සුද්දන් පළිගත් දඹුලු විහාරේ වටා ගෙතුණු කතා

රන්ගිරි දඹුල්ල ගැන කවුරුත් දන්නේ ලෙන් විහාරයක් විදිහට පමණ යි. නැත්නම් යුනෙස්කෝ ලෝක උරුමයක් කියලයි. දඹුල්ල විහාරස්ථානයක් විදිහට ඇරඹෙන්නටත් පෙර ආරණ්‍යවාසී භික්ෂූන් විසූ පුරාණ තපෝවනයක් බව හුඟදෙනෙක් දන්නෙ නෑ. ඒ වගේම සුද්දන්ට එරෙහි ජාතික විමුක්ති ව්‍යාපාරයට උදව් කළ නිසා දඹුල්ල පන්සලට දඩුවම් කර පළි ගැනීමටත් ඉංග්‍රීසී ආණ්ඩුව කටයුතු කරලා තියනවා.

නම හැදුණේ මෙහෙමයි

දිය උල්පතෙන් වෑස්සෙන ජලය-  srilankain91days.com

දඹ යන සිංහල චවනයෙන් වන පලතුරු ගස් වර්ගයක් සේම පර්වත ද හඳුන්වා තිබෙනවා. උල් යන්නෙන් හදුන්වන්නේ ජලය යි. දඹ ඌල යනු පර්වයෙන් නැගෙන ජල උල්පත යි. දඹයෙන් වෑහෙන ඌල නිසා මේ විහාරය දඹුල්ල වූ බව යි කියැවෙන්නේ. විහාරයේ මහ රජ ලෙනේ ලෙන් වියනෙන් බිංදුව බිංදුව වෑස්සෙන දිය උල්පත කිසිදිනක නොසිදෙන බව ජන වීශ්වාසය යි. එය විහාරයේ නම ඇතිවීමට හේතු වී තිබෙනවා. එම දිය උල්පතේ ජලය එකතුවීමට විශාල මැටි භාජනයක් තබා තිබෙනවා. නමුත් මෙහි පුරාණ නාමය අච්ඡ පබ්බත (වලස්ගල) බව විහාරයේ ඇති සෙල්ලිපියක සඳහන් වෙනවා. දඹුල්ල යන නම භාවිතය පොළොන්නරු යුගය වන විට ආරම්භ වී තිබෙනවා.

පොළොන්නරුවේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවල මේ විහාරය හදුන්වන්නේ දම්බුලු යනුවෙන්.

වළගම්බා රජු ලෙන් කරවූ හැටි

 දඹුලු ලෙන -Kusumsiri Wijayawardhana

ජනප්‍රවාදයේ දැක්වෙන්නේ වළගම්බා රජු (ක්‍රි. පූ. 43-17) මේ විහාරය මුලින්ම කරවූ බව යි. දඩයමේ යද්දී ගීතා නමැති වැද්දකු විශාල ලෙනක් දැක ඒ ගැන රජ්ජුරුවන්ට කියා තිබෙනවා. රජු විහාරයකට සුදුසු ලෙනක් බව දැනගෙන තමන් රජවූ පසු ලෙන්වල කටාරම් කොටවා විහාර කර්මාන්ත කරවා තිබෙනවා. මහරජ විහාරය ද පස් පිළිම විහාරය ද දෙව්රජ විහාරය ද කරවූ රජු දෙව්රජ විහාරයේ පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමයට සුදුසු වඩුවෙක් නැති සොවින් සිටියේ ලු. එවිට සක්දෙව් රජ ගල්වඩුවකුගේ වේශයෙන් පැමිණ බුද්ධ පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමය කරවූ බව ජනප්‍රවාදය පවසනවා. ඒත් මහාවංශයේ වළගම්බා රජු මෙවැනි විහාරයක් කරවීම ගැන නම් ලියා නැහැ. රාජරත්නාකරය සහ විහාරය ගැන ඇති තල්පත් කීපයක වළගම්බා රජු ගැන සඳහන් වෙනවා. ඒත් ඒවා අයත් වන්නේ මහනුවර යුගයට යි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1721 දී ප්‍රදානය කර ඇති දඹුලු විහාර තුඩපතේ වළගම්බා සිද්ධිය මෙසේ දක්වා තිබනවා:

