ඇඹිලිපිටිය සිසු ඝාතනයේ කඳුළු කතාව- පළමු කොටස

1988/89 භීෂණ සමය ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක්. රට පුරාම කැලෑ නීතිය රජකළ එම යුගයේ මෙරට බොහෝ ප්‍රදේශවල භීෂණය තදින්ම පැතිරී තිබුණා. කොළොන්න ආසනයට අයත් වුණු ඇඹිලිපිටිය, සූරියකන්ද, උඩවලව, කුට්ටිගල යන ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට ද භීෂණයේ භයංකර බව අඩුවක් නැතුව දැනුනා. කැලෑබද ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් පිහිටා තිබුණු එම ප්‍රදේශවල කැරලිකරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණා. 1987 ජූලි 31 වැනිදා එවකට තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ජිනදාස වීරසිංහ කුට්ටිගල පාලම අසල දී කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

1988 වසරේ අග භාගය පමණ වන විට කොළොන්න ආසනය තුළ පැවති අරාජික තත්ත්වය පාලනය කිරීම සඳහා ආසනයේ ප්‍රදේශ කිහිපයක හමුදා කඳවුරු ස්ථාපිත කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය ආසන්නයේ ද හමුදා කඳවුරක් පිහිටවනු ලැබුවා. එකල එය සෙවණ හමුදා කඳවුර ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෙවණ කඳවුර ස්ථාපනය කළත් අවසානයේ දී එහි සිටි සෙබළුන් අතින් සිදුවුණේ මහ පොළව නුහුලන අපරාධයක්. එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දයානන්ද ලොකුගලප්පත්තිගේ මෙහෙයවීම මත සිදුවුණු එම මහා අපරාධය රට පුරාම ප්‍රසිද්ධියට පත්වුණේ “ඇඹිලිපිටිය සිසු ඝාතනය” ලෙස යි. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳ කදුළු කතාව යි. 

ජිනදාස වීරසිංහ (කදුළු සලන පාරාදීසය)

දයානන්ද ලොකු ගලප්පත්ති

1970 දශකයේ මැද භාගයේ දී උප ගුරුවරයෙකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ ලොකුගලප්පත්ති මුලින්ම සේවය කළේ තුංකම මහා විද්‍යාලයේ යි. ඉන්පසු සේවයෙන් ඉහළට ගිය ඔහු 1977 වසර වන විට රත්නපුර බටුහේන විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා. එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්ව සිටි මෙම පුද්ගලයා කුරුවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ ලේකම් තනතුර ද හොබවනු ලැබුවා. එනිසා 1977 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලද දරුණු පරාජයත් සමගින් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු ලොකුගලප්පත්තිට ස්ථාන මාරුවක් හිමිවුණා. ඔහුට චන්ද්‍රිකා වැව ජයන්ති මහා විදුහලේ විදුහල්පතිවරයා ලෙසින් කටයුතු කරන්නට සිදුවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

’80 දශකයේ මුල් භාගයේ දී මෛත්‍රීපාල සේනානායක ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. ඒ සමගම දයානන්ද ලොකුගලප්පත්තිත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. ඉන් පසුව ඔහු රත්නපුර ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා බවට පත්වුණා. එම යුගයේ දී ක්‍රියාවට නැංවුණු අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා බිහිවුණු මුල්ම පර්ෂද පාසල බවට පත්වුණේ ද ඒ විදුහල යි. 

පලාබද්දල විදුහල දියුණු කරමින් ඉහළ ප්‍රතිඵල පෙන්වීමට ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාට හැකියාව ලැබුණත් ඔහුට වැඩිකල් එහි විදුහල්පතිකම කිරීමට හැකිවුණේ නැහැ. ඔහුට එරෙහිව මතුවුණු දෙමාපිය විරෝධතාවයක් නිසා විදුහල්පතිකම අතහැර යන්නට ඔහුට සිදුවුණා. එලෙස පලාබද්දල විදුහලේ විදුහල්පති තනතුර අතහැර ගිය ලොකුගලප්පත්ති භීෂණ සමය ආරම්භ වන විට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරමින් සිටියා.

