ඊජිප්තුවේ “වියට්නාම් යුද්ධය” හෙවත් යේමන යුධ ව්‍යාපාරය

1960 දශකයේ අරාබි ජාතිකවාදී කඳවුරේ ප්‍රබලයා ලෙස කැපී පෙනෙන්නට උත්සාහ කළ අය අතුරින් ඊජිප්තුවේ ගමාල් අබ්දල් නසාර් පෙරමුණෙන්ම සිටියා. සූවස් අර්බුදය තුළින් ජයග්‍රාහකයා ලෙස ඉස්මතු වූ ඔහු, වරක් සිරියාව සමග “එක්සත් අරාබි ජනරජයක්” පිහිටුවීමේ අසාර්ථක උත්සාහයක ද යෙදුණා. එමෙන්ම තවත් වතාවක ඔහු යේමනයේ අභ්‍යන්තර අරගලයකට පංගුකාරයකු වුණා. මෙම අර්බුදය අවසානයේ කොටි වලිගයක් මෙන් වූ ගැටළුවක් බවට පත් වූ අතර, ගමාල් අබ්දල් නසාර් විසින්ම එය හඳුන්වා දෙනු ලැබුණේ තමන්ගේ “වියට්නාම් යුද්ධය” ලෙස යි. කෙටියෙන් කිවහොත් ඇමරිකා එක්සත් ජනපදයට වියට්නාමයේ දී සිදු වූ දෙය ම යේමනයේ දී ඊජිප්තුවට ද සිදුවුණා. එනම්, වඩා දුර්වල හමුදා ශක්තියකින් යුතු වූ ප්‍රතිවාදියකු හමුවේ කෙළවරක් නොමැති යුද්ධයක පැටලීම යි.

මෙම යුද්ධය හට ගත්තේ වර්තමාන උතුරු යේමනයේ යි. (එකල දකුණු යේමන ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ අතර 1967 සිට 1990 දක්වා එය වෙනම ම ස්වාධීන රාජ්‍යයක් වුණා). ඊජිප්තුව, යේමන අර්බුදයට සම්බන්ධ වූයේ 1962 දී යි. එතැන් පටන් 1967 වන විට නසාර් 10,000ක මිනිසුන් ද, ඩොලර් බිලියන ගණනක ධනය ද අහිමි කරගෙන ඉතා බරපතල අර්බුදයක ගිලී සිටියා. එහි කෙළවර දුටුවේ ඊශ්‍රායලය හා සිදු වූ විනාශකාරී යුද්ධයක් ද සමග යි.

ඊජිප්තු- සෞදි තරගය හා යේමනය

1962 සැප්තැම්බරයේ දී යේමනයේ ඉමාම් මුහමද් අල්-බදර් බලයෙන් පළවා හරින ලද අතර, ඊජිප්තු මොඩලයේ ජනරජයක් එහි පිහිටුවනු ලැබුණා. එහෙත් එය දුර්වල පාලන තන්ත්‍රයක් වුණා මෙන්ම සයිදි ෂියා නිකාය අනුගමනය කරන ගෝත්‍ර විසින් එයට තර්ජනය කළා. මෙම කණ්ඩායම්වලට ආධාර ලැබුණේ සෞදි අරාබියෙන්. සෞදි අරාබිය සුන්නි රාජ්‍යයක් වුණත්, මෙහි දී වැදගත් වූයේ යේමන ජනරජය දෙපාර්ශවයේම පොදු සතුරෙකු වීම යි. අරාබියේ ප්‍රබලයා වීමේ තරගයක ඊජිප්තුවත් – සෞදි අරාබියත් පැටලී සිටියා. යේමනය ඊට වැදගත් එක් අදියරක් ලෙස නසාර් දුටුවා. ඒ අනුව ඔහු යේමනයට ඇඟිලි ගසන්නට තීරණය කළා. අරාබි බල තරගයේ අදියරක් ලෙස යේමන අර්බුදය දිගහැරුණා. (වර්තමානය වෙද්දි සෞදි අරාබිය හා ඊජිප්තුව එක් පාර්ශවයක සිට සයිදි ෂියා ගෝත්‍ර අනෙක් පස සිට යේමන යුධ බිමෙහි සටන් කරනවා. මැදපෙරදිග සෞදි අරාබියේ ප්‍රතිවාදියා ලෙස දැන් සිටින්නේ ඉරානය යි).

1962 දී යේමනයට හමුදා යැවීමට සූදානම් වෙද්දී බොහෝ ඊජිප්තු හමුදා බලධාරීන් විශ්වාස කළේ එය පහසු යුධ ව්‍යාපාරයක් වනු ඇති බව යි. ඔවුනට තිබුණ ප්‍රධාන අභියෝග කිහිපයක් ම මෙහි දී ඊජිප්තු බලධාරීන් එතරම් ම ගණනකට ගත්තේ නැහැ. මෙයින් එක් ප්‍රධාන අභියෝගයක් වූයේ කඳුකරයේ ස්වදේශික රණකාමී ගෝත්‍ර හා සටන් වැදීමේ අපහසුව යි. ඊජිප්තු යුධ ටැංකි මෙහි දී ප්‍රයෝජනවත් වූයේ නැහැ. වඩා හොඳ අවි තිබුණ ද එයින් ඵලක් වූයේ නැහැ.

