Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනී මැරූ ‘ගෝරිලි මිනිසා’ – අර්ල් නෙල්සන්

20 වන සියවසේ මුල් කාලය වන විට ‘දාම ඝාතකයා’ යන විශේෂණ පදය ලොවට හඳුන්වා දී තිබුණේ නැහැ. කෙසේ නමුත් ඒ කාලය වන විටත් ලොව ‘දාම ඝාතකයින්’ කිහිප දෙනෙක්ම සක්‍රීය වී සිටියා.

20 වන සියවසේ ඇමෙරිකාවෙන් බිහිවූ වඩාත් කතාබහට ලක් වූ දාම ඝාතකයා ලෙස හැඳින්වෙන්නේ ටෙඩ් බන්ඩි යි. ඊට පෙර එම කුප්‍රකට භාවය උරුම වී තිබුණේ අර්ල් නෙල්සන්ට යි. ‘ගෝරිලි මිනිසා’ ලෙස හඳුන්වනු ලැබූ ඔහුගේ ක්‍රියාකාරකම් පසුකාලීනව නවකතා හා චිත්‍රපටවලට ද පාදක වුණා. මරණයට පත් කොට වසර් 90 ක් පමණ ගත වී තිබුණද මොහු පිළිබඳව ඇමෙරිකානු ජනතාව අදටත් කතා කරන්නේ මහත් වූ පිළිකුළකින්.

අර්ල් නෙල්සන්ගේ කුඩා කාලය

අර්ල් නෙල්සන්ට උරුමව තිබුණේ කම්කටොළු පිරි කුඩා කාලයක්. 1897 වසරේ මැයි මස 12 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයෙහි, කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝහි උපන් ඔහුගේ දිවියට කණකොකා හඬළන්නට පටන්ගන්නේ උපතින් මාස 15ක් ගතවන විටම යි. උපදංශ රෝගය වැළඳීම නිසා ඔහුගේ මා පිය යුවලම මියයන අතර ඔහුගේ භාරකාරීත්වය පැවරෙන්නේ ඔහුගේ මවගේ පියා හා මව වන ලාර්ස් හා ජෙනී නෙල්සන් යුවලට යි.

ලාර්ස් හා ජෙනී ඉතා සැදැහැවත් මෙන්ම, තැන්පත්, ලිංගික සිතුවිලි හැකි තරම් යටපත් කරගෙන ආගමානුකූලව ජීවත් වූ යුවලක් වූ අතර කුඩා අර්ල්ව ද එම දිවි පෙවෙතට අනුව හැඩගස්සවන්නට උත්සාහ කළා. කෙසේ නමුත් අර්ල් උපතින්ම ඉතා දඟකාර, මුරණ්ඩු අයෙකු වූ නිසා මෙම උත්සාහයන් හමුවේ දැඩි චිත්ත පීඩාවට පත් වූ අතර ඔහුගේ නොපනත් ක්‍රියාකාරකම් වඩා බලවත් වුණා.

අර්ල් නෙල්සන්- allthatsinteresting.com

සත් හැවිරිදිව සිටිය දී අර්ල් තමන් එතෙක් ඉගෙනුම ලැබූ පාසලෙන් නෙරපා හැරෙන්නේ අයහපත් චර්යාව නිසායි. ඔහු කාටදෝ අවසිහියෙන් තනිවම මුමුණන බවත්, බයිබලයේ මෘගයෙක් පිළිබඳ වූ සටහන් අනෙකුත් ළමුන්ට පවසා ඔවුන් බියගන්වන බවත් ගුරුවරුන් අර්ල්ට චෝදනා කළා. මේ කාලය තුළ ඔහු සිය ඥාති සොයුරිය නිරුවත්ව සිටිනු හොරෙන් නිරීක්ෂණය කරමින් සිටියදී ඔහු මිත්තණියට හසුවුණා.

දස වැනි වියේ දී සිය පාපැදිය පදිමින් සිටි අර්ල් හදිසි අනතුරකට මුහුණ දෙනවා. මේ නිසා ඔහුගේ හිසෙහි ඉදිරිපස විශාල තුවාලයක් ඇති වී රුධිරය ගලායන්නට පටන්ගන්නවා. ඔහු සිහි විසඥව දින කිහිපයක් පසු වූ අතර වෛද්‍යවරු පැවසුවේ ඔහු මියයනු ඇති බව යි. කෙසේ නමුත් ප්‍රාතිහාර්යයකින් මෙන් දින කිහිපයකට පසු ඔහු පියවි සිහිය ලබනවා. එනමුත් එතැන් පටන් නිතර නිතර හිස රුදාව හා අමතක වීම් ඔහුට ඇති වුණා. වඩාත් කණගාටුදායක කාරණාව වන්නේ එතැන් පටන් ඔහුගේ අයහපත් හා ප්‍රචණ්ඩ චර්යාවන් දෙගුණ තෙගුණ වීම යි.

