Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හේඩ්‍රියන් අධිරාජයාගේ ගැටවර​ ආදරවන්තයා

රෝමන් අධිරාජ්‍යයේ බලය උපරිම වූයේ මැකියාවෙල්ලි විසින් “යහපත් අධිරාජයින් පස් දෙනාගේ” සමය ලෙස හඳුන්වන ලද සමයේ යි. එකල රෝමය පාලනය කළ එක් අයකු වූයේ හේඩ්‍රියන් අධිරාජයා යි. ඔහු 117 සිට 138 තෙක් රෝමය පාලනය කළා.

තම පාලන සමය තුළ හේඩ්‍රියන් රෝමයේ සෑම ප්‍රදේශයකම පාහේ සංචාරය කළා. ඔහු එමෙන්ම ඔහු ගොඩනැගිලි සහ නගර ඉදි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. යුද්ධය සහ ව්‍යාප්තියට වඩා ඔහු උනන්දු වූයේ රෝම අධිරාජ්‍යයට එවක යත්ව තිබූ ප්‍රදේශයන්හි බලය තහවුරු කිරීම යි. බ්‍රිතාන්‍ය දූපත්හි රෝම පාලන ප්‍රදේශයේ උතුරු සීමාවෙහි වූ “හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය” ඉදි කිරීම මෙහි එක් වැදගත් අවස්ථාවක් ලෙස ගත හැකියි.

හේඩ්‍රියන්ගේ ප්‍රාකාරයේ කොටසක් (Wikimedia Commons)

රෝම අධිරාජ්‍යයේ පාලකයින්ගේ සහ උසස් පැළැන්තියේ පුද්ගලයින්ගේ ලිංගික ජීවිත පිළිබඳ බොහෝ කරුණු ලියවී තිබෙනවා. රෝමයේ ලිංගික පුරුදු පිළිබඳ හොඳ සාක්ෂ්‍ය සැපයූ ස්ථානයක් වූයේ පොම්පෙයි නගරය යි.

කියවන්න​: වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ

හේඩ්‍රියන් අධිරාජයා සමරිසියකු ලෙස සහ ළමා අපචාරකයකු ලෙස වුව ද විස්තර කළ හැකි අයෙක්. කෙසේ නමුත් එකල රෝමයේ ඔහුගේ ලිංගික පුරුදු විශේෂයෙන් අසාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේ නැහැ. වෙනත් ඇතැම් අධිරාජයින් තම සහෝදරියන් සමග පවා ලිංගික සබඳතා පැවැත්වූ අවස්ථා තිබෙනවා. ඇතැම්විට එවැනි සිදුවීම් පිළිබඳ කටකතා එකල නිර්මාණය කෙරුණා. උදාහරණයක් ලෙස නීරෝ අධිරාජයා තම මව සමග ලිංගික සබඳතා පැවැත්වීයැ යි පුරාවෘත්තයක් නිර්මාණය වී තිබුණා. එය ඔහුගේ සතුරන් විසින් නිර්මාණය කෙරුණක්යැ යි සැක කෙරෙනවා.

රෝමයේ ඉහළ පැළැන්තිවල සමලිංගික සබඳතා ගැරහීමට ලක් වූයේ නැහැ. නමුත් වඩා වැදගත් වූයේ එහි නිරතවන අය කිනම් ආකාර වේ ද යන්න යි. ඇතැම් සබඳතාවල දී එක් අයකු දුබලයා ලෙස ද අනෙකා ප්‍රබලයා ලෙස ද හැසිරුණා. සමලිංගික සබඳතාවක දී දුබලයා ලෙස හැසිරෙන්නා රෝම සමාජයේ ගරු කටයුතු අයෙකු වූයේ නැහැ.

විවාහය

හේඩ්‍රියන් උපන්නේ 76 ජනවාරි 24 වන දා යි. ඔහුගේ පියා මියගිය පසු 86 දී ට්‍රාජන් ඔහුගේ භාරකරු බවට පත් වුණා. 98 දී ට්‍රාජන් අධිරාජයා බවට පත් වූ පසු හේඩ්‍රියන් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සාමාන්‍ය පිළිගැනීමකට පත් වුණා.

හේඩ්‍රියන් ක්‍රි.ව​. 100 දී ට්‍රාජන්ගේ සහෝදරියගේ පුත්‍රයාගේ දියණිය වූ විබියා සබීනා සමග විවාහ වුණා. ඔවුන් අතර විවාහය සාර්ථක වූයේ නැහැ. නමුත් සබීනාගේ මරණය තෙක්ම විවාහය පැවතුණා. මෙම විවාහය ට්‍රාජන්ගේ බිරිඳගේ මැදිහත් වීමෙන් වූ බව යි පැවසෙන්නේ. එහි වැදගත්ම ප්‍රතිඵලය වුණේ හේඩ්‍රියන්, ට්‍රාජන්ගේ පවුලෙහි සාමජිකයකු බවට පත් වීම යි.

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති හේඩ්‍රියන්ගේ සන්නාහයෙන් සැරසුණ ප්‍රතිමාවක් (Wikimedia Commons)

හේඩ්‍රියන් සහ සබීනා දෙදෙනාට දරුවන් වූයේ නැහැ. ඊට හේතුව හේඩ්‍රියන් පුරුෂයින්ට වඩා ප්‍රිය වූ නිසා බව යි සඳහන් වන්නේ. මේ අතර සබීනා වෙනත් සබඳතාවල ද පැටළුණ බව සඳහන් වනවා.

