Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඹිලිපිටිය සිසු ඝාතනයේ කඳුළු කතාව- අවසන් කොටස

ඇඹිලිපිටිය සිසු ඝාතනය 1988/89 භීෂණ සමයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. මෙම ලිපියේ පළමු කොටසින් එම යුගයේ දී ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ පැවති තත්ත්වය, සහ මෙම සිදුවීමට සම්බන්ධ වුණු ප්‍රධාන පුද්ගලයෙකු වුණු දයානන්ද ලොකුගලප්පත්තිගේ වෘත්තීය දිවියේ ආරම්භය පිළිබඳව අපි කතා කළා. එසේම භීෂණ සමයේ දී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ කලබල ආරම්භ වුණු හැටි, ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති තනතුරට පැමිණි ආකාරය පිළිබඳවත් අපි එම ලිපියෙන් කතා කළා. තව ද මධ්‍ය මහා විද්‍යාලයය තුළ ගැටලු ඇතිවීමට බලපෑ හේතු, විදුහල්පතිවරයාගේ දරුණු ක්‍රියා කලාපය, සහ ඔහු හමුදා සෙබළුන්ට සිසුන් අල්ලාදීමට සැලසුම් කළ ආකාරය පිළිබඳවත් එම ලිපියේ අඩංගු වුණා. මෙම ලිපියේ පළමු කොටස කියෙව්වේ නැති අයට මෙතැන ක්ලික් කරලා ඒ ලිපිය කියවන්න පුළුවන්.

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය සහ ඒ අවට පාසල් කිහිපයක සිසුන්ට අත්වුණු ඛේදජනක ඉරණම, මෙම සිදුවීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධතා, චූදිතයන්ට එරෙහිව පැවති නඩු විභාගය, නඩු විභාගය අවසානයේ දී ලැබුණු ප්‍රතිඵලය ආදී කරුණු ගණනාවක් පිළිබඳව යි මේ දෙවැනි සහ අවසන් ලිපියෙන් අප ඔබට කියන්නට යන්නේ. 

පළමු සිසුන් කිහිපදෙනා අතුරුදහන් වෙයි 

1989 ඔක්තෝබර් මාසය ආරම්භ වන විට, පැහැර ගැනීමට අවශ්‍ය සිසුන් කිහිපදෙනෙකු විදුහල්පතිවරයා සෙවණ කඳවුරේ සෙබළුන්ට පෙන්වා තිබුණා. සෙවණ කඳවුරේ සෙබළුන් ඔවුන්ගේ පළමු බිල්ල ගනු ලැබුවේ 1989 ඔක්තෝබර් 8 වැනිදා යි. සෙබළුන්ට ගොදුරු වුණේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසර විද්‍යා අංශයේ (ගණිත පන්තියේ) ඉගෙනුම ලබමින් සිටි ඇලෝසියස් ස්ටීවන් නම් සිසුවා යි. ඉතාමත් දිළිඳු පවුලක දරුවෙකු වුණු ඇලෝසියස් ගඟේයාය විදුහලෙන් සාමාන්‍ය පෙළ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. මුදල් අගහිඟකමෙන් පෙළුණු නිසා කිසිදු අමතර පන්තියකට සහභාගී නොවුණු ඇලෝසියස් සාමාන්‍ය පෙළ විභාගයෙන් D-6, C-2ක් වැනි උසස් ප්‍රතිඵලයක් ලබාගත්තා. ඉන් පසුව විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් පසුව තරමක් ප්‍රමාද වී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ විද්‍යා අංශයේ ගණිත පංතියට ඇතුළත් වීමේ වරම ඇලෝසියස්ට ලැබුණා.

පන්තියේ සිටි දක්ෂතම සිසුවෙකු වුණු ඇලෝසියස් රුසියානු පරිවර්තන කෘති කියවීමට විශාල කැමැත්තක් දැක්වුවා. විවේකයක් ලද අවස්ථාවල දී පන්තියේ දී පවා ඔහු එම කෘතීන් කියවනු ලැබුවා. ඇලෝසියස් වැනි දුප්පත්, අහිංසක දරුවෙකු මෙවැනි සිද්ධියකට නිකරුණේ පැටලීමට හේතුව එය වන්නටත් පුළුවන්. ඔක්තෝබර් 8 වැනිදා පාන්දර 3ට පමණ 6 දෙනෙකුගෙන් සමන්විත සෙබළුන් පිරිසක් ඇලෝසියස් සිසුවා ඔහුගේ නිවසෙන් පැහැරගත්තා. 

