Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් ශරීර කොටස්වලින් ‘සෙල්ලම් කළ’, එඩ් ගේන්

ලොව බොහෝ දාම ඝාතකයින් හට, මනුෂ්‍ය ඝාතන කිරීමෙහිලා ඔවුනටම ආවේණික වූ ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක් තිබෙනවා. එමෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පසු එම සිරුරට කුමක් කරන්නේ ද යන්නත් මේ එකිනෙකාට අනන්‍ය වෙනවා. මින් සමහරක් ඝාතකයින් මළසිරුරුවලට ඉතා අසාමාන්‍ය දේ සිදුකළා. කලක් ඇමෙරිකා එක්සත් ජනපදය භීතියෙන් ත්‍රස්ත කළ එඩ් ගේන්, මේ අතරින් ඉදිරියෙන්ම කියැවෙන නමක්. ප්ලේන්ෆීල්ඩ් හි මස් මරන්නා ලෙස හැඳින්වුණු ඔහුගේ ක්‍රියාකාරකම් පසුකාලීනව නවකතා හා සිනමා කෘති වැනි දේටත් පාදක වුණා.

එඩ් ගේන්ගේ දිවියේ මුල් කාලය

 එඩ්වඩ් තියඩෝර් ගේන් උපත ලැබුවේ, 1906 වසරේ අගෝස්තු මස 27 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් හී දී යි. කුඩා කාලයේ දී ඔහු ඉතා නිශ්ශබ්ද හා ලැජ්ජාශීලී දරුවෙකුගේ ගති ලක්ෂණ ප්‍රකට කළා. කෙසේ නමුත්, ඔහුගේ චර්යා රටාවල හා රුචි අරුචිකම්වල යම් අසාමාන්‍යතාවක් ඇති බව ඔහු ළඟින්ම ආශ්‍රය කළ අයවලුන් වටහාගෙන තිබුණා. ඔහු නිතරම තනිවම මොනවාදෝ මිමිණූ අතර, එක් වරම කොක් හඬලා සිනාසුණා.

එඩ් ගේන් ජීවත් වූ නිවස- Frank Scherschel/The LIFE Picture Collection/Getty Images

එඩ් ගේ මව ඉතා දැඩි පාලනයක් ගෙන ගිය තැනැත්තියක්. ඇය නිතරම සිය පුත්‍රයා සිය ග්‍රහණයෙහි තබාගන්නට උත්සාහ කළ අතර, ඔහු විසින් කවුරුන් සමග හෝ මිතුදමක් ඇරඹීමට උත්සාහ කළ සෑම විටකම ඔහු හට පහර දී ඇය එය වළක්වා දැමුවා. මේ නිසා ඔහුගේ අසාමාන්‍ය හැසිරීම්වලට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ ඇය බැව් බොහෝ දෙනා පැවසුවා.

සමාජය හා මුසුවීම වළක්වනු ලැබීමට අමතරව එඩ්ගේ මව, ඔහු හා සොහොයුරා තමන්ට අයත් ගොවිපොළ තුළ නිතරම රඳවාගෙන ඔවුනට බයිබලය බලහත්කාරයෙන් උගන්වන්නට උත්සුක වුණා. ඇය විසින් බයිබලයේ අඩංගු කරුණුවලට අමතරව තමන් විසින් ලෝකය පිළිබඳ දරන අදහස් ද සිය පුතුන්ට කාවද්දන්නට උත්සාහ දැරුවා. ලොව නපුරින් පිරී ඇති බවත්, සියලු කාන්තාවන් අභිසාරිකාවන් බවත් ඇය ඔවුනට ඉගැන්වූ අතර, මත්පැන් හා අනාචාරයේ හැසිරීම යක්ෂයාට අයත් දේ බැව් ඔවුනට අවධාරණය කළා.

පළමු මනුෂ්‍ය ඝාතනය

උපතේ සිට වසර 38ක් ගතවන තුරු එඩ් ගත කළේ නිහඬ දිවියක්. එක් දිනක ඔහු සිය සොයුරා වන හෙන්රි හා එක් වී සිය ගොවිපොළෙහි වූ පිදුරු ගිණි තබන්නට වුණා. මෙය වරින් වර සිදුකෙරෙන සාමාන්‍ය ක්‍රියාකාරකමක් වූ අතර, දෙදෙනාම ඒ සඳහා හොඳින් පුහුණු වී තිබුණා. කෙසේ නමුත්, අත්වැරදීමකින් ඔවුන් අතින් ගින්නක් පැතිරෙනවා. මේ නිසා ගිණි නිවන හමුදාවේ සහාය පැතීමට ඔවුනට සිදු වූ අතර, මහත් පරිශ්‍රමයකින් අනතුරුව ගින්න නිවන්නට ඔවුන් සමත් වෙනවා. මේ අතර එඩ් විසින් එක්වරම ප්‍රකාශ කරන්නට වූයේ සිය සොයුරා හදිසියේම අතුරුදන්ව ඇති බව යි.

