ඝාතන තැත් අටකින් දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය අධිරාජිණිය

ශ්‍රී ලංකාව ද ඇතුළු ව ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් සහ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් ඝාතනයට ලක් වූ අවස්ථා රැසක් තිබේ. ඕනෑම ඝාතනයකට සම්බන්ධ අපරාධකරුවන් හොඳින් සැලසුම් කර ඝාතන කුමන්ත්‍රණ සිදු කළ නිසා එවැනි කුමන්ත්‍රණයකින් දිවි ගලවා ගත් පුද්ගලයන් සිටින්නේ අතළොස්සකි.

එවැනි පසුබිමක අඩ සියවසකටත් වැඩි කාලයක් එක් රටක පමණක් නොව ‍රටවල් සිය ගණනකින් සැදුම්ලත් අධිරාජ්‍යයක සිහසුන දැරූ කාන්තාවක ඝාතන තැත් අටකින් දිවි ගලවා ගත් බව කියතොත් එය විශ්වාස කිරීමත් සමහරකුට අපහසු වනු ඇත.

මේ රාජ්‍ය නායිකාව අන් කවරකුත් නොව 1837 සිට 1901 දක්වා වසර 103ක් පමණ මහා බ්‍රිතාන්‍යයේත්, ඊට යටත් ව පැවති ශ්‍රී ලංකාව ද ඇතුළු අනිකුත් සියලු ම රටවලත් රාජ්‍ය නායිකාව වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රිනා රැජන යි. ඇය ඝාතනය කිරීමට විවිධ පුද්ගලයන් අවස්ථා අටක දී උත්සහ කළ නමුත් ඒ කිසිදු උත්සාහයක් සාර්ථක වුයේ නැත. මෙම ලිපිය වික්ටෝරියා රැජන මුහුණ දුන් එම ඝාතන තැත් අට පිළිබඳ යි.

වික්ටෝරියා රැජන – www.commons.m.wikimedia.org

පළමු ඝාතන තැත – 1840 ජූනි 10

වික්ටෝරියා රැජන සහ ඇල්බට් කුමරුන්ගේ විවාහයෙන් මාස හතරකට පසු, එනම් 1840 ජූනි 10 දින ඔවුන් දෙදෙනා විවෘත අශ්ව කරත්තයකින් බකිංහැම් මාලිගයේ සිට ‘හයිඩ් පාර්ක්’ නමින් හැඳින්වෙන උද්‍යානය හරහා සංචාරයක යෙදෙමින් සිටියහ.

බකිංහැම් මාලිගයේ සිට මීටර් සියයක වැනි දුරක් ගමන් කරන විට ඇල්බට් කුමරුන්ට දක්නට ලැබුණේ තරුණ පෙනුමැති පුද්ගලයෙක් ඔවුන් දෙසට යමක් මානාගෙන සිටින අයුරු යි. ඒ වන විට වික්ටෝරියා රැජින සිව් මස් ගැබිණියක් ද වූවා ය. ඉදිරියෙන් තමන් දෙස බලා සිටි පුද්ගලයා පිළිබඳ සැක සිතී, ඇල්බට් කුමරු රියදුරුට අශ්ව කරත්තය නතර කරන ලෙස අණ කිරීමට සූදානම් වන විට ම, පිස්තෝලයක් ද අතැති ව ඔවුන් දෙස බලා සිටි තරුණ පෙනුමැති පුද්ගලයා රැජන දෙසට වෙඩි තැබුවේ ය.

එම අවස්ථාවේ අපරාධකරු සහ රැජන අතර තිබුනේ අඩි හයක් වැනි ඉතා කෙටි දුරක් වුවත් අසල සිටි අශ්වයකු දෙස බැලීමට වම් පසට හැරී සිටි රැජනට වෙඩි තැබීමෙන් කිසිදු අනතුරක් සිදු නොවිණි. අපරාධකරු දෙවැනි වරට වෙඩි තැබීමට සූදානම් වන විට ම රැජන ඉන් ආරක්ෂා වීම සඳහා බිමට නැමුණා ය. එම අවස්ථාවේ දී අසල රැස්ව සිටි පිරිස අපරාධකරු අල්ලා ගත්හ.