ඇලෝසියස් පැහැරගැනීමෙන් පාසල තුළ විශාල කලබැගෑනියක් ඇතිවුණා. එම තත්ත්වය තවත් වැඩිවුණේ ඊට ආසන්න දිනවල දී නිමල් සිසිර කුමාර, සරත් චමින්ද ඇතුළු උසස් පෙළ පන්තිවල තවත් සිසුන් පිරිසක් පැහැරගැනීමත් සමග යි. ඇලෝසියස් සිසුවා  පැහැරගත් දිනයට පසු දිනෙක ඔහුට සමාන්තර පන්තිවල සිසුන්ව කැඳවූ විදුහල්පතිවරයා පවසා තිබුණේ “අන්න ඇලෝසියස් සියල්ල වමාරනවා උඹලත් පරිස්සම් වෙලා හිටපල්ලා” යි. එනිසා 1989 ඔක්තෝබර් මාසයේ අවසානය ළඟාවන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිසුන් ජීවත් වුණේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිතතාව හා බැඳුණු දැඩි භීතියකින්. මෙම කාලයේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ විදුහල්පතිවරයාට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ.

ඇලෝසියස් පිළිබඳව ඔහුගේ පියා පැවසූ දේ එකල පුවත්පත්වල පළවුණු ආකාරය (Lankadeepa)

11-A පන්තියේ සිසුන් පිරිසක් අතුරුදහන් වෙයි 

11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ලියුමක පලහිලව්වක් නිසා විදුහල්පතිවරයාගේ පුත්‍රයා සමග ගැටුමක් ඇතිකරගත් ආකාරය මෙම ලිපියේ පළමු කොටසින් අපි කතා කළා. සිය පුත්‍රයා 11-A පන්තියේ සිටි පවිත්‍රා නම් දැරියට ලියූ එම ලිපිය සියතට ගැනීමට විදුහල්පතිවරයා උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අතරතුර 11-A පන්තියේ සිසුන් සහ චමින්ද ලොකුගලප්පත්තිගේ පිරිස අතර ගැටුම් ඇතිවුණා. එනිසා 1989 වසරේ නොවැම්බර් මාසය ආරම්භ වන විට 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකුගේ   අවසන් ඉරණම තීරණය කිරීමට පිඹුරුපත් සකස් වෙමින් තිබුණා.

11-A පන්තියේ සිසුන් අතුරින් මුලින්ම අතුරුදන් වුණේ රසික කුමාර විජේතුංග නම් සිසුවා යි. චමින්ද ලියූ ලිපිය මුලින්ම කියවූ රසික, 1989 නොවැම්බර් 6 වැනි දින රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි හමුදා භටයන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා. රසිකගේ මව වුණු සුජාතා කළුගම්පිටිය ඒ වන විට මොරකැටිය විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වුණු සුජාතා ඒ වන විට ජාතික සේවක සංගමයේ තනතුරක් පවා දරමින් සිටියා. එසේම ඒ වන විට මියගොස් සිටි රසිකගේ පියා ද එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි අයෙක්. එකල එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයන් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවල රසිකගේ නිවසේ රැස්වීම් පවා පැවැත්වුණු බව සුජාතා කළුගම්පිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්ෂ්‍යයක සඳහන් වුණා. එකල බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට හිතවත් පවුලක දරුවෙකු එලෙස අතුරුදහන් වීම කාගේත් විමතියට හේතු වුණා.

රසික අතුරුදහන් වී දින 5ක් ගතවන විට ඔහුගේ පන්තියේම චාමර සුදර්ශන ජයසේන සහ සිසිල් කුමාර යන සිසුන් දෙදෙනා අතුරුදහන් වුණා. චාමරගේ පියා එකල තුංකම මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළා. සිසිල්ගේ පියා ග්‍රාම නිලධාරියෙකු වූ අතර මව වෛද්‍යවරියක වුණා. ඔවුන් එම ප්‍රදේශයේ උසස් පවුල්වල දරුවන් වුණු නිසා මෙම පැහැරගැනීම් ගැන ප්‍රදේශයේ ජනතාව කම්පා වුණා. 