දයානන්ද ලොකුගලප්පත්ති (ඇඹිලිපිටිය මිනීපිටිය)

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ කලබල ආරම්භ වීම 

1988/89 භීෂණ සමය ආරම්භ වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය ජයතිස්ස විදුහල්පතිවරයාගේ පාලනය යටතේ පැවතුණා. ඒ වන විට ප්‍රදේශයේ ප්‍රධානතම පර්ෂද විදුහල බවට පත්ව තිබුණේ ද ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය යි. 

1988 වසරේ අග භාගයේ දී එක්තරා පෞද්ගලික ව්‍යාපාරිකයෙකු පාසල තුළ ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කිරීමට සූදානම් වුණා. පාසලේ සිසුන් සහ දෙමාපියන් එයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළා. එම විරෝධතා නොතකා විශාල ඉන්ධන ටැංකි 3ක් ද පාසල්බිමේ ස්ථාපිත කළා. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ මුලින්ම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වුණේ එම සිදුවීම යි.

එදා පාසල් සිසුන් රැසක් විරෝධතා සඳහා සහභාගි වුණා. එසේම සංවිධානාත්මකව පාසලේ තැනින් තැන රතිඤ්ඤා පිපිරවීමට එම සිසුන් පිරිස කටයුතු කළා. ඊට අමතරව ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට එරෙහිව පාසල පුරා පෝස්ටර් ඇලවීමත් ඔවුන් අතින් සිදුවුණා. ඒ වන විට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයයේ සේවය කරමින් සිටි දයානන්ද ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ සිදුවුණු කලබලකාරී සිදුවීම් පිළිබඳව හොඳින්ම ඇස ගසාගෙන සිටියා.

එදා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය දිස්වුණු අයුරු (ඇඹිලිපිටිය මිනීපිටිය)

ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති තනතුරට පත්වෙයි 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ පැවතුණු කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජයතිස්ස විදුහල්පතිවරයාට නොහැකි බව පෙන්වීම ලොකුගලප්පත්තිගේ අරමුණ වුණා. එනිසා පාසල තුළ කලබල ඇතිකළ සිසුන්ට ඔහු හොර රහසේම උදව් කළා. ලොකුගලප්පත්තිගේ යටි අරමුණ වුණේ මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති තනතුර ලබාගැනීම යි. 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ අර්බුදකාරී තත්ත්වයේ අඩුවක් දක්නට නොලැබුණු නිසා ජයතිස්ස විදුහල්පතිවරයාට තනතුර අහිමි වුණා. ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහායෙන් ලොකුගලප්පත්ති විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගත්තා. ඒ සමග ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයට නරක කල දසාවක් උදාවනු ඇති බව එදා කිසිවෙකුට නොසිතෙන්නට ඇති. 

ලොකුගලප්පත්ති වැඩ ආරම්භ කරයි 

එකල කොළොන්න ප්‍රදේශයේ දේශපාලන බලවතා බවට පත්ව සිටි අමාත්‍ය නන්ද මැතිව් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වුණු මහේෂ් දනන්සූරිය ද ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගේ ගජ මිතුරන් වුණා. එනිසා එම දේශපාලන බලවතුන් දෙදෙනා ප්‍රදේශයේ පාසල්වල සිදුවුණු විරෝධතා පාලනය කිරීම සඳහා ඇඹිලිපිටියේ ප්‍රධානතම පර්ෂද විදුහලේ ප්‍රධානියා වුණු ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගෙන් උදව් ඉල්ලා සිටියා. ප්‍රදේශයේ අනිකුත් කුඩා පාසල්වල විදුහල්පතිවරුන් ඔහු සමග එකතු වී වැඩ කළා. 1989 අගෝස්තු 1 වැනිදා ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා සහ ප්‍රදේශයේ අනිකුත් පාසල්වල විදුහල්පතිවරුන් අතර හමුවක් පැවැත්වුණේ ප්‍රදේශයේ පාසල්වල ඇතිවී තිබුණු විරෝධතා පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට යි.