මොහොමඩ් අල්-බදර් සිය අනුගාමිකයන් පිරිසක් සමග සිවිල් යුද්ධයේ මුල් දිනවල​ (Public Domain)

මීට අමතරව ඊජිප්තුව හා යේමනය අතර දුර හේතුවෙන් ඊජිප්තු හමුදාවට අවශ්‍ය දෑ සැපයීම ද බරපතල අභියෝගයක් වුණා. කල් ගතවන යුද්ධයක දී මෙය බරපතල ප්‍රශ්නයක් වන බව පැහැදිලි කරුණක්. කෙසේවෙතත්, මුල දී එවන් යුධ ව්‍යාපාරයක තමුන් පැටලේ යයි ඊජිප්තුව විශ්වාස නොකළ හෙයින් එය ගැටළුවක් සේ දැකීමේ හැකියාවක් කෙසේවත් තිබුණේ නැහැ.

මුලින්ම යේමනයේ සනා අගනුවර ආරක්ෂාව උදෙසා කමාන්ඩෝ බල ඇණියක් යැවූ ඊජිප්තුව, පසුව එහි ආරක්ෂාව තර කිරීමට සන්නාහ සන්නද්ධ බල ඇණියක් යැව්වා. අවි ගැටුම් දිගටම ඇදෙද්දී තව තවත් සේනාංක එහි යැවීමට ඊජිප්තුවට සිදුවුණා. යේමන ජනරජය දුර්වල වීම හේතුවෙන් එය බලයේ තබා ගැනීමට ඊජිප්තුවට විශාල වෙහෙසක් ගැනීමට සිද්ධ වුණා.

කෙසේ නමුත්, සෞදි අරාබියේ සිට දේශසීමාව හරහා දිගටම අල්-බදර්ගේ අනුගාමිකයන් වෙත යුධ ආධාර එවනු ලැබුණා. එය වැළැක්වීමට ඊජිප්තුව උත්සාහ කළේ එම මාර්ග ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන්. එය ද එතරම් සාර්ථක වූයේ නැහැ. මේ අතර කඳුකර ප්‍රදේශයන්වල දී ඊජිප්තු හමුදා නිරන්තර ප්‍රහාරවලට ලක් වුණා. සෞදි අරාබියට අමතරව බ්‍රිතාන්‍යය ද එමීර්වරයාගේ හමුදාවන්ට ආධාර එව්වා. ඊශ්‍රායලය ද ඔවුන්ට යුධ ආධාර එවූ බව සඳහන්.

නසර් 1964 දී යේමනයේ සනා අගනුවර (Public Domain)

මේ හේතූන් මත යුද්ධය දිගින් දිගටම ඇදෙද්දී නසර්ගේ තත්ත්වයට එය අයහපත් ලෙස බලපෑවා. ජාත්‍යන්තරය තුළ ද, අරාබියේ ද ඔහුගේ අසාර්ථකත්වය පෙන්නුම් වීමත්, ඊජිප්තු රාජ්‍ය භාණ්ඩාගාරයට වූ දැඩි බලපෑම හේතුවෙන් දේශීයව ඔහු මුහුණ දුන් තත්ත්වයත් නසර්ට විශාල ගැටළු ඇති කළා. ඔහු වඩ වඩා සෝවියට් ආධාර වෙත නැඹුරු වන විට ඇමරිකාව සමග කෙනඩි පාලන කාලයේ ගොඩනගා ගත් මිත්‍රත්වය පළුදු වෙන්නට වුණා. සිය කීර්තිය යළි වැඩිදියුණු කරගැනීමට ඔහු උත්සාහ කළේ ඊශ්‍රායලය සමග ආරවුලක් යළි ඇති කර ගනිමින්. 1967 ජූනි මාසයේ දී, සය දින යුද්ධයෙන් ඊජිප්තුව බිම ඇද වැටීමෙන් නසර්ගේ මේ උත්සාහය කෙළවර වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබිය, අරාබිකරයේ ප්‍රමුඛ බලවතා ලෙස ඉස්මතු වුණා.

යේමනයේ ඊජිප්තු යුධ ප්‍රයත්නය ද එම වසරේම නොවැම්බරයේ දී නිම වුණා. ඊජිප්තු ආධාර ලද යේමන ජනාධිපති අබ්දුල්ලා අල්-සල්ලාල් බලයෙන් ඉවත් කෙරුණා. කෙසේ නමුත්, යේමනයේ ඉමාම් යළි බලයට ආවේ නැහැ. නසර් බලාපොරොත්තු වූ මොඩලයේම නොවුණත්, යේමනයේ ජනරජයක් දිගටම බලයේ රැඳුණා.

අරාබිකරයේ නසර් සතුව තිබූ කීර්තිය කඩා වැටුණත්, සෞදි අරාබියේ දේශපාලනය පිළිනොගත් විශාල පිරිසක් අරාබිකරයෙහි සිටියා. එහෙයින් වැඩිකල් නොගොස් ඉරාකයේ සදාම්, ලිබියාවේ ගඩාෆි ආදී නායකයින් ඉස්මතු වුණා. මේ අතර, දකුණුදිග යේමනයේ කලක් තිස්සේ මාක්ස්වාදී රජයක් ද බලයේ සිටියා.

Related Articles