රාථමික අවධියක යි. අවසන් දශකය වන විටත් ඇතැම් රෝග වලට හේතුව මායාකාරියන්ගේ බලපෑම බව යුරෝපීයයන් විශ්වාස කළා. රෝග මූල හරිහැටි නොදන්නා නිසා ඔවුන් ඒ සඳහා භාවිතා කළ ප්‍රතිකාර ක්‍රමත් ඇතැම්විට ශරීරයට ඉතාමත් අහිතකර වුණා. ඇතැම් ප්‍රතිකාර ක්‍රම වලින් කෙටි කාලීන සනීපයක් ලැබුණත්, දිගු කාලීනව ඒවා ශරීරයට ඉතාමත්ම අහිතකර වුණා. මේ ලිපිය එවන් ‘අමුතු ප්‍රතිකාර’ ක්‍රම කීපයක් ගැනයි.

කැස්සට හෙරොයින්

හෙරොයින් නීති විරෝධී, සහ ඉතාමත් ඇබ්බැහිකාරක ලෙස සැලකෙන මත් ද්‍රව්‍යයක්. වර්තමාන අප තුළ හෙරොයින් පිළිබඳව වන අදහස එසේ නමුත්, 1890 පමණ කාලයේ යුරෝපීයයන් දැරුවේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක්. ඔවුන් හෙරොයින් කැස්ස සඳහා වන ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කළා.

බේයර් සමාගම විසින් අලෙවි කෙරුණු හෙරොයින් අඩංගු කැස්ස පැණිය (Tactical Shit News)

1890 දී ජර්මනියේ ලෝක ප්‍රකට බේයර් සමාගම විසින් හෙරොයින් භාවිතා කර කැස්සට ප්‍රතිකර්ම ලෙස පැණියක් නිපදවූවා. මෙය කුඩා දරුවන් සඳහා විශේෂයෙන් නිර්දේශ කළ අතර, කැස්සට නොවරදින ප්‍රතිකර්මය ලෙස සලකා බොහෝ දෙනෙකු විසින් මිළයට ගනු ලැබුවා. අදටත් කැස්ස සහ වේදනා නාශක ඖශධයක් ලෙස භාවිතා වන මෝර්ෆීන් වලට වඩා හෙරොයින් අවම ලෙස ඇබ්බැහිකාරක බවට වූ අදහස මෙහි ප්‍රසිද්ධියට වඩාත් හේතු වුණා. ක්ෂය රෝගය වැළඳුනු රෝගීන්ට මෙය සාර්ථක ප්‍රතිකර්මයක් වූ බව ද පැවසෙනවා.

කෙසේ නමුත් 1899 පමණ වන විට මෙම ඖෂධය සඳහා ඇබ්බැහි වූවන් පිළිබඳව තොරතුරු යුරෝපය පුරා වාර්තා වීමට පටන්ගත් අතර, 1913 වන විට බේයර් සමාගම විසින් මෙහි නිශ්පාදනය නවතා දමනු ලැබුවේ ද, මෙයින් සුවපත් වන රෝගීන්ට වඩා ඇබ්බැහි වූ රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගත් නිසා යි.

ලිංගික අප්‍රාණිකත්වයෙන් ප‍ෙළ‍ෙනවා ද? විදුලි ප්‍රතිකර්මය ඔබව සුව කරයි!

වෛද්‍ය සෑන්ඩන්ගේ විද්‍යුත් බඳ පටිය (Pinterest)

19වන ශතවර්ෂය විවිධාකාර මිත්‍යා විශ්වාසයන් ‍රැසක් මුල් බැස තිබූ අවධියක්. පුරුෂයින් ස්වයංවින්දනය කිරීම ලිංගික අප්‍රාණිකත්වයට හේතුවක් බවට එකල සැලකුණා. මෙයට ප්‍රතිකර්මයක් ලෙස ඔවුන් භාවිතා කළ ක්‍රමය විශේෂයි. ලිංගික අවයව වලට විද්‍යුත් කම්පන ලබාදීම මගින් ඒවා ප්‍රාණවත් කළ හැකි යැයි ඔවුන් විශ්වාස කළා. ඒ, විද්‍යුත් කම්පන ප්‍රතිකාර බොහොමයක් රෝග සඳහා නොවරදින ප්‍රතිකාර ක්‍රමයක් යැයි ඔවුන් විශ්වාස කළ නිසායි.

මෙම බඳ පටිය එකළ ඉතා ඉහළ මිළක් බවට සැලකුණු ඩොලර් 18කට විකුණන ලදී (Toptenz.com)

මේ සඳහා විද්‍යුත් බඳ පටියක් ද නිපදවනු ලැබුවා. ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රතිකාර කිරීම සඳහා දියුණු ඖෂධ නිපදවා නොතිබූ ඒ සමයේ, විවිධාකාර සන්නාම යටතේ නිපදවුණු මෙම බඳපටි වලට ඉහළ ඉල්ලුමක් තිබූ බව කියැවෙනවා.

ළදරුවන්ට නිදි බෙහෙත්

දරුවන්ට නිදි බෙහෙත් දෙන කතා අප අසා තිබෙන්නේ ඉතාමත් කලාතුරකින්. එයත් සිදුවන බව අසා තිබෙන්නේ යාචක ව්‍යාපාරයේ, සහ කුඩා දරුවන් බලාගන්නා මෙහෙකාරියන් අතින් පමණයි. නමුත් 19වන සියවසේ දී නම් නළවා ගත නොහැකි දරුවන්ට මෝෆීන් නම් නිද්‍රාකාරක ඖෂධය ලබා දීම ඉතා සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබුණා.

