Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘70 දශකයේ මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණු හැටි

1968 වසරේ ජූනි 5 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, සහ කොමියුනිස්ට් පක්ෂය පොදු සම්මුතියකට එළඹුණේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී එක්ව තරග කිරීම සඳහා යි. එදා ඔවුන් ඇති කරගත් එකඟතාවය මත 1970 මහා මැතිවරණයේ දී ජාතික සමගි පෙරමුණ නමින් එක්ව සටන්  බිමට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. එම කාල වකවානුව වන විට එක්සත් ජාතික පක්ෂය ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා ජනතා රැල්ල තල්ලුවෙමින් තිබුණේ ජාතික සමගි පෙරමුණ දෙසට යි. මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයා සමගි පෙරමුණු රජය බලයට පත්කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරන ආකාරය දක්නට ලැබුණා. 1970 වසරේ මැයි 28 වැනිදා වන විට නිකුත්ව තිබුණු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සමගි පෙරමුණු රජය විශිෂ්ට ජයක් ලබාගෙන තිබුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් 105න් 91ක් ජයග්‍රහණය කරන විට සමසමාජ පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් 23න් 19ක් ජයග්‍රහණය කළා. ඊට අමතරව කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කර තිබුණු අපේක්ෂකයන් 9න් 6ක්ද ජයග්‍රහණය කළා. ඒ අනුව 1970 වසරේ දී සමගි පෙරමුණු රජය බලයට පත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 168න් 116ක් දිනාගනිමින්.

සිරිමා බණ්ඩාරනායක (gettyimages)

සමගි පෙරමුණු රජය පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු

1965-1970 ඩඩ්ලි සේනානායක රජය පැවති සමයේ ජීවන වියදම මෙන්ම විරැකියාව ද විශාල ලෙසින් ඉහළ ගියා. එම නිසා සිරිමා බණ්ඩාරනායක 1970 මහා මැතිවරණ වේදිකාවේ දී ලබාදුන් පොරොන්දුවක් වුණේ හඳෙන් හෝ හාල් ගෙනැත් දෙන බව යි. එසේම ජනතාව මත පැටවී තිබෙන ජීවන බර අඩු කර රටේ රැකියා ප්‍රශ්නවලට ද විසඳුම් ලබාදෙන බවට වුණු පොරොන්දු නිසා සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් හිමිවුණා. එලෙස බලයට පත්වුණු සමගි පෙරමුණු රජය ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන තුරු ජනතාව බලා සිටියා. නමුත් නොසිතූ මොහොතක ඇති වුණු 1971 අප්‍රේල් කැරැල්ල නිසා ආණ්ඩුවේ සියළුම සැලසුම් වෙනස් කිරීමට සිදුවුණා. එදා විදෙස් රටවල සහායෙන් කැරැල්ල සාර්ථකව අවසන් කළ සමගි පෙරමුණු ආණ්ඩුව ඉන් අනතුරුව රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා පිඹුරුපත් සකසනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර (BBC)

සමගි පෙරමුණු රජයේ පස් අවුරුදු සැලැස්ම 

සමගි පෙරමුණු රජය විසින් 1972 වසරේ දී පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඇරඹුවේ රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා යි. එදා ක්‍රියාත්මක වුණු සැලසුමේ ප්‍රධාන අරමුණු තුන පහත දක්වා තිබෙනවා.

1) දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය වාර්ෂිකව 6%ක මට්ටමකින් පවත්වාගෙන යාම.

2) රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 8කට රැකියා සැපයීම 

3) අපනයන විවිධාංගීකරණය කිරීම 

ඉහත අරමුණු තුන ඉටුකර ගැනීම සඳහා එවකට රජය ප්‍රධාන උපාය මාර්ගයන් 3ක් අනුගමනය කළා. පහත දක්වා තිබෙන්නේ එම උපාය මාර්ග 3යි.

