අපේ පුරාවිද්‍යාඥයන් බලංගොඩ මානවයා ගොඩගත් හැටි

සාමාන්‍ය කතාබහට අනුව බලංගොඩ මානවයා කියන, මධ්‍ය ශිලා මානවයා ජීවත් වූ යුගය ගැන අප කා තුළත් ඇත්තේ කුතුහලයක්. ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුග මානවයා ගැන මුලින්ම කැණීම් කළේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය පී.ඊ.පී. දැරණියගලගේ මෙහෙයවීමෙන් 1940-50 දශකවල දී යි. ඔහු රාවණ ඇල්ල ගුහාව, බටතොට ලෙන, කල්තොට උඩුපියන් ගල්ලේ ආදියේ කැණීම් කර තිබෙනවා. නමුත් මේවා විද්‍යනුකූලව, ස්ථර අනුව කළ කැණීම් නොවෙයි. 1968 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය පිහිටුවීමෙන් පසු වඩාත් විද්‍යාත්මක කැණීම් ඇරඹුණා.  

ප්‍රාග් ඉතිහාසේ පටන් ගත්තේ මෙහෙමයි

පී. ඊ. පී. දැරණියගල දුටු බලංගොඩ මානවයා- siriminudasa.wordpress.com

ලංකාවේ ඉතිහාසයට එහා ගිහින් ප්‍රාග් ඉතිහාසය ගැන සොයන්න මුලින්ම උනන්දු වුණේ, 19 වැනි සියවසේ අපේ රටේ සිටි කුතුහලයෙන් යුත් ඉංග්‍රිසි නිලධාරින්. 1885 දී ජේ. පෝල් සහ ඊ. ඊ. ග්‍රීන් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ මස්කෙළිය, නාවලපිටිය, හා පේරාදෙණිය ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් තිරුවාන, කහඳ මෙවලම් සොයාගත්තා. ඒවා මධ්‍ය ශිලා යුග මානවයන් භාවිත කළ ඒවා බව ඔවුන් පැවසුවා. ඉන්පසුව බඹරබොටුව බෙලිගල්ගේ පාර්සන් විසින් ද, බෙලිහුල්ඔයට නුදුරු කඳුගැටයක්‌ ගාර්ඩ්නර් විසින් ද, මාතර දිස්‌ත්‍රික්‌කයේ ඌරුමුත්තු ගුහාව එෆ්. ලුවිස්‌ විසින් ද ගවේශනය කෙරුනා.

ලංකාවේ ප්‍රාග් මානවයන් පිළිබඳ පර්යේෂණ කළ තවත් දෙදෙනෙක් තමයි ස්විස් ජාතික සැරසින් සහෝදරයන් කියන්නේ. 1924 දී සැරසින් සොහොයුරන් පුත්තලම සිට කලාඔය දක්‌වා වන රතුවැලි නිධි පරීක්‍ෂා කිරීමෙන් වැදි ජනතාව මෙරට ප්‍රාග් මානවයාගේ ප්‍රතිඵලයක්‌ බවත්, වැදි ජනතාව ජීවත්වන  ලෙන් (ඒ කාලෙ වැද්දො හිටියෙ කැලේ ලෙන්වල) මුලින්ම ප්‍රාග් මානවයා භාවිතා කළ ස්‌ථාන බවත් පෙන්වා දුන්නා.

සෙලිග්මාන් යුවළ

බලංගොඩ මානවයන්ට නෑකම් කියන වැද්දන් – සෙලිග්මාන් යුවලගේ The Veddas කෘතියෙන්

ඒ වගේම සෙලිග්මාන් යුවළ (සී.ජී. සෙලිග්මාන් සහ බී.ඉසෙඩ්. සෙලිග්මාන්) ද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයාගෙන් හෙළිවන වැදි ජනතාව පිළිබඳව 1891 සිටම පර්යේෂණ පවත්වා තිබෙනවා.  1907 දී දකුණු පළාතේ තෙලුල්ල අසල ලෙනක්‌, බුත්තල, ඔක්‌කම්පිටිය ගල්ගේ, යකුන්නේ හෙල, ගොන්ගිනේ ආදී ස්‌ථානවල කරන ලද කැණීම් මඟින් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් රැසක්‌ සොයාගැනීමට සෙලිග්මාන් යුවළට අවස්ථාව ලැබුණා. නිල්ගල ලෙන කැණීමෙන් මානව හිස්‌කබලක්‌ හා සුනඛයෙකුගේ හෝ හිවලෙකුගේයැ යි අනුමාන කළ හැකි අවශේෂයන් සොයා ගත හැකි වීම ඔවුන්ගේ ගවේශන අතර විශේෂ අවස්ථාවක්.   