1989 නොවැම්බර් 14 වැනිදා 11-A පන්තියේ රුවන් රත්නවීර නම් සිසුවාට විදුහල්පතිවරයා පවසා තිබුණේ තමුන්ගෙනුත් කට උත්තරයක් ගන්න තියෙනවා, ළඟදීම හමුදාව ගෙදරට එයි යනුවෙන්. විදුහල්පති කාර්යාලයෙන් එළියට පැමිණි රුවන්ට නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක හමුවුණා. විදුහල්පතිවරයා තමාට පැවසූ දෑ රුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට පවසා සිටියා. ඔහු රුවන්ට පවසා තිබුණේ, “පුතේ ඔයා ඉක්මනින්ම කොහෙට හරි ගිහින් හැංගෙන්න” යනුවෙන්. නමුත් රුවන් සහ ඔහුගේ පවුලේ අය ක්‍රියාත්මක වීමට පෙර හමුදාව ක්‍රියාත්මක වුණා. 1989 නොවැම්බර් 16 වැනිදා රුවන් රත්නවීර සිසුවා ද අතුරුදහන් වුණා. 

අතුරුදහන් වුණු 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙක්. මෙහි ඉහළින් දැක්වෙන රූපයේ සිටින්නේ රුක්මන් සිසුවා යි (අඳෝනාව) 

නියෝජ්‍ය විදුහල්පතිවරයා ඝාතනය වෙයි 

1989 නොවැම්බර් 20 වැනිදා වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය කඩි ගුලක් සේ ඇවිස්සී තිබුණා. එම පාසලේ සිසුන් කිහිපදෙනෙකු සහ ආරියදාස නම් ගුරුවරයා ද අභිරහස් ලෙස අතුරුදහන් වී තිබුණා. එනිසා එදා පාසල තුළ දෙමාපියන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු අතර රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීම ආරම්භ වීමට පෙර නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක දෙමාපියන්ට පොරොන්දු වුණේ මෙම ප්‍රශ්නයේ දී දරුවන් වෙනුවෙන් හඬක් නගන බව යි. එදින විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම මෙහෙයවීම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පැවරී තිබුණා. දරුවන්ගේ පැත්තට කතා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පහත සඳහන් දේ පවසා තිබුණා. 

“අද නොවැම්බර් 20. මේ වන විට අපේ පාසලේ සිසුන් කිහිපදෙනෙක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තියනව. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. දෙමාපියන් අපේ පාසලට ඔවුන්ගේ දරුවන්ව එවන්නේ ලොකු විශ්වාසයකින්. ඒ හින්දා පාසලේ දරුවන් කිහිපදෙනෙක් අතුරුදහන් වුණාම අපට අත-කට බැඳගෙන ඉන්න බැහැ. මේ දරුවන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ පාසලේ ප්‍රධානියා වන විදුහල්පතිතුමා මේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕනි.”

නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කතාවෙන් දැඩි ලෙස කෝපයට පත්වුණු විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.

“මම මොනවා හිතන්න ද? මේකෙ ඉන්න ළමයි ඉස්කෝලෙ තියන හැම රහසක්ම දෙමාපියන්ගේ කනට දෙනවා. කොහොමත් මේකෙ ඉන්න ලොකු උන් ටිකක් උස්සන්නෙ නැතුව මේ වැඩේ කරන්න බැහැ”. 

විදුහල්පතිවරයා පැවසූ දෙයින් කෝපගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා, විදුහල්පති ඉලක්ක කරමින් පහත ආකාරයට කරුණු ඉදිරිපත් කළා.

“ඔබ තුමා එක අතකින් පිස්තෝලෙකුත්, අනිත් අතින් ග්‍රෙනේඩ් එකකුත් අරගෙන ඉස්කෝලෙ වටේ යනකොට දරුවොන්ට මොනව හිතෙනව ඇද්ද? මේව දරුවො ඉන්න තැනක කරන්න කොහොමත් සුදුසු වැඩ නෙවෙයි. ඉතින් ඕව දකින දරුවො ඒව ගෙවල්වල ගිහින් කීවම දෙමාපියන් ඔබතුමා ගැන මොනව හිතනව ඇද්ද?

නියෝජ්‍ය විදුහල්පතිවරයා එල්ල කළ දරුණු වාග් ප්‍රහාරයට විදුහල්පතිවරයා පහත අයුරින් පිළිතුරු දුන්නා.

“දෙමාපියන් මොනව හිතන්නද මං ගැන. එයාල තමන්ගේ දරුවන් ගෙදරදි හදාගන්නව නම් අපට මෙහෙදි උන්ව හදන්න ඕනි නෑනෙ”.

පිළිතුරු ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.