ඝාතන ඇරඹෙයි

21 වි‍යැති වන විට අර්ල් නෙල්සන් ගේ ‘මිනීමරු’ හැඟීම් මෝදු වෙමින් තිබුණා. 1921 වසරේ මැයි මස 19 වන දා පයිප්ප කාර්මිකයෙකු ලෙස සාවද්‍ය අනන්‍යතාවක් පෙන්වමින් සැන් ෆ්‍රැන්සිස්කෝහි නිවසකට ඇතුළු වූ ඔහු 12 හැවිරිදි දැරියකට අඩන්තේට්ටම් කිරීමට පටන්ගත්තා. කෙසේ නමුත් දැරිය කෑ ගසා ඔහුගෙන් මිදීමට සමත් වූ අතර පැනයමින් සිටි අර්ල් පොලිස් ග්‍රහණයට නතු වුණා.

නඩු විභාගය අතරතුර හෙළිවන්නේ අර්ල් නෙල්සන් කළක් මානසික ගැටළු නිසා රෝහල් ගතව ද සිට ඇති බවයි. ඔහු හට නිතර නිතර විවිධ අද්භූත හඬ ඇසුණු බවත්, මිනිසුන් ඔහුට වස දීමට උත්සාහ කරන බවත් ඔහු කියා සිටි බව වෛද්‍ය වාර්තාවල සටහන්ව තිබුණා. මේ අනුව ඔහු තව දුරටත් සමාජයේ නිදහස්ව ගැවසීම භයානක බැව් තීරණය කළ බලධාරීන් ඔහු ප්‍රදේශයේ මානසික රෝහල වෙත යොමු කරනවා.

රෝහලේ හෙදියන්ට හා වෛද්‍යවරුන්ට නිතර නිතර ජීවිත තර්ජන කළ අර්ල් නෙල්සන් ඉක්මණින්ම ඉන් පැනයනවා. පැනගොස් වැඩි කල් නිහඬව නොසිටින ඔහු සිය ඝාතන රැල්ල ආරම්භ කරනවා.

1925 වසරේ ෆිලඩෙල්ෆියාවෙන් ඇරඹුණු අර්ල් නෙල්සන්ගේ ඝාතන රැල්ලට මුලින්ම ගොදුරු වන්නේ ඔලා මැකොයි, මේ මරේ, හා ලිලියන් වේනර් නම් කාන්තාවන් තිදෙනෙකුයි. සති තුනක කාලයක් තුළ, ඒ ඒ කාන්තාවන් සිටි නිවෙස්වලට උපක්‍රමිකව ඇතුළු වී, ගෙල සිර කොට ඔහු මේ ඝාතනයන් සිදුකොට තිබුණා. සියළු දෙනා ඝාතනයෙන් අනතුරුව ලිංගික අඩන්තේට්ටම්වලට ද ලක් කොට තිබුණා.

හදිසියේ ඇති වූ ඝාතන රැල්ල පිළිබඳව ෆිලඩෙල්ෆියා පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළා. මිනිමරුවා එක්වරම හඳුනා නොගැනුන ද මියගිය කාන්තාවන් ගේ දෑත් බැඳි රැහැන්වලට යොදා තිබූ ගැටවල සමානකම් නිසා මේ ත්‍රිත්වයම එක අයෙකු විසින් සිදුකළ ඒවා බවට ඔවුනට ප්‍රත්‍යක්ෂ වුණා. මේ අතර ඔහු නිවසට ඇතුළු වෙනු දැක තිබූ අයෙකුට අනුව මිනිමරුවාගේ ස්වරූපය ද චිත්‍රයට නැගුණා.