රැස්වීම සඳහා මොරකැටිය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වුණු සුජාතා කළුගම්පිටිය ද සහභාගි වුණා. ඇය පසු කලෙක අතුරුදහන් වුණු රසික කුමාර විජේතුංග සිසුවාගේ මව යි. ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා මොරකැටිය විදුහලට පැමිණ සිසුන්ට අවවාද කිරීමට බලාපොරොත්තු වන බව කළුගම්පිටිය විදුහල්පතිනියට පවසා සිටියා. පැවසූ පරිදිම එක්තරා දිනයක මොරකැටිය විදුහලට ගිය ලොකුගලප්පත්ති සිසුන්ට දැඩි ලෙස අවවාද කළා. ඔහු සිසුන්ට පවසා සිටියේ “මීට පස්සෙ විරෝධතා කරොත් හමුදාව ඇවිත් අරන් යාවි” යන භයානක වචන පෙළ යි.

හමුවෙන් පසුව ලොකුගලප්පත්ති කළුගම්පිටිය විදුහල්පතිනිය සිය විදුහල වෙත හදිසි කාරණයක් සඳහා කැඳවා තිබුණා. එම හමුවේ දී ඔවුන් දෙදෙනා අතර ඇතිව තිබුණේ මෙවන් දෙබසක්.

ලොකුගලප්පත්ති: මැඩම් ඉස්කෝලවල කොල්ලන්ගෙ විරෝධතා නවත්වන්න අපි හොඳ ප්ලෑන් එකක් ගැහුව.

කළුගම්පිටිය: ඒ මොකක්ද සර්? 

ලොකුගලප්පත්ති: මේකයි මැඩම් කරන්න තියෙන්නෙ. අපි හැම ඉස්කෝලෙකින්ම කැපී පෙනෙන උන් 10-12 දෙනෙක් උස්සන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මැඩම්ට තියෙන්නෙ ඉස්කෝලෙ දඩබ්බර වැඩ කරන ළමයි ටිකගෙ නම් ලැයිස්තුව හදල මට භාරදෙන එක විතර යි.

කළුගම්පිටිය: සර් මට නම් සර් කියන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ. කවුද දැන් ඔය අපි කියන්නෙ?

ලොකුගලප්පත්ති: මැඩම් ඒ කීවෙ අපියි හමුදාවයි එකතුවෙලා තමයි මේක කරන්නෙ. මට ඕනි මැඩම්ගෙ අනුමැතිය විතර යි. ඊට පස්සෙ අපට කරන්න තියෙන්නෙ උස්සන්න ඕනි උන් ටික හමුදාවට පෙන්වන එක විතර යි. 

මෙය ඇසීමෙන් කළුගම්පිටිය විදුහල්පතිනිය පුදුමයට පත්වී පවසා සිටියේ “දෙයියනේ ඒ මොන අපරාධයක් ද? මාත් දරුවො ඉන්න අම්ම කෙනෙක්. අනේ සර් මටනම් බෑ ඔය පව්කාර වැඩවලට හවුල්වෙන්න” වැනි යමක්.

සුජාතා කළුගම්පිටිය විදුහල්පතිනිය ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳව පැවති නඩු විභාගයේ දී මෙම සිදුවීම පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ මෙලෙසින්. ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා එම කාලයේ දීම ප්‍රදේශයේ තවත් පාසල්වල විදුහල්පතිවරුන්ට මෙම යෝජනාවම සිදුකර තිබුණා.