ඇල්බට් කුමරු සහ වික්ටෝරියා රැජින කිසිවක් නොවූ පරිද්දෙන් සිය සංචාරය සඳහා ඉන් අනතුරුව  පිටත්ව ගිය අතර ඒ පිළිබඳව ඇල්බට් කුමරු වරෙක ඔහුගේ දිනපොතක සඳහන් කර ඇත්තේ මේ අයුරිනි:

“කිසිවක් නොවූ පරිද්දෙන් උද්‍යානය මැදින් අපි ගමන් කළෙමු. ඒ වික්ටෝරියාට පිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීමටත්, අසල රැස්ව සිටි පිරිසට අප එම සිදුවීමෙන් කලබල නොවූ බව පෙන්වීමටත් ය”

එදින ම එම අපරාධකරු එඩ්වඩ් ඔක්ස්ෆර්ඩ් නම් තරුණයකු බව හඳුනා ගැනිණි. ඔහු මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බව හඳුනා ගත් බැවින් වසර 24ක කාලයක් පුනරුත්ථාපන කඳවුරක රඳවා තැබිණි. පසුව පැවැති නඩු විභාගයකින් අනතුරු ව ඔහු ඔස්ට්‍රේලියාවට පිටුවහල් කර යවා තිබේ.

එඩ්වඩ් ඔක්ස්ෆර්ඩ් – www.britishmuseum.org

දෙවැනි ඝාතන තැත – 1842 මැයි 29

පළමු ඝාතන කුමන්ත්‍රණයෙන් දිවි ගලවා ගෙන වසර දෙකකට පසු, එනම්, 1842 මැයි 29 වැනි දින වික්ටෝරියා රැජන සහ ඇල්බට් කුමරු ශාන්ත ජේම්ස් මාලිගයේ පිහිටි දේවස්ථානයේ පැවැති ඉරිදා උදැසන දේව මෙහෙයකට සහභාගී වී ආපසු එමින් සිටියහ.

අවට පරිසරය පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වූ ඇල්බට් කුමරුන්ට තරමක් රෝගී පෙනුමැති පුද්ගලයකු කුඩා පිස්තෝලයක් ඔවුන් දෙසට එල්ල කර ගෙන සිටින අයුරු දක්නට ලැබුණේ ය. පිස්තෝලකරු වෙඩි තැබීමට උත්සහ කළත් එම පිස්තෝලය ක්‍රියාත්මක නොවූ අතර එසැණින් සිය කබාය තුළ පිස්තෝලය සඟවා ගත් ඔහු අසල පිහිටි වන ලැහැබකට ගමන් කළේය.

වික්ටෝරියා රැජන සහ ඇල්බට් කුමරු – www.theguardian.com

තෙවැනි ඝාතන තැත- 1842 මැයි 30

රැජන ඝාතනය කිරීමට උත්සහ කල පුද්ගලයා වන ලැහැබක් තුළට ගමන් කළ බව ඇල්බට් කුමරු, රැජනගේ ආරක්ෂකයන්ට දැනුම් දුන්නේ ය. රැජනට බකිංහැම් මාලිගයෙන් පිටතට නොයන ලෙස ඇල්බට් කුමරු උපදෙස් දුන් නමුත් ඇය තදින් කියා සිටියේ එම පිස්තෝලකරු අල්ලා ගන්නා තුරු තමන්ට බකිංහැම් මාලිගයට වී සිටීම කළ නොහැකි බව යි.

අපරාධකරු අල්ලා ගැනීමට තිබෙන වඩාත් ම සුදුසු ක්‍රමය රාජකීය යුවළ මාලිගයෙන් නැවැතත් පිටතට යාම බව තීරණය කළ ඇල්බට් කුමරු සහ වික්ටෝරියා රැජන 1849 මැයි 30 දින අශ්ව කරත්තයක නැගී මාලිගයෙන් පිටතට ගමන් කළෝ ය. ඇල්බට් කුමරුන් පෙර දින ඔහු දුටු පිස්තෝලකරුගේ හැඩරුව පිළිබඳ ලබා දුන් තොරතුරු ද සමඟ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂකයන් ගණනාවක් රාජකීය යුවළ ගමන් ගන්නා මාර්ගය දෙපස සහ ඒ අසල ප්‍රදේශවල රැඳී සිටියහ. එම නිසා එක්තරා ස්ථානයක දී රැජන දෙසට වෙඩි තැබීමට සුදානම් වූ අපරාධකරු අල්ලා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

ඔහු ඊට පෙර දින රැජනට වෙඩි තැබීමට උත්සහ කළ පුද්ගලයා ම වූ ජෝන් ජේම්ස් ෆ්‍රැන්සිස් නම් අයකු බව ආරක්ෂක අංශ හඳුනා ගත්තේය. ඒ පිළිබඳ ව පැවති නඩු විභාගයෙන් අනතුරුව ඔහු එල්ලා මැරීමට නියෝග කළ නමුත් පසුව වික්ටෝරියා රැජන ගේ නියෝගයෙන් ඔහු ජීවිතාන්තය දක්වා මහා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කෙරිණි.

