බොදු පුදබිම් රකින මුරගලේ කතාව

නුවර කලාවියේ ඉපැරණි රාජධානි පුරා විසිරී පවතින නටබුන් අතර ශේෂ වී තිබෙන සෑම කලා කෘතියක් ම පාහේ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මැනවින් විදහා පාන ඒවා යි. ඒ අතරින් පුරාණ බෞද්ධ විහාරස්ථාන සහ පුදබිම්වලට පිවිසෙන දොරටු අභියස හෝ පියගැට පෙළ පාමුල දක්නට ලැබෙන විචිත්‍රවත් කලා නිර්මාණ වඩාත් සුවිශේෂී වෙනවා.

සාමාන්‍යයෙන් බොදු පුදබිමක හෝ නටඹුන් ව ගිය රජ මැදුරකට ඇතුළු වන ප්‍රධාන දොරටුව ඉදිරියේ දකින්ට ලැබෙන නිර්මාණයන් ලෙස කැටයම් සහිත පියගැට පෙළ, පියගැට පෙළ පාමුල දක්නට ලැබෙන බුදු දහමේ සඳහන් සංසාර චක්‍රය නිරූපණය කරන සඳකඩපහණ, පිටගැට පෙළේ ආරක්ෂාව සඳහා ඇති කොරවක්ගල් සහ ඒ ආසන්නයේ ම ඇති මුරගල් ද්විත්වය හැඳින්විය හැකි යි.

davidaolson.wordpress.com

මුරගලක් යෙදීමට හේතු

‘මුර කිරීම’ යනුවෙන් සරල ව අදහස් වන්නේ ආරක්ෂා කිරීම යන්න යි. ඒ අනුව අනෙකුත් ඉදි කිරීම් අභිබවා පූජනීය ස්ථාන සහ රජ මැදුරු ආරක්ෂා කරන බව සංකේතවත් කිරීමේ අදහස ඇති ව මුරගල් නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. මුරගල ශ්‍රී ලාංකිය ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණික කලා නිමැවුමක් ලෙස අර්ථ දැක්විය හැකි වුවත් එහි මුල් අවස්ථාවන් ඉන්දියානු කලා කෘතීන් සමග මුසු වී ඇති බව යි පෙනී යන්නේ. එයට නිදසුනක් ලෙස භාරතීය ජනශ්‍රැතීන් හි සඳහන් වන ‘ද්වාර ආරක්ෂකයන්’ හෙවත් දොරටු පාලයන් ද, අජන්තා ලෙන් විහාරයෙන් සොයාගෙන ඇති නග්න ද්වාර පාලක රූප ද හැඳින්විය හැකි යි.

ඉන්දියානු කලා කෘතීන් හි ගැබ් වී ඇති මේ ද්වාර ආරක්ෂක සංකල්පය ම ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණය ශිල්පය තුළ නොයෙකුත් වෙනස්කම්වලට ලක් වෙමින් මුරගලක ස්වරූපයෙන් කලඑළි බසින්නට ඇතැයි සිතීම වරදක් නොවේ.

flickr.com

කෙසේ නමුත් බොහෝමයක් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මුරගල හුදෙක් ම ආරක්ෂා කිරීම සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් නොවන බව යි. 1956 – 1967 අතර කාලයේ දී පුරාවිද්‍යා කොමසාරිස් තනතුර හෙබ වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ අදහසට අනුව පියගැට පෙළ දෙපස ඇති කොරවක්ගල ලිස්සා යාම වැළැක්වීම සඳහා කූඤ්ඤයක් ලෙස මුරගල යොදාගෙන අැති බවටත් මතයක් පවතිනවා.

තම අදහස සනාථ කිරීම සඳහා තිරියායේ ගල් වැටියක අවසන් ගල ලිස්සා යාම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති මුරගලකට සමාන ගල් කූඤ්ඤයක් ද ඔහු පෙන්වා දී තිබෙනවා. ගොඩකුඹුර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ තවත් මෙවැනි ම නිදර්ශන රාජාංගණයේ හත්ථිකුච්ජි විහාරස්ථානයෙන් සහ අනුරාධපුර වෙස්සගිරියෙන් ද හමු වී ඇති බව යි.

en.wikipedia.org

නමුත් වර්තමානයේ දී මහවංශය සංස්කරණය කිරීමේ කටයුත්තට දායක වී සිටින පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ප්‍රකාශ කරන්නේ කොරවක්ගල ලිස්සා යාම වැළැක්වීම සඳහා මුරගල යොදා ගන්නට ඇතැයි සැලකෙන ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ අදහස පිළිගත නොහැකි බව යි. ඔහුගේ අදහසට අනුව මුරගල, දොරටු සැලැස්මේ අලංකාරය සහ අංග සම්පූර්ණත්වය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස යොදා ගන්නා ලද්දක්.