පාහියංලෙන කැණීමෙන් ලැබුණු අස්ථි මෙවලම්-dailymail.co.uk

සෙලිග්මාන් යුවළ විසින් තම පර්යේෂණ පදනම් කරගෙන 1911 දී පළකෙරුණු “The Vaddas” කෘතිය අදටත් අගනා පොතක් ලෙස ලොව පුරා පිළිගන්නවා.

1913 දී චාර්ල්ස්‌ හාර්ට්‌ලි වැලිමඩ චර්ච් හිල් කඳුකර තෙත් ප්‍රදේශ ද, පහතරට තෙත් කලාපයේ ප්‍රදේශ කිහිපයක්‌ ද ගවේශනය කර ශිලා මෙවලම් රාශියක් සොයාගත්තා. ඉන්පසුව ඒ. එම්. හෝකාර්ට්‌, ජෝන් ස්‌ටිල්, ඊ.ජේ. වේලන්ඩ්, ඊ. සී. වෝර්මන්, නූන් සොයුරන් ආදී වූ කිහිප දෙනෙක්‌ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවල නියුතු වුණා.

ප්‍රාග් ඓතිහාසික ස්ථාන -Sundaytimes.lk

1930 සිට ඉදිරි වර්ෂ තුළ එවකට කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් ලංකා ඉතිහාසය ගොඩනැගීමට විශාල මෙහෙයක්‌ කළ විද්වතෙක්. ඔහුගේ පර්යේෂණවලින් මානවයා සහ ඔහු භාවිතා කළ ශිලා මෙවලම් ආදිය පිළිබඳව පමණක්‌ නොව, ඔහු අයත් පරිසරයත්, සතුන් හා ශාක පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කළා. රත්නපුර සහ බලංගොඩ මැණික් පතල්වලින් හමුවන සත්ත්ව පොසිල ඇටකටු අධ්‍යයනයෙන් ඔහු පුරාණයේ අප රටේ සිංහයන් සහ රයිනෝසිරස් සතුන් සිටි බවත් හෙළි කළා.

පුරාවිද්‍යා කැණීම් ඇරඹේ

ආචාර්ය ශිරාන් සහ පී. ඊ. පී. දැරණියගල- Archaeology.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය පිහිටවූයේ 1968 දී යි. එහි පළමු අධ්‍යක්ෂවරයා වුණේ ආචාර්ය ශිරාන් දැරණියගල. ඔහු හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ පි. ඊ. පී. දැරණියගලගේ පුත්‍රයා යි. 1969 සිට ඉදිරි කාලය තුළ ආචාර්ය එස්‌.යූ. දැරණියගල ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳව පර්යේෂණ සිදුකළා. එම පර්යේෂණ හරහා එකල සමාජය, පරිසර රටාව, දේශගුණය, මෙවලම් තාක්‍ෂණය ආදිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වුණා. ඔහුගේ කැණීම් අතර පාහියංගල ලෙන් කැණීම් වැදගත්. 

1986 දී මුලින්ම පාහියංගල කැණීම් ආරම්භ කරනකොට සහකාර කොමසාරිස් විදිහට හිටියේ ඩබ්ලිව්.එම්. විජේපාල. ඔහු තමයි ආචාර්ය දැරණියගලගේ උපදෙස් මත පාහියංගල කැණීම් මෙහෙයවූයේ. පාහිංගලින් මානව හිස්කබල්, අස්ථි කොටස් ආදිය ලැබුණා. 2005 දී ආචාර්ය නිමල් පෙරේරාගේ මූලිකත්වයෙන් පාහියංගල දෙවන වර කැණීම් කිරීමේ දී, සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් හමුවීමත් වැදගත් සිද්ධියක්.

ශිලා යුග මානවයා

දකුණු ආසියාවේ පැරණිම මානව ජනාවාසය පාහියංලෙන – Kusumsiri Wijayawardhana

 ප්‍රාග් ඓතිහාසික කැණීම්වලින් අපේ රටේ පූර්ව ශිලා යුගයේ මධ්‍ය කාලයට අයත් මානවයාගේ, අදින් වසර 125,000කට එහා දිව යන ඓතිහාසික සාධක හමුවී තිබෙනවා. ඒ බුන්දල සහ පතිරාජවෙල වැලි කඳුවල කරපු කැණීම්වලින්. මේ කැණීම්වලින් ලැබුණු ශිලා මෙවලම් තාප සංදීප්තතා ක්‍රමයට කාල නිර්ණය කිරීමෙන් තමයි මේ කාල වකවානු සොයා ගත්තේ. නමුත් මානව ඇටකටු නම් කිසිවක් හමුවී නැහැ.

හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් නම් නවීන මානවයා මුලින්ම නම්කළ පී. ඊ. පී. දැරණියගල ඔහුට දුන් නම වුණේ “බලංගොඩ මානවයා” යි. මේ මානවයා මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බව සැලකෙනවා. ඒ වගේම මධ්‍ය ශිලා යුග මානවයාගේ වයස අවුරුදු 40000ක් තරම් ඈතට තල්ලු කිරීමටත් මේ කැණීම් ඉවහල් වුණා.  මේ කාල නිර්ණය ලැබුණේ පාහියංගල ලෙන තුළින්.

පාහියංලෙන කැණීම්වලින් ලැබුණු අලංකරණ පබලු- dailymail.co.uk

මධ්‍ය ශිලා යුග මානවයා සිටි කාලයේ මෙරට ඝර්ම කලාපීය වැසි වනාන්තර විශාල වශයෙන් පැතිර තිබුණු බවට සාධක හමුවෙනවා. ලෙන්වල වාසය කරමින් ප්‍රාථමික ආයුධවලින් සතුන් දඩයම් කරගත් මේ මානවයාගේ ශිලා ආයුධ තාක්ෂණය, විවිධ ඇදහිලි, ආහාර රටාව ගැන වැදගත් තොරතුරු කැණීම්වලින් අනාවරණය වුණා.

විද්‍යාත්මක ලෙන් කැණීම්

පාහියංලෙන කැණීම් කළ ස්ථානය- wikimediacommons

අපේ රටේ  විද්‍යාත්මක ලෙන් කැණීම් 1979 දී ආරම්භ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය යි. කුරුවිට බටදොඹ ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන, සහ කෑගල්ල අළුලෙන මෙහිදී  මුලින්ම කැණීම් කළා. ක්ෂූද්‍ර ශිලා මෙවලම් වගේම මානව අස්ථි කොටස්, ඔවුන් ආහාරයට ගත් සත්ත්ව ශේෂත් කැණීම්වලින් හමුවුණා. දකුණු ආසියාවේ පැරණිම මානව සාධක කුරුවිට බටදාඹ ලෙන සහ පාහියංලෙන තුළින් හමුවීම මෙරට පුරාවිද්‍යා පර්යේෂණවල ජයග්‍රහණයක් ලෙස යි සැලකෙන්නේ.

කුරුවිට බටදොඹ ලෙන-  wikipedia.org

රාඡ් සෝමදේව විසින් ශ්‍රී ලංකාවේ සබරගමු පළාත ආශ්‍රිතව සිදුකරගෙන යනු ලබන පර්යේෂණ මාලාවක්‌ මඟින් දකුණු පළාත ආශ්‍රිතව මානව ජනාවාසකරණය, ජනාවාස රටාව, ඒ සඳහා බලපාන ලද සාධක පිළිබඳව තොරතුරු හමුවුණා.

මීට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අදිකාරි සීගිරිය අසල පොතාන, අලිගල සහ අලවල පොත් ගුල් ලෙන යන ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දායක වී සිටිනවා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තෙත් කලාපයට අයත් හෝර්ටන් තැන්න පසුබිම් කරගෙන ටී. ආර්. ප්‍රේමතිලක විසින් සිදු කළ අධ්‍යයනයන් මඟින් වසර 17,500ට පමණ පෙර කාලයේ ලාංකේය ජනතාව මූලික කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූ බවට සාධක හමුවී තිබෙනවා. වල් කෙසෙල් සහ වල් වී වර්ග ඔවුන් භාවිත කළ බවට සාධක තිබෙනවා.

අප්‍රිකාවෙන් නික්මී ලංකාවට

මිණිඇතිලිය කැණීමෙන් ලැබුණූ මානව ඇටසැකිල්ල ගොඩ ගනිමින්- researchgate.net 

පැරණිම ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවන්නේ අප්‍රිකානු රටවලින්. ලොව අනෙක් රටවලින් හමුවන සාධක ඊට මෙපිට කාලයකට අයත්. ඒ හින්දයි පුරාවිද්‍යාඥයො කියන්නේ මානවයා අප්‍රිකාවෙන් නික්මී ලොව අනෙක් ප්‍රදේශවලට සංක්‍රමණය වූ බව. දැනට අවුරුදු 80000කට පෙර ඊජිප්තුවේ සයිනයි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත්, තවත් කොටසක් ආසියාව හරහා ඔස්ට්‍රේලියාවටත් ගිහින්. සයිනයි සිට අරාබි වෙරළ ඔස්සේ දකුණු ආසියාවෙන් මුලින්ම මානවයා පැමිණි රට ශ්‍රී ලංකාව තමයි.

ප්‍රාග් ඉතිහාසය සැඟවුණු ස්ථාන

ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා- Archaeology.lk
  • ඉරණමඩු පස් සැකැස්ම

මෙම පස් තට්ටු උතුරු, දකුණු සහ වයඹදිග වෙරළේ ව්‍යාප්තව පවතිනවා.