අර්ල් නෙල්සන් විසින් ඝාතනය කළ කිහිපදෙනෙක්- Public domain

තමන් තවදුරටත් ෆිලඩෙල්ෆියාවේ රැඳුනහොත් පොලිසියට හසුවන බැව් වටහාගත් අර්ල් නැවත සිය උපන් බිම වන සැන් ෆ්‍රැන්සිස්කෝවට පැමිණියා. අනතුරුව එහි කාන්තාවන් ඝාතනය කරන්නට පටන්ගත්තා. 1926 වසරේ පෙබරවාරි හා අගෝස්තු මාස අතර කාලය තුළ ඔහු තවත් කාන්තාවන් 5 දෙනෙකු ඝාතනය කළා. මැදිවියේ කාන්තාවන් වන මොවුන් සියළු දෙනා කාමරයක් කුලියට දීම සඳහා සිය නිවසෙහි දැන්වීම් දමා තිබූ අයවළුන් වූ අතර එම කාමරය පරීක්ෂා කිරීමට යන මුවාවෙන් මේ ඝාතන සිදුකොට තිබුණා. ෆිලඩෙල්ෆියාවේ පරිදිම ගෙල සිරකොට මරා, අනතුරුව ලිංගික අඩන්තේට්ටම් සිදුකීරීම මේ සියළු දෙනා අරබයා අර්ල් විසින් සිදුකොට තිබූ අතර, ඒ සියල්ලෙන් සාර්ථකව මිදී පළාගොස් තිබුනා. එම නිවෙස්වල තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් ද සොරකම් කරගෙන ගොස් පොලිස් ඇසට වසන් වී විකිණීමට අර්ල් සමත් වුණා.

ෆිලඩෙල්ෆියාවේ දී මෙන්ම මෙම සිද්ධීන්වල දීත් ඝාතකයා දැක තිබූ කිහිපදෙනෙක් වුණා. හරිහැටි අර්ල් ගේ මුහුණ විග්‍රහ කිරීමට ඔවුනට නොහැකි වුව ද, අඳුරු පැහැති, මිටි, දිගු අත් පාවලට උරුමකම් කියන අයෙකු මෙම ඝාතන සිදු කළ බැව් කීමට ඔවුනට හැකියාව තිබුණා. මේ අනුව ඔහුට ‘ගෝරිලි මිනිසා’ හා ‘ගෙල සිර කරන අඳුරු මිනිසා’ යන අන්වර්ථ නාම පටබැඳුණා.

අර්ල් නෙල්සන් රට පුරා කරක් ගසයි

1926 හා 27 වසරවල ඇමෙරිකා එක්සත් ජනපදය පුරා කාන්තා ඝාතන රැසක් වාර්තා වුණා. මේ සියල්ලම 1926 වසරේ කැලිෆෝනියාවෙනුත් 1925 වසරේ ෆිලඩෙල්ෆියාවෙනුත් වාර්තා වූ ඝාතනවලට සමාන වුණා. පෝට්ලන්ඩ්, ඔරිගන්, කවුන්සිල් බ්ලෆ්ස්, අයෝවා, චිකාගෝ, කැන්සාස්, මිසූරි, බෆලෝ, නිව්යෝක් වැනි පෙදෙස් රාශියකින් මේ සිද්ධීන් වාර්තා වූ අතර කැනඩාවේ විනිපෙග් නුවරින් ද ඝාතන දෙකක් වාර්තා වුණා.

විනිපෙග් නුවර දී අර්ල් නෙල්සන්ට ගොදුරු වූ එක් අයෙක් වන්නේ 14 හැවිරිදි ලෝලා කොවන් නැමති තරුණියයි. ඇය ඝාතනය කිරීමෙන් අනතුරුව, ලිංගික අඩන්තේට්ටම් සිදුකොට, සිරුර කපා කොටා ඇඳක් යටට දැමූ ඔහු එම ඇඳෙහිම රාත්‍රිය ගතකොට තිබුණා.

අර්ල් නෙල්සන්ට අවාසනාව ගෙන ආවේ විනිපෙග්හි ඔහු සිදුකළ දෙවන හෙවත් අවසන් ඝාතනය යි. 1927 වසරේ ජුනි මස 10 වන දා ඔහු එමිලි පැටර්සන් නැමැත්තියක් ඝාතනය කරන්නට යෙදුණු අතර, එය සිදු කිරීමේ දී පොරබැදීමක් සිදුවුණා. මෙහිදී අර්ල්ගේ හිසකෙස් කිහිපයක් එමිලි අත රැඳුණා. මෙය නොදත් අර්ල් ඇගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපක්ද සොරකම් කරගෙන ගොස්, කිසිවක් නොවූ පරිද්දෙන් කරණවෑමියෙකු හමු වී සිය හිසකෙස් හා රැවුල කපාගත්තා.