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තත්ත්වය නරක අතට හැරෙයි 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකට ඛේදජනක ඉරණමක් අත්වීමට බලපෑ ප්‍රධානතම හේතු කිහිපයක් තිබුණා. ඉන් පළමු හේතුව වුණේ විදුහල්පතිවරයාගේ පුත් චමින්ද ලොකුගලප්පත්තිගේ විනය විරෝධී හැසිරීම යි. ඒ වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි චමින්දට සිය පියාගේ තන්තුරේ ඌෂ්ණය තදින්ම වැදී තිබුණා. එනිසා ඔහු පාසල තුළ දී හැසිරුණේ අමුතුම පිළිවෙලට යි. ඔහුගේ එම ක්‍රියාකාරකම්වලට තදින්ම විරුද්ධ වුණු පිරිසක් උසස් පෙළ පන්තිවල සිටියා. එනිසා චමින්ද ලොකුගලප්පත්ති එම සිසුන් පිරිස සමග ආරවුලක් ඇතිකර ගත්තා. ඊට මාස කිහිපයකට පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ සිසුන් පිරිසක් අතුරුදහන් වීමට එම ආරවුල හේතුවක් වුණා.

1989 වසරේ දී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11-A පන්තියේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළේ සෝමාවතී මුණසිංහ යි. 5 වසර ශිෂ්‍යත්වය සමත් වී පාසලට පැමිණි දරුවන් පමණක් එම පන්තියේ සිටි නිසා එය 11 වසරේ හොඳම පන්තිය බවට පත්ව තිබුණා. නමුත් එම පන්තියේ සමගිය දෙදරා ගියේ ලියුම් 2ක් නිසා ඇතිවුණු ආරවුල් නිසා යි. ඉන් පළමු ලියුම ලියුවේ ශ්‍රීමා නම් දැරිය යි. ඇය එම ලියුම ලියනු ලැබුවේ රත්නපුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි ඇයගේ වැඩිමහල් සහෝදරිය වෙතට යි. නමුත් එය හොර රහසේ ලබාගත් එම පන්තියේ පිරිමි ළමුන් ලිපිය වෙනස් කළේ ගැහැණු ළමයෙකු සිය ආදරවන්තයාට යවන ලද ලිපියක් ආකාරයට යි. පන්තියේ පිරිමි ළමුන් එම ලිපිය මහ හඩින් කියවමින් ශ්‍රීමාට සමච්චල් කරනු ලැබුවා.

එම කාලය වන විට විදුහල්පති පුත් චමින්ද 11-A පන්තියේ සිටි පවිත්‍රා රන්මලී නම් සිසුවිය සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන තිබුණා. චමින්ද පවිත්‍රා වෙත ලියන ලද ලියුමක් 11-A පන්තියේ රසික කුමාර විජේතුංග නම් සිසුවා අතට පත්වුණා. රසික සහ ඔහුගේ මිතුරන් එම ලිපිය ද කියවමින් පවිත්‍රාට උසුළු විසුළු කළා. පවිත්‍රා සහ ශ්‍රීමා පන්තියේ හොඳම මිතුරියන් වුණු නිසා ඔවුන් දෙදෙනාම එකතු වී රසික ඇතුළු පිරිසට බැණ වැදුණා. මෙම ලියුම් දෙකේ පලහිලව්ව නිසා 11-A පන්තිය කණ්ඩායම් දෙකකට බෙදුණා. ඉන් පසුව එම කණ්ඩායම් දෙක අතර නිතරම වාග් ප්‍රහාර ඇතිවුණා. පන්තිය තුළ සිදුවුණු සියලු දේ පවිත්‍රා සිය පෙම්වතාට පවසා සිටියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ 11-A පන්තියේ සිසුන් පිරිසක් ද චමින්දගේ හතුරන් බවට පත්වීම යි.

1989 වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාට එරෙහිව උසස් පෙළ සිසුන් බොහෝ පිරිසක් විරෝධතා දක්වන්නට වුණා. එක්තරා දිනයක ඔවුන් හොඳින් සංවිධානය වී විදුහල්පතිවරයාට හූ කියනු ලැබුවා. එදා ලොකුගලප්පත්ති උසස් පෙළ සිසුන් කෙරෙහි දැඩි  වෛරයක් ඇතිකර ගත්තා. මෙම සිදුවීම් මාලාවෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන්ට වඩාත් නරක කල දසාවක් ලැබුවා.