1) දේශීය ඉතිරි කිරීමේ අනුපාතය 12% සිටි 17% දක්වා වැඩි කිරීම 

2) දේශීය ආයෝජන අනුපාතය 19% දක්වා වැඩි කිරීම 

3) ගෙවුම් ශේෂ හිඟය අඩු කිරීමට පියවර ගැනීම 

එහිදී ගෙවුම් ශේෂය පාලනය කිරීම සඳහා ආනයන සීමා කිරීම සහ විවිධ ආනයන ආදේශ ක්‍රම ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලැබුවා. ආනයන ආදේශනය සහ අපනයන විවිධාංගීකරණයට යොමු වීම මඟින් පිටරටින් ආනයනය කළ භෝග වර්ග පාලනය කර එම භෝග වර්ග අප රට තුළ වගා කිරීමට පියවර ගනු ලැබුවා. රජය විසින් ක්‍රියාත්මක කළ ආහාර සංග්‍රාම වැඩසටහන යටතේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට පියවර ගත්තා. එසේම ආනයනික භාණ්ඩ රැසක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. 

එම යුගයේ සිදුකළ දේශීය නිෂ්පාදන 

සමගි පෙරමුණු රජය ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ විවිධ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා විවිධ කර්මාන්තශාලා රට පුරාම ක්‍රියාත්මක වුණා. එදා සක්‍රීයව ක්‍රියාත්මක වුණු කර්මාන්තශාලා කිහිපයක නම් පහත දක්වා තිබෙනවා.

1) ටයර් සංස්ථාව- කැළණිය 

2) කඩදාසි කර්මාන්තශාලා- වාලච්චේන සහ ඇඹිලිපිටිය

3) වානේ සංස්ථාව- ඔරුවල 

4) නූල් සහ රෙදි- තුල්හිරිය, වේයන්ගොඩ, වැල්ලවත්ත

5) කපු නූල් නිෂ්පාදනය කර ඇමරිකාවට ප්‍රතිඅපනයනය කිරීම- කපුවත්ත 

6) ලංකා පිටි සංස්ථාව 

7) ලංකා ධීවර සංස්ථාව

8) ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව

9) පෝසිලේන් පිඟන්- රත්තොට 

10) සීනි- කන්තලේ සහ හිඟුරාණ

11) කිරි මණ්ඩලය 

12) පොහොර සංස්ථාව- සපුගස්කන්ද 

වාලච්චේන කඩදාසි කම්හල (Daily News)

රට තුළ භාණ්ඩ සහ ආහාර හිඟයක් 

එකල දියත් වුණු ආහාර සංග්‍රාම වැඩසටහන යටතේ වගා නොකර පැවති සෑම ඉඩමක්ම වගා කිරීම තුළින් බලාපොරොත්තු වුණේ දේශීය පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය රැසක් මෙහි නිෂ්පාදනය කර ගැනීම යි. එම නිසා මෙරට වගා කළ භෝග වර්ග ආනයනය කිරීම සීමා කළා. නමුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට වැසි නොලැබීම සහ වෙනත් හේතූන් නිසා දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් ලැබුණේ නැහැ. එම නිසා රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය හිඟයක් නිර්මාණය වුණා. එසේම ආනයනය කරමින් තිබුණු සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ දේශීය වශයෙන් නිපදවනු ලැබුවත් එය රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට තුළ අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ හිඟයක් ඇති වුණා.

