Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහයාගේ ගුහාවට තනිව ඇතුළු වූ, ඩෙමෙස්කස් හි යුදෙව්වා

යුදෙව් ඉතිහාසයේ බොහෝ තැන් යුධ කතාවලින් ආඩ්‍ය වුණු ඉතිහාසයක්. මේ ගැන අධ්‍යයනය කිරීමේ දී පැහැදිලිවම පෙනෙන කරුණක් තමයි, යුදෙව්වන් බොහෝ අවස්ථාවල දී යුධමය ක්‍රියාමාර්ගවලින් ලෝකයේ තමන්ට හිමි ස්ථානය ලබා ගන්න උත්සාහ කළා කියන කාරණාව. මේ වගේ යුධමය ක්‍රියාකලාපයන් නිසාම ජර්මනිය සමග ඇති වුණු යුද්ධයේ දී හිට්ලර් අතින් යුදෙව්වන් දහස් ගණනක් සමූල ඝාතනයට ලක් වෙනවා. මේ කියන්නෙ යන්නෙ ඒ කතාව නෙවෙයි. ඊශ්‍රායලය සහ සිරියාව අතර ඇති වුණු සය දින යුද්ධයේ (Six-Day War) “ගොලන් හයිට්ස්” (Golan Heights) මෙහෙයුමේ දී ඊශ්‍රායල් රහස් ඔත්තුකරුවෙකු වූ “එලී කොහෙන්” (Eli Cohen) ඊශ්‍රායලය වෙනුවෙන් දිවි පරදුවට තබමින් තමන්ගෙ දායකත්වය දැක්වූ ඒ ඉතිහාස කතාන්තරය‍ යි.

ඔත්තුකරුවෙකු වීම

1967 වර්ෂයේ සිරියාව හා ඊශ්‍රායලය අතර ඇති වුණු සය දින යුද්ධයේ Golan Heights මෙහෙයුම, ඊශ්‍රායල් හමුදා බලඇණිවලට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ එලී කොහෙන්ගෙ අතිශය දූරදර්ශි සහ වැදගත් රහස් ඔත්තු සැපයීම නිසා යි. මේ යුද්ධයේ නිහඬ යුධ විරුවා වන එලී කොහෙන්, උපත ලබන්නෙ යුදෙව් සම්භවයක් සහිත දෙමාපියන්ට දාව 1924 ඊජිප්තුවේ දී. මේ දෙමාපියන් සිරියාවේ “ඇලෙප්පෝ” කියන ප්‍රදේශයේ ඉඳල, “ඇලෙක්සැන්ඩ්‍රියාවට” සංක්‍රමණය වුණු පිරිසක්. 1949 ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවා ගැනීමෙන් ඉතාම කෙටි කාලයක් ඇතුළත, කොහෙන්ගේ දෙමාපියන් ඔහුගේ සහෝදරයාත් සමග ඊශ්‍රායලයට සංක්‍රමණය වෙනවා. නමුත් දෙමාපියන් සමග ඊශ්‍රායලයට සංක්‍රමණය නොවෙන, කොහෙන් යුදෙව් ක්‍රමවේදයන් සහ යුදෙව්වාදී මතිමතාන්තර සංවිධානය කරමින් ඊජිප්තුවේම නතර වෙනවා. කොහොම නමුත්, 1955 වර්ෂයේ දී ඊශ්‍රායලයේ අවශ්‍යතාවයක් පරිදි, කොහෙන් ඊශ්‍රායලයට කැඳවීමක් කරනු ලබනවා. ඒ රහස් ඔත්තුකාරයෙකු ලෙස පුහුණු කිරීමේ අරමුණින්. පුහුණුව අවසානයේ යුදෙව්වාදී උපායමාර්ගයන්ට සහාය දැක්වීමේ අරමුණින් ඔහු නැවත ඊජිප්තුව වෙත ගමන් කරනු ලැබුවත්, 1956 දී ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර ඇති වන “සිනායි යුද්ධය” (Sinai Campaign) නිසා ඊජිප්තුවේ සිටි සියලුම යුදෙව්වන් පිටුවහල් කරනු ලබනවා. මේ පිරිස සමග කොහෙන්ටත් නැවත ඊශ්‍රායලයට පැමිණෙන්න සිදුවෙනවා. ඊශ්‍රායලයට පැමිණෙන කොහෙන්, 1959 වර්ෂයේ දී “නාඩියා මජාල්ඩ්” (Nadia Majald) සමග විවාහ වී දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට පත්වෙනවා.