තම අදහස සනාථ කිරීම සඳහා ඔහු යොදාගෙන ඇත්තේ අභයගිරි විහාරයේ ස්ථූපයට නිරිත දිගින් බටහිර සීමාවේ ඇති ආරාම සංකීර්ණයේ මැද කොටසේ ඇති නටඹුන් ව ගිය ප්‍රාසාදයේ පෙරළී ගොස් තිබෙන මුරගල් ද්විත්වය යි. එය මෑතක දී සිදු වූවක් නොවන බව පෙන්වා දෙන එතුමා එයින් ම කොරවක්ගල ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා මුරගලට ඇති හැකියාව ඉතාමත් සීමීත යැයි පෙනී යන බව පවසා සිටිනවා.

si.wikipedia.org

ප්‍රධාන මුරගල් වර්ග

මුල් කාලීන සඳකඩපහණ මෙන් ම මුරගල සහ කොරවක්ගල් ද නිර්මාණ කර ඇත්තේ වටිනා දැව පුවරු යොදාගෙන යි. නමුත් පසු කාලීන ව දිගු කාලයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු වූ බැවින් මේ නිර්මාණ සියල්ල ම සිදු කිරීම සඳහා ශෛලමය පුවරු යොදාගෙන තිබෙනවා. එසේ ම බොහෝමයක් මුල් කාලීන මුරගල් කිසිදු කැටයමක් නොමැති තනි ගල් පුවරු යි. ඒ හේතුවෙන් ම පුරාතන ගොඩනැගිලි හඳුනා ගැනීමේ ලක්ෂණයක් ලෙස ද කැටයම් හෝ ලියවැල් නොමැති මුරගල් යොදා ගන්නවා.

පසු කාලීන ව සඳකඩපහණේ මෙන් ම මුරගලේ ද විවිධ කැටයම් කැපීම ආරම්භ කර ඇති අතර නිර්මාණකරණයට අනුව මුරගල සිව් ආකාරයකින් යුතු වෙනවා. ඒ පුන්කළස සහිත මුරගල, බහිරව හෝ වාමන රූප සහිත මුරගල, නාග රූප සහිත මුරගල සහ නා රජු හෝ මිනිස් රූප සහිත මුරගල ලෙස යි.

පුන්කළස සහිත මුරගල (thilankams.blogspot.com)

මුරගලට කැටයම් එක් වීම ඇරඹුණේ සිංහල ගල් වඩුවා පුන්කළසක රුවක් එයට එක් කිරීමෙන් අනතුරු ව යි. අතීතයේ දී පමණක් නොව වර්තමානයේ දී සිංහලයන් සෞභාග්‍යයේ, සශ්‍රීකත්වයේ සහ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස සලකන පුන්කළස මුරගලේ කැටයම් කිරීම මගින් පුදබිමකට ඇතුළු වන බැතිමතුන් තුළ ප්‍රබෝධයක් ඇති කිරීම අරමුණු කරන්නට ඇති බව සැලකිය හැකි යි. මුල් ම අවස්ථාවල දී රේඛා සිතුවමක් ලෙස පෙනී ගිය පුන්කළස සහිත මුරගල අලංකාර කිරීම සඳහා පසු කාලීනව නෙළුම් පෙති, නෙළුම් මල් සහ නෙළුම් කැකුළු යොදාගෙන ඇති අතර පුන්කළසේ බඳ අලංකාර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මනහර ගැටයකි.

thilankams.blogspot.com

විවිධ වර්ගයේ මුරගල් දැක ගත හැකි ස්ථාන

මෙවැනි අලංකාර පුන්කළස් සහිත මුරගල් වෙල්ගම් වෙහෙර, මඟුල් මහා විහාරය සහ මිහින්තලේ කළුදිය පොකුණ ආශ්‍රිත ව දැක ගත හැකි යි. එයට අමතර ව පුන්කළස සහිත මුරගල්වලට නිදසුන් වශයෙන් අභයගිරි විහාරයේ සන්නිපාත ශාලාවට නැගෙනහිරින් පිවිසෙන ප්‍රාකාර දොරටුවේ ඇති කප්රුක සහ පුන්කළස සහිත මුරගල ද, රැස් වෙහෙර ලෙන් විහාරයට පිවිසෙන දොරටුවෙ හි මුරගල් ද දැක්විය හැකි අතර පුන්කළසක් සහිත විශිෂ්ටත ම මුරගල ලෙස අනුරාධපුර තොළුවිල මුරගල සැලකෙනවා.

බහිරව රූ සහිත මුරගල්

බහිරව හෝ වාමන රූප සහිත මුරගල (si.wikipedia.org)

පසු කාලීනව ‘බහිරවයා නිදන් රකින්නෙකි’ යන ගැමි විශ්වාසය පදනම් කරගෙන ගල් කැටයම් ශිල්පියා මුරගලට බහිරව රූපය යෙදීම ආරම්භ කරන්නට ඇත්තේ ද සිද්ධස්ථානයන් හි නිදන් කර ඇති වටිනා වස්තූන් ආරක්ෂා කිරීම සංකේතවත් කිරීමට විය හැකි යි.