“සර් දරුවන්ගේ ප්‍රශ්න තියේනම් ඇයි ගුරුවරු හැටියට අපිට ඒව විසඳන්න බැරි? ඇයි අපි දරුවන්ගේ නම් ලැයිස්තු හමුදාව අතට දෙන්නෙ? අනිත් කාරණය තමයි අද අපේ පාසලේ ඉහළ පන්තිවල දරුවොත් ගුරු මණ්ඩලයත් දෙපැත්තට බෙදිල ගිහින්. ඒකට හේතුව ඔබතුමාගේ පුතා. ඒ වගේම ඔබතුමාගේ කාර්යාලයේ වගේම පාසල තුළ නිතරම හමුදා භටයන් දකින්නට හම්බෙනවා. මේව ගැන පාසලේ දරුවන් වගේම ඒ දෙමාපියනුත් ගොඩක් බයෙන් ඉන්නෙ”

එම චෝදනාවලට විදුහල්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙසේ යි.

“මෙතන තියනව කුමන්ත්‍රණයක්. මාවයි මගෙ දරුවවයි මෙතනින් පන්නගන්න සමහරුන්ට ඕනි වෙලා තියනව. හමුදාව ඉන්නෙ මගේ ආරක්ෂාවට මිසක් ළමයින්ට මුකුත් කරන්න නෙවෙයි”

එවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා පළකළේ මෙවැනි අදහසක්:

“එහෙනම් ඇයි සර් හමුදා භටයන් කාර්යාලෙ ඉද්දි ළමයින්ව ගෙන්වගෙන ළමයින්ගෙ නම් කියල කතා කරන්නෙ? මේක ඒ දරුවන්ව හමුදාවට හඳුන්වාදීමක් කියලයි මට හිතෙන්නෙ” 

එම කතාවට ගුරු මණ්ඩලයේ වැඩි දෙනෙකු ද එකඟතාවය පළ කළා. රැස්වීම අවසන්වීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා හිතවතෙකුට කියා තිබුණේ, “මං හෙට මැරුණත් කමක් නෑ, මං පාසලේ දරුවන් වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා” යන්න යි. එදින රාත්‍රී 1ට පමණ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට පැමිණි නාඳුනන කල්ලියක් එතුමා නිවසින් පිටතට ගෙන වෙඩි තබා මරා දමනු ලැබුවා. එය ඇඹිලිපිටියේ ජනයා මහත් සේ කම්පාවට පත්වුණු සිදුවීමක් වුණා. 

ගුණපාල දිසානායක නියෝජ්‍ය විදුහල්පතිවරයා (ඇඹිලිපිටිය මිනීපිටිය)

දිගින් දිගටම සිසුන් අතුරුදහන් වෙයි 

නියෝජ්‍ය විදුහල්පතිවරයා රැස්වීම පැවති දින මධ්‍යම රාත්‍රියේ ඝාතනය වීම නිසා දෙමාපියන් මෙන්ම දරුවන් ද බියෙන් සලිත වී ගියා. එය භයානක අනතුරක පෙරනිමිත්තක් බව ඔවුන්ට දැනුණා. නොවැම්බර් 30 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් දිනයේ යළි වැඩ ආරම්භ කළ සෙවණ කඳවුරේ සෙබළුන් 12 වාණිජ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි උදේෂ් කාවින්ද සෙල්ලහේවා නම් සිසුවා ඇඹිලිපිටිය බස් නැවතුමේ දී පැහැරගනු ලැබුවා. දෙසැම්බර් මාසයේ දී නලීන් කුමාර ගුණරත්න, නිලාන් මනෙල්ක ද සිල්වා, ප්‍රසන්න හඳුවල, රුක්මන් පරණවිතාන, පාලිත ලක්ෂ්මන් ගුරුගේ ඇතුළු සිසුන් ගණනාවක් පැහැරගනු ලැබුවා. ඒ අතරින් නිලාන් සහ රුක්මන් 11-A පන්තියේ සිසු දරුවන් වුණා. උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ නලීන් ගුණරත්න පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම කඩුලු රකින්නා ද වුණා. ඔහු ඒ වන විට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු විවියන් රිචඩ්ස්ගේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවක් සඳහා ද තේරී තිබුණා. 

ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ගෙවුණු කාල සමය තුළ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිටි චමින්ද රෝෂන්, වසන්ත ප්‍රියසමන්, අනුර ජනප්‍රිය, පාලිත, මහින්දපාල වික්‍රමසිංහ, අරුණ ප්‍රියසමන්, රෝහණ ඇතුළු සිසුන් පිරිසක් අතුරුදහන් වුණා. ඔවුන් විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව සෙවණ කඳවුරේ සෙබළුන් පැහැරගත් බව බොහෝ දෙනෙකු දැනගෙන සිටියත්, භීතිය නිසා කිසිවෙකු ඒ පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වුණේ නැහැ.  

