Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් ත්‍යාග හයක් ලබාගත් කියුරි පවුල

එකම පවුලක පුද්ගලයන් කිහිපදෙනෙකු නොබෙල් ත්‍යාගය ලබාගැනීම ඉතිහාසය තුළ සිදු වූ දුර්ලභ සිදුවීමක් ලෙස නම් කරන්න පුළුවන්. එලෙස නොබෙල් ත්‍යාග වැඩි ම ප්‍රමාණයක් ලැබූ පවුල ලෙස ඉතිහාසගත වී සිටින්නේ සුප්‍රසිද්ධ කියුරි පවුල යි.

මාරි කියුරි හා පියරේ කියුරි එකතුව 1903 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගන්නා අතර 1911 දී මාරි කියුරි රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගන්නවා.

මාරි කියුරි හා පියරේ කියුරි යුවළගේ වැඩිමහල් දියණිය වන අයිරීන් ජූලියට් කියුරි හා ඇයගේ ස්වාමිපුරුෂයා වන ෆෙඩ්රික් ජූලියට් කියුරි එකතු වී 1935 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාග හිමිකර ගන්නවා.

මාරි හා පියරේ යුවළගේ දෙවන දියණිය වන ඊව් කියුරිගේ ස්වාමිපුරුෂයා වන හෙන්රි රිචඩ්සන් 1965 දී සාමය සඳහා නොබෙල් ත්‍යාගය හිමිකර ගන්නවා.

ඒ අනුව කියුරි පවුලට ප්‍රදානය කළ නොබෙල් ත්‍යාග ප්‍රමාණය හයක්. මව, පියා මෙන්ම දියණිය, හා බෑණාවරුන් දෙදෙනෙකු නොබෙල් ත්‍යාගය දිනූ එම කතාව පිළිබඳව යි අද ලිපිය.

නොබෙල් ත්‍යාගය දිනාගත් මාරි කියුරි හා පියරේ කියුරි යුවළ

මාරි හා පියරේ තම දියණිය සමග (Legend Love story)

මරියා සලොමේ ස්ලෝඩොව්ස්කා නමින් 1867 නොවැම්බර් මාසයේ පෝලන්තයේ දී උපත ලබන ඇය නොබෙල් ත්‍යාගයක් ලබාගත් පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. තව ද, දෙවරක් නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව ලෙස ද ඇය ව හඳුන්වා දිය හැකියි.

ඒ වගේ ම පැරිස් විශ්ව විද්‍යාලයේ ප්‍රථම මහාචාර්යවරිය වන්නේ ද මාරි කියුරි යි. (ප්‍රංශයේ දී ඇය ව හඳුන්වන්නේ මාරි යන නමින්) ලොව වටා විශ්වවිද්‍යාල කිහිපයකින් ගණිතය, භෞතික විද්‍යාව, හා රසායන විද්‍යාව සඳහා පශ්චාත් උපාධි රැසක් දිනාගැනීමට හැකියාව ඇයට ලැබෙනවා.

1859 දී ප්‍රංශයේ පැරිස්හි උපත ලබන පියරේ කියුරි ප්‍රංශය පුරා ප්‍රසිද්ධ වන්නේ භෞතික විද්‍යාඥයෙක් ලෙස යි. තම බිරිඳ සමග එකතු වී ඔහු ද 1903 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබනවා.

උසස් අධ්‍යාපනය සඳහා පෝලන්තයේ සිට ප්‍රංශය බලා පැමිණෙන මාරිට 1894 දී පියරේ කියුරි නම් මෙම තරුණ විද්‍යාඥයා හමුවෙනවා. හමුවීමෙන් වසරකට පමණ පසු ව ඔවුන් දෙදෙනා විවාහ වෙනවා.

දෙදෙනා එකතුව සාදාගත් විද්‍යාගාරයක නොයෙකුත් අන්දමේ මුලද්‍රව්‍ය පිළිබඳ ව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකරන අතර, ඔවුන් දෙදෙනා හා ඔවුන්ගේ පරීක්ෂණ සඳහා සහභාගී වූ හෙන්රි බෙකරල් ද 1903 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගන්නවා. ත්‍යාගය ලබාගැනීමට හේතුව වූයේ ඔවුන් විසින් යම් යම් මූල ද්‍රව්‍යයන් සතු ව ඇති විකිරණශීලිතාවය අනාවරණය කරගැනීම යි.

නොබෙල් ත්‍යාගය නැවත වරක් දිනාගත් මාරි කියුරි

තම දියණියන් දෙදෙනා සමග මාරි කියුරි (Irish News)

මේ තරුණ විද්‍යාඥ යුවළ චුම්භකත්වය හා විකිරණය පිළිබඳ ව දිගින් දිගටම පර්යේෂණ කරමින් සිටින අතර පියරේ කියුරි හදීසියේ මිය යනවා. ඒ මාර්ගයේ පයින් ගමන් කරමින් සිටිය දී අශ්ව කරත්තයක් හා ගැටීමෙන්.

