Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රේල්වල පළමු බොදු කොඩිය එසවූ කොටහේනේ පන්සල

වෙසක් පෝය යෙදෙන්නේ මැයි මාසයේ බව අපි කවුරුත් දන්නවා. නමුත් කලාතුරකින් අප්‍රේල් මාසයෙත් වෙසක් පෝය යෙදී තිබෙනවා. එහෙම අප්‍රේල්වල වෙසක් යෙදුණු දවසක තමයි ලංකාවේ පළමු වරට නිර්මාණය කළ බෞද්ධ කොඩිය ඔසවා තිබෙන්නේ. ඒ වෙසක් පොහොය 1884 අප්‍රේල් මාසේ 28 වැනිදාට යෙදුණා. එසේ ඓතිහාසික බෞද්ධ කොඩිය ඔසවා තිබෙන්නේ කොළඹ කොටහේනේ දීපදුත්තාරාම පන්සලේ යි. ඓතිහාසික සිද්ධි රැසකට මුල්වූ කොටහේනේ පන්සල ගැන වැඩිදෙනෙක් නොදන්නා ඓතිහාසික කරුණු විස්තර කිරීමට අපි හිතුවා.

මෝල්ගස් පෙරහර

පෙරහර කෝලහාලය චිත්‍ර ශිල්පියෙක් දුටු අයුරු

දීපදුත්තාරාමයේ අලුතින් ඉදිකළ බුද්ධ ප්‍රතිමාවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පින්කම 1883 මාර්තු 23 වැනි පුන් පොහෝදාට යොදාගෙන තිබුණා. එය සංකේතවත් කිරීමට බොරැල්ල මහ පන්සලේ සිට දීපදුත්තාරාමයට පෙරහරක් සංවිධානය කර තිබුණා. පොලීසියෙන් ද ඒ සඳහා අවසර ගෙන තිබුණා. විහාරාධිපති මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි තමයි මේ පෙරහර සංවිධානය කළේ.

රාත්‍රී 1.30ට පමණ බොරැල්ලෙන් පිටත්වූ එම පෙරහර කොටහේනට ළඟා වන විට, පල්ලිවල සීනු නාදයක් සමග අවි ආයුධ රැගත් විශාල මැර පිරිස් කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුර අසලට ළඟාවී තිබෙනවා. පෙරහරේ ගමනගත් නිරායුධ අහිංසක බොදු උවසු උවැසියන්ට දාමරිකයන් පහර දුන්නා. එම අවස්ථාවේ දී බෞද්ධයෙකු මියගිය අතර තිස් දෙනෙලු පමණ බරපතල තුවාල ලැබ රෝහල්ගත කළා. මේ සිද්ධිය පිළිබඳ බෞද්ධයන්ගේ බලවත් ඉල්ලීම පරිදි කොමිෂන් සභාවක් පත්කොට පරීක්‍ෂණයක් කළ නමුත් වැරැදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ දඬුවම් දීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගෙන නැහැ.

එදින පිරිස විසිරී ගිය ද ගුණානන්ද හිමි උපදෙස් දී ඇත්තේ ඊට පසුව පෙරහර සඳහා කොඩි හා මල් සැරසිලි ආදිය නිවසේ ඇති මෝල්ගස්වල බැඳගෙන එන ලෙස යි. පසුව මෝල්ගස් පෙරහර ලෙස එය ප්‍රසිද්ධ වූ අතර පෙරහැරවලට හිරිහැර කිරීම ද ඉන් නැවැතුණු බව පැවැසෙනවා.

වෙසක් පෝය නිවාඩුව

ඕල්කට් තුමා භික්ෂූන් පිරිසක් සමග -wikipedia.org

ඉංග්‍රීසි යටත්විජිත යුගය පැවති 19 වැනි සියවසේ වෙසක් පෝය දවස හෝ වෙනත් පෝය දවසක් හෝ නිවාඩු ලෙස සැලකුණේ නැහැ. එම මිෂනාරි බලවේගවලට එරෙහිව වර්ෂ 1884 ජනවාරි 28 දා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට රැස්වූ  හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු බෞද්ධ පිරිසක් බෞද්ධ ආරක්ෂක සභාව පිහිටුවා ගත්තා. වෙසක් පෝය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉංග්‍රීසි පාලකයන් උනන්දු කරවීමත් මෙහි එක් අරමුණක් වුණා. ඒ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස 1885 මාර්තු 27 දින වෙසක් පෝය නිවාඩු දිනයක් ලෙස සඳහන් ගැසට් පත්‍රය නිකුත් වුණා. ඒ අවුරුද්දේ වෙසක් පෝය යෙදී තිබුණෙත් අප්‍රේල් 28 වැනිදාට යි.