අතුරුදහන් වුණේ මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් පමණක්ම නොවෙයි 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයට පසු වැඩිම සිසුන් පිරිසක් අතුරුදන් වුණේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයය හෙවත් උඩගම පාසලෙන්. මෙම පාසලෙන් මුලින්ම අතුරුදහන් වුණේ ඇල්ප්‍රඩ් පාලිත සහ සනත් ප්‍රියන්ත යන සිසුන් දෙදෙනා යි. ඒ 1989 අගෝස්තු 3 වැනිදා. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් වුණු ඔවුන් දෙපළ කුඩා ඔය කඳවුරේ පුහුණුවකට ගොස් තිබුණා. එම පුහුණුව අතරතුර ඔවුන් දෙදෙනා ගිනි අවි අතේ තබාගෙන ඡායාරූපවලට පෙනී සිටියා. ඔවුන් එහි මුද්‍රිත පිටපත් ගෙදර ගෙනගොස් දන්නා හඳුනන අයට ද පෙන්වනු ලැබුවා. යම් ආකාරයකින් එම ඡායාරූප සෙවණ කඳවුරු නිලධාරින්ගේ නෙත ගැටුණු නිසා සනත් සහ ඇල්ප්‍රඩ් අභිරහස් ලෙස අතුරුදහන් වුණා.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයයෙන් ඊළඟ සිසුන් කිහිපදෙනා අතුරුදහන් වීමට හේතුවුණේ 1989 නොවැම්බර් 17 වැනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාල පිටියේ දී එම විදුහල සහ උඩවලව විදුහල අතර පැවති ක්‍රිකට් තරගය යි. එම තරගය නැරඹීමට පැමිණි චමින්ද ලොකුගලප්පත්තිගේ මිතුරන් පිරිසක් සහ ඇඹිලිපිටිය විදුහලේ සිසුන් පිරිසක් අතර ගැටුමක් ඇතිවුණා. එනිසා ක්‍රිකට් තරගය පැවති දිනයේ රාත්‍රියේ තරගය සඳහා සහභාගි වුණු ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසුන් වුණු ධම්මික බැරගමආරච්චි, ප්‍රභාත් කුමාර සහ ප්‍රදීප් විජේසිංහ යන සිසුන් පැහැරගනු ලැබුවා. ඉන් දින 3කට පසුව නිහාල් සහ ඉන්දික මල්වත්ත යන සිසුන් දෙදෙනා පැහැරගනු ලැබුවා. ඔවුන් සියලුදෙනා 11 වසරේ ඉගෙනුම ලැබූ සිසුන් බව මෙහි දී සඳහන් කළ යුතු යි. ඊට අමතරව එම විදුහලෙන් පියසිරි, ජයසිරි, සහ ගුණසිරි නමින් සිසුන් තිදෙනෙකු ද අතුරුදහන් වී තිබුණා. ඒ අවට පිහිටා තිබුණු තවත් පාසල් 11ක පමණ දරුවන් අතුරුදහන් වී තිබුණා. 

අතුරුදහන් වුණු දරුවන්ගේ දෙමාපියන් ක්‍රියා කළ හැටි 

දරුවන් අතුරුදහන් වුණු විගස සෑම දෙමාපියෙකුම දුවගියේ විදුහල්පතිවරයා පදිංචිව සිටි නිල නිවාසය වෙතට යි. දෙමාපියන් තම දුක් ගැනවිල්ල විදුහල්පතිවරයා වෙත ඉදිරිපත් කළ විට ඔහු ඉතාමත් සැහැල්ලු විලාශයකින් පවසා තිබුණේ, “හමුදාව කට උත්තරයක් අරන් යන්න ගෙනියන්න ඇති, දරුව ඉක්මනට ආපහු එවාවි” යනුවෙන්. එසේම ඇතැම් දෙමාපියන් එහි ගිය විට විදුහල්පතිවරයා සෙවණ කඳවුරට දුරකතන ඇමතුමක් ගෙන දරුවන් එහි සිටිනවාදැ යි විමසා සිටියා. සමහර දෙමාපියන් දරුවන් පැහැරගත් සෙබළුන් පිටුපස සෙවණ කඳවුරටම ගියා. තරමක් බලවත් පවුල්වල දෙමාපියන් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරින් සහ දේශපාලන බලවතුන් මෙන්ම ප්‍රභූවරුන්ව සම්බන්ධ කරගනිමින් තම දරුවන්ව නිදහස් කරගැනීමට උත්සාහ කළා. නමුත් ඒ කිසිදු දෙමාපියෙකුට සෙවණ කඳවුරෙන් සිය දරුවන් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