නැවත වන දුර්ග හා ගිරිදුර්ගාදියෙහි ප්‍රවෘත්ති ඇසූ තැනේ දී එහි වසන වැදි පුත්‍රයෙක් දඹුලුගල පර්වතයෙහි ගුහාවක් තිබෙන බව වළගම්බා නම් රජතුමාණන්ට සැලකළ තැනේ දී රජු සිව්රග සෙනග පිරිවරා ඒ ලෙන තිබෙන තැනට වැඩමවා වනාන්තරගතව තිබූ කැලේ එළිකරවා ගිරිලෙන කටාරම් කොටවා තාප්ප බිත්ති බැඳ…

ප්‍රතිසංස්කරණය

නිශ්ශංකමල්ල සෙල් ලිපිය –  wikipedia.org

පොළොන්නරුවේ පළමුවන විජයබාහු (1055-1114) රජු ජරාවාසව තිබූ දඹුලු ලෙන අලුත්වැඩියා කරවා නඩත්තුව සදහා ගම්වර පිදූ බව මහාවංශය දක්වනවා. නිශ්ශංකමල්ල රජු (1187-1196) කාලයේ නැවතත් අබලන්ව පැවති විහාරය ප්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කළ බව ඒ රජුගේ දඹුලු විහාර සෙල්ලිපියේ සදහන් වෙනවා. එම සෙල්ලිපිය දඹුල්ලේ ඇති දිගම සෙල්ලිපිය යි. දැනට විහාර වාහල්කඩට දකුණින් ඇති ලෙන අසල පර්වතයේ එය කොටා තිබෙනවා. රජු දඹුලු විහාරයෙහි සැතපෙන, වැඩහිඳින, හිඳි පිළිම රන් ආලේප කර හත් ලක්ෂයක් කහවනු වියදම් කොට පූජා පවත්වා විහාරයට “ස්වර්ණගිරි ගුහායැ” යි නම් තැබූ බව සෙල්ලිපිය පවසනවා. දඹදෙනි යුගයේ ලියවුණු පූජාවලියේ ද මේ රජු දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කළ අන්දම විස්තර කරනවා.

රන් ආලේපිත පිළිම-  srilanka.hotels.com

දඹුලු විහාර තුඩපතට අනුව විමලධර්මසූරිය රජු (1592-1604) දඹුලු විහාර ප්‍රතිසංස්කරණය ආරම්භ කළත් එය නිමකිරීමට ඔහුට අවස්ථාව ලැබී නැහැ. ඊට පසු රජවන සෙනරත් (1604-1635) එම ප්‍රතිසංස්කරණ නිමකර තිබෙනවා. සෙනරත් රජු මේල්පිටියේ අබේසිංහ මුදියන්සේට විහාර ප්‍රතිසංස්කරණ කටයුතු පවරා තිබෙනවා. ඒ සදහා වසර තුනක් ගතවූ බවත් බුද්ධ ප්‍රතිමා 63ක් පිළිසකර කළ බවත් තුඩපත පවසනවා. පොතුහැර තුඩපතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාර ප්‍රතිසංස්කරණය කිරීම ගැන විස්තර කරනවා. දෙව්රජ විහාරය, මහජර විහාරය, හා පශ්චිම විහාරය ප්‍රතිසංස්කරණය කළ රජු ඒ විහාර අතර තිබූ ගල්ලෙනක් සුද්ද කරවා නව විහාර ගෙයක් තනවා තිබෙනවා. එය දැන් හඳුන්වන්නේ මහ අලුත් විහාරය නමින්. හැබැයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු මහාවංශ කර්තෘට අමතකවීම පුදුමයට කරුණක් බව මහාචාර්ය මංගල ඉලංගසිංහ සදහන් කරනවා.

