නාට්සි වධකාගාරයෙන් සාන්තුවරුන් අතරට ගිය සුර දූතිය

යකුන් සේම දෙවියන්ද මේ මිහිමත වාසය කරන බව මිනිසුන් වශයෙන් අප නොයෙක් අවස්ථාවලදී අත්දකින්නෙමු. මිනිසාටත් මිහිතලයේ පැවැත්මටත් අභියෝග කරන මිනිසුන් හමුවේ සාන්තුවරුන් හෝ සාන්තුවරියන් හමුවන විරල අවස්ථාවන් ලෝක ඉතිහාසය තුළ ද අපට දක්නට ලැබෙන අතර ඔවුන්ගේ ගුණ වැයීම නොනවත්වා සිදු වන්නේ ඔවුන් කළ මෙහෙවර යළි යළිත් ලෝකයාට සිහිපත් කරලමිනි. මේ කතාවේ කතානයකවරියද එවැනි ලෝක ඉතිහාසයේ සුවිශේෂී නමක් තැබූ අදද මිනිසුන් දේවත්වයෙන් අදහන චරිතයකි.

කන්‍යා සොහොයුරියකව (cruxnow.com)

වෙස්ටර්බෝර්ක් කඳවුර

යුදෙව්වන් සමූල ඝාතනය කොට මිහිතලයෙන් මුලිනුපුටා දැමීමට ජර්මනියේ නාට්සි හමුදා තන්ත්‍රය වේගයෙන්ම ක්‍රියාකාරී වූ වර්ෂය 1942 වර්ෂයයි. ස්ථානය වූයේ ඕලන්දයේ උතුරු දිග පිහිටි වෙස්ටබෝර්ක් නාට්සි රැඳවුම් සිරකඳවුර යි. එම වසරේ අගෝස්තු 4 වැනිදා වන විට යුරෝපය තුළ දඩයම් කෙරුණු යුදෙව් ජාතික මවුපියන් හා දූ දරුවන් ලක්ෂ ගණනාවකට අධික පිරිසක් වෙස්ටබෝර්ක් කඳවුර හරහා ගමන් කොට තිබුණි. නැගෙනහිර ජර්මනියේ හා පෝලන්තයේ පිහිටවා තිබූ වධකාගාර කරා මේ අසරණ ජනයා යොමු කරවනු ලැබුණේ මෙම කඳවුර තුළ ගාල් කිරීමෙන් අනතුරුවය. ඔවුන් තම ගමනේ නිමාව මෙන්ම දුක්බර බියජනක ඛේදනීය දිවි ගමනේ නිමාව ද දුටුවේ අවුෂ්විට්ස් හෝ බුචෙන්වෝල්ඩ් නමින් හැඳින්වුණු වධකාගාර තුළ විෂ වායුවලට හසු කරනු ලැබීමෙන්ය.

 එඩිත් ස්ටීන් තරුණ කාලයේදී (karmelita.hu)

මොවුන් අතුරින් බහුතරයක් දෙනා දවස ගෙවූයේ ස්වකීය ඉරණම කෙරෙහි පශ්චාත්තාප වූ කලකිරුණු සිතින් වුවත් එක්තරා කාන්තාවක් ගත කළේ ඔවුනට වඩා හාත්පසින්ම වෙනස් වූ දින චර්යාවකි. තමන්ගේ අවසානය ද සමීප බව මේ කාන්තාව දැන සිටි බව නිසැකමුත් ඇගේ හැසිරීමෙන් හෝ කතා බහෙන් එවැනි වේදනාවක් හෝ භීතියක් පෙනුණේ නැත. යුදෙව් බුද්ධිමතෙකු හා ගුරුවරියක ලෙස ඇය කෙරෙහි කඳවුරේ විසූවන් තුළ පැවතියේ අප්‍රමාණ ගෞරවයකි. මේ කාන්තාව එඩිත් ස්ටීන් ලෙස රැඳවියන් හඳුනාගෙන තිබුණි.

තමා අවට විසූ සිරකරුවන්ගේ දුක්ඛ දෝමනස්සවලට සවන් දෙමින්, නිරතුරුවම රෝගීන්ට උවටැන් කරමින් ඇය දවස ගත කළේ සැබවින්ම දේව දූතිකාවක් ලෙසිනි. වේදනාවෙන් දැවෙමින් සිටි අසරණ මිනිසුන්ට ඇගේ වදන් කතරකදී ලද පැන් පොදක් මෙන් වීය. ඇය කුඩා දරුවන්ට මහත් සේ ආදරය දැක්වූවාය. මහළු හා රෝගී අය වෙනුවෙන් ඇය බොහෝ සෙයින් සංවේදී වූවාය. ඇතැම් අවස්ථාවල ඇගේ ආහාර වේලද අනෙක් අය වෙනුවෙන් පිරිනැමුවාය. දින කිහිපයකින් තමාට අත්වන ඉරණම පිළිබඳව නම් කිසිදු හැඟීමක් ඇයට තිබුණේ නැත.

