පුරාණ ලෝකයේ සුනඛයෝ

ලිඛිත ඉතිහාසය ඇරඹීමට බොහෝ කාලයකට පෙර සිට ම සුනඛයින්, මිනිසාගේ ඉතිහාසයේ කොටසක් ව පැවති බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ක්‍රි. පූ. 12,000 තරම් ඈතට දිව යන ඉතිහාසයක් හිමි තුර්කියේ ගෝබෙක්ලි-ටීපෝ දෙවොලෙන් හමු වූ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය, සුනඛයින් හීලෑ කිරීම සම්බන්ධයෙන් මැදපෙරදිගින් සොයාගන්නා ලද අනෙක් සාක්ෂ්‍ය හා සැසඳෙන අතර, ඊශ්‍රායලයේ ‘අයින් මහල්ලා’ නම් නටූෆියන් (ක්‍රි. පූ. 12,000 – 9,500 අතර කාලයේ දී නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පැවති පුරාණ ශිෂ්ටාචාරයක්) ජනාවාසයෙන්, බලු පැටවෙකු සමග මිහිදන් කරන ලද වයස්ගත පුද්ගලයෙකුගේ ඇටසැකිලි කොටස් සොයාගෙන තිබෙනවා.

(© Marie-Lan Nguyen) පොම්පෙයි නුවර සුනඛ විචිත්‍රයක්

දකුණුදිග ප්‍රංශයේ චාවට් ගුහාව ආසන්නයෙන් අදින් වසර 26,000ක පමණ පෙර දරුවෙකු සමග ඇවිද ගිය සුනඛයෙකුගේ සංරක්ෂිත පියසටහන් හමුවුණේ සුනඛයින් හීලෑ කිරීමේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්. නමුත් 2008 දී සිදුකරන ලද අධ්‍යයනයක දී සයිබීරියානු හස්කි සුනඛයෙකුට සමාන පුරාණ සුනඛයෙකුගේ නෂ්ටාවශේෂ හමු වූ අතර, පුරාවිද්‍යාඥයින්ගේ නිගමනය වුණේ යුරෝපය තුළ සුනඛයින් හීලෑ කිරීම, අදින් වසර 32,000 – 18,800 පමණ පිටුපසට දිව යන බව යි. එකී නිගමනය ද උඩුයටිකරු කරමින් බෙල්ජියමේ ගෝයෙට් ගුහාවෙන් වසර 36,500ක් පැරණි සුනඛ මෘත ශරීර කොටස් හමු වී තිබෙනවා.

දඩයම් සුනඛයින් සමග සංචාරයේ යෙදුණු මෙසපොටේමියානු දෙවඟන

නිරිතදිග ආසියාව සතු වන පැරණි ම කථාන්තරයක් වන ගිල්ගමේෂ්ගේ වීර කාව්‍යයේ සඳහන් වන අන්දමට, ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය දෙවඟනක් වූ ඉනානා (හෙවත් ඉෂ්තාර්) සංචාරයේ යෙදී ඇත්තේ කරපටි පලඳින ලද දඩයම් සුනඛයින් 7 දෙනෙකු සමග යි. සාමාන්‍යයෙන් සුනඛ කරපටි නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඊජිප්තු ජාතිකයින්ට වුව ද, බොහෝ විට එය සුමේරියානුවන්ගේ විසින් නිපදවන්නට ඇත. ක්‍රි. පූ. 3,300ට අයත් කරපටියක් පැලඳි සලූකි සුනඛයෙකුගේ රුව සහිත රන්වන් මාල පෙත්තක්, සුමේරියානු නගරයක් වන අරුක් නුවරින් සොයාගෙන ඇති අතර, ටයිග්‍රීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පිහිටි නිනිවා නුවරින් හමු වූ සිලින්ඩරාකාර මුද්‍රාවේ අන්තර්ගත වන්නේ ද සලූකි සුනඛ රුවක්. ඒ අනුව ඊජිප්තු වැසියන්ට පෙර සුනඛයින් හීලෑ කිරීමේ යෙදුණු මෙසපොටේමියානුවන් විසින් සුනඛ කරපටි නිර්මාණය කළ බව නිගමනය කිරීමේ වරදක් නැහැ.