ඇන්ටිනුස්

හේඩ්‍රියන්ගේ ප්‍රියතම පුරුෂයා හෙවත් ආදරවන්තයා ලෙස ප්‍රකට වූ ඇන්ටිනුස් ඔහුට මුණගැසුණේ ක්‍රි.ව​. 123 දී පමණ ඔහු සුළු ආසියාවෙහි සංචාරය කරන සමයේ යි. ග්‍රීක තරුණයකු වූ ඇන්ටිනුස් එකල වයස අවුරුදු 13ක 14ක අයෙකු වුණා. ඔහු හේඩ්‍රියන්ගේ සමීපතමයා බවට පත් වුණා. ඇතැම්විට​, ග්‍රීක ශිෂ්ටාචාරය කෙරෙහි හේඩ්‍රියන් තුළ වූ ආකර්ශණය ඔහුව ග්‍රීක තරුණයකු වෙත ළං වීමට හේතුවක් වන්නටත් ඇති.

හේඩ්‍රියන් සහ ඇන්ටිනුස් අතර ඉතා සමීප බැඳීමක් වීයැ යි සඳහන් වෙතත් ඒ පිළිබඳ වැඩි විස්තර හමුවන්නේ නැහැ. ඇන්ටිනුස්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව පවා නිශ්චිත තොරතුරක් නැහැ.

ඉතිහාසකරුවන් දන්නා දේ නම් ඇන්ටිනුස් 130 ඔක්තෝබරයේ දී ඊජිප්තුවේ නයිල් නදියෙහි ගිලී මියගිය බව යි. මෙය සිදු වූයේ හේඩ්‍රියන්ගේ ඊජිප්තු සංචාරය අතරතුර යි. ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණි හේඩ්‍රියන්ගේ කණ්ඩායම නයිල් නදිය දිගේ ඉහළට ගමන් කළා. ඒ අතරවාරයේ ඔවුන් ගමන් කළ නැවෙන් ගඟට වැටී දියේ ගිලී ඇන්ටිනුස් මියගිය බව කියනු ලබනවා. හේඩ්‍රියන් තම ස්වයං චරිතාපදානයෙහි සඳහන් කරන්නේ ද ඇන්ටිනුස්ගේ මරණය ද එසේ වූ බව යි.

ඇන්ටිනුස්ගේ මරණය පිළිබඳ ඇති අනෙක් අනුමාන අතර ඔහු ඝාතනය වූයේ හෝ සිය දිවි නසාගත්තේ හෝ යයි සැකයන් ද පවතිනවා. තවද ඔහු හේඩ්‍රියන්ගේ ඉල්ලීම මත ජීවිතය බිල්ලට දුන්නේයැ යි ද සැකයක් තිබෙනවා. ඇන්ටිනුස් ජීවිතය බිලි දීමෙන් හේඩ්‍රියන්ගේ ජීවිත කාලය දිගු වේයැ යි අපේක්ෂා කළ බව යි මෙම මතය ඉදිරිපත් කරන්නන් කියා සිටින්නේ. ඇන්ටිනුස් මියගියේ ඊජිප්තු වැසියන් ඔසයිරස් දෙවියන්ගේ මරණය සමරන දිනයේ දීම වීම මෙම මතය ප්‍රචලිත වීමට තවත් හේතුවක් වුණා. පුරාවෘත අනුව​, ඔසයිරස් මරණයෙන් පසු යළි ප්‍රාණය ලැබුවා.

ඩෙල්ෆි හිදී හමුවූ ඇන්ටනුස්ගේ ප්‍රතිමාවක් (Wikimedia Commons)

වඩාත් කරුණු සොයාගත හැක්කේ ඇන්ටිනුස්ගේ මරණයෙන් පසු හේඩ්‍රියන් ඔහු ස්මරණය කළ ආකාරය පිළිබඳව යි. හේඩ්‍රියන් ගැහැණියක මෙන් වැලපුණ බව යි සඳහන් වන්නේ. පසුව හේඩ්‍රියන් විසින් ඇන්ටිනුස්ව දේවත්වයට උසස් කෙරුණ අතර ඔහු ගිලී මියගිය ස්ථානය කිට්ටුවෙන්ම ඇන්ටිනූපොලිස් නම් නගරයක් ඉදි කළා. එමෙන්ම ඇන්ටිනුස්ගේ ප්‍රතිමා ගණනාවක් නිර්මාණය කෙරුණා. ඒවායේ ඔහුව පෙන්නුම් කළේ සවිමත් සහ ආකර්ශනීය සිරුරකින් හෙබි අයකු ලෙස යි. ඇන්ටිනුස්ගේ ප්‍රතිමා කෙතරම් නිර්මාණය වූයේ ද යත්, රෝමන් යුගයේ පුද්ගල ප්‍රතිමා අතුරින් ඇන්ටිනුස්ගේ ප්‍රතිමාවලට වඩා වැඩිපුර ප්‍රතිමාවන් ඉතිරිව ඇත්තේ දෙදෙනකුගේ පමණ යි. ඒ ඔගස්ටස් සහ හේඩ්‍රියන් යන අධිරාජයින් දෙදෙනාගේ ප්‍රතිමා යි.

Cover Image: බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හේඩ්‍රියන් සහ ඇන්ටනුස්ගේ කිරිගරුඬ ප්‍රතිමා 

මූලාශ්‍රයයන්:

1. The Roman Empire: Rise and Fall by Stephen P. Kershaw

2. Hadrian: An Emperor’s Love (British Museum)

Related Articles