සිසුන්ට ලබාදී තිබුණු අමානුෂික වධ

සෙවණ කඳවුර තුළ සිසුන්ට ලබාදුන් වධ හිංසා දැක තිබුණු පුද්ගලයන් තිදෙනෙකු සිටියා. ඒ සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් යන පුද්ගලයන් තිදෙනා යි. ස්ටීවන්, 1989 ඔක්තෝබර් 8 වැනිදා පැහැරගත් ඇලෝසියස්ගේ පියා යි. එදා සෙවණ කඳවුරේ සෙබළුන් මොවුන් දෙදෙනා ද කඳවුර වෙත රැගෙන ආවා. මුල් දිනවල දී ඔවුන්ට ද දස වධ දෙමින් ප්‍රශ්න කළත් පසුව ඔවුන් දෙදෙනා අත් උදව් කරුවන් ලෙසින් කඳවුර තුළ රඳවා ගත්තා. ඒ අයුරින් කඳවුර තුළ රැඳී සිටි ස්ටීවන්ට එක්තරා දිනයක සිය පුත්‍රයාව දැකගන්නට ලැබුණා. ඒ වන විට ඔහුගේ පිට සම්පූර්ණයෙන්ම ඉස්ත්‍රික්කවලින් පුළුස්සා තිබුණා. ඊට අමතරව පොළුවලින් පහරදීම, මිරිස් කුඩු යෙදූ කවර හිසට දමා පහරදීම ඇතුළු වධ බන්ධන ගණනාවක් ලබාදුන් බව ස්ටීවන් සහ සිරිල් පසු කලෙක අනාවරණය කළා. එසේම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් ගණනාවක් එම කඳවුර තුළ සිටි බව ඔවුන් දෙදෙනා හඳුනාගත්තා. 

1990 ජනවාරි 1 වැනිදා කඳවුරෙන් නිදහස් වුණු සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් ඔවුන් දුටු දේ අනාවරණය කළේ භීෂණකාරී වාතාවරණය නිමාවීමෙන් පසුව යි. ඔවුන් තිදෙනා නිදහස් කළ අවස්ථාවේ දී, “කඳවුර තුළ දැක්ක කිසිම දෙයක් හෙළිදරවු කළොත් ලැබෙන දඬුවම මරණය” බවට හමුදා නිලධාරීන් ඔවුන්ට තර්ජනය කර තිබුණා. 

නොවැම්බර් 30 වැනිදා අතුරුදහන් වුණු උදේෂ් සෙල්ලහේවාගේ මාමාවරුන් දෙදෙනාම පොලිසියේ උසස් නිලතල දැරුවා. ඔවුන් සිය සබඳතාවන් භාවිතා කරමින් සෙවණ කඳවුරේ ප්‍රධානීන් හමුවීමට අවස්ථාවක් ලබාගෙන තිබුණා. එහි ගිය එම පොලිස් නිලධාරින් දෙදෙනා ද, කඳවුරේ සිසුන් සිටි ආකාරය දැක දරාගන්නට අපහසු වුණු බව පසුව පවසා සිටියා. තව ද ප්‍රසන්න හඳුවල නම් සිසුවා නිසා ද කඳවුරේ දී ලබාදුන් වධ බන්ධන ගැන හෙළිදරවු වුණා. හමුදා භටයන් ප්‍රසන්න සොයාගෙන නිවසට එන විට ඔහු සිටියේ ගාල්ලේ ඥාති නිවසක යි. නමුත් නීතිගරුක විදුහල්පතිවරයෙකු වුණු ප්‍රසන්නගේ පියා ෂෙල්ටන් හඳුවල හමුදාවේ නියෝගය අකුරටම පිළිපදිමින් සිය දරුවා සෙවණ කඳවුර වෙත ගොස් භාරදුන්නා.

ඉන් ටික දිනකට පසුව කඳවුරෙන් ප්‍රසන්න නිවසට භාරදුන්නේ අසනීප තත්ත්වයේ පසුවන බව පවසමින්. හමුදා නිලධාරින් අවධාරණය කර තිබුණේ දරුවා සුව කරගෙන යළි කඳවුර වෙත ගෙනැත් දෙන ලෙස යි. ප්‍රසන්නට තදබල උදරාබාධයක් වැළඳී තිබුණු නිසා ඔහුගේ දෙමාපියන් දරුවාට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. විරේකයක් කිරීමෙන් පසුව බල්බ්වල වීදුරු කටු, ඉස්කුරුප්පු ඇණ, ස්පොන්ජ් ආදිය එළියට ආවා. පසුව දැනගන්නට ලැබුණේ එහි සිටි පිරිස දරුවාට බලෙන් ඒ දේවල් ගිල්ලවා තිබුණු බව යි. 