මොසාඩ් රහස් ඔත්තුකරු එලී කොහෙන්

සිරියාවේ මෙහෙයුම

1960 දී එලී කොහෙන්, ඊශ්‍රායල් බුද්ධි අංශය වන “මොසාඩ්” සංවිධානයට අනුයුක්තව සිරියාවේ මෙහෙයුමක් සඳහා පිටත් කර හරිනවා. මේ මෙහෙයුම සඳහා විශේෂයෙන්ම කොහෙන්ව සම්බන්ධ කරගන්න හේතු වුණේ, ඔහුගේ අරාබියානු පෙනුම සහ අරාබි, ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා හා සංස්කෘතීන් පිළිබඳ ඔහු සතු වුණු හසල දැනුම් සම්භාරය යි. මේ මෙහෙයුම සඳහා කඩිනමින් සූදානම් වුණු කොහෙන්ගේ මෙහෙයුමේ පළමුවැනි පරමාර්ථය වුණේ, කමාල් අමීන් ටා’අබෙට් (Kamal Amin Ta’abet) නමින් වෙස්වලා ගනිමින්, බුවෙනෝ ප්‍රදේශයේ ජීවත් වීම. මීට හේතුව වුණේ, ඔහු සිරියාව හැර ගොස් ආජන්ටිනාවේ ජීවත් වෙමින් සිටින සිරියානුවෙක් බවට නමක් ඇතිකර ගැනීම යි.

වසරක කාලයක් ඉතා පොහොසත් සහ සමාජසේවා කටයුතුවල නිරත වන ව්‍යාපාරිකයෙකු ලෙස ආජන්ටිනාවේ නමක් දිනාගන්නා ඔහු, දේශපාලඥයින් සහ රාජ්‍යතාන්ත්‍රික දූතයින් සමග ඉතා සමීප සබඳතාවක් ගොඩනඟා ගනු ලබනවා. වයින් සහ ස්ත්‍රීන් ප්‍රිය කරන ඕනෑම ඉහළ නිලධාරියෙකුට කමාල් ලෙස වෙස්ගෙන ඉන්න එලීගෙ නිවස හැමවිටම විවෘතව පැවතුණා. නිලධාරීන් හට මත්වෙන තෙක් මධුවිතින් හොඳින් සංග්‍රහ කරන එලී, තාමත් මත් බවක් අඟවමින් රාජදූතයින් සමග දොඩමළු වී ඉතාම අවධානයෙන් සිට ඔවුන්ගේ රහස්‍ය තොරතුරු එළියට ගනු ලබනවා. මේ ආකාරයට මධුවිතින් සහ ස්ත්‍රීන් උපකාර කර ගනිමින් ඇතිකරගනු ලබන මිත්‍රත්වයක් ආශ්‍රය කර ගනිමින්, 1962 දී ඔහු සිරියාවේ අගනුවර වන ඩෙමෙස්කස් අගනුවරට සංක්‍රමණය වෙනවා. 1964 දී සිරියාව විසින් ඊශ්‍රායලයට ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයක් වන, ජෝර්දාන් නදිය කින්නරෙට් ජලාශය (Lake Kinneret) ආසන්නයෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ හරවා යැවීමට ප්‍රයත්නයක් දරනවා. මේ පිළිබඳ තොරතුරු ලබා ගන්නා එලී කොහෙන්, අදාළ රහස්‍ය තොරතුරු ඊශ්‍රාලයට ලබා දීමෙන් අනතුරුව, ඊශ්‍රායෙල් ගුවන් හමුදාව විසින් හෙලන ලද බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව, උක්ත ප්‍රයත්නය නතර කර දැමීමට කොහෙන් සමත් වෙනවා.

