Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ අමරණීය ඔලිම්පික් නාමය – ඩන්කන් වයිට්

ඩන්කන් වයිට් යන නාමය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඉතා හුරුපුරුදු නමක්. ඒ ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම ගෙන ආ ක්‍රීඩකයා ලෙස යි. ඒ 1948 ඔලිම්පික් තරගාවලියේ දී යි. මෙම තරගය ලංකාව සහභාගී වූ පළමු ඔලිම්පික් තරගය වූ අතර, පළමු තරගාවලියේ දී ම මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ඩන්කන් වයිට් හට හැකියාව ලැබෙනවා.

ඉතින් ඩන්කන් වයිට් ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගැනීම පිළිබඳවත්, ඔහුගේ ජීවන කතාවත් මේ ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්න යි මේ අපේ සුදානම.

ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහි වූ මලල ක්‍රීඩාවේ තරුව  

ඔහු අධ්‍යාපනය ලැබූ ත්‍රිත්ව විද්‍යාලය (Wikipedia)

බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කරන සමයේ එනම්, 1918 මාර්තු 1 වන දා කළුතර දී උපත ලබන ඩන්කන් වයිට්ගේ දෙමාපියන් වූයේ බ්‍රිතාන්‍ය ජාතික යුවලක්. නමුත් ඔවුන් ස්ථිර ලෙස ලංකාවේ පදිංචි වී සිටි බැවින් ඩන්කන් වයිට් ලාංකිකයෙක් ලෙස බිහිවෙනවා.

අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වන ඩන්කන් වයිට් විද්‍යාලය තුළ මලල ක්‍රීඩා අංශයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වෙනවා. මලල ක්‍රීඩාව වෙනුවෙන් එම විද්‍යාලයෙන් පිරිනැමෙන  ත්‍රිත්ව සිංහ (Trinity Lion) සම්මානය සඳහා ඩන්කන් වයිට් සුදුසුකම් ලබනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට එම සම්මානය අහිමි වන අතර ඊට හේතුව ලෙස සඳහන් වන්නේ, ඔහු පාසැල තුළ විනය විරෝධී කටයුත්තකට හවුල් වීම යි.

ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීම

ඩන්කන් වයිට් (Daily Sports)

බ්‍රිතාන්‍ය විසින් යටත් කරගත් රටවල සහභාගීත්වයෙන් පැවති “බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලට” (වර්තමානයේ දී මෙය හඳුන්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෙස යි) 1938 දී ලංකාව නියෝජනය කරමින් යාර 440 කඩුලු මතින් දිවීමේ තරගයට සහභාගී වීමට ඩන්කන් වයිට් හට හැකියාව ලැබෙනවා.

නමුත් මෙම තරගයේ දී පදක්කමක් දිනාගැනීමට ඩන්කන්ට හැකියාවක් නොලැබෙන අතර බොක්සිං සඳහා සහභාගී වූ බාර්නි හෙන්රිකස් නම් ලාංකික ක්‍රීඩකයා එහි දී රන් පදක්කමක් දිනාගැනීමට සමත් වෙනවා. එය ලංකාව තරගාවලිය තුළ දිනාගත් එකම පදක්කම යි.

මෙම කාලය තුළ යාර 440 කඩුලු මතින් දිවීමේ සමස්ත පාසල් ශූරතාවය මෙන්ම සමස්ත ලංකා ශූරතාවය දිනාගැනීමට ඩන්කන් සමත් වෙනවා. 1948 දී ලංකාවෙන් ප්‍රථම වරට ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමට ඩන්කන් වයිට් සුදුසුකම් ලබනවා.

ලංකාවට හිමි වූ ප්‍රථම ඔලිම්පික් පදක්කම

නායක ඩන්කන් වයිට් ඇතුළු ඔලිම්පික් ක්‍රීඩක කණ්ඩායම (The Island)

1948 වසරේ එංගලන්තයේ ලන්ඩන් හි පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා තරගකරුවන් 7 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් මලල ක්‍රීඩා හා බොක්සිං නියෝජනය කරනවා.

මෙහි දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයට සහභාගී වූ ඩන්කන් වයිට් එම ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගන්නවා. මෙහි ප්‍රථම ස්ථානය දිනාගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝයි කොක්‍රන් නම් ක්‍රීඩකයා යි. මෙම තරගයේ විශේෂත්වය වන්නේ ප්‍රථම ස්ථානය දිනාගත් ක්‍රීඩකයා වසර හතරක් පුහුණු වීම් සිදුකර තිබුණු අතර, ඩන්කන් වයිට් සිය පුහුණුවීම් මාස තුනකට පමණක් සිමා කර තිබුණි.