එදිනම රාත්‍රියේ හදිසියේම එඩ්ගේ සොයුරාගේ මළසිරුර ගොවිපොළ අසළ තිබූ වගුරක තිබී හමුවෙනවා. හිස වගුරෙහි ගිලෙන ආකාරයෙන් එහි වැටී තිබූ ඔහුගේ සිරුර වහාම පර්යේෂණ කටයුතු සඳහා යොමු කෙරුණු අතර, එහි දී අනාවරණය වූයේ ඔක්සිජන් හිඟ වීම නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බව යි. මෙය ගින්න නිසා සිදු වූ බවට බොහෝ දෙනා විශ්වාස කළා.

ගින්න නිසා හෙන්රි මියගිය බවට ප්‍රකාශ වුව ද, එඩ්ගේ හැසිරීමේ අසාමාන්‍යතාවක් අධ්‍යයනය කළ පොලිස් නිලධාරීන් මෙම මරණයට එඩ්ගේ සම්බන්ධයක් ඇති බවට සැක කළා. කෙසේ නමුත්, ඔහුට විරුද්ධව එක් සාක්ෂ්‍යයක් හෝ සොයාගන්නට ඔවුනට හැකි වූයේ නැහැ. මේ නිසා මෙම මරණය හා ගින්න හුදු හදිසි අනතුරක් බවට පිළිගන්නට ඔවුනට සිදුවුණා. කෙසේ නමුත්, පර්යේෂණ දිගටම සිදුකිරීමට ඔවුන් තීරණය කළා.

බර්නීස් වෝඩන් ඝාතනය

එඩ් ගේන් සිය නිවස තුළ- Getty Images

සිය සොයුරාගේ හා මවගේ මරණවලින් වසර කිහිපයකට පසු තනි වූ එඩ්, ගොවිපොළෙහි වූ සිය නවාතැන පිළිසකර කරන්නට අදහස් කළා. ඇත්තෙන්ම මෙහි දී ඔහු සිදුකළේ නිවසෙහි වූ අබලි ද්‍රව්‍ය සියල්ලම සිය මවගේ හා සොයුරාගේ කාමරවලට ගොඩගසා, තමන් ජීවත් වන කාමරය පමණක් පිළිසකර කිරීම යි. මේ හේතූවෙන් එම කාමරය හැර, නිවසෙහි අනෙක් කොටස් සියල්ලම තව තවත් ගරා වැටුණා.

නිවසේ තනිවම වෙසෙන අතර එඩ්ගේ අවධානය කියවීම කෙරෙහි යොමු වුණා. ඔහු වඩාත් ප්‍රිය කළේ මැර කණ්ඩායම් පිළිබඳව වූ සඟරාවන් කියැවීමට යි. මීට අමතරව, නාසිවාදීන්ගේ වධ කඳවුරු හා මිනීමස් කෑම පිළිබඳව වූ කතා ද ඔහු කියැවූවා. ඔහුගේ මෙම චර්යාව කිසිවෙකු හට බාධාවක් නොවූ නිසා ඒ පිළිබඳව අසල්වාසී කිසිවෙකුත් සොයා බැලුවේ නැහැ. කෙසේ නමුත්, 1957 වසරේ දී මේ සියල්ල උඩු යටිකුරු වුණා.

බර්නීස් වෝඩන් ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය කාන්තාවක් වුණා. නිතරම ඇගේ වෙළඳසැල විවෘතව තිබූ අතර, එක් දිනක් එය හදිසියේම වසා තිබෙනු දුටු අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බැලුවා. මෙහි දී අනාවරණය වූයේ ඇය හදිසියේම අතුරුදන් ව ඇති බව යි. ඇගේ පුත්‍රයා වන ෆ්‍රෑන්ක් ප්‍රදේශයේ නියොජ්‍ය ෂෙරිෆ් වරයා වූ අතර, ඔහු වහාම වෙළඳසැලෙහි දොරගුළු කඩා පරීක්ෂා කරනවා. මෙහි දී ඔහු දකින්නේ අයකැමි මේසය මත වූ ගණුදෙනු පිළිබඳව සටහන් කරන පොත විවෘතව ඇති බව යි. එමෙන්ම එහි හා අසල පොළොවෙහි ලේ පැල්ලම් තිබුණා. සිය නිලධරයින් සමග සාකච්ඡා කර කරුණු සම්පිණ්ඩනය කිරීමේ දී ඔහුට වැටහී ගියේ, පෙර දින රාත්‍රියෙහි සිය මව හා අවසන් ගනුදෙනුව සිදුකර ඇත්තේ එඩ්ගේන් බව යි. මේ අනුව පොලිස් නිලධරයින් එඩ් ගේන් සොයා ගිය අතර, ඔහු පොලිස් භාරයට ගෙන ඔහුගේ නිවස හා ගොවිපොළ පීරා පිරික්සුම් කටයුතු ඇරඹුණා.