බෞද්ධ කොඩිය

බෞද්ධ කොඩිය ළෙල දෙමින්- shutterslock.com

බෞද්ධ ආරක්ෂක සභාව විසින් වෙසක් දින එසවීමට බෞද්ධ කොඩියක් පිළියෙළ කිරීමට කමිටුවක් පත්කළා. කොටහේන දීපදුප්තාරාමාධිපති මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, හික්කඩුවේ සුමංගල නාහිමි ඇතුළු බෞද්ධ වියතුන් පිරිසක් එයට ඇතුළත් වුණා. කොඩිය සඳහා සැලසුම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඒ අතරින් කරෝලිස් අජිත් ගුණවර්ධන ඉදිරිපත් කළ ෂඩ් වර්ණ බුදුරැස් නිරූපිත කොඩියට කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

සම්මත වූ ධ්වජය පිළිබඳ හාපුරා කියා ප්‍රසිද්ධ කළේ 1885 අප්‍රේල් මස 17 දින සරසවි සඳරැස් පත්‍රයෙන්. එම වාර්තාව මෙසේ ය.

බෞද්ධයන් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්

මෙයින් ඇඟවෙන්නේ සර්වඥයන්වහන්සේ ජීවමාන කාලයෙහි උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු නීල (2) පීත (3) ලෝහිත (4) ඕදාත (5) මාංජෙෂ්ට (6) ප්‍රභාස්වර යන වර්ණ සය යි. සර්වඥයන්වහන්සේ ජීවමාණ කාලයෙහි උන්වහන්සේගේ කේශධාතු ආදී නීලවර්ණ අවයවවලින් නීල වර්ණය ද, දන්තධාතු ආදී ශේවතවර්ණ වූ අවයවවලින් සුදු පැහැ ද යනාදී වශයෙන් ෂඩ් වර්ණයන බුද්ධරශ්මීන් විහිදුන බව පොත්පත්වල ලියා තිබෙයි. එබැවින් මේ සය වර්ණ සහ ප්‍රකාශ කරන කොඩියක් උන්වහන්සේ ලෝපහළ වූ දවසේ එසවීම යහපත් ආර්ථියක් අඟවන ක්‍රියාවකි. මේ වැඩේ කල්පනා කළ බෞද්ධයන්ට ස්තුති කරමින් සියලුම බෞද්ධයන් විසින් මේ ක්‍රියාව පැවැත්විය යුතු බව මතක් කරම්හ.

බෞද්ධ කොඩිය එසවෙයි

දීපදුත්තාරාමයේ මෑතක දී ඉදිකළ බෞද්ධ කොඩි කණුව- deshaya.lk

එසේ සකස්කළ බෞද්ධ කොඩිය අප රටේ මුල්වරට එසවුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ සුරතින් කොටහේන දීපදුත්තාරාම විහාරයේ බුදුගෙය ඉදිරිපිට මළුවේ යි. ඒ, 1885 අප්‍රේල් 28 වැනි වෙසක් පොහෝදා යි. එදිනම බොරැල්ල, හුණුපිටිය, කැලණි විහාරය, සහ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාලා භූමියේ දී ද බෞද්ධ කොඩිය එසවුණු බව සඳහන් වෙනවා.

එදා මුල්වරට බෞද්ධ කොඩිය එසවූ විහාරයට යන අපට අදත් කොඩිගසක ලෙලදෙන බෞද්ධ කොඩියක් දැකගත හැකියි. මුලින්ම කොඩිය එසවූ ස්ථානයේ අලුත් කොඩි ගසක් 2010 අප්‍රේල් 28 දාට යෙදුණු වෙසක් දිනයේ දී ඉදිකර තිබෙනවා.