නමුත් තරගයේ ඩන්කන් වයිට් දෙවන ස්ථානයට පත් වන්නේ ප්‍රථමයාට වඩා තත්පර දශම 7ක් ප්‍රමාද වීමෙන් පමණයි.

රිදී පදක්කම ලබා නැවත ලංකාවට පැමිණෙන ඩන්කන් වයිට් මහත් හරසරින් පිළිගැනීමට කටයුතු සුදානම් කරනවා. එම වසරේ ම ත්‍රිත්ව විද්‍යාලය විසින් අහිමි කර තිබූ ත්‍රිත්ව සිංහ පදක්කම නැවතත් පිරිනැමීමට විද්‍යාලීය පාලනාධිකාරිය විසින් තීරණය කරනවා. එය ලැබීම ඔලිම්පික් පදක්කම ලැබූ ලෙසට ම තමන්ට ආඩම්බරයක් බව ඩන්කන් වයිට් ප්‍රකාශ කරනවා.

1950 වසරේ නවසීලන්තයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලේ යාර 440 කඩුලු මතින් දිවීමේ තරගයෙන් දෙවන ස්ථානය ඔහු විසින් හිමි කරගන්නේ ලෝක වාර්තාවට තත්පර දශම තුනක් තරම් ආසන්න කාලයකින්.

හමුදා නිලධාරියෙකු හා පුහුණු උපදේශකයෙකු ලෙස

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කඩුලු මතින් දිවීමේ තරගය (YouTube)

දෙවන ලෝක යුධ සමයේ ලංකා පාබල හමුදාවට අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ඇතුළු වෙන ඔහු, ටික කාලයකට පසු ලංකා ස්වේච්ජා බලකායට ඇතුළත් ව මේජර්වරයෙක් දක්වා තනතුරෙන් ඉහළට ගමන් කරනවා.

ඔලිම්පික් පදක්කම දිනාගැනීමෙන් පසු ව ලංකා රජය විසින් ඔහුට එංගලන්තයේ  ලෆ්බ්රෝ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් පිරිනමනවා. උසස් අධ්‍යාපනයෙන් පසු ව නැවත 1951 දී ඩන්කන් වයිට් ලංකාවට පැමිණෙනවා.

ලංකාවට පැමිණීමෙන් පසු ව මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස කාලයක් කටයුතු කරනවා. 1958 දී අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ඔහු ව ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ පුහුණුකරුවා ලෙස පත් කරනවා. 1963 දී නයිජීරියාවේ නයිජීරියා විශ්වවිද්‍යාලයේ දේශකයෙක් ලෙස කටයුතු කරන ඩන්කන් වයිට් ටික කාලයකට පසු ව තවත් නයිජිරියානු විශ්වවිද්‍යාලයක් වන ඉබාඩන් විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ දේශකයෙක් ලෙස කටයුතු කරනවා.

ටික කලකට පසු ව නයිජීරියාව අතහැර ස්ථිර පදිංචිය සඳහා එංගලන්තයට පැමිණෙන ඩන්කන් වයිට් තම බිරිඳ හා දරුවන් හය දෙනා සමග ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නේ එංගලන්තයේ යි. වසර 80ක් දිවි ගෙවන ඩන්කන් වයිට් 1998 ජූලි මාසයේ දී දිවියෙන් සමුගන්නවා.

ඩන්කන් වයිට් ලැබූ පදක්කම්

ඩන්කන් වයිට් සමරු මුද්දරය (PicClick UK)

1998 දී ලංකා රජය විසින් ඩන්කන් වයිට් හට දේශමාන්‍ය සම්මානය ද, 1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම ද පිරිනමනවා. මීට අමතර ව 1949 දී ආසියාවේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමිවෙන හෙල්ම්ස් කුසලානයෙන් ද (Helms World Trophy) ඔහු පිදුම් ලබනවා.

1988 දී ශ්‍රී ලංකා රජය, ඩන්කන් වයිට්ට සිදුකරන උපහාරයක් වශයෙන් ඔහුගේ රුව සහිත සමරු මුද්දරයක් ද නිකුත් කරනවා.

කවරයේ පින්තූරය: time.com

 

Related Articles