ගොලෙන් හයිට්ස් මෙහෙයුමේ දායකත්වය

Golen Heights මෙහෙයුමේ දී එලී කොහෙන්, ඊශ්‍රායලය වෙනුවෙන් ඉතා ඉහළ රහස් ඔත්තු සේවයක් ලබා දෙනු ලබනවා. ඊශ්‍රායලය සම්පුර්ණයෙන්ම මේ යුද්ධයේ ජයග්‍රහණය කරා එළඹෙන්නේ එලී ලබා දෙන තොරතුරු පදනම් කර ගනිමින්. Golen Heights ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලැබී තිබුණේ, සිරියාවේ ඉහළම හමුදා නිළධාරීන්ට පමණයි. නමුත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය පදනම් කර ගනිමින් එලී කොහෙන්, මෙම ආරක්ෂක විධිවිධාන සියල්ල නිරීක්ෂණය කිරීමට සමත් වෙනවා. මේ ස්ථානයේ දී එලී කොහෙන්, ඉහළ සිරියා නිලධාරීන්ට ඉතා අවංක සහ හේතුසහගත උපක්‍රමයක් සිහිගන්වනවා. සය දින යුධ වික්‍රමයේ ප්‍රධාන යුධ ජයග්‍රහණ උපායමාර්ගය එලී කොහෙන්ගේ මේ උපාය මාර්ගය බව තමයි ඊශ්‍රායල් යුධ ඉතිහාසයේ සටහන් වෙන්නෙ. එලී කොහෙන්ගේ අදහසට අනුව සැඟ වී සිට සූක්ෂමව පහර දීමට නම්, අදාළ ආරක්ෂිත ස්ථානවල ගස් සිටුවිය යුතු බවට සිරියා නිලධාරීන්ට ඒත්තු ගන්වනවා. එවිට ආයුධ සහ හමුදා බලඇණි ගස් අතරේ සඟවා තබමින් පහර දිය හැකි බව ඔහු පැහැදිලි කරනවා. මෙහි හේතුසහගත බව තේරුම් ගනු ලබන නිලධාරීන් අදාළ ප්‍රදේශය තුළ ගස් වැවීම සිදුකරනු ලබනවා. 1967 දී ඊශ්‍රායලය විසින් Golen Heights යුද්ධය සිදුකරනු ලබන අවස්ථාවේ සිරියා බලඇණිවලට ප්‍රහාර එල්ල කිරීමේ දී, එලී ලබා දී තිබූ ඔත්තු ඔස්සේ යමින් මෙම ගස් ගොමු ඉලක්ක කරගත් බව සඳහන් වෙනවා. ඒ අනුව සිරියාවට Golen Heights අහිමි වීමට එලීගේ මෙම උපක්‍රමය ඉවහල් වුණු බව පැහැදිලිවම පෙනෙනවා.

සිරියාව හා ගොලෙන් හයිට්ස් දේශ සීමාව අසල රැඳී සිටින සෙබළුන්

ඔත්තුකරුවාගේ අවසන් ඔත්තුව

1962 සහ 1965 අතර කාලය තුළ එලී කොහෙන්, සිය මව්බිම වන ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ තෙවතාවක් පමණයි. 1964 දී ඊශ්‍රායලය පැමිණි අවස්ථාවේ සිරියා බුද්ධි අංශයේ නව අණදෙණ නිලධාරී, කර්නල් අහ්මඩ් සු’එඩානි (Colonel Ahmed Su’edani) තමා පිළිබඳ සැක කරන බවට ඊශ්‍රායෙල් බුද්ධි අංශයට දැනුම් දී, තමාගේ මෙහෙයුම අවලංගු කරන ලෙස කොහෙන් ඉල්ලා සිටිනු ලැබූවත්, ඊශ්‍රායෙල් බුද්ධි අංශය විසින් අවසන් මෙහෙයුමක් සඳහා නැවත එකම එක් වතාවකට පමණක් සිරියාවට යන ලෙස එලී කොහෙන්ගෙන් ඉල්ලා සිටිනවා.