ලෙන් විහාර පහක බුදු පිළිම 153ක්

දඹුලු පිළිම වන්දනාව- Kusumsiri Wijayawardhana

මෙහි පර්වතය දිගට ලෙන් විහාර පහක් තනා තිබෙනවා. ඒවා පිළිවෙලින් දෙව්රජ විහාරය, මහරජ විහාරය, මහ අලුත් විහාරය, පශ්චිම විහාරය, සහ දෙවන අලුත් විහාරය නමින් තමයි හඳුන්වන්නේ.  මේ අතරින් දෙවැනි අලුත් විහාරය 18 වැනි සියවසේ දී දුල්ලෑවේ අදිකාරම විසින්  කරවා තිබෙනවා. අද අපි දකින දඹුල්ල සියවස් ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් ආ විහාරයක් බව ඉන් පැහැදිලි වෙනවා.

 ලෙන තුළ දාගැබ – wikipedia.org

ලෙන් විහාර හැම එකක්ම හිදි පිළිම, හිටි පිළිම, සහ සැතපෙන පිළිමවලින් පිරිලා. විවිධ මුද්‍රා සහිත බුද්ධ ප්‍රතිමා ප්‍රමාණය 153ක්. ඒ හැරුණම වළගම්බා, කීර්ති නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ පිළිමත්, උපුල්වන්, තාරා දෙවගන, නාථ සහ විෂ්ණු යන දේවරූප හතරත් දැකගැනීමට ලැබෙනවා. ලී, මැටි, ගඩොල් සහ කළුගල් යන විවිධ ආකාරයේ මාධ්‍ය ප්‍රතිමා තැනීමට එදා නිර්මාණ ශිල්පියා යොදාගෙන තිබෙනවා. බහුලවම ඇත්තේ මැටියෙන් තනා බදාම ආලේප කළ පිළිම යි. දෙව්රජ විහාරයේ ආවරණය කර ඇති කොටසක තැන්පත් කර ඇති විෂ්ණු ප්‍රතිමාව රත්හඳුන් ලීයෙන් කළ එකක් බව යි කියැවෙන්නේ.

බිතුසිතුවම් කලාගාරයක්

දකින සැම අත බිතුසිතුවම්- Kusumsiri Wijayawardhana

ලංකාවේ විශාලම බිතුසිතුවම් පන්තිය දැකගත හැක්කේ දඹුලු විහාරයේ දී යි. එය වර්ග අඩි 20000ක් පුරා පැතිර තිබෙනවා. වැඩිම සිතුවම් ප්‍රමාණයක් ඇද ඇත්තේ ලෙන් වියනේ. මේ සිතුවම් සියල්ලම අයත් වන්නේ මහනුවර යුගයට යි. බුදුන් වහන්සේගේ පෙර ආත්මභවයන්ට සම්බන්ධ ජාතක කතා, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, දේව රූප, හා විවිධ ජ්‍යාමිතික මෝස්තර මේවායේ දැකගත හැකියි. මහරජ ලෙන සහ අලුත් විහාරයේ 18 වැනි සියවසට අයත් වැඩිම සිතුවම් ප්‍රමාණයක් තිබෙනවා. දඹුල්ලේ සිත්තම් ඇද තිබෙන්නේ නිලගම පරම්පරාවේ සිත්තරු විසින්. ඒ බව නිලගම තුඩපතේ ද දැක්වෙනවා.

සංඝාවාස හතරක්

දඹුලු ගලට දිවෙන පියගැට පෙළ- Kusumsiri Wijayawardhana

රංගිරි දඹුලු විහාරයට අනුබද්ධ භික්ෂුන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රධාන ආරාම හතරක් තිබෙනවා. ඒවා නම් මැද පන්සල, ඉහළ පන්සල, උයන්වත්ත පන්සල අංක 1, සහ උයන්වත්ත පන්සල අංක 2 යි. රංගිරි දඹුලු රජ මහා විහාරයේ සියලු ආගමික කටයුතු සහ තේවා පුද පූජාවන් ඉටුකරන්නේ ඒ පන්සල්වල භික්ෂූන්වහන්සේ විසින්.