සෙවණ කඳවුර පැවති ස්ථානය (අඳෝනාව) 

දරුවන්ට අත්වුණු අවසන් ඉරණම පිළිබඳව හෙළිදරවු වීම  

1990 ජනවාරි මාසයේ 24 වැනිදා සෙවණ හමුදා කඳවුරේ සෙබළුන් එම කඳවුරෙන් නික්ම ගියා. ඊට පෙර දින රාත්‍රියේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාල පිටියේ සංගීත සංදර්ශනයක් ද පවත්වා තිබුණා. සෙබළුන් එහි දී හොඳින් කා බී විනෝද වී තිබුණා. එම කඳවුරේ සිටි සිසුන් ඇළුමීනියම් තහඩු ගැසූ ලොරියකින් ඉවතට ගෙන ගොස් තිබුණා. ඔවුන් ඇඹිලිපිටිය-තණමල්විල මාර්ගයේ තේක්ක කැලය නම් ස්ථානය වෙත ගෙන ගොස් මරා දැමූ බවට එකල රාවයක් පැවතුණා. හරක් බැඳීමට ගිය එක්තරා පුද්ගලයෙකු සිසුන් මරා දැමූ ආකාරය පිළිබඳව පසු කලෙක හෙළිදරවු කළා. 

තේක්ක කැලේ නමින් හැඳින්වූ ප්‍රදේශය (ඇඹිලිපිටිය මිනීපිටිය)

අතුරුදහන් වුණු උදේෂ් සෙල්ලහේවාගේ පෙම්වතිය වුණු බුත්තල ප්‍රදේශයේ විසූ නිලූ නම් තරුණියට සෙවණ කඳවුරේ සිටි මිතුරෙකු ලියුමක් එවා තිබුණා. උදේෂ් ඇතුළු පිරිසට අවසන් ඉරණම අත්වුණු බව එහි ද ලියැවී තිබුණා. පොලිසියේ උසස් නිලධාරියෙකු වුණු උදේෂ්ගේ පොඩි මාමා සිය ඥාති පුත්‍රයාට අත්වුණු ඉරණම පිළිබඳව දිගින් දිගටම සොයා බැලුවා. අවසානයේ දී මෙම සිසු පිරිසට අත්වුණු අවාසනාවන්ත ඉරණම පිළිබඳව ඔහුට හෙළිදරවු වුණේ, කලකිරීම නිසා සෙවණ කඳවුරෙන් ඉවත්වුණු සෙබළෙකුගේ මාර්ගයෙන්. විදුහල්පතිවරයා ද සිසුන්ට අත්වුණු අවසන් ඉරණම දැනගෙන සිටියා. ඔහු 11-A පන්තියේ අතුරුදහන් වුණු සිසුන් කිහිපදෙනෙකුගේ නම් පන්ති නාමලේඛනයෙන් ඉවත් කර තිබුණා. පන්ති භාර ගුරුතුමිය වුණු සෝමාවතී මුණසිංහ ඒ පිළිබඳව නඩු විභාගය අතරතුර හෙළිදරවු කළා 

නිලූ වෙත හමුදා සෙබළා එවූ ලිපිය (ඇඹිලිපිටිය මිනීපිටිය)

මියගිය දරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නැති බව හෙළිදරවු වෙයි 

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ ගුරුවරයෙකු වුණු බුද්ධික කුලතුංග ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට එකල රාවයක් පැතිර තිබුණා. ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය භට බලකායේ සිසුන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ බවට මතයක් පැවතුණා. එසේම ඔහු ජවිපෙ පන්ති පැවැත්වූ බවට ද කටකතා පැතිර ගියා. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම, තුංකම දී හමුදා බස් රථයකට බිම් බෝම්බයක් ඇටවීම, පුද්ගල ඝාතන සිදුකිරීම, ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා රැසක් මියගිය සිසුන්ට එරෙහිව එල්ල වුණා. නමුත් අවසානයේ දී රහස් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වුණේ මෙම සිසුන් එවැනි ක්‍රියා සඳහා සම්බන්ධ වී නැති බවයි.

