Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටම වැනසූ පනස්හතේ ගංවතුරේ මතක

මහ වැසි වැටෙමින් නැවතත් ගං වතුර ඇවිත්. කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා පිටාර ගලා බොහෝ පෙදෙස් යටවෙලා. බස්නාහිරට නම් තවමත් වැසි ඇද වැටෙනවා. ඒ වගේ අවස්ථාවක අපේ රට වැනසූ අතීත ගංවතුර කිහිපයක් ගැන මතක් කර බැලීමට යි මේ උත්සාහය. ඒ අතරින් 1913, 1940, 1947, 1957, 1969, 1978, 1989, 1992, සහ 2003 යන අවුරුදුවල විශාල විපත් ඇති කළ ගංවතුර හටගත්තා.

සිංහල කවි සඟරාවේ කලින් පැවති මහා ජල ගැල්මක් ගැන මෙසේ විස්තර කෙරෙනවා:

වැසිනෙක් දහස් සත්සිය තිස් සතරකිනේ

උඳුවප් මස පුර සිතදා අවයො ගිනේ

වැසි පුරලා කඳු හෙල් කැඩෙමින් සොඳිනේ

රට හැම පාලු විය මහ වතුර ගලමිනේ 

දළදා වතුර

1947 ගංවතුරට මහනුවර වැව වාන් දමමින් – facebook

ඉංග්‍රිසින්ට රට යටත් වු පසුව 1818 සිට 1828 වන තුරුම දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණේ නැහැ. මේ අතර රටේ විශාල නියඟයක් හටගෙන තිබුණා. තෙත් කලාපය වගේම වියළි කලාපයේ පළාත් ඉඩෝරයෙන් වේලී විශාල ලෙස හානිවෙමින් පැවතුණා. මේ නියඟයට හෙතුව දළදා ප්‍රදර්ශන නොපැවැත්වීම බවට බෞද්ධයන් තුළ අදහසක් පැතිර ගියා. මේ නිසා දළදා පෙරහර සහ දළදා ප්‍රදර්ශන පැවැත්වීමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුවා. සිංහල බෞද්ධයන්ගේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස දළදා ප්‍රදර්ශනයට ද පෙරහරට ද ඉංග්‍රීසි පාලකයෝ ඉඩදුන්නා.

1928 වෙසක් පෝය දින දළදාවහන්සේ මාලිගාවෙන් පිටත මහමළුවට වැඩමවා ප්‍රදර්ශනයකොට පෙරහරක් පැවැත්වුණා. ටික දිනකින් වට මහා වැස්සකින් මුළු රටම වැසි වතුරෙන් තෙත්වී ගං ඇළ දොල පිරී ගොස් තිබෙනවා. මහනුවර නගරයත් ඒ දිනවල මහ වතුරකින් යටවුණු බව පැවසෙනවා. පසුකාලීනව මෙය “දළදා වතුර” නමින් හැඳින්වුණා. 1947 මහ ගංවතුරටත් නුවර වැව උතුරා ජලය ගලාගොස් නගරය යටවූ බව සඳහන් වෙනවා.

1957 මහ ගං වතුර

ගම්පොළ පාලම වැනසූ 1947 ගංවතුර – facebook

1947 මහ ගංවතුරෙන් ද බස්නාහිර පළාත සහ කඳුරට ඇතුළු  විශාල පෙදෙසකට හානි සිදුවුණා. කැලණි, කළු ගංගා උතුරා ගොස් ගම්බිම්, නගර යටවුණා. නමුත් 1957 මහ ගංවතුර මුළු රටටටම බලපෑවා. උතුරේ වගේම දකුණෙත් රජරටත් විශාල විනාශයක් සිදුවුණා. අදත් රජරට වැසියන් මේ ගැන කතා කරනවා. සුනාමි ව්‍යසනය සිදුවන තුරුම පනස් හතේ ගංවතුරේ මතකය ලාංකීය ජනතාව සතු භංකාරම ස්වාභාවික ව්‍යසනයේ මතකය බවට පත්ව තිබුණා. 

මෙම ලීල් ගුණසේකරයන්ගේ පෙත්සම නවකතාවෙන් ද රජරටට ගංවතුරෙන් සිදුවූ හානිය මෙසේ විස්තර කෙරෙනවා.

වැව් කණ්ඩිය කැඩිලා වැව සිඳුණා

ගොවිතැන් හරකා බාන ද නැසුණා

අප සතු දේ ජල රකුසට ගිලුණා

මේ ගමනත් අපි බාගෙට මැරුණා

ගංවතුරෙන් පාලම් කැඩීයාමෙන් අතරමං වූ කන්තලේ සීනි සමාගම අවට ජනතාව- alarmy.com

ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබුණා. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැහැ. සන්නිවේදන මාර්ග දියුණුව තිබුණෙත් නැහැ. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යටවී විශාල ජලාශ ලෙස දිස්වන්නට වුණා. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙස යි.  

පොලිසිය ජනතාවට සහන සලසමින් – sundayobserver.com

වාර්තාවලට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංවතුරට බිලිවී විනාශ වී තිබුණා.  පළමු දින කිහිපයේ පමණක් මරණ සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ බව පැවසුණා. උදම් වූ රළ ගෙඩි නැගෙනහිරෙන් මුහුදුබඩ පළාත්  ආක්‍රමණය කර තිබුණා. විශාල සුලි සුළං නිසා ගෙවල්  පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා ගස් ද බිමහෙළා රජරට එකම යුද පිටියක් බවට පත්කර තිබුණා. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයේ අලි ඇත්තු පවා ගංවතුරට හසුවූ බව වාර්තාවල කියැවුණා.

අනුරාධපුර නගරයේ විනාශය

ගංවතුරෙන් හානියට පත් කලාවැව- ioes18.wildaprocot.org

අනුරාධපුරය නගරයේ පනස් හතේ ගංවතුර පිළිබඳ මතකය ඉතුරුකර තිබෙන සලකුණු කිහිපයක් අද ද දකින්නට ලැබෙනවා. එදා ඒ ගැලු මහා ගංවතුරේ තරම කියාපාන සලකුණු, අදටත් අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය (මාර්කට්‌ එක) අසලින් ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන මාර්ගයේ ගමන් කරන විට, සිංහ කණුව අසල දකුණු අත පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමහල් නිල නිවසේ සලකුණු කර ඇති අයුරු දකින්න පුළුවන්.

ගංවතුරෙන් පුද්ගලයකු බේරාගනිමින්-cnn.com

අනුරාධපුර පූජා නගරය හා නව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක්‌ මහා ජල කඳකින් යට වුණා. නාච්චාදූව වැවේ බැම්ම කෙළවරකින් කැඩී යාමෙන් අනුරාධපුර පුජා භූමිය හා නව නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවූ බව පැවසෙනවා. මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කර, 1958 දී ඒ වැඩ නිමාවට පත් කළා. ධාරානිපාත වර්ෂාවෙන් කලාවැව, රාජාංගණය, නාච්චාදූව, පදවිය, නුවරවැව, මහකනදරාව, ඒරුවැව, මානන්කට්‌ටිය, තිසාවැව, මහවිලච්චිය හා හුරුළුවැව ඇතුළු මහ වැව් දෙදහසකට අධික වූ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් මෙන්ම ඉපැරණි යෝධ ඇළ, මල්වතුඔය, කලාඔය හා යාන්ඔය ද උතුරා ගියේ මිනිසුන් මෙන්ම වනසතුන්ට ද මහා විනාශයක් අත්කර දෙමින්.  