දීපදුත්තාරාම පන්සල

දීපදුත්තාරාමය – flickr.com

කොටහේන පොලිස් ස්ථානය අසලින් ඇති වාසල පරේ ගමන් කර මේෆීල්ඩ් පාරට පිවිස මඳ දුරක් යන විට දීපදුත්තාරාම පුරාණ තායි විහාරය හමුවෙනවා. සුද්දන්ගේ යටත්විජිත යුගයේ ඇරඹුණු මේ පන්සල කොළඹ නගරයේ පැරැණිම විහාරය වශයෙන් ද වැදගත්. එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. බෝ, මදාරා, සඳුන්, පොල්, අඹ වැනි ගස්වලින් සෙවණ වූ මෙම විහාරබිම කාර්යබහුල අපිළිවෙළට ඉදිවුණු ගොඩනැගිලි පිරි කොළඹ 15 කොටහේනේ සිත් නිවන ස්ථානයක් ලෙස සැලකිය හැකියි. විහාර බිමේ පිහිටි කුමාර විද්‍යාලය‍ය සිසුන් සිය ගණනකට අධ්‍යාපනය ලබාදෙන පාසලක්.

17-18 වැනි සියවස්වල දී කොටහේන ප්‍රකටව තිබුණේ රෝමානු කතෝලික මධ්‍යස්ථානයක් ලෙස යි. දේවස්ථාන කිහිපයක්ම මේ අවට පිහිටි අතර ධනවතුන්ගේ නිවාස පිහිටියේ ද කොටහේන අවට යි. එකළ විහාරයක් තැනීමට පවා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ගත යුතු වුණා.

පන්සලක් වූ වලව්ව- yamu.lk

වර්ෂ 1745 දී “රටගිය මුදියන්සේ” නමින් ප්‍රකටව සිටි සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග සිරිවර්ධන මහමුදලිවරයා විහාරයක් ඇරැඹීමට ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් අවසර ලබාගත්තා. ඔහු අක්කර ගණනාවකින් යුක්තව කොටහේන උස්බිමක පිහිටි තම ඉඩම හා වලව්ව පන්සලක් බවට පත් කළා. වලව් වැසියන්ගේ සහ ඒ පවුලේ හිතවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීම නිසා මුලින්ම මේ විහාරය වලව්වේ පන්සල නමින් හැඳින්වුණා. 

රටගිය මුදියන්සේ මුල් කාලයේ දී සීනිගම ධම්මකන්ධ හිමියන් වැඩම කරවාගෙන ආගමික කටයුතු හා වස් වස්සවා ගැනීම ආදිය සිදුකර ගත් බව පැවසෙනවා. පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මෙහි ස්ථීරව වැඩවාසය කර තිබෙනවා. 

විහාර මන්දිරය

වලව්වට අයත් වැඳුම් පිදුම් කරන තැන -dinamina.lk

ඕලන්ද යුගයේ ගොඩනැගිල්ලක් වන විහාරය පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක්වුණා. ඕලන්ද කුලුනු හා ආරුක්කු නිසා විදේශීය ගෘහ නිර්මාණ ලක්ෂණත් මෙයට ඇතුළත් වී තිබෙනවා. මෙහි පිහිටි බුද්ධ ප්‍රතිමා ද බ්‍රිතාන්‍ය යුගයට අයත්. ඒ අතරින් පැරැණිම ස්මාරකය වන්නේ මුලින්ම බුදු මැඳුරක් බවට පත්වූ වලව්වේ කාමරය යි. එහි දැවයෙන් කළ තොරණක් යට දෑගසව් පිළිම වහන්සේලා මැද බුද්ධ ප්‍රතිමාක් වඩා හිඳුවා තිබෙනවා. ඊට ඉහළින් බ්‍රිතාන්‍ය ලක්ෂණ පළකරන මල් මෝස්තර යි. එයට ඉහළින් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය කැටයම් කර ඇති අතර, උඩින්ම දාගැබක් මූර්තිමත් කර තිබෙනවා.

මොහොට්ටිවත්තේ මහ නාහිමි  වැඩවාසය කළ පැරණි ආවාස ගෙය අදත් විහාරබිමේ දී දැකගත හැකියි. සිංහල උළු සෙවිලි කළ එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර තිබෙනවා.