මේ අතර විනිපෙග් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා. ඇමිලිගේ නිවසෙන් සොරකම් කළ ද්‍රව්‍ය කොයි මොහොතේ දී හෝ ඝාතකයා විසින් විකුණන බැව් ඔවුන් දැන සිටියා. මේ අනුව ප්‍රදේශයේ භාණ්ඩ මිලදීගන්නා සාප්පු දැනුවත් කෙරුණු අතර ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගන්වමින් අර්ල්, එමිලිගේ නිවසින් සොරාගත් භාණ්ඩ විකිණීමට ගිය සාප්පුවෙහි අයිතිකරු ඔහු හඳුනාගන්නවා. මීට අමතර හිසකෙස් ගැලවීමේ දී අර්ල් ගේ හිසෙන් රුධිර වහනය වන්නට ඇති බැව් උපකල්පනය කළ පොලිසිය ඒවායේ වර්ණය හා රුධිර වහනය පිළිබඳව ද ජනතව දැනුවත් කරනවා. ඉක්මණින්ම අර්ල්ගේ හිසකෙස් බෑ කරණවෑමියා පොලිසියට, තමන් එවැන්නෙකුගේ හිසකෙස් බෑ බැව් පවසනවා.

පොලිස් භාරයට පත් වී- learning-history.com

කරණවෑමියා හා භාණ්ඩ මිලදීගන්නා සාප්පුවෙහි අයිතිකරු විසින් ලබා දුන් සාක්ෂ්‍ය අනුව සිය වාර්තා පිරික්සා බැලීමේ දී විනිපෙග් පොලිසියට ප්‍රත්‍යක්ෂ වන්නේ තමන් හඹායන්නේ එසේ මෙසේ අපරාධකරුවෙකු නොවන වග යි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයම සොයමින් සිටි ‘ගෝරිලි මිනිසා’ බැව් ඔවුන් වටහාගන්නවා.

ගෝරිලි මිනිසාගේ අවසානය

1927 වසරේ ජුනි මස 12 වන දා අර්ල් නෙල්සන් විනිපෙග් හිම තවත් කාමරයක නවාතැන් ගත්තේ එය හිමිකාර කාන්තාවත් ඝාතනය කිරීමේ අටියෙනුයි. කෙසේ නමුත් එදින පුවත්පතේ පල වී තිබූ, ඔහු පිළිබඳ විස්තරය දුටු ඔහුට වැටහෙන්නේ වහාම විනිපෙග් නුවරින් පිටත් නොවුවහොත් අනිවාර්යයෙන්ම තමන් පොලිසියට කොටු වන බව යි. ඝාතන ප්‍රයත්නය පසෙකලූ ඔහු වහාම විනිපෙග් නිවරින් වෙනතක පිටත් වනවා. කෙසේ නමුත් මේ වන විටත් කැනඩාව පුරාම පොලිසිය ඔහු අල්ලා ගැනීමේ දෑ නිසියාකාරව එළා තිබූ අතර, ජුනි මස 16 වන දා මැනිටෝබාහි කිලනෙරි නගරයේ දී ඔහු පොලිස් භාරයට පත් වෙනවා. කෙසේ නමුත් එදිනම රාත්‍රියේ තමා රඳවා තිබූ කුටිය බිඳ ඉන් මිදීම්ට ඔහු සමත් වෙනවා. එහෙත් සිතූ පරිදි ඔහුට ගැලවීමක් නොවූයේ පසුදිනම ක්‍රිස්ටල් සිටිහි දී ඔහු නැවත පොලිසියට හසු වීම නිසා යි.

වහ වහා අර්ල් නෙල්සන්ට එරෙහිව නඩු විභාගය ආරම්භ වූ අතර, එහිදී අනාවරණය වූයේ වසර දෙකක පමණ කාලයක් තුළ ඔහු විසින් මිනිස් ඝාතන 22ක්වත් අවම වශයෙන් සිදුකර ඇති බව යි. මේ අනුව ඔහුට මරණ දඬුවම ලැබුණු අතර 1928 වසරේ ජනවාරි මස 13 වන දා එය ක්‍රියාතමක වුණා. ඒ වන විට ඔහු 30 වන වියෙහි පසු වුණා.

Related Articles