එඩිත් කුඩා කාලයේදී සිය සොයුරිය ඇනා සහ ඥාති දරුවෙකු සමඟ (pioneerassociation.ie)

එඩිත් ස්ටීන්ගේ ළමා විය

එඩිත් ස්ටීන් උපන්නේ 1891 වසරේ ඔක්තෝබර් මාසයේ 12 වැනි දාය. ඇය ඒ අයුරින් ජර්මනියේ දී මෙලොව එළිය දුටුවේ යුදෙව් ආගමික උත්සව දිනයක් වන යොම් කිපූර් දිනය දාය. භක්තිමත් යුදෙව් පවුලක හත්වැනි දරුවා වූ එඩිත්ගේ වයස අවුරුදු දෙකක් වත්දී ඇගේ පියා මිය ගියෙන් ඇය හැදී වැඩුණේ ආගමානුකූල දිවි පැවැත්ම ඇගයූ මව ගේ මඟ පෙන්වීම යටතේ යි.

ඇය දාර්ශනිකයකු බවට පත්වූයේ ෂෝන් පෝල් සාත්‍රේ පවා ගුරුහරුකම් ලද මහා දාර්ශනික එඩ්මන්ඩ් හර්ෂන් යටතේය. අනතුරුව කතෝලික දර්ශනය කරා යොමු වූ ඇය පූර්ණ වශයෙන් කතෝලික දහම වැළඳ ගත්තේ 1922 වසරේ දීය. කතෝලික ආගමිකයෙකු බවට පත් වීමෙන් පසු ගුරුවරියක ලෙස පාසල් අධ්‍යාපන සේවයට ඇතුළත් වූ ඇය සරසවි මහාචාර්ය ධූරයකට ඉල්ලුම් කළේ ඊට වසර කිහිපයකට පසුවයි.

එඩිත්ගේ නිවහන (inyourpocket.com)

එඩිත්ව හා සොයුරිය අත්අඩංගුවට

1938 වසරේ නොවැම්බර් 9 දා එඩිත්ගේ ජීවිතයේ නොමැකෙන සටහනක් ඇති කළ දිනයක් විය. හිට්ලර්ගේ එස්.එස්. හමුදාවන් විසින් යුදෙව් නිවහන් හා දේවස්ථාන වෙත ජර්මනිය පුරා පැතිරුණු ප්‍රහාරයක් එල්ල කිරීම ඇරඹුණේ එදිනය. තවදුරටත් ජර්මනියේ රැඳී සිටීම හිතකර නොවන බව දුටු ඇය 1938 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා රාත්‍රියේ ඕලන්දය බලා පියවර මැන්නාය. එහිදී එක්ට් නුවර කැරමිලයිට් කන්‍යාරාමයක නැවතීමේ අවස්ථාව ඇයට උදා විය. ඕලන්දයේ බිෂොප්වරයා විසින් නාට්සිවාදීන්ගේ යුදෙව් මර්දනයට එරෙහිව කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරේ කිපුණු හිට්ලර් වාදීන් විසින් ඕලන්දයේ සිටි කතෝලික පසුබිමක් තිබූ සියලු යුදෙව්වන් අතර අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබුණි. එක් මධ්‍යහ්නයේදී කන්‍යාරාමය වෙත පැමිණි නාට්සි යුද නිලධාරීන් පිරිසක් එඩිත්ව හා ඇගේ සොයුරිය අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.

 එඩිත් ස්ටීන් භූමදානය කළ ස්ථානය (kz-auschwitz.de)

තමන් සමඟ සිරබත් කමින් අපා දුක් විඳි යුදෙව් මාපිය දූ දරුවන් වෙනුවෙන් ඉටු කළා වූ සුවිශාල පරාර්ථකාමී මෙහෙවරට ඇය දායක වූයේ එලෙස අත්අඩංගුවට පත් වීමෙන් අනතුරු ව ය. 1942 අගෝස්තු 9 දා විෂවායු කුටියකදී එඩිත් හා ඇගේ සොහොයුරිය ගේ දිවි තොර කෙරුණු මුත් ඇගේ අපිරිමිත සමාජ සේවාව හා කරුණාබර හදවත පිලිබඳ තොරතුරු ලෝකයාගෙන් වසන් වූයේ නැත. තමන් ද අසරණ තත්ත්වයට වැටී සිටියදී සෙස්සන්ගේ සුබසෙත වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වුණු මේ උත්තරීතර කාන්තාව ශාන්තුවරියක් ලෙස නම් කිරීමට පියවර ඇරඹුණේ දෙවන ජුවාම් පාවුලු පාප්තුමාගේ ප්‍රමුඛත්වයෙන් 1987 වසරේදීය. පාප්තුමන් විසින් ඇයව සාන්තුවරිය තත්ත්වයට පමුණුවන ලද්දේ ආශීර්වාද ලත් ශුද්ධ වූ කුරුසියේ තෙරේසා බෙනඩික්ටා යන නමින්ය.

ශුද්ධ වූ කුරුසියේ තෙරේසා බෙනඩික්ටා පිළිරුවක් (wpengine.netdna-ssl.com)

එදිත් ස්ටීන්ගේ අසරණ සරණ දිවි පෙවෙත හා දෙවියන් හා බැඳුණු අගේ ආත්මය ගැන කියවෙන කතෝලික චිත්‍රපටයක් ‘St. Edith Stein’ නමින් Mary’s Dowry නිෂ්පාදනයක් ලෙස 2007 වසරේදී එළිදැක්විණ.

කවරයේ රූපය : ewtn.com

Related Articles