සැකකරුවන්ට එරෙහිව නඩු පැවරෙයි 

1990-1994 කාල සමය තුළ ඇඹිලිපිටියේ අතුරුදහන් වූ සිසුන්ගේ දෙමාපියන් සිය දරුවන් සොයාගන්නට විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා වෙනම සංවිධානයක් පවා පිහිටවනු ලැබුවා. 1994 වසරේ මුල් භාගයේ දී ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයෙන් සමූහ මිනීවලක් මතුවීමත් සමගම යළි ඇඹිලිපිටිය සිසු ඝාතනය කරළියට ආවා. එදා එය යටපත් කිරීමට උත්සාහ කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සූරියකන්දෙන් මතුව ඇත්තේ හරක් ඇටකටු බව පවසා සිටියා. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූරියකන්ද සිදුවීම පිළිබඳව උනන්දු වුණා. නුදුරු දිනක දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණයේ දී එයින් වාසියක් ලබාගැනීමට ඔවුන් උත්සාහ දැරුවා.

සූරියකන්ද සමූහ මිනීවලේ කැණීම් අතරතුර (JDS)

ඇඹිලිපිටියේ අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන් පොදු පෙරමුණු මැතිවරණ වේදිකාවේ කතා කළා. පොදු පෙරමුණු රජයක් බලයට පත්වීමත් සමග ඇඹිලිපිටිය සිදුවීම විභාගයට ගැනුනේ දෙමාපියන් සහ මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් රජයට කළ බලපෑම් නිසා යි. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව රට තුළත් මහා කැළඹීමක් ඇතිව තිබුණා. එනිසා පහත නම් සඳහන් කර තිබෙන විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.

1) දයානන්ද ලොකුගලප්පත්ති 

2) චමින්ද ලොකුගලප්පත්ති 

3) රෝහණ පරාක්‍රම ලියනගේ 

4) ජාලිය ධනංජය ඈපා 

5) ගවේෂ් ගිනිගේ 

6) වජිර විශිෂ්ඨ චාමරසිංහ 

7) සමරතුංග ආරච්චිලාගේ සේනාරත්න 

8) කාරියවසම් සපුතන්ත්‍රි ගමගේ උපුල්චන්ද්‍ර 

9) ජැක්සන් කුමාරසිංහ 

1996 ජනවාරි 26 වැනිදා රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ඉදිරියේ නඩු විභාගය ආරම්භ වුණා.

ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා අධිකරණ බිම වෙත පැමිණෙමින් (අඳෝනාව)

අවසානයේ දී යුක්තිය ඉටු වුණා ද? 

පිටු 16000කට ආසන්න වුණු නඩු වාර්තාව වසර 3කට වැඩි කාලයක් විභාගයට ගත්තා. අවසානයේ දී 1999 පෙබරවාරි 10 වැනිදා නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එම තීන්දුවට අනුව දෙවන සහ තෙවන විත්තිකරුවන් වුණු චමින්ද ලොකුගලප්පත්ති සහ පරාක්‍රම ලියනගේ කිසිදු දඬුවමකට යටත් වුණේ නැහැ. ඉතිරි විත්තිකරුවන්ට වසර 10 බැගින් සිර දඬුවම් හිමි වුණා. එලෙස දඬුවම් ලැබූ සියළුදෙනාම අද වන විට සිරෙන් නිදහස් වී සාමාන්‍ය ජීවිතයක් ගතකර තිබෙනවා. නමුත් අතුරුදහන් වුණු දරුවන්ගේ පවුල්වල දෙමාපියන් පමණක් නොව සහෝදර සහෝදරියන් ද දශක 3කට වැඩි කාලයක් පුරාවට සිය දරුවන් නැති දුකින් වැළපෙනවා. උදේෂ් සිසුවාගේ මව වුණු මංගලිකා හෙට්ටිආරච්චි මහත්මිය සිය දරුවා නැති සොවින් නොකා නොබී වැළපෙමින් සිට, 1992 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී මියගියා. එදා මියගිය අහිංසක දරුවන්ට දශක 3ක් ගෙවී ගියත් යුක්තිය ඉටුවී නැති බව සඳහන් කළ යුතු යි.

උදේෂ්ගේ මව මියගිය පුවත එකල පුවත්පත්වල සටහන් වුණු අයුරු (Divaina)

කවරයේ ඡායාරූපය- භීෂණ සමයේ දර්ශනයක් (gettyimages)

මූලාශ්‍රයයන්- ඇඹිලිපිටිය මිනීපිටිය 

                         අඳෝනාව 

                         අමාවක සඳ යට 

                         ජවිපෙ 2 වැනි කැරැල්ල 

Related Articles