මොහොට්ටිවත්තේ මහ නාහිමි

මොහොට්ටිවත්තේ හාමුදුරුවෝ – wikipedia.org

ධීරක්ඛන්ධ හාමුදුරුවන්ගෙන් පසුව කොටහේන පන්සලේ අධිපතිත්වයට පත්වුණේ සුප්‍රකට ධර්ම කථිකයෙකු වන මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ යි. උන්වහන්සේ විහාරයේ වැඩවසමින් බෞද්ධ විරෝධී බලවේගවලට එරෙහිව බුදුදහම නගා සිටුවීමට ඉටුකළ වැඩපිළිවෙළ නිසා දීපදුත්තාරාමය මෙරට පමණක් නොව මූදු හතෙන් එහා පවා ප්‍රකට පන්සලක් බවට පත්වුණා. පංච මහා වාදය, පානදුරා වාදය, උදම්මිට වාදය, බද්දේගම වාදය වැනි වාද නිසා මොහොට්ටිවත්තේ හාමුදුරුවන්ට “වාදීභසිංහ” යන පටබැඳි නාමය ලැබී තිබුණා. උන්වහන්සේගේ වාද පොත් ඉංග්‍රීසි බසින් පිටරටවල පළවුණා. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මේ වාද කියවූ හෙන්රි ස්ටීන් ඕල්කට්තුමා ලංකාවට පැමිණියේ ද ඒ නිසා හටගත් උනන්දුව නිසා යි.

මොහොට්ටිවත්තේ නාහිමි වැඩ විසූ සංඝාවාසය පුරාවිද්‍යා සරංක්ෂණයෙන් පසු- deshaya.lk

කොටහේන පන්සල මධ්‍යස්ථානය කරගත් ගුණානන්ද හිමියන් බෞද්ධ පොත්පත් මුද්‍රණය, පුවත්පත් මුද්‍රණය, පත්‍රිකා මුද්‍රණය, ධර්ම දේශනා පැවැත්වීම, පෙරහර සංවිධානය ආදී කටයුතු කරගෙන ගියා.

තායි පන්සල

තායිලන්ත සම්ප්‍රදායේ බුදු පිළිමයක්- i-discoverasia.com

මිගෙට්ටුවත්තේ හිමියන්ගෙන් පසුව විහාරය පවරා තිබුණේ ඒ හිමියන්ගේ ජාතික මෙහෙවරට විශාල දායකත්වයක් දැක්වූ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට යි. උන්වහන්සේගේ කාලයේ සියම් රජ කුමරකු වූ ප්‍රිස්දා ජුම්සායි ශිෂ්‍ය නමක් ලෙස මෙරටට පැමිණ පැවිදි වුණා. අමරපුර නිකායට අයත්ව පැවිදි වූ උන්වහන්සේගේ පැවිදි නම ජිනවරවංශ නම් වුණා. නමුත් මේ හාමුදුරුවන් ප්‍රසිද්ධ වූයේ සියම් කුමාර හිමියන් ලෙසට යි.

ලංකාවට පැමිණි තායි රාජ්‍ය නායකයකු පන්සලට පැමිණි අවස්ථාවක්- dailymirror.lk

දීපදුත්තාරාමය, තායි පන්සල හෙවත් සියම් පන්සල බවට පත්වූයේ ජිනවරවංශ හිමියන්ගෙන් පසුව යි. උන්වහන්සේගේ යුගයේ දී සියම් ලක්ෂණ විහාරයට එක්වුණා. විහාර මන්දිරය ඉදිරිපිට ඇති තායි සම්ප්‍රදායේ රත්න චෛත්‍යය ඉදිකළේ එම කාලයේ දී යි. කපිලවස්තුවෙන් සුභූති හිමියන් ලද සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් එක් නමක් එහි තැන්පත් කර තිබෙනවා.

මෙම විහාරය සම්බන්ධව ක්‍රියාත්මක වන සියම් සම්ප්‍රදායක් ඊට පසු ආරම්භ වුණා. ලංකාවට ගොඩබසින සෑම සියම් රජෙකුම මේ විහාරය වැඳ පුදා ගැනීමට පැමිණීම එම සිරිත යි. එමෙන්ම විහාරයට තෑගිබෝග පිරිනැමීම යි. වාර්ෂික කඨින පිංකම සිදුවන්නේ ද සියම් රජ පවුලේ දායකත්වයෙන්. වර්ෂ ගණනාවක් මෙරට බෞද්ධ පුනර්ජීවනයට දායක වූ ජිනවරවංශ හිමි 1911 දී සිවුරු හැරදා මෙරටින් පිටව ගියා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

budusarana.lk

සිංහල විශ්ව කෝෂය - 8 කාණ්ඩය

කවරය- දීපදුත්තාරාම විහාර මන්දිරය සහ තායි විහාර ගොඩනැගිල්ල -i-discoverasia.com

Related Articles