ජෝන් ජේම්ස් ෆ්‍රැන්සිස් වික්ටෝරියා රැජින දෙසට වෙඩි තැබීමට සූදානම් වන අයුරු දැක්වෙන සිතුවමක් – www.museumofthemind.org.uk

එදින අපරාධකරු සොයා ගැනීමේ අරමුණින් වික්ටෝරියා රැජන සමඟ තමන් ගිය ගමන පිළිබඳ ව සිය පියා වෙත යැවූ ලිපියක ඇල්බට් කුමරු සඳහන් කර තිබුණේ මෙලෙසිනි:

“ඔබට සිතාගන්නට අපහසු වෙන එකක් නැහැ මේ ගමන කොතරම් ත්‍රාසජනක එකක් වෙන්න ඇති ද කියලා. අපි සෑම අස්සක් මුල්ලක් දෙස ම විමසිල්ලෙන් බලාගෙන හිටියා දැන් දැන් අර රාක්ෂයා කොහෙන් හෝ මතු වෙයි කියලා”

සිවු වැනි ඝාතන තැත – 1842 ජූලි 3

ජෝන් ෆ්‍රැන්සිස්, වික්ටෝරියා රැජන ඝාතනය කිරීමට දෙවරක් ම උත්සහ කර සති පහකට පසු, වික්ටෝරියා රැජින 1842 ජූලි 3 දින සිවු වැනි වරට ද ඝාතන තැතකින් දිවි ගලවා ගත්තා ය. එදින වික්ටෝරියා රැජින බකිංහැම් මාලිගයට ටික දුරක් වන්නට පිහිටා තිබෙන දේවස්ථානයක ඉරිදා දේව මෙහෙයකට සහභාගී වීම සඳහා පිටත් ව යාමට නියමිත ව තිබිණි.

බකිංහැම් මාලිගය – www.townandcountrymag.com

ඇය මාලිගයෙන් පිටවන තුරු 17 හැවිරිදි විලියම් බීන් නම් තරුණයකු පිස්තෝලයක් ද අතැතිව නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. උපතේ සිට පැවැති ආබාධ තත්ත්වයක් නිසා ඔහු අඩි හතරකට වඩා උස් නොවී ය. අවට රැස්ව සිටි ජනතාව තල්ලු කරමින් මාර්ගය අසලට ම පැමිණ රැජනට වෙඩි තැබීමට බීන් උත්සාහ කළත් ඔහුගේ පිස්තෝලය ක්‍රියාත්මක වූයේ නැත. එසැණින් අසල රැඳී සිටි පුද්ගලයකු ඔහු අල්ලා ගත්තත් කෙසේ හෝ එම ස්ථානයෙන් පලා යන්නට බීන්ට හැකි විය.

ලන්ඩන් නගරය පුරා එදින රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සිය නිවසේ රැඳී සිටි බීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඔහු පොලිසියට පවසා තිබුණේ සිය රෝගී තත්ත්වය හේතුවෙන් පීඩනයකින් පසු වූ තමන්ට යම්කිසි වෙනසක් අවශ්‍ය වූ බව යි. එබැවින් රැජන ඝාතනය කිරීමට උත්සහ කළේ සිරගෙදර දී හෝ තමන් බලාපොරොත්තු වන වෙනස ලැබෙනු ඇතැයි සිතා බව ද ඔහු පවසා තිබේ.

ඉන් අනතුරුව පැවැති නඩු විභාගයක දී අධිකරණය  බීන්ට මාස 18ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.

බීන් සම්බන්ධ නඩු විභාගයට අදාළ ලේඛනයක් – www.loc.gov

පස්වැනි ඝාතන තැත – 1849 ජූනි 19

1849 ජූනි 19 වැනි දින සිය නිල උපන් දින සැමරුම පැවැත්වෙන දින වික්ටෝරියා රැජන තම දරුවන් තිදෙනා ත් සමඟ ‘හයිඩ් පාර්ක්’ සහ ‘රිජන්ට් පාර්ක්’ උද්‍යාන හරහා බකිංහැම් මාලිගය වෙත අශ්ව කරත්තයකින් ගමන් ගනිමින් සිටියා ය.