නැගෙනහිර පළාත

අවිස්සාවේල්ල නගරය යටවී ඇති අයුරු – facebook

නැගෙනහිර පළාත පිළිබඳ සැලකීමේ දී මන්නාරම, මඩකලපුව මුතූර් වැනි නගර මෙම මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබුණා. ඉමක් කොණක් නොපෙනෙන මහ සාගරයක්‌ ලෙසින් මෙම නැගෙනහිර ගම්බිම් දිස් වූ බව සඳහන් වෙනවා. මුත්තූර් නගරය සොහොනක්‌ සේ වූයෙන් මිනිස්‌සු බොහෝදෙනා එය අතඇර ගිය බව පැවසෙනවා. උතුරු නැගෙනහිර දෙපළාත ගංවතුර හැරුණු විට සුළි සුළඟින් ස හානියට පත් වුණා.

අම්පාර ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ පිටවානෙන් අඩි 07ක්‌ උසට මහා ජල කඳ ගලන්නට වුණා. අක්‌කර අඩි 770,000ක ධාරිතාවක්‌ රඳවා ගත හැකි වැව් බැම්ම මුදුනට අඩි 3 ක්‌ ඉතිරි වන්නට සියල්ලම ජලයෙන් යටව තිබුණා. කෙත්වතු හරකාබාන විශාල වශයෙන් වැනසී ගියා. අහිමි වූ ජීවිත ගැන සංඛ්‍යාලේඛන පවා නැහැ.

කුරුණෑගල

හානියට පත් නිවසක් -floodlist.com

වයඹ පළාතටත් වැස්සේ හානිය තදින් දැනුනා. දැදුරුඹය උතුරා විශාල ප්‍රදේශයක් යටවුණා. කුරුණෑගල, ඇතාගල කන්දත් නාය ගොස් තිබුණා. ඉන් මරණ රැසක් වාර්තා වුණා. රිදීගමට නුදුරු රම්බොඩගල්ලේ කන්දක්‌ නායයාමට ගොදුරු වුණා. ජීවිතයට හානි මෙන්ම නිවාස හානිද රැසක් වාර්තා වී තිබුණා.

අගමැති බණ්ඩාරනායක

කැඩී ගිය වැවක්- sundayobserver.com

 

ගංවතුර රට වනසන විට අගමැති බණ්ඩාරනායක බලයට පත්වී අවුරුද්ද යි.  මේ විපත ඔහුට දැඩිව දැනුණා. ඔහු ආරක්ෂක අංශවලත් සහයෝගයෙන් විපත කළමනාකරණය කරගන්නට උත්සාහ දැරුවා. රේඩියෝ සිලෝන් එකෙන් ජාතිය අගමැතිවරයා ජනතාව දැනුවත් කළා. ඉන්දියාවෙන් ද ආධාර උපකාර මෙරටට ලබාදුන්නා. අහසින් ආධාර දැමිය හැකි ගුවන් යානා ඉන්දියාවෙන් එවා තිබුණා. වෛද්‍යවරුන් ද ලංකාවට එවීමට ඉන්දියාව කටයුතු කළා.

අගමැතිවරයාගේ නියමය පරිදි විශේෂ කොමසාරිස්‌වරයකු යටතට ආධාර බෙදීමේ වගකීම බාරවුණා. කොළඹ කොඩිගහ වීදියේ රාජකීය නාවික හමුදා කඳවුරේ දී මෙම ආධාර බාරගැනීම සිදුවුණා. ඒවා විපතට පත් ප්‍රදේශවලට බෙදාදීම කළේ එවකට ප්‍රබලව පැවති ග්‍රාම සංවර්ධන සමිති හරහා සහ කාන්තා සමිති හරහා යි. අනාථ පිරිස් රැඳී සිටි ස්ථානවලට සමිති මඟින් ආධාර බෙදාදීම සිදුකළා.

ආශ්‍රිත මූලාශ්‍රයයන් - දිවයින, සිළුමිණ ඇතුළු පුවත්පත් වාර්තා

කවරය: ගංවතුරේ ගමන් කරන පිරිසක්-gogetfunding.com

Related Articles