එදා 11-A පන්ති කාමරය පැවති ගොඩනැගිල්ල (අඳෝනාව)

විදුහල්පතිගේ තර්ජන සහ ගර්ජන 

පිස්තෝලයක් සහ බෝම්බයක් ළඟ තබාගෙන පාසලේ පාලන කටයුතු සිදුකරගෙන ගිය ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා පාසල අසල තිබුණු සෙවණ කඳවුරේ භටයන් සමග සමීප ඇසුරක් පවත්වනු ලැබුවා. ඔහු සිය පුත් චමින්දට විරුද්ධව සිටි උසස් පෙළ පන්තිවල සිසුන් 18 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සෙවණ හමුදා කඳවුරට භාරදුන්නා. මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් දෙනෙකු වුණු උදේෂ් සෙල්ලහේවා සහ බන්දු එක්තරා දිනයක පාසල ඇරී ගෙදර යන විට සෙවණ කඳවුරේ භටයෙකු බන්දුට කතා කර සිසුන් 18 දෙනා ඇතුළත් නම් ලැයිස්තුව පෙන්වා තිබුණා. එසේම උසස් පෙළ පන්ති රැස්වීම්වල දී විදුහල්පතිවරයා මෙම සිසුන් 18 දෙනාගේ නම් සඳහන් කර ඔවුන්ගේ විනය සැදීමට හමුදාවට භාර දෙන බවට තර්ජනය කරනු ලැබුවා.

11-A පන්තියේ තුළ සිදුවුණු ලියුම් පලහිලව්වෙන් පසුව එක්තරා දිනයක විදුහල්පතිවරයා එම පන්තිය වෙත පැමිණියා. ඔහු රසික කුමාර විජේතුංග, චාමර ජයසේන, සහ රුවන් රත්නවීර යන සිසුන්ට තර්ජනය කළේ ඉක්මනින්ම “තේක්ක කැලේට” යවන බව යි. එකල තේක්ක කැලය ලෙස හඳුන්වනු ලැබුවේ සෙවණ කඳවුරේ සිටි සිරකරුවන්ට අවසන් ඉරණම හිමිකරදුන් ස්ථානය යි. එසේම, උසස් පෙළ පන්තිවලට ඉගෙනුම ලබමින් සිටි උදේශ් සෙල්ල්හේවා ඇතුළු සිසුන් කිහිපයකට ද ටයර් උඩ යවන බව පවසා විදුහල්පතිවරයා තර්ජනය කර තිබුණා. එම කාලයේ දී චමින්දගේ මිතුරන් වුණු පිටස්තර පුද්ගලයෙන් පිරිසක් පාසලට පැමිණ 11-A පන්තියේ රසික ඇතුළු සිසුන් පිරිසකට පහරදුන්නා. නමුත් විදුහල්පතිවරයා එම සිද්ධිය පිළිබඳව කිසිදු සොයාබැලීමක් කළේ නැහැ. එදා 11-A පන්තියේ සිසුන්ගේ භාරයේ තිබුණු ලිපිය සියතට ගැනීමට විදුහල්පතිවරයාට අවශ්‍ය වුණා. එනිසා ඔහු රසිකගේ මව වුණු සුජාතා කළුගම්පිටියට සිය පුතාගෙන් ලිපිය ඉල්ලා දෙන පොඩි තර්ජනයක් කළා. නමුත් ලොකුගලප්පත්තිට එම ලිපිය ආපසු ලබාගැනීමට හැකියාවක්  ලැබුණේ නැහැ. 

සිසුන් දඩයම් කිරීම සඳහා කූට සැලසුමක් සකස් වෙයි 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයෙන් පැහැර ගැනීමට නියමිතව සිටි සිසුන්ගේ ලැයිස්තුව සෙවණ හමුදා කඳවුර වෙත ලැබී තිබුණත් එහි සිටි සෙබළුන් එම සිසුන්ව පුද්ගලිකව දැනගෙන සිටියේ නැහැ. එනිසා එම සිසුන්ව හමුදා භටයන්ගේ දෙනෙතට හසුකිරීම විදුහල්පතිවරයාගේ ඊළඟ සැලැස්ම වුණා. ඒ සඳහා ඔහු භාවිතා කළේ ඉතාමත් සූක්ෂම ක්‍රමවේදයක්. ඒ වන විට සෙවණ කඳවුරේ සේවය කළ හමුදා නිලධාරින් නිතරම විදුහල්පති කාර්යාලයට පැමිණියා. එවැනි අවස්ථාවන්වල දී විදුහල්පතිවරයා පැහැරගැනීමට අවශ්‍යව සිටි සිසුන්ව විවිධ හේතු කියමින් කාර්යාලය වෙත ගෙන්වා ගත්තා. 

11-A පන්තියේ පන්ති භාර ගුරුතුමිය වශයෙන් කටයුතු කළ සෝමාවතී මුණසිංහ නඩු විභාගයේ දී සාක්ෂි ලබාදුන් අවස්ථාවේ දී මෙයට සම්බන්ධ එක්තරා සිදුවීමක් පවසා සිටියා. 

11-A පන්තියේ පන්ති නායකයා ලෙස කටයුතු කළේ නිහාල් රණවීර නම් සිසුවා යි. එනිසා පන්ති වාර්තා පොත තිබුණේ ඔහු ළඟ යි. නමුත් විදුහල්පතිවරයා රුවන් රත්නවීර නම් සිසුවාට 11-A පන්තියේ පන්ති වාර්තා පොත ද රැගෙන ඔහුව හමුවීමට කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා සිටියා. එදා රුවන් කාර්යාලයට යන විට හමුදා නිලධාරින් ද එහි රැඳී සිටියා. ඒ අයුරින් රසික කුමාර, චාමර ජයසේන, ඇලෝසියස් ස්ටීවන්, සරත් චමින්ද ඇතුළු සිසුන් විශාල පිරිසක් වරින් වර විදුහල්පති කාර්යාලය වෙත ගෙන්වා ගැනීමට ලොකුගලප්පත්ති කටයුතු කළා.

විදුහල්පති කාර්යාලය වෙත කැඳවූ සිසුන්ට නම කියා ආමන්ත්‍රණය කිරීමට තරම් විදුහල්පතිවරයා සූක්ෂම වුණා. ඒ අයුරින් සිසුන්ට ඔවුන්ගේ නමෙන් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් එහි සිටි හමුදා භටයන්ට පැහැරගැනීමට අවශ්‍ය වුණු සිසුන්ගේ හැඩරුව දැකබලාගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුහල්පතිවරයා ඒ අයුරින් තමන්ව කාර්යාලය වෙත කැඳවනු ලැබුවේ අවසන් ඉරණම තීරණය කිරීමට බව කිසිදු සිසුවෙකුට වැටහී ගියේ නැහැ. තම පාසලේ විදුහල්පතිවරයා එතරම් දරුණු පුද්ගලයෙකු බව එම සිසු දරුවන් දැනගෙන සිටියේ නැහැ.

සති කිහිපයක කාලයක් තුළ සිදුවුණු එම සිදුවීම් පෙළෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ 11-A පන්තියේ සහ උසස් පෙළ පන්තිවල සිසු දරුවන් පමණක් නොව ඒ අවට පාසල්වල සිසු දරුවන් ද අභිරහස් ලෙස අතුරුදහන් වන්නට පටන් ගත්තා. ඉන් පසුව අතුරුදන් වුණු දරුවන්ට අත්වුණු ඛේදනීය ඉරණම පිළිබඳව මෙම ලිපියේ දෙවන කොටසින් කතා කරමු. 

කවරයේ ඡායාරූපය- භීෂණ සමයේ දර්ශනයක් (gettyimages)

මූලාශ්‍රයයන්- ඇඹිලිපිටිය මිනීපිටිය 

                         අඳෝනාව 

                         අමාවක සඳ යට 

                         ජවිපෙ 2 වැනි කැරැල්ල

Related Articles