කාලිදාසයන්ගේ මේඝදූතයට අනුව කුවේරගේ සමුද්‍රගත නිදන් රකින සංඛ සහ පද්ම නම් බහිරවයන් දෙදෙනෙකි. අනුරාධපුර යුගයේ මැද සහ අවසන් කාලය වන විට සිංහල ගෘහ නිර්මණ ශිල්පයට දකුණු ඉන්දීය අභාෂය හිමි වූ අතර ඒ කාලයේ දී නිර්මාණය කරන ලද බොහෝමයක් මුරගල් යුගල් හි හක්ගෙඩියක සලකුණ සහිත සංඛ මුරගලක් ද නෙළුමක සලකුණ සහිත පද්ම මුරගලක් ද දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙවැනි බහිරව හෝ වාමන රූප සහිත මුරගල් අභයගිරි දාගැබ අභියස සහ අනුරාධපුර විජයාරාම විහාරගෙය අසල පමණක් නොව මිහින්තලේ රාජගිරිලෙනේ දී ද දැක ගත හැකි යි.

නාග රූ සහිත මුරගල්

නාග රූප සහිත මුරගලක් (flickr.com)

කාලය ගත වන විට බහිරව හෝ වාමන රූප වෙනුවට මුරගල සඳහා නාග රූප යොදා ගැනීම ආරම්භ කර ඇති බව එහි විකාශනය අධ්‍යයනය කරන විට පැහැදිලි ව පෙනී යනවා. මෙවැනි නාග රූප සහිත මුරගල් මූලික වශයෙන් පංච ශීර්ෂ සහ සප්ත ශීර්ෂ ලෙස දෙයාකාර යි. ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය අනුව මේ මගින් බුදු දහමේ එන යම් යම් ඉගැන්වීම් පෙන්නුම් කරනවා. ඒ අනුව පංච ශීර්ෂ මුරගල මගින් නිරූපණය වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම සම්පත්තීන් අරභයා පුද්ගල මනස තුළ ගොඩ නැගෙන තෘෂ්ණාභරිත ස්වභාවය යි.

si.wikipedia.org

නමුත් ජලයට අධිපති දෙවියෙක් ලෙස පැරණි සමාජයේ නාගයා පිළි ගැනීමට ලක් වූ නිසාවෙන් දෝ නාග රූප යොදන ලද මුරගල් වැඩිපුර ම දක්නට ලැබෙන්නේ ජලාශ්‍රිත ප්‍රදේශවල යි. මේ සඳහා දිය හැකි හොඳ ම නිදසුන ලෙස අනුරාධපුර කුට්ටම් පොකුණට උතුරු දෙසින් ඇති මුරගල පෙන්වා දිය හැකි යි.

නා රජු හෝ මිනිස් රූප සහිත මුරගල

මුරගලේ විශිෂ්ටත ම අවස්ථාව ලෙස සැලකේනේ නා රජු සහිත මුරගල යි. එතෙක් පැමිණි මුරගල් සියල්ලේ ම පාහේ දක්නට ලැබුණු සෑම අංගයක් ම ඇතුළත් වන ලෙස නා රජු සහිත මුරගල කැටයම් කර ඇතැයි සැලකෙනවා. ඒ අනුව කඩවසම් තරුණයෙකු ලෙස කැටයම් කර ඇති නා රජුගේ අත්ල මත පුන්කළසක් ද, නා රජුගේ පය පාමුල බහිරව රූප එකක් හෝ දෙකක් ද ,නා රජුගේ හිස වටා නාග පෙනයක් ද දැක ගැනීමට ලැබෙනවා.

flickr.com

අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ මුරගල මෙයට ඇති හොඳ ම නිදසුන යි. පස් වැනි සියවසට අයත් මේ මුරගල මිහිඳු රජ දවස නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙනවා. එසේ ම පුරාවිද්‍යාඥයින්ගේ අදහස වන්නේ මෙය තරමක් දුරට භාරතයේ තුලීසා මැදුරේ ඇති ද්වාර පාලක කැටයම්වලට සමාන වන බව යි. පොළොන්නරු යුගයට අයත් අලංකාර ම නා රජු සහිත මුරගල පිහිටා ඇත්තේ වටදාගේ නැගෙනහිර ද්වාරයේ යි.

මුරගල් ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ වැඩි අවධානයක් යොමු වන නිර්මාණයක් නොවුවත් උවමනාවෙන් අධ්‍යයනය කරනවා නම් අනෙක් බොහෝ කලා නිර්මාණ තරමටම වැදගත් ඉතිහාසයක් එ් සතු වෙනවා.

කවරයේ පින්තූරය : (flickr.com)

මූලාශ්‍ර :

  1. lakehouse.lk/budusarana
  2. e-thaksalawa.moe.gov.lk
  3. si.wikipedia.org
  4. amazinglanka.com

Related Articles