Mrs. Winslow’s Soothin Syrup නම් සන්නාමය යටතේ නිපදවූ නිද්‍රාකාරකය සඳහා වූ වෙළඳ දැන්වීමක් (youtube.com)

කුඩා දරුවන්ට ලබාදෙන ආහාර පාන, ඖෂධ ආදිය ගැන අද සමාජය මහත් සැලකිල්ලක් දක්වනවා. දරුවාගේ ආරක්ෂාව උදෙසා මේ දෙය ඉතාමත්ම ඉස්තරම්ව නිශ්පාදනය කෙරෙනවා. නමුත් 19වන සියවසේ දී මෙම කරුණු එතරම්ම වැදගත් වූවා යැයි සිතන්නට අපහසුයි. මොකද, කුඩා දරුවන්ට ලබා දුන් මෙම නිද්‍රාකාරකයේ අවුන්සයකට, අති ප්‍රබල මත්ද්‍රව්‍යයක් සහ ඇබ්බැහිකාරකයක් වන පිරිසිදු මෝෆීන් මිලිග්‍රෑම් 65 ගණනේ අඩංගු වන සේ නිශ්පාදනය කර තිබුණා. කුඩා දරුවන්ගේ දත් ඒම නිසා ඇතිවන විදුරුමස් වේදනාව ආදී සියළුම වේදනාවන් සඳහා මෙය නිර්දේශ කෙරුණා.

දත් එන ළදරුවන්ට Mrs. Winslow’s Soothin Syrup.. බෝතලයක් සත විසිපහයි! (Old Ads Are Funny)

මෙම සිරිත බැහැර කිරීම ඇරඹුණේ 1910 දී New York Times පුවත්පත මගින් මෙම බෙහෙතේ යහපත් ප්‍රතිඵල වලට වඩා දීර්ඝ කාලීනව අයහපත් අතුරුඵල ඇතැයි සඳහන් ලිපියක් පල කිරීම නිසාවෙනුයි.

මොළයේ කොටස් ඉවත් කිරීම

ඔබ කුඩා කල අකීකරු හෝ ඉතාමත්ම දඟකාරී යැයි හැඳින්වුණු දරුවෙකු නම්, ඔබ වර්තමාන ලංකාවේ ඉපදීම වාසනාවක් ලෙස සලකන්නට පුළුවන්. හදිසියේවත් ඔබ 20වන සියවසේ මැද භාගයේ යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ උපත ලැබුවා නම්, ඔබගේ අකීකරුකමට ප්‍රතිකාරයක් ලෙස මොළයෙන් කොටසක් ඉවත් කිරීමේ අවධානමක් තිබුණා!

සැත්කමක් සිදු කෙරෙන ආකාරය (Sick Chirpse)

20වන සියවසේ මැදක් වන තුරුත් මානසික ව්‍යාධීන් හා ඒ සම්බන්ධ තත්ත්වයන්ට ප්‍රතිකාර කෙරුණේ ඉතාමත්ම අසතු‍ටුදායක ක්‍රමයන් වලටයි. එකල ප්‍රසිද්ධ ප්‍රතිකර්මයක් වූයේ ‘lobotomy’ නමින් හැඳින්වෙන පිණ්ඩ විච්ඡේදන ක්‍රමයයි. මෙහිදී දිගු තුඩක් සහිත උපකරණයක් ඇසේ කුහරය තුලින් හිස්කබල තුළට යවා, මොළයේ ලලාට ඛණ්ඩිකාවේ ඇති ස්නායු සම්බන්ධතා කපා දමනු ලැබුවා. දෙමාපියන් තමන්ගේ විෂාදය සහිත යැයි සැක කෙරුණු දරුවන් පවා වෛද්‍යවරයා වෙත ගෙනගොස් මෙම ප්‍රතිකාරය ලබා දුන් අතර, දතක් ගලවා ගමන තරමේ ක්‍රියාවලියක් ලෙස මෙය සාමාන්‍යකරණය වුණා.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ transorbital lobotomy (ice pick lobotomy) සැත්කම් ක්‍රමය සොයාගැනීමේ පුරෝගාමියා වූ වෛද්‍ය වෝල්ටර් ෆ්‍රීමන් සැත්කමක් සිදුකරනා අයුරුයි. (Mad Scientist Blog)

කෙසේ නමුත් මෙම සැත්කමෙහි ප්‍රතිඵල ලෙස සැත්කමට භාජනය වූවන්ගේ පෞරුෂය අහිතකර ලෙස වෙනස් වූ අතර, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව, තර්කීය ඥානය ආදිය මොට වී, නැතිව ගියා. තත්ත්වය මෙසේ වුව ද මෑතක් වන තුරුම මෙම සැත්කම් සිදු කෙරුණු අතර, මෙම ‘ප්‍රතිකර්මය’ නවතා දමන විටත් ආසන්න වශයෙන් ලක්ෂයක පමණ පුද්ගලයින් මෙම සැත්කමට භාජනය කර තිබුණා.

දහසක් අහිතකර ප්‍රතිකාර ක්‍රම අතරින් අප විසින් මෙහි සඳහන් කර ඇත්තේ ක්‍රම 4ක් පිළිබඳව පමණයි. ඉදිරියටත් වරින් වර තවත් ලිපි තුළින් මෙවන් ක්‍රම කිහිපය බැගින් ඔබට ඉදිරිපත් කිරීමට අප අදහස් කරනවා. මේ පිළිබඳව ඔබේ අදහස් ද අපට දැනුම් දෙන්න.

කවරයේ ඡායාරූපය: artefact.museumofhealthcare.ca

Related Articles