1965 ජනවාරි මස රුසියාවේ සහාය ඇතිව ඉතා සූක්ෂම ඔත්තු සේවා ග්‍රහණය කර ගැනීමේ උපාංග භාවිතා කරමින් සිරියානු රහස් තොරතුරු ඊශ්‍රායලයට ලබා දෙනු ලබන භෞතික සම්ප්‍රේෂණ ස්ථානය හඳුනාගැනීමට සිරියානු බුද්ධි අංශයට හැකියාව ලැබෙනවා. ඒ අනුව 1965 දී සිරියානු හමුදාව විසින්, රහස් තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන අතරතුර අවස්ථාවක දී එලී කොහෙන් අත්අඩංගුවට ගනු ලබනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුද්ධාධිකරණය දඬුවම් ලිහිල් කර ගැනීමට කොහෙන් උත්සාහ කරනු ලැබුවත් ජාත්‍යන්තර නායකයින්, රාජ්‍යතාන්ත්‍රික දූතයන් සහ IV වැනි පාවුල් පාප්වහන්සේ විසින් පවා ඉදිරිපත් කළ සියලුම අභියාචනා සිරියානුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ අනුව ඔහුට අවසන් වතාවට සිය බිරිඳට ලිපියක් ලිවීමටත්, ඉතා කෙටි වේලාවකට යුදෙව් ධර්මාචාර්යවරයෙකු මුණගැසීමටත් පමණක් අවස්ථාවක් ලබාදුන් අතර 10,000කට අධික ජනතාවක් ඉදිරියේ එල්ලා මරා දැමුණා.

1965 මාර්තු මස 18 දින එලී කොහෙන් එල්ලා මරා දැමුණු අවස්ථාව

එලී කොහෙන්ගේ පවුලේ ඥාතීන්, ඔහුගේ සිරුරේ ඉතිරි වූ කොටස් ඊශ්‍රායල් භූමියේ භූමිදානය කිරීමේ අරමුණින්, නැවත ඊශ්‍රායලයට බාර දෙන ලෙස ඉදිරිපත් කළ සියලුම ඉල්ලීම් සහ පෙත්සම් සිරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෑත කාලීනව 2009 වර්ෂයේ දී, XVI වන බෙනඩික් පාප් වහන්සේට මේ සඳහා මැදිහත් වන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටිනු ලැබූවත්, එලී කොහෙන්ගේ සිරුරේ කිසිඳු කොටසක් මේ වනතෙක් ඊශ්‍රායලයට බාර දීමට සිරියාව කටයුතු කර නැහැ.

එලී කොහෙන්ගේ ජාතිමාමකත්වය සහ නිර්භීතභාවය ඔහුට සමස්ථ ඊශ්‍රායෙල් ‍රාජ්‍යයේ ගරුබුහුමන් ලැබීමට තරම් හේතු වුණා. ඔහුගේ 40 වැනි ගුණානුස්මරණයේ දී ඊශ්‍රායෙල් අගමැති ඒරියල් ශැරෝන් (Ariel Sharon) ඔහු පිළිබඳව සඳහන් කළේ, “සිංහයාගේ ගුහාවට තනිව ඇතුළු වූ පසු පුරාවෘතගත වූ සටන්කරුවා” (Fighter who become a legend when he entered Lion’s den alone) යනුවෙනුයි. සිංහයාගේ ගුහාවෙන් පණ රැක ගනිමින් නැවත එළියට පැමිණීමට නොහැකි වූවත්, ඊශ්‍රායල් ඉතිහාසය තුළ හා යුදෙව් හදවත් තුළ ඔහුගේ නාමය “ඩෙමෙස්කස් හි අපේ මිනිසා” (Our Man in Damascus) යනුවෙන් අදටත් විරුදාවලී ලබනවා.

ගොලෙන් හයිට්ස්හි ඉදිකර ඇති එලී කොහෙන් අනුස්මරණ ස්මාරකය

මීට අමතරව තවත් කාරණාවක් මතක් කරන්න කැමතියි. එලී කොහෙන්ගේ ජීවිත කතාව අලලා මේ වන විට The Spy නමින් කෙටි ටෙලිකතා මාලාවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. ඔහුගේ ජීවිත කතාව රූපරාමු සමග නැරඹීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාවක් එළඹිලා තියෙන බවත් මෙයින් දැනුම් දෙනවා.

Related Articles