  • ගල්ලෙන් 

පහතරට තෙත් කලාපයේ රත්නපුර, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවල බහුලව හමුවෙනවා.

  • එළිමහන් ස්ථාන 

පුරාණ මානවයා ගල්ලෙන්වල පමණක් නොව එළිමහන් ස්ථානවලද සිටි බවට සාධක මුලින්ම හමුවුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට උඩවලව වනෝද්‍යානය තුළ පිහිටි බෙල්ලන්බැඳි පැලැස්සෙන්. 2005 දී එහි කළ කැණීමකින් අවුරුදු 13000ක් පැරණි සාධක හමුවුණා. 

බෙල්ලන්බැදිපැලැස්ස කැණීම්වලින් පී. ඊ. පී. දැරණියගලට හමුවූ මධ්‍ය ශිලා යුග ඇටසැකිල්ලක් – Archaeology.lk
  • අනුරාධපුර ඇතුළු නුවර 

අනුරාධපුර ඓතිහාසික යුගයට එපිටින් පැවති කාලය අවුරුදු 5000ක් පැරණි බව විද්‍යාත්මක කැණිම්වලින් හෙළිව තිබෙනවා.

  • බෙලිකටු නිධි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම මිණිඇතිලියේ පස්වලට යටින් හමුවූ බෙලිකටු නිධි කාල නිර්ණය කිරීමේ දී අදින් වසර 2800කට එපිට කාලයකට අයත් බව හෙළි වුණා. මෙම ස්ථානයෙන් මධ්‍ය ශිලා යුග මානව ඇටසැකිල්ලක් ද ගොඩ ගැනීමට අවස්ථාව ලැබුණා.

  • මාතොට

අප රටේ ගල්යුගයේ අවසාන සාධකය ලැබෙන්නේ මන්නාරම මාතොට කැණීමෙන්. එහිදී ලැබුණු කාලනිර්ණ අනුව අදින් වසර 1800කට කලින් මාතොට ගල්ආයුධ භාවිත කළ මානවයන් ජීවත්වී තිබෙනවා. ඊට පසු තමයි ඔවුන් මූල ඓතිහාසික යුගයට එළඹ තිබෙන්නේ.

අපේ ප්‍රාග් ඉතිහාසය ලෝකෙට කියූ පර්යේෂණ

ලෝකෙම කතා වෙන අපේ ප්‍රාග් ඉතිහාසය ගැන පොත්- Kusumsiri Wijayawardhana

ආචාර්ය ශිරාන් දැරණියගලගේ ආචාර්ය උපාධි නිබන්ධයට පසුබිම් වුණේ අපේ ප්‍රාග් ඉතිහාසය යි. The Prehistory of Sri Lanka an Ecological Perspective Sri Lanka යන මැයෙන් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය පොතක් වශයෙන් 1992 දී  පළ කළා. පසුගිය වසර 50 තුළ සමස්‌ත ශ්‍රී ලංකාව තුළම සිදුකළ ගවේශන හා කැණීම්වල ප්‍රතිඵල එහි අඩංගු යි. එම ග්‍රන්ථය ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව සමස්‌ත දකුණු ආසියාවේම ප්‍රාග් ඉතිහාසය පිළිබඳව වූ විශිෂ්ට පොතක් වශයෙන් සම්භාවනා ලබනවා. තම පියා වූ පෝල් දැරණියගල කැණීම් කළ ස්‌ථාන නැවතත් නූතන කාලනීර්ණ ක්‍රමවේදයන්ට අනුව කාලනීර්ණය කරමින් නව මත සහ අදහස්‌ ඔහු ඉදිරිපත් කළා.  

ආචාර්ය නිමල් පෙරේරා ආචාර්ය උපාධි පර්යේෂණය කළේ ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේ යි. එම පර්යේෂණ නිබන්ධය Pre Historic Sri Lanka – Late Pleistocene Rock Shelters and an open Air site නමින් කෘතියක් ලෙස පළ කෙරුණා. එම පොත  අප රටේ ශිලා මෙවලම්වල භාවිතය ගැන ලෝකෙම ඇස් ඇරවූ කෘතියක්. එය පළ කළේ ‘Bar International Series’ යටතේ එංලගන්තයේ යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

P.E.P. Deraniyagala Commemoration Volume (eds.) T.L.Premathilaka and R. Silva, , “Prehistoric Research in Sri Lanka 1885-1980”  Deraniyagala, S.U., 1980152-207 pp,

ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඉතිහාසය- එස්. යූ. දැරණියගල පරි. සෝමපාල ජයවර්ධන

https://www.divaina.com/2011/06/29/

කවරය- බලංගොඩ මානව පවුලක් - sjp.ac.lk

Related Articles