(© Osama Shukir Muhammed Amin) උතුරු මෙසපොටේමියාවෙන් සොයා ගන්නා ලද දඩයම් සුනඛයින් දැක්වෙන පුවරුවක්

මෙසපොටේමියානු කලා කෘතීන් හි සුනඛයින් ව, දඩයම්කරුවන් ලෙස මෙන් ම මිතුරන් ලෙස ද දක්වා තිබෙනවා. බොහෝමයක් නිවෙස් හි සුරතලුන් සහ ආරක්ෂකයින් ලෙස සුනඛයින් ව ඇති කර තිබෙන අතර පෞද්ගලික ආරක්ෂාව සඳහා සුනඛ රූ සහිත සුර පැලඳීමට මෙසපොටේමියානු වැසියන් කටයුතු කර ඇති බව යි පෙනී යන්නේ. එයට අමතර ව කල්හූ නම් ඇසිරියානු නගරයෙන් හමු වූ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් තහවුරු වී ඇත්තේ මෙසපොටේමියානුවන්, ගොඩනැඟිල්ලක එළිපත්තේ මැටියෙන් තනන ලද සුනඛ ප්‍රතිමාවක් එල්ලා තැබීම හෝ මිහිදන් කිරීම සිදුකර ඇති බව යි. එයට අමතර ව සුනඛ ඛේටය සතු ව සුව කිරීමේ බලයක් ඇති බව සහ සුව කිරීමට අධිපති ගුලා දෙවඟන නිරන්තරයෙන් ම ඇයගේ සුනඛයා සමග සැරිසරන බව ඔවුන් විශ්වාස කර තිබෙනවා.

මරණින් මතු දෙව්ලොව යන ඉන්දියානු සුනඛයින්

(© Vedic Upasana Peeth) යුධිස්තිර රජු සහ ඔහුගේ සුනඛයා

පුරාණ ඉන්දියාව තුළ සුනඛයින්ට හිමි වුණේ සුවිශේෂී ස්ථානයක්. වර්තමානයේ දී පවා දැක ගැනීමට ලැබෙන ඉන්දියානු පරායා සුනඛයින් සැලකෙන්නේ ලොව පැරණි ම හීලෑ සුනඛ වර්ගය ලෙස යි. මහා භාරතයේ දැක්වෙන ආකාරයට කුරුක් ක්ෂේත්‍ර සටනෙන් බොහෝ කාලයකට පසු ව යුධිස්තිර රජු, ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහ විශ්වාසවන්ත සුනඛයා සමග වන්දනාවක නිරත වී තිබෙනවා. ගමන අතරතුර දී රජ පවුලේ සාමාජිකයින් මරණයට පත් වුව ද, සුනඛයා දිගින් දිගට ම රජු ව තනි නොකර ඔහුගේ පසෙකින් සිටි බව යි සඳහන් වන්නේ. මරණයෙන් පසු ව යුධිස්තිර රජු දෙව්ලොව කරා ගොස් ඇත්තේ ද ඔහුගේ සුනඛයා සමග යි. ඇතැම් අනුවාදයන් හි යුධිස්තිර රජුගේ සුනඛ්‍යා සත්‍ය වශයෙන් ම විෂ්ණු දෙවිඳුන් ලෙස දක්වා ඇත්තේ ඉන්දියානු දේව කථාන්තරයන් හි දිව්‍යමය සත්ත්වයෙකු ලෙස සුනඛයාට ඇති ස්ථානය තහවුරු කරමින්.

සුනඛ ස්වරූපයෙන් වැඩ සිටින ඊජිප්තුවේ අනුබිස් දෙවිඳුන්

(© Wikimedia Commons) මිය ගිය අයෙකුගේ ආත්මය, සත්‍යතා මන්දිරයට කැඳවාගෙන යන සුනඛ හිසක් සහිත අනුබිස් දෙවිඳුන්

ඊජිත්තු විශ්වාසයන්ට අනුව මියගිය අයෙකුගේ ආත්මය, සත්‍යතා මන්දිරයට කැඳවාගෙන ගොස් විනිශ්චය සඳහා ඔසිරිස් දෙවිඳුන්ට භාර කරන්නේ සුනඛ හිසක් සහිත අනුබිස් දෙවිඳුන් විසින්. එසේ ම ඊජිප්තු වැසියන් විසින් පවුලේ සාමාජිකයෙකු ලෙස සලකන ලද සුනඛයෙක් මියගිය විටෙක, අදාළ මළ සිරුර මමියක් බවට පරිවර්තනය කර සකාරා හි පිහිටි අනුබිස් දෙවිඳුන් වෙනුවෙන් කැප කරන ලද දෙවොලේ මිහිදන් කිරීම සිදුකර තිබෙනවා. එසේ ම මියගිය සුනඛයා වෙනුවෙන් ශෝකය ප්‍රදර්ශනය කිරීම සඳහා පවුලේ අනෙක් සාමාජිකයින් ඔවුන්ගේ ඇහිබැම මුඩු කිරීම සිදුකර ඇති අතර, වියදම දැරීමේ හැකියාව ඇත්නම් සුනඛයා වෙනුවෙන් අවමංගල උත්සවයක් ද පවත්වා ඇති බව යි සඳහන් වන්නේ.

ඊජිප්තු පිරමීඩ සිතුවම් බොහෝමයක සුනඛ රූ දැක ගැනීමට ලැබෙනවා. එවැනි බොහෝමයක් සිතුවම් හි සුනඛයින් කරපටි පැලඳ සිටින අතර නිර්භීතයා, විශ්වාසවන්තයා, උතුරු සුළඟ වැනි ඔවුන්ගේ නම් ද ඒවායේ සටහන් කර ඇති අන්දම නිරීක්ෂණය කළ හැකි යි. මුල් කාලයේ දී ඊජිප්තු වැසියන් කරපටි නිර්මාණය සදහා යොදාගෙන ඇත්තේ හම් වුව ද පසුකාලීන ව තඹ හෝ ලෝකඩ යොදා ගනිමින් නිම වන ලද කරපටි විසිතුරු කැටයම් යොදා ගනිමින් අලංකාර කිරීම ද කර තිබෙනවා.

ග්‍රීක සහ රෝම වැසියන්ගේ මිතුරු සුනඛයින්

 (© Pinterest) ආටිමස් දෙවඟන සහ දඩයම් සුනඛයින්

ග්‍රීක වැසියන් සුනඛයා සලකා ඇත්තේ මිතුරෙකු, ආරක්ෂකයෙකු, සහ දඩයම්කරුවෙකු ලෙස වන අතර, වෘකයින්ගේ දඩයම් බල්ලන්ගේ ගෙල ආරක්ෂා කිරීම සඳහා උල් සහිත කරපටි නිර්මාණය කර ඇත්තේ ග්‍රීක ජාතිකයිනුයි. එසේ ම ග්‍රීක සාහිත්‍යයේ දැක්වෙන අන්දමට අපායේ දොරටුව ආරක්ෂා කරන්නේ සර්බරස් නම් හිස් ත්‍රිත්වයක් සහිත සුනඛයෙක්. එසේ ම දඩයමට, සඳට, සහ නිර්මලත්වයට අධිපති ආටිමස් දෙවඟන දඩයම් සුනඛයින් ද මායාකර්මයට සහ අඳුරට අධිපති හෙකටි දෙවඟන කළු පැහැ මොලෝසියානු සුනඛයින් ද ඇති කළ බව සඳහන් වෙනවා. රෝම වැසියන් ද නිවෙස් ආරක්ෂකයෙකු ලෙස සුනඛයින් ව සලකා ඇති අතර, බොහෝමයක් රෝම කලාකෘතීන් හි සුනඛ රූ දැක ගැනීමට ලැබෙනවා.

මාංශ ලබා ගැනීම සඳහා සුනඛයින් ඇති කළ චීන වැසියන්

(© Alfred Correya) චීන සුනඛ සුරයක්

ක්‍රි. පූ. 12,000 දී පමණ ඌරන් සමග සුනඛයින් ව හීලෑ කරන ලද චීන වැසියන්, දඩයම්කරුවන් ලෙස පමණක් නොව මාංශ ලබා ගැනීම සඳහා ද සුනඛයින් ඇති කර තිබෙනවා. එසේ ම ඔවුන් ප්‍රතිඥා මුද්‍රා තැබීම සඳහා සුනඛ රුධිරය භාවිතා කර ඇති අතර, ආරක්ෂාව ලබා ගැනීමේ සහ සතුරු උවදුරු පලවා හැරීමේ අරමුණෙන් මරා දමන ලද සුනඛයින් නිවෙස ඉදිරිපිට හෝ නගර ද්වාරය අසල මිහිදන් කිරීම සිදුකර ඇති බව යි සඳහන් වන්නේ. මෙසපොටේමියානු වැසියන් මෙන් ම චීන ජාතිකයින් ද පෞද්ගලික ආරක්ෂාව සඳහා සුනඛ රූ සහිත හරිතමණී සුර පැලඳීමට කටයුතු කර තිබෙනවා.

කවරයේ පින්තූරය: © Science Source

Related Articles