ආර්ථික අර්බුදය විසඳීමට රජය ගත් ක්‍රියාමාර්ග

එම යුගයේ රට තුළ ඇතිවී තිබුණු ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා රජය ගත් එක් පියවරක් වුණේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීම යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙනයාම තහනම් වුණා. ඒ අනුව එම භාණ්ඩ බෙදාහරිනු ලැබුවේ රජයේ පාලනය යටතේ යි. එසේම සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල කිසිදු ආපනශාලා හිමියෙකුට බත් විකිණීම සඳහා අවසර හිමි වුණේ නැහැ. පාන් නිෂ්පාදනය කිරීමත් සීමා කර තිබුණු නිසා පාන් ලබාදුන්නේ සලාක ක්‍රමය යටතේ යි. එම අවධියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය සහ භාණ්ඩ රැසක් බෙදා හැරියේ සලාක ක්‍රමය යටතේ යි. රජයේ විවිධ සේවා සමූපකාර මඟින් එම සියලුම භාණ්ඩ බෙදා හැරිය නිසා සමූපකාර අසල දිගු පෝලිම් දක්නට ලැබීම සුලභ සිදුවීමක් වුණා. එදා පරිප්පු වැනි ආහාර ප්‍රදර්ශනවල දී පමණක් දැකගන්නට ලැබුණු බව පැරැන්නන් පවසා සිටිනවා. අප රට තුළ තිබුණු ආහාර අර්බුදයේ දරුණු බව ඉන් පැහැදිලි වනවා.

විවිධ සේවා සමූපකාර සමිතියක් (Sri Lanka Mirror)

පස් අවුරුදු සැලැස්ම සාර්ථක වුණේ නැහැ 

මිනිසුන්ට පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් සමහර දුගී මිනිසුන් මරණයට පවා පත්වුණා. යම් පුද්ගලයෙකු අත කොපමණ මුදලක් තිබුණත් ප්‍රමාණවත් තරම් ආහාර සහ අනිකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඉන් වඩාත්ම අපහසුතාවයට පත්වුණේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව යි. ග්‍රාමීය ජනතාව ගම්වලින් කොස්, දෙල්, අල, බතල වැනි අමතර ආහාර සොයාගන්නා විට නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සිදුවුණේ සලාක ක්‍රමය යටතේ ආහාර ලබාගැනීමට යි. එම නිසා එවකට රජය විසින් ගෙන ගිය වැඩපිළිවෙළ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණා. එසේම සලාක ක්‍රමයට ආහාර බෙදීමේ දී විවිධ අක්‍රමිකතා සිදුවීම නිසා ජනතාව පීඩාවට පත්වුණා. එලෙස රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීම නිසා සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඉහළ ගියා. එදා සමගි පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කළ පස් අවුරුදු වැඩපිළිවෙළ න්‍යායාත්මකව බැලූ විට සාර්ථක වැඩපිළිවෙළක් වුණත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටළු මතු වුණා. එසේම රජය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මතුවුණු යම් ගැටළුවලට සාර්ථක පිළියම් සොයාගැනීමට අපොහොසත් වීම නිසා රට තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වුණා.

විපක්ෂයට 5/6ක බලයක් 

1970-1977 යුගයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත්, 1975 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණය 1977 වසරේ දී පැවැත්වීමත් යන හේතු නිසා ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණා. එදා ජේ. ආර්. ජයවර්ධන ජනතාවට ‘ඇට 8ක්’ ලබාදෙන බවට පොරොන්දුවක් ද වුණා. එම නිසා ජනතාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බලයක් බලයක් ලබාදුන්නා. ඉන් පසුව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදෙමින් වෙනස්ම ආකාරයේ ගමනක් ගියා. එදා එක්සත් ජාතික පක්ෂ රජය හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් ගෙවුණු දශක හතර ඇතුළත රටට වුණු සෙතක් නැහැ.

ජේ.ආර් ජයවර්ධන (Daily News)

1970 වසරේ බලයට පත්වුණු සමගි පෙරමුණු රජය හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගික අයුරින් සමාජගත කළා නම් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ඉඩ තිබුණා. යම් ආකාරයකින් එය සාර්ථක වුණා නම් අද අපගේ රට මීට වඩා දියුණුවට පත්ව තිබෙන්නට ඉඩ තිබුණු බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- සිරිමා බණ්ඩාරනායක

Related Articles