ඉන්පසු ව තනියම තම පර්යේෂණවල නියැලෙන මාරි කියුරි විසින් විකිරණශීලී මුලද්‍රව්‍යයක් වන රේඩියම් සොයාගනු ලබනවා. ඒ හේතුවෙන් ඇය නැවත වතාවක් නොබෙල් ත්‍යාගය ලබාගැනීමට සමත් වෙනවා. මෙවර නොබෙල් ත්‍යාගය හිමිවෙන්නේ රසායන විද්‍යාව වෙනුවෙනුයි.

අවසානයේ දී ඇය පර්යේෂණ පැවත්වූ විකිරණ බලපෑම් හේතුවෙන් ම හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් 1934 ජූලි මාසයේ  4වන දා මරණයට පත්වෙනවා.

කියුරි පවුල වෙත නැවත නොබෙල් ත්‍යාගය දිනා දුන් අයරීන් හා එඩ්වඩ්

අයිරීන් හා ෆෙඩ්‍රික් (Irene)

කියුරි පවුලේ වැඩිමහල් දියණිය වන අයරීන් කියුරි උපත ලබන්නේ 1897 සැප්තැම්බර් මාසයේ ප්‍රංශයේ පැරිස්හි දී යි. කුඩා කල පටන් ම දෙමාපියන් මෙන්ම ගණිතයට, භෞතික විද්‍යාවට, හා රසායන විද්‍යාවට මහත් ඇල්මක් දක්වන ඇය පැරිස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1925 වසර වන විට විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමට ඇය සමත් වෙනවා.

1900 මාර්තු මාසයේ දී ප්‍රංශයේ පැරිස්හි උපත ලබන ෆෙඩ්‍රික් ජූලියට් උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව මාරි කියුරි විසින් ආරම්භ කරන ලද ඇයගේ පර්යේෂණාගාරයේ සහයක විද්‍යාඥයෙක් ලෙස සේවයට එකතු වෙනවා. මෙම කාලය තුළ ඔහු විද්‍යාගාරයේ සේවය කළ මාරි කියුරිගේ වැඩිමහල් දියණිය වන අයරීන් සමග පෙමින් වෙළෙනවා.

1926 දී අයරීන් කියුරි තම මවගේ විද්‍යාගාරයේ සේවය කළ ෆ්‍රෙඩ්රික් ජූලියට් සමග විවාහ වන අතර විවාහයෙන් පසු ව දෙදෙනා විසින් ම තම වාසගම ලෙස භාවිතා කරන්නේ “ජූලියට් කියුරි” යන නාමය යි. නමුත් ඔවුන් විසින් සිදුකළ පර්යේෂණවල පර්යේෂණ පත්‍රිකා අත්සන් තබන්නේ අයරීන් කියුරි හා ෆෙඩ්රික් ජූලියට් ලෙස යි.

මාරි කියුරිගේ විද්‍යාගාරවල ඔවුන් දෙදෙනා දිගින් දිගටම රසායන විද්‍යාව සම්බන්ධ ව පර්යේෂණ පවත්වන අතර 1935 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඔවුන් දෙපළට හිමිවෙනවා. ඒ ඇලුමිනියම් විකිරණශීලී බවත් ඒවා ඇල්ෆා කිරණ සමග නියුට්‍රෝන පිට කරන බවත් සොයාගැනීම හේතුවෙන්.

කියුරි පවුලට තවත් එක් නොබෙල් ත්‍යාගයක්

ඊව් හා හෙන්රි (SlideServe)

මාරි කියුරිගේ බාල දියණිය වන ඊව් කියුරි වෘත්තියෙන් ලේඛිකාවක් වන අතර ඇය විසින් මාරි කියුරි පිළිබඳ ව ග්‍රන්ථයක් ද ලියා පළ කරනවා. 1954 දී ඇය විවාහ වන්නේ ඇමෙරිකානු දේශපාලඥයෙක් මෙන්ම රාජ්‍ය ත්‍රාන්තික නිලධාරියෙක් වන හෙන්රි රිචඩ්සන් සමග යි.

1965 දී ඔහුට හා යුනිසෙෆ් සංවිධානයට ලෝක සාමය උදෙසා නොබෙල් ත්‍යාගය හිමිවෙන අතර, එම නොබෙල් ත්‍යාගයත් සමග කියුරි පවුලට හිමි වූ නොබෙල් ත්‍යාග ප්‍රමාණය හය දක්වා ඉහළ යනවා.

කවරයේ ඡායාරූපය – Glogster

මූලාශ්‍රයයන්:

nobelprize.org/prizes/chemistry/1935/summary/

nob

todayifoundout.com/index.php/2011/11/marie-curies-immediate-family-won-a-total-of-five-nobel-prizes/

roar.media/sinhala/arya/identities/marie-curie-the-scientist/

britannica.com/biography/Frederic-and-Irene-Joliot-Curie

sciencehistory.org/historical-profile/irene-joliot-curie-and-frederic-joliot

Related Articles