මාතලේ කැරැල්ලට පන්සලෙන් පළි ගැනීම

මාතලේ නගරයේ පිහිටි කැරැල්ලේ සිහිවටනය- wikipedia.org

ඉංග්‍රීසි පාලනයට එරෙහිව සිංහලයන් අවි අතට ගත් මාතලේ කැරැල්ලේ මූලස්ථානයක් වූයේ දඹුලු විහාරය යි. මෙහි භික්ෂූන්වහන්සේලා දිවි හිමියෙන් ඉංග්‍රීසින්ට එරෙහිව ජනතාව එක්රැස් කරවා තිබෙනවා. කැරැලිකරුවන්ට රැකවරණය දුන් ඔවුන්ට උපදෙස් දුන් ස්ථානයක් වූයේ ද දඹුලු පන්සල යි. 1848 ජූලි 30 දා ගොන්ගාලෙගොඩ බණ්ඩා දඹුලු විහාරයේ මැද මළුවේ දී සිංහලේ රජු වශයෙන් අභිෂේක කොට තිබෙනවා. මෙම ඔටුනු පැළදීමේ උත්සවයට ලක්ෂයක පමණ ජනතාවක් සහභාගි වූ බව පැවසෙනවා. මේ සදහා දඹුලු විහාරයේ නායක හිමියන් වූ ගිරානෙගෙම ඉන්දජෝති හිමියන් මූලිකත්වය ගෙන තිබෙනවා. කඩහපොළ හාමුදුරුවෝ සහ තවත් භික්ෂූන් කිහිප නමක් ඒ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

කැරැල්ලේ රජ ගොංගාලෙගොඩ බණ්ඩා සමරු මුද්දරය- wikipedia.org

මාතලේ කැරැල්ල පරාජය වූ පසුව විහාරයට දඬුවම් කිරීමට ඉංග්‍රීසින් ක්‍රියා කළා. ඔවුන් මුලින්ම කළේ දඹුලු විහාරය කොල්ල කා සංඝාවාස ගිනිබත් කිරීම යි. දඹුල්ලෙන් අල්ලාගත් දේපලවල වටිනාකම පවුම් 2241ක් බව වාර්තාවල දැක්වෙනවා. භික්ෂූන්වහන්සේ ද අත්අඩංගුවට ගත් අතර කඩහපොළ හාමුදුරුවන්ට වෙඩි තබා මරා දැම්මා.  ගොංගාලෙගොඩ බණ්ඩා ඇතුළු කැරලි නායකයන් ද මරා දමනවා. දඹුලු විහාරය සතු සියලු අයිතිවාසිකම් අහෝසි කොට ඒ අවස්ථාවේ ඉංග්‍රීසින්ට හිතවත්ව සිටි අස්ගිරි විහාරයට ඒවා පවරා දී තිබෙනවා. එදා තාවකාලිකව පවරා දෙන බව තමයි ඉංග්‍රීසින් සඳහන් කර ඇත්තේ. ඒත් අද දක්වාත් ඒ පැවරීම අස්ගිරියටම අයිති ලෙස තබාගෙන සිටිනවා. ඒ නිසා දඹුලු විහාරයට විහාරාධිපති හිමි පත් කිරීමේ අයිතිය ඇත්තේ අස්ගිරි විහාරයට යි.