එදින මාර්ගය අසල පිස්තෝලයක් ද අතැති ව රැඳී සිටි 24 හැවිරිදි විලියම් හැමිල්ටන්, රැජන ගමන් ගත් අශ්ව කරත්තය දෙසට වෙඩි තැබුවේ ය. කෙසේ වෙතත් උද්‍යානයේ භාරකරු පිස්තෝලකරු මෙල්ල කිරීමට උත්සහ කිරීම නිසා උණ්ඩය වෙනත් දිශාවකට යොමු බැවින් රැජනට හෝ ඇගේ දරුවන් තිදෙනාට කිසිදු හානියක් නොවී ය.

ගුවනේ සිට ගත් ‘හයිඩ් පාර්ක්’ හි ඡායාරූපයක් – Mike Hewitt – gettyimages.com

එදින ම පොලිස් අත්අඩංගුවට ගත් හැමිල්ටන් පොලිසියට පවසා තිබුණේ අධික දිළිඳු බව හේතුවෙන් අයර්ලන්තයේ සිට ලන්ඩන් නගරයට ඒමට සිදු වූ තමන්ට ලන්ඩන් නගරයේ දී කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ බව යි. එබැවින් බන්ධනාගාරගත වීමේ අරමුණින් රැජනට වෙඩි තැබූ බව ඔහු සඳහන් කළේ ය. ඉන් අනතුරු ව පැවැති නඩු විභාගයකින් වැරදිකරු වූ ඔහු වසර හතක කාලයක් සඳහා බන්ධනාගාරගත කෙරිණි.

හයවැනි ඝාතන තැත – 1850 ජූනි 27

වික්ටෝරියා රැජින සිය දරුවන් ද සමග ඇගේ ඥාතියෙකු හමුවීම සඳහා කේම්බ්‍රිජ් නිවසට 1850 ජුනි 27 දින පැමිණ සිටියා ය. ඇය දරුවන් ද සමග අශ්ව කරත්තයෙන් බකිංහැම් මාලිගයට ආපසු යාමට පිටත් වූ අතර එම අවස්ථාවේ කේම්බ්‍රිජ් නිවසේ ගේට්ටුව අසල දී කරත්තය මඳකට නතර විය.

ඒ මොහොතේ වේවැලක් ද අතැති ව කරත්තය අසලට පැමිණි පුද්ගලයෙක් එම වේවැලෙන් රැජිනගේ නළලට වැරෙන් පහර දුන්නේය. රැජන දැක බලාගැනීම සඳහා අවට එක්රැස් වී සිටි ජනතාව එක් ව ඔහු අල්ලා ගත්හ.  ඔවුන් ඔහුට පහර දෙතැයි සිතූ වික්ටෝරියා රැජනඅශ්ව කරත්තයෙන්  වහා නැගිට ජනතාවට පැවසුවේ තමන්ට කිසිදු හානියක් සිදු නොවූ බව යි. කෙසේ වෙතත් ඒ වන විටත් ඇගේ හිසේ එක පසක විශාල තැල්මක් සිදු ව තිබුණු අතර එක ඇසක් කළු පැහැගැන්. වී තිබිණි.

පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ අදාළ පුද්ගලයා රොබට් පේට් නම් වන බව ය. ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි අයකු බව ද අනාවරණය විය. වික්ටෝරියා රැජනට ශාරීරික ව හානියක් සිදු කළ එකම පුද්ගලයා වූ ඔහු නඩු විභාගයකින් අනතුරුව වසර හතක කාලයක් සඳහා ටස්මේනියාවට පිටුවහල් කෙරිණි.

හත්වැනි ඝාතන තැත – 1872 පෙබරවාරි 29

වික්ටෝරියා රැජන අශ්ව කරත්තයකින් ‘හයිඩ් පාර්ක්’ සහ ‘රීජන්ට් පාර්ක්’ උද්‍යාන වෙතට  1872 පෙබරවාරි 29 දින පිටත් ව ගොස් තිබුණා ය. ඇය මාලිගයේ නොසිටි බැවින් ආරක්ෂකයන් ද වැඩි පිරිසක් ඇය සමඟ පිටත්ව ගොස් තිබිණ. මේ අතරතුර ආතර් ඕ’කොනර් නම් 17 හැවිරිදි තරුