Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ දී නාසින්ව රැවටූ ඩමී යුද ටැංකි

පළමුවන ලෝක සංග්‍රාමයත් සමග යුද තාක්ෂණයට එක් වූ යුද ටැංකි එතැන් පටන් ලොව සෑම යුද හමුදාවකම ප්‍රමුඛ අවශ්‍යතාවක් විය. ක්‍රම ක්‍රමයෙන් දියුණු තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩි ආරක්ෂාවක් සහිතව ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට සමත් යුද ටැංකි නිර්මාණය විය. මෙසේ ප්‍රධාන අවශ්‍යතාවක් වීම නිසාම ඒ සඳහා විශේෂ පුහුණු වීම් අවශ්‍ය වූ අතර පුහුණු වීමේ දී දැවයෙන් සහ වෙනත් සැහැල්ලු අමුද්‍රව්‍ය මඟින් තැනූ යුද ටැංකි භාවිතා විය.

ජර්මන් හමුදාවේ ඩමී යුද ටැංකි පෙළක් 1926 දී (mashable)
1932 දී ජර්මන් හමුදා ඩමී යුද ටැංකි භාවිතා කරමින් යුද අභ්‍යාසයක යෙදෙන අයුරු (mashable)

මෙසේ පුහුණු අරමුණු වෙනුවෙන් භාවිත කළ ඩමී යුද ටැංකි දෙවන ලෝක යුද්ධයේ දී ඉතා නිර්මාණශීලිව සැබෑ ලෙසම යුද බිමට ඇතුළත් කරන ලදී. ඒ සතුරා නොමඟ යවමින් තම පාර්ශවයේ ප්‍රධාන මෙහෙයුම සාර්ථක කරගැනීමට ය. පළමු වරට මෙසේ සතුරා රැවටීම සඳහා ඩමී යුද ටැංකි යොදාගත් බවට සඳහන් වන්නේ දෙවන ලෝක යුද්ධයේ දී ඊජිප්තුවේ එල් ඇලමේන් මෙහෙයුමේ දී ය. නමුත් ඉතාමත්ම ප්‍රකට සහ වැදගත් මෙහෙයුම වුයේ නෝමන්ඩි මෙහෙයුම යි.

සැකිල්ලක් (Wikipedia)

ලීයෙන් සකස් කළ සැකිල්ලක් තුළ පිහිටන ලෙස ජීප් රථයක් මඟින් මෙම ඩමී ටැංකි රැගෙන යන ලදී. පසුව ලී සැකිලි වෙනුවට වාතය පුරවන ලද රබර් බැලූන මේ සඳහා යොදා ගැනුණි. එම නිසා ඉතා පහසුවෙන් අවශ්‍ය අවස්ථාවේ දී වාතය පුරවා ඩමී ටැංකිය සාදා ගැනීමට ද, අවශ්‍ය විට හකුළා තැබීම ද පහසු වූ අතර රැගෙන යාම ඉතාමත් පහසු විය. තව ද සැබෑම යුද ටැංකි බවට පෙන්වීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර ද යොදා ගැනුණි.

වාතය පුරවන අවස්ථාවක් (mashable)

1940 ජූනි 20 වන දා ජර්මන් හමුදා විසින් ප්‍රංශය අත්පත් කරගනු ලබන්නේ සති හයක යුද්ධයකට පසුව ප්‍රංශ හමුදා අන්ත පරාජයකට පත්කරමිනි. බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශව හමුදා බටහිර දෙසින් ප්‍රංශයේ දී ජර්මන් හමුදා සමග ගැටුම් ඇති කරගන්නේ ඊට වසර 4කට පසුව යි. 1944 ජූනි මස 6 වන දා ඔපරේෂන් ඕවර්ලෝර්ඩ් යන සංකේත නාමයෙන් හැඳින්වූ මෙම මෙහෙයුමේ දී මිත්‍ර පාර්ශව සෙබලුන් එක්ලක්ෂ පනස්හය දහසක් ප්‍රංශයේ නෝමන්ඩි වෙත ගොඩබසින ලදී. D-Day ලෙස ද මෙම මෙහෙයුම හඳුන්වයි. මෙම මෙහෙයුම ඇරඹීමට පෙර ඊට සහය දීමට තවත් සුවිශේෂී මෙහෙයුමක් අරඹන ලදී. ඔපරේෂන් ෆෝටිටියුඩ් නමින් හැඳින්වූ මෙම මෙහෙයුම සූදානම් කළේ ජර්මන් හමුදාවන් නොමඟ යැවීම සඳහා යි.

නෝමන්ඩ් මෙහෙයුම (Wikipedia)

මේ වන විට ප්‍රංශය සම්පූර්ණයෙන්ම ජර්මන් හමුදා විසින් යටත් කරගෙන සිටි අතර ටෙහෙරාන් සමුළුවේ දී ජර්මනියට එරෙහිව තවත් යුද පෙරමුණක් බටහිරින් පැමිණිය යුතු බවට ජෝෂප් ස්ටාලින් විසින් බල කරන ලද අතර සෝවියට් හමුදා විසින් නැගෙනහිරින් ක්‍රම ක්‍රමයෙන් ජර්මන් පාලන ප්‍රදේශ මුදා ගනිමින් පැමිණි නිසා බටහිර රටවලට ද තවදුරටත් බලා සිටිය නොහැකි තත්ත්වයක් ඇති වූ අතර, ප්‍රංශය වෙතට පැමිණිමට පිඹුරුපත් සකස් කිරීම ආරම්භ කරන්නට වූ අතර ඔපරේෂන් ෆෝටිටියුඩ් ද එහිම කොටසකි.

1943 ටෙහෙරාන් සමුළුව (Wikipedia)

ජර්මන් බලධාරීන් තමන්ගෙන් ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන් සිටින බව හොඳින්ම දැන සිටි මිත්‍ර පාර්ශවය තමන් එසේ ආක්‍රමණයක් සිදු කළහොත් අන්ත පරාජයකට පත්ව ලක්ෂ ගණනක ජීවිත හානියකට ද ගොදුරුවන බව අවබෝධ කරගෙන සිටියේ ය. මේ නිසා ප්‍රංශයට පය තැබීමට නම් ජර්මන් හමුදාවන් මුලා කිරීමට අවශ්‍ය බව තීරණය විය. මේ අනුව විශේෂ කණ්ඩායමක් ඒ සඳහා සූදානම් කළේ ය. ඔවුන් සමන්විත වූයේ කලා කටයුතුවල නියැලුණු ශිල්පීන්ගෙනි. ඔවුන් අතර රංගන ශිල්පීන්, ප්‍රචාරක දැන්වීම් ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂ‍ේත්‍රවලට සම්බන්ධ කලාකරුවන් සිටි අතර එසේ 1100ක පිරිසකින් සෑදුණු බලකාය Ghost Army ලෙස හැඳින්විය.

Works That Work

නෝමැන්ඩි වෙත හමුදා යැවීම තීරණය කරගත් පසුව මුලින්ම පෙර කී ව්‍යාජ හමුදා බලඇණිය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් මාලිගය අසල කඳවුරු බැඳ මිත්‍ර පාර්ශවය ප්‍රංශයට උතුරු දෙසින් එනම්, පාස්-ඩි-කැලායි වෙත ආක්‍රමණයක් දියත් කිරීමේ සූදානමක් ඇති බව ජර්මනියට ඇඟවීය. එම රංගනය කෙතරම් දුරට සිදුකළේ ද යත්, එහි රැඳී සිටින අතර ඔවුන්ට රාජකීය ගෞරව පවා ලබාදෙමින් එය රූපවාහිනී ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය කරන ලදී. නමුත් මිත්‍ර හමුදා ඒ වනවිට නෝමන්ඩි වෙත ගමන් කිරීමට සූදානම් වෙමින් සිටියේ ය. දිගුකල‍ෙක පටන් කළ සැලසුම අනුව 1944 ජූනි 6 වන දා මිත්‍ර පාර්ශවය නෝමන්ඩි වෙත ගමන් කරන අතර දී උතුරු දෙසින් ඩමී බලකාය ද පාස්-ඩි-කැලායි වෙත ගමන් කළ අතර, ඒ වනවිට ජර්මන් හමුදා විශාල වශයෙන් උතුරු ප්‍රදේශයට රැස්කර තිබුණි. ඔවුන් හමුදාවක්යැ යි සිතා සිටියත් ඇත්තෙන්ම එහි හමුදාවක් නොවීය. මේ නිසා නෝමන්ඩි වෙත පැමිණි මිත්‍ර පාර්ශවයට සිදු වූ හානිය බොහෝ සෙයින් සීමා විය.