එඩ් ගේන් පිළිබඳ තිත්ත ඇත්ත

එඩ් ගේන්ගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධරයින් බලාපොරොත්තු වූයේ බර්නීස් පිළිබඳ යම් තොරතුරක් සොයාගැනීමට යි. කෙසේ නමුත්, ඉන් හමු වූ බොහොමයක් දේ ඔවුන් සිහිනයකින් හෝ බලාපොරොත්තු නොවූ දේ වුණා.

නිවස තුළ ගණනය කළ නොහැකි තරම් මිනිස් ඇට කැබලි තිබුණා. එමෙන්ම එහි මිනිස් හිස්කබල යොදාගෙන තැනූ මුළුතැන්ගෙයි උපකරණ ද තිබුණා. එමෙන්ම සමහර ගෘහභාණ්ඩවල කොටස් මිනිස් සම හා තවත් කොටස් යොදාගෙන නිම කර තිබුණා. මිනිස් සමින් සාදන ලද මේස්, මිනිස් මුහුණු යොදාගෙන සෑදූ වෙස්මුහුණු මෙන්ම ඉණ පටි ද එහි වුණා. මීට අමතරව කාන්තාවන් 9 දෙනෙකුට අයත් විවිධ ශරීර කොටස් ද එහි තැන තැන වුණා.

මිනිස් සමින් කරන ලද පුටු කවරයක්- Getty Images

කැබලි කරන ලද බර්නීස්ගේ සිරුරත් පොලිසියට හමුවූයේ නිවස තුළ තිබිය දී යි. එමෙන්ම මේරි හෝගන් නම් තැනැත්තියකට අයත් විකෘති කරන ලද මළසිරුරක් ද එහි වුණා.

එඩ් ගේන් නම් දාම ඝාතකයා

එඩ් ගේන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා සිටියේ, තම නිවසෙහි ඇති මිනිස් ශරීර කොටස් බහුතරය ආසන්න සුසානභූමියකින් තමන් විසින් රැගෙන ආ ඒවා බව යි. තමන් සුසාන හාරා මෙලෙස මිනිස් ශරීර කොටස් එකතු කිරීමේ ආශාවකින් පෙළෙන බැව් ඔහු ඔවුනට පවසා සිටියා.

එඩ් ගේන් පවසා සිටියේ තමන් සිය බවට දැඩි ලෙස ආදරය කළ බව යි. ඇගේ මරණයෙන් අනතුරුව තමන්ට කාන්තා ශරීර කොටස් උපයෝගී කරගෙන තැනූ ‘උරයක්’ සෑදීමේ ආශාවක් ඇති වූ බවත්, එය සෑදූ පසු සිය මව වෙනුවට ළඟ තබා ගැනීමට අදහස් කළ බවත් ඔහු ප්‍රකාශ කරන්නට වුණා. එමෙන්ම තමන් ඝාතනය කළේ බර්නීස් පමණක් බවත් ඔහු පැවසුවා. කෙසේ නමුත්, බලධාරීන් පවසන්නේ ඔහු විසින් ඝාතන කිහිපයක්ම සිදුකර ඇති බව යි.

ඔහු උන්මාදයෙන් පෙළෙන බැව් අනුමාන කළ පොලීසිය වහාම ඔහු මනෝවෛද්‍ය සායනයකට යොමු කළා. එහි දී අනාවරණය වූයේ ඔහු භින්නෝන්මාද තත්ත්වයකින් පෙළෙන බව යි. මේ නිසා ඔහුට එරෙහිව දඬුවම් කෙරුණේ නැහැ.

එඩ් ගේන් වහාම මානසික රෝහලක් වෙත යැවුණු අතර, ඔහු සිය ඉතිරි ජීවිත කාලයම ගත කළේ එහි යි. 1984 වසරේ ජූලි මස 26 වනදා 77 හැවිරිදි ව සිටිය දී ඔහු මියයනවා.

Related Articles