මිනීමරු ස්ථානයක් ලෙස කුප්‍රකට වූ නියෝස් විල

ලෝකය පුරාම මිනිසුන් සහ සතුන් මරණයට පත් වීම වැඩි වශයෙන් සිදුවන ස්ථාන ගැන වාර්තා වෙනවා.  නියෝස් විල කියලා හඳුන්වන එක්තරා විලකුත් මේ වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නේ එ් ආශ්‍රිතව සිදු වූ බිහිසුණු සිද්ධියක් නිසායි. මෙහි සිදුවන දේවල් වල පවතින භයානක කම නිසාම මේ විල හැඳින්වෙන්නේ “මිනීමරු නියෝස්” කියලයි.

එකවර හිතා ගන්නත් අපහසු විදිහේ අවාසනාවන්ත හේතු සමුදායක් නිසා මිනිසුන් හා සතුන් විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි කළ නියෝස් විලේ කතාව මේ ලිපියෙන් කියවෙනවා.

පිහිටීම

මෙම භයානක විල පිහිටා තිබෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ කැමරූන් රාජ්‍යයේ වයඹ දිග ප්‍රදේශයේ ඇති වනාන්තර බද කොටසක් තුළයි. කැමරූන් රාජ්‍යයේ අගනුවර වන යාවුන්ඩේ නගරයට කිලෝමීටර් 315ක් පමණ ඈතින් පිහිටා ඇති මෙය නිද්‍රාශීලී ගිනිකන්දක මුව විවරය තුළ ජලය එකතුවීම නිසා සෑදුණු ගැඹුරු විලක්.

හිටිහැටියේම සිදු වූ මරණ

සතුන් මරණයට පත් වී තිබෙන අයුරු (gossip.hirufm.lk)

නියෝස් විල අසල ගම්මානයෙහි සතුන් හිටිහැටියේම මරණයට පත් වෙන්නට පටන් ගත්තා. ගම්වාසීන් විස්වාස කළේ මෙම මාරාන්තික නියෝස් විලට අරක්ගත් භූතයෙකු නිසා මෙම මරණ සිදු වන බවයි. එමෙන්ම විල අසල පිහිටි ගම්මානයේ වාසය කළ ගම්වාසීන්ද මෙලෙස මරණයට පත් වුණා.

කෙසේ නමුත් පසුව ගම්වාසීන් 1746 දෙනෙකු එකපාරටම මිය ගිහිල්ලා තිබෙනවා. එපමණක්ද නොවේ, සතුන් 3500 කට අධික ප්‍රමාණයක්ද එකවරම මිය ගියා. ඒ අතර එළුවන් හා බැටළුවන් වැනි නිවසේ ඇතිකරන සතුන්ද සිටි බවයි සඳහන් වෙන්නේ. මෙම ව්‍යසනය හේතුවෙන් එයට විශාල ප්‍රචාරයක් ලැබුණු අතර ඒ අනුව හෙළිදරව් වී තිබෙන්නේ මෙය භුතයෙකුගේ ක්‍රියාවක් නොව ස්වභාව ධර්මයේ ඉතාමත් විරල සංසිද්ධියක් හේතුවෙන් සිදු වන්නක් බවයි.

විද්‍යාත්මක පසුබිම

නියෝස් විල පුපුරා යාමෙන් පසු (janeelaya.blogspot.com)

මෙයට වසර 400 කට පමණ ඉහතදී කැමරූන් හි මෙම නියෝස් විල ඇති වූ බව සැලකෙනවා. කලින් ද පැවසූ පරිදි මෙම භයානක විල පිහිටා තිබෙන්නේ අක්‍රිය ගිනි කඳු අාවාටයක් තුළයි. ගිනි කන්ද අක්‍රීයව පැවතුණත් ඒ තුළ පවතින මැග්මා ස්ථරය තවමත් උණුසුම්ව පවතින නිසා එයින් දිගින් දිගටම කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් විමෝචනය වනවා.

මැග්මා ස්ථරයට ඉහළින් ඇති විශාල ජල ප්‍රමාණය නිසා වෙනත් ගිනිකඳුවලින් ස්වාභාවිකව සිදුවන ආකාරයට කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට විමෝචනය වීමට නිදහසක් ලැබෙන්නේ නැහැ. මේ නිසා එම වායුව ජලය තුළට වැදී එහි දිය වෙන්නට පටන් ගන්නවා. නියෝස් විල මතුපිට පවතින උණුසුමෙන් වැඩි හා ඝණත්වයෙන් අඩු ජලයට වඩා එහි පතුළේ පවතින අධික පීඩනයකින් හා ශීතලකින් යුක්ත ජලය තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් දිය වෙනවා.