දඹුල්ලෙ අපි නොදකින ලෙන් හා ලෙන් ලිපි

නිශ්ශංකමල්ල සෙල් ලිපියේ අකුරු- voyagevirtuel.co.uk

අපි වන්දනාමාන කරන ලෙන් විහාරවලට අමතරව දඹුලු ගලේ බෑවුම්වල හැංගුණු තවත් ලෙන් රාශියක් තිබෙනවා. පුරාණයේ භික්ෂූන්වහන්සේ වාසය කළ කටාරම් කෙටූ ඒ ලෙන් දැන් වනයට යටවෙලා. ඒ සමහර ලෙන්වල සෙල්ලිපි ද තිබෙනවා. ප්‍රධාන පර්වතයට බටහිර ප්‍රදේශයේ ලෙන් රාශියක් තිබෙන අතර ගලේ නැගෙනහිර පැත්තේ ද එක් ලෙනක් හමුවී තිබෙනවා. මුලින්ම දඹුල්ල පැවත ඇත්තේ මිහින්තලේ මෙන් ලෙන්වල විශාල භික්ෂු සංඛ්‍යාවක් වාසය කළ වනගත සෙනසුනක් ආකාරයෙන් බව ඒ අනුව හෙළි වී තිබෙනවා.

සැතපෙන පිළිමයක සිරිපා සලකුණු – Kusumsiri Wijayawardhana

දඹුලු ගලේ ලෙන්වලින් සොයාගෙන ඇති සෙල්ලිපි සංඛ්‍යාව 35ක්. මේ ලිපි බුදුදහම මෙරටට ලැබුණු කාලයට සමීප කාලයකට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපි. මේ ලිපිවලින් කියැවෙන්නේ දායිකාවක හෝ දායකයෙක් විසින් ලෙන කරවා සිව්දිගින් පැමිණි නොපැමිණි භික්ෂු සංඝයාට පූජා කිරීමක් ගැන යි. මේ ලිපි තුනක රජවරු ගැන දැක්වෙනවා. ලිපි දෙකක මහරජ වචනය කොටා තිබෙනවා. දෙවන පිය ගමණි තිස නම් රජකෙනකු ගැන එක් ලිපියක සඳහන්. පරණවිතාන සඳහන් කරන්නේ එහි කියැවෙන්නේ ක්‍රි. පූ. 137-119 දක්වා රජකම් කළ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සද්ධාතිස්ස රජු බව යි.  එත් ඒ සදහා සාධක කිසිවක් පරණවිතාන ඉදිරිපත් කර නැහැ. ගමණි අබය නම් රජකෙනකු ගැනත් මෙහි සෙල්ලිපිවල සඳහන්. ඒ රජු වට්ඨගාමිණි හෙවත් වලගම්බා රජුවීමට ඉඩ ඇති බව මංගල ඉලංගසිංහ සඳහන් කරනවා. මෙහි සදහන් අනෙක් ලිපිය පුටකණ නම් රජෙක් දඹුල්ලේ පඩිපෙළක් ඉදිකිරීම ගැනයි. ඒ රජු කූටකණ්නාභය (ක්‍රි. පූ.  16-18) බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දී තිබෙනවා. මෙහි සෙල්ලිපියක සදහන් අනෙක් මහ රජු වන්නේ අපි මීට පෙර කතා කළ නිශ්ශංකමල්ල යි.

දඹුල්ලේ ලෙන් පූජා කළ අය අතර පරුමකවරු හෙවත් ප්‍රාදේශීය ප්‍රධානින් (තිස්ස, බ්‍රාහ්මණතිස්ස, සුමන,සෝණ, ඵුස්සදේව, චුඩ) ගෘහපතිවරුන්, වාරිමාර්ග නිලධාරියෙක්, ගම් ප්‍රධානින් ද සිටිනවා. ඒ වගේම භික්ෂූන්වහන්සේ ද ලෙන් කරවා පූජා කර තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

දඹුලු විහාරය- මංගල ඉලංගසිංහ

රන්ගිරි දඹුලු රජමහා විහාරය- අනුරාධ සෙනෙවිරත්න‍

ඓතිහාසික මාතලේ- මාතලේ දිසා සංස්කෘතික මණ්ඩලය

Inscriptions of Ceylon- Part 1 , Paranavithana

කවරය: දඹුල්ල 1890 සුද්දන්ගෙ කාලෙදී - blog.cinnamonhotels.com

Related Articles