Google Map
එඩින්බර්ග් මාළිගය (VisitScotland)

මෙම Ghost Army බලකාය එතැන් පටන් ප්‍රංශයේ රයින් ගංගාව දක්වාම ජර්මන් හමුදා රවටමින් මිත්‍ර පාර්ශවයට රට තුළට ඇතුළු වීමට ඇති බාධා මඟහරවමින් ඉතා වටිනා සේවයක් ඉටු කරන ලදී. මෙම මෙහෙයුම්වල දී ඉහත සඳහන් කළ ඩමී යුද ටැංකි පමණක් නොව ඒ ආකාරයෙන්ම වාතය පිර වූ ගුවන් යානා ද භාවිතයට ගැනුණු අතර දැවැන්ත හමුදාවක්යැ යි රැවටී ජර්මන් ප්‍රහාර මෙම ව්‍යාජ හමුදාව දෙසට එල්ල කරන්නට විය.

ඩමී ගුවන් යානයක් (theatlantic)

මෙම මෙහෙයුමට විවිධ නිර්මාණශීලී හැකියාවන් ඇති පුද්ගලයන් සම්බන්ධ කරගත්තේ ද මෙහෙයුම නිසැක වශයෙන්ම ජර්මන් හමුදාවන් රැවටීම සඳහා කිසිදු අඩුවක් නොමැතිව සැපිරිය යුතු වූ නිසා ය. ඔපරේෂන් ෆෝටිටියුඩ් මෙහෙයුමේ දී ද්විත්ව ඒජන්තයින්ගේ සහයෙන් මෙම Ghost Army පැමිණෙන මාර්ගය සැබෑ ආක්‍රමණයක් එල්ලවන දිශාව ලෙසින් ජර්මන් බුද්ධි අංශ වෙත දැනුම් දුන් අතරම තමන් විසින්ම ව්‍යාජ රේඩියෝ පණිවිඩ යවමින් සතුරා රැවටීමට සමත් විය.

ජර්මනියේ රයින් ගංගාව අසලට පැමිණ සිටින Ghost බලකාය (rarehistoricalphotos)

එපමණක් නොව ඔවුන් කෙතරම් නිර්මාණශීලී වුවා ද යත්, තමන් විසින්ම කට කතා බලකායක් යොදවා ජර්මන් ඔත්තුකරුවන් ගැවසෙන ස්ථානවල ඉහත පණිවිඩම නැවත නැවත කතා බහ කිරීමට සලස්වා එම තොරතුරු සත්‍යය බවට ජර්මන් ඉහළ බලධාරීන්ට දැනගැනීමට සැලැස්වීය. මෙය නම් සැබෑ ලෙසම ඉතිහාසය තුළ සිදුකළ ඉතාමත් දක්ෂ නොමඟ යැවීමකි. මෙය වැදගත් වන්නේ එය ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරමින් ජර්මනියේ පරාජය ඉක්මන් කිරීමට දායක වූ නිසා ය.

ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ ඩමී යුද ටැංකියක් (theatlantic)

මෙම ඔපරේෂන් ෆෝටිටියුඩ් මෙහෙයුම සඳහා නායකත්වය ලබා දුන්නේ එක්සත් ජනපයේ ජනරාල් ජෝර්ජ් පැටන් විසිනි.

ජෝර්ජ් පැටන් (biography)

කෙසේ නමුත් ඔපරේෂන් ෆෝටිටියුඩ් රහසිගත තොරතුරක් ලෙස වසර 50කට වැඩි කලක් තබාගත් අතර 1996 දී එය මහජනයාට ප්‍රසිද්ධ කරන ලදී.  

කවරයේ පින්තූරය: සටනින් පසුව ඩමී යුද ටැංකියක් නැවත රැගෙන යන බ්‍රිතාන්‍ය සෙබලුන් (rarehistoricalphotos)

මූලාශ්‍රයයන්:

https://www.warhistoryonline.com

https://www.theatlantic.com

Related Articles