මේ හේතුවෙන් කාලයක් ගත වීමත් සමගම නියෝස් විල ගෑස් ටැංකියක් මෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් සංතෘප්ත වෙනවා. බොහෝ අවස්ථාවල මෙම තත්වය සමතුලිතව පැවැත්වුණත් විවිධ භූ විද්‍යාත්මක හේතු නිසා එහි සමතුලිතභාවය බිඳ වැටී විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව එකවර නිදහස් වෙන්නට පුළුවන්. මෙය හරියට කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ අතිවිශාල ගෑස් ටැංකියක් එකවර පුපුරා ගියා වගෙයි.

මහා ව්‍යසනයක්

1986 අගෝස්තු 21 වන දින මෙවැනි ව්‍යසනයක් සිදු වන බවට කිසිවෙකුත් දැන සිටියේ නැහැ. එකවරම විල දෙසින් පිපිරුම් කිහිපයක් ඇසෙන්නට  පටන් ගෙන තිබෙනවා. විද්‍යාත්මකව Limnic eruption නමින් හඳුන්වන මෙම තත්වය තත්පර 20ක පමණ කාලයක් පැවතුණු අතර ඒ සමගම අඩි 300ක් පමණ සුනාමි රළක් නැගුණු බවත් සඳහන් වෙනවා.

මෙම සිදුවීමත් සමගම කාලයක් තිස්සේ රඳවාගෙන් සිටි කාබන්ඩයොක්සයිඩ් වායුව එකවර මුදා හැරෙන්නට පටන් ගත්තා. මේ ආකාරයට ඉතාම කෙටි කාලයක් තුළදී කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් 100,000 – 300,000 අතර ප්‍රමාණයක් නියෝස් විල අසල තිබු ගම්මානයට වැදී තිබෙනවා.

ජිවිත හානි

මෙම ගම්මානයේ මිනිසුන් බොහොමයක් ගොවිතැන ජීවිකාව කොට ගෙන ජිවත් වූ අතර ගම් වැසියන්ගෙන් 800කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වුණ බව සඳහන් වෙනවා.  හානිකර කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය සැතපුම් 15ක දුරකට ව්‍යාප්ත වූ අතර මෙහිදී ගම්වැසියන්ගේ සහයෝගයට පැමිණි පිරිසද මරණයට පත් වී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිද්ධීන් ජිවිතක්ෂයට පත් වූ මුළු පිරිස 1746 ක් වුණා. ඊට අමතරව නිවෙස් වල ඇති දැඩි කළ සතුන් 3500කට වැඩි ප්‍රමාණයකුත්, තවත් බොහෝ කැලෑ සතුන් ප්‍රමාණයකුත් මෙයට ගොදුරු වුණා. විලෙන් ශබ්ද නැගෙද්දී වහාම කඳු මුදුන්වලට යාමට හැකි වූ ඇතැමුන්ට තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පැවසෙනවා.

පර්යේෂණ සහ පිළියම්

මධ්‍යයෙහි පිහිටි රූපය වන්නේ සවි කරන ලද නලයයි (breakingnews.lk)

මෙම ව්‍යසනය ඉතාමත් ඛේදජනක එකක්. විල පතුලේ කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් එක්රැස් වීම පාලනය කිරීමට ක්‍රමයක් ලෙස බලධාරීන් විල පතුලේ සිට නළයක් සවි කරන්නට කටයුතු කළා. එමගින් අපේක්ෂා කරනු ලැබුවේ නියෝස් විලෙහි පතුලේ එකතු වන වායුව වඩාත් පහසුවෙන් වායුගෝලයට මුදා හැරීම තුළින් නැවතත් එවන් ආකාරයේ එකවර මුදා හැරීමක් සිදු නොවීමට පසුබිම සකස් කිරීමයි.

කෙසේ නමුත් නියෝස් විල පතුලේ ඇති මැග්මා ස්ථරය මගින් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඒකාකාරී නොවන නිසා එය මීට වඩා වේගයෙන් නිදහස් වන්නට පටන් ගතහොත් යොදා ඇති නලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවටත් විද්‍යාඥයන් මත පළකර තිබෙනවා.

ශ්‍රී ලාංකික අපිට මෙවැනි දේවල් ඉතාමත් විශ්මය උපදවන සුළු වුවත් අප්‍රිකානු මහාද්වීපයේ තිබෙන විල් 3 කම මීට සමාන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. කොංගෝ හා රුවන්ඩා දේශසීමාවේ දක්නට ලැබෙන “කියූ” නම් විලද මෙසේ කාබන් ඩයොක්සයිඩ් බලයෙන්  සංතෘප්ත ව ඇති එකක්. එම විල නියෝස් විල මෙන් 1000 ගුණයක විශාලත්වයෙන් යුක්ත බවද සඳහන් වනවා.

මේ ගැන පරීක්ෂණ කරන සියලු දෙනාගේම පැතුම වන්නේ නියෝස් විලේ සිදු වූ ආකාරය ආකාරයේ ව්‍යසනයක් කියූ විලේ සිදු නොවේවා යන්නයි.

කවරයේ පින්තුරය : bsk.nios.ru

Related Articles