මඩුවන්වෙල වලව්වේ විත්ති

රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරළයේ දැකගත හැකි වන අපූරු ගොඩනැඟිල්ලකි, “මඩුවන්වෙල වලව්ව”. ඇඹිලිපිටිය, සූරියකන්ද මාර්ගයේ කි. මී. 24ක් පමණ ගමන් කිරීමේ දී මේ වලව්ව දැකගත හැකියි.

මහනුවර යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකි, මඩුවන්වෙල වලව්වට ඇත්තේ. මඩුවන්වෙල වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයා සිය මුල් ම වලව්ව ගොඩනඟා ඇත්තේ මේ ස්ථානයේ නොවන නමුත්, පසු ව වත්මන් වලව්ව ඇති ස්ථානයේ සිය වලව්ව ගොඩනඟා තිබේ.

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම කර තිබෙන මේ වලව්ව කාමර 9කින් සහ මැද මිදුල් දෙකකින් සමන්විත යි. මෙහි පිදුරු සෙවිලි කර, බිත්ති වරිච්චි ක්‍රමයට බැඳ තිබෙනු දැකගත හැකියි. නිවැසියන්ගේ පරිහරණයට යොදාගෙන තිබෙන මහ බංගලාව, රැස්වීම් ශාලාව හෙවත් බුරුත බංගලාව, අධිකරණ ශාලාව, සහ වලව්ව වට කරමින් ගොඩනඟා ඇති ආරක්ෂක ප්‍රාකාර මෙකල ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වයි.

(udawalawesafari.com) ගොඩනැඟිල්ල වටා ඉදිකොට ඇති ආරක්ෂක ප්‍රාකාරය

මඩුවන්වෙල වලව්ව ඉදිකර ඇත්තේ නූතන වාස්තු විද්‍යාත්මක න්‍යායන්ට ද අනුකූල වන පරිද්දෙන්. වරිච්චි බිත්ති හා ශක්තිමත් අත්තිවාරම නිසා මේ මන්දිරය කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වී ඇති අතර, වහලයේ බර සම්පුර්ණයෙන් ම බිත්ති මතට නොඑන ලෙසින් ගොඩනැඟිල්ල වටා ශක්තිමත් ලී රාමුවක් ද සාදා ඇත. මැද මිදුල් නිසා ගෙතුළට මනාව ආලෝකය ලැබෙන අතර අධිකරණ ශාලාව හැර අනෙකුත් සියලුම ගොඩනැඟිලි ඉදිකොට ඇත්තේ පොළොව මට්ටමේ සිට එසවූ පාදමක් මත යි. ගෙබිමේ රැස්වන වර්ෂා ජලය ගලා යාම සඳහා විධිමත් කාණු පද්ධතියක් ද සකසා තිබේ. එම ජලය ඈතට ගලා යාම සඳහා ආවරණය කරන ලද කානු පද්ධතියක් ද වේ.

මහ බංගලාව

පොළොව මට්ටමේ සිට අඩි 3ක් පමණ උස් වන වේදිකාවක් මත ය, මහ බංගලාව තනා ඇත්තේ. ෂඩස්‍රාකාර හැඩයක් ගන්නා මේ ගොඩනැඟිල්ල වරිච්චි බිත්ති මත වැලි, මැටි කපරාරු කර, සුදු හුණු පිරියම් කර තිබේ. වහලයට පෙති උළු සෙවිලි කර, බිමට සිමෙන්ති යොදා තිබේ. ගොඩනැඟිල්ලට ඇතුළු වන ප්‍රධාන දොරටුව පාමුල සඳකඩ පහනක් වන අතර මෙහි විවිධ සත්ත්ව රූප නෙලා තිබෙනු දැකගත හැකියි.

මහ බංගලාවට අයත් කොටසේ විසිත්ත කාමරය, දිග්ගෙයි කාමරය, රටබීම කාමරය, ඩිංගිරි අප්පොගේ කාමරය, ලොකු ඩිංගිරි අප්පොගේ කාමරය, දිසාවගේ නිදන කාමරය, තිඹිරිගෙය ආදී කොටස් දැකගත හැකියි. එමෙන්ම මඩුවන්වෙල වලව්වේ කාන්තාවන් හට මාසික ඔසප් සමයේ දී රැඳී සිටීම සඳහා ම වෙන් වූ කාමරයක් ද තිබුණු බව යි පැවසෙන්නේ.

(udawalawesafari.com) මහ දිසාවේගේ පින්තූරය තබා ඇති ස්ථානය

දැවැන්ත උළුවස්සක් ද මෙහි දැකගත හැකියි. ලන්දේසි බලකොටුවෙන් ගෙනැවිත් සවි කළ එකක්යැ යි කියන මේ උළුවස්ස, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ කටුවන ලන්දේසි බලකොටුවට පහර දුන් විජේසුන්දර මඩුවන්වෙල දිසාවේ විසින් ගෙන ආ බව යි පැවසෙන්නේ. අනෙකුත් උළුවහු හා සසැඳීමේ දී විශාල බවක් ගන්නා මෙහි දොර අඟල් 2ක් පමණ ඝනකම් වන තනි ලෑල්ලකින් ය, නිමවා තිබෙන්නේ. මෙහි දොරට යොදා ඇති සරනේරු හා යකඩ තහඩු ආදියත් ඉතා ශක්තිමත්.

මහ බංගලාවේ වහලේ පල 4ක් එකතු වන සෑම ස්ථානයක ම මැද මිදුල් ඇති අතර මේවා දැව ආරුක්කු 12කින් අලංකාර කොට ඇත.

(udawalawasafari.com) මැද මිදුල

මොසැයික් කලාව

මහ බංගලාවේ සිමෙන්ති දැමූ බිම පිඟන් කටු යොදා විවිධ රටා මවා තිබෙනු දැකගත හැකියි. මොසැයික් කලාව ලෙසින් හැඳින්වෙන්නේ මේ රටා මැවීම යි. සිමෙන්ති කොලපු මත ඉතා සූක්ෂම අයුරින් පිඟන් කැබලි අල්ලා තිබෙන අතර මල් මෝස්‌තර, ජ්‍යාමිතික රටා, ඇත් රූප හා පක්ෂි රූප ද මේ අතර දැකගත හැකියි.

(tripadvisor.com) මොසැයික් කලා නිර්මාණ

රූප රටාවලට ගැළපෙන සේ වර්ණ සංකලනය ද සිදුකොට ඇති අතර ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් ඉස්මතු කරමින් තද වර්ණක යොදා තිබේ. පිඟන් කටුවලින් කළ මල් මෝස්‌තරවල රන් කාසි හා මැණික් ගල් ද ඔබ්බවා තිබී ඇති අතර ඒවායේ සලකුණු අදට ද දක්නට ලැබේ.

ඩිංගිරි අප්පොගේ කාමරය අසල බිම වික්ටෝරියා රැජිනගේ රූපය සහිත පිඟන් කැබැල්ලක් ද දැකගත හැකියි. එය ගෙබිමට සවිකර ඇත්තේ පයට පෑගෙන ලෙසිනි. මඩුවන්වෙල දිසාවගේ අධිරාජ්‍ය විරෝධී බව මෙයින් මොනවට පැහැදිලි වන බව යි විචාරකයන් පවසන්නේ.

(udawalawenationalpark.com) වික්ටෝරියා රැජිනගේ රූපය සහිත පිඟන් කැබැල්ල

සෙල්මුවා ආරුක්කුව

වලව්ව වටා ඇති ප්‍රාකාරයේ පිවිසුම් දොරටුව සෙල්මුවා ආරුක්කුවකින් යුක්ත යි. වලව්වේ උදාරත්වය තව තවත් වර්ධනය කිරීමට මෙය සමත් වෙයි. පළමු පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී මඳ දුරක් යද්දී අලංකාර කැටයම් හා මෝස්‌තර සහිත තොරණකින් යුක්ත දෙවන පිවිසුම් දොරටුව හමුවන අතර තොරණ සුදු හුණු පිරියම් කර ඇත. 1878 ලෙසින් මෙහි වර්ෂයක් ද සටහන් කර තිබෙයි.

(udawalawesafari.com) පිවිසුම් දොරටුව

මඩුවන්වෙල අමුණ

මඩුවන්වෙල වෙල්යාය අස්වැද්දීම ‍සඳහා ජලය ගෙන යාමට කිතලබොක්ක ඇළ හරස් කොට බැඳ තිබෙන අමුණ මඩුවන්වෙල දිසාවේගේ නිර්මාණශිලිත්වය තවදුරටත් විදහා දක්වයි. තනිකරම කළු ගලෙන් නිමවා ඇති මෙහි කෙතරම් ගංවතුර ගැලුවත් එක ගලක්වත් නොසෙල්වෙයි. අමුණ බැඳීම සඳහා ගල් කුට්ටි රැගෙන ඇවිත් ඇත්තේ ඇතුන් ලවා බව යි ජනප්‍රවාද පවසන්නේ.

මුදලින්දාරාම විහාරය

මුදලින්දාරාම විහාරය ද මඩුවන්වෙල පරපුරේ නිර්මාණයක්. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකසා ඇති මෙහි ටම්පිට පිළිම ගෙයක් ‍ද ඇති අතර මේ පිළිම ගෙය තනවා ඇත්තේ ගල් කණු 25ක් මත යි. ජාතක කතා, මහ රහත් රූප සහ සත් සතිය ආදී චිත්‍රවලින් බිත්ති සකසා ඇති අතර ගෙබිමේ දැව ලෑලි මත පිඟන් ගඩොල් අතුරා ඇත.

පනාමුරේ ඇත් ගාල

විශාල ධනයක් හා ශ්‍රම දායකත්වයක් ද යොදාගෙන යි, මඩුවන්වෙල දිසාවේ මේ ඇත් ගාල නිර්මාණය කොට ඇත්තේ. ඒ අනුව වනය මැද පිහිටි නොසිඳෙන දිය බුබුළක් මැදි කොට අක්කර 10ක පමණ භුමි භාගයක් කොටු කර පනාමුරේ ඇත් ගාල බැඳ තිබේ.

කවරයේ කතාව –  udawalawesafari.com

මූලාශ්‍රයයන්:

lankainformation.lk

roar.media

tripadvisor.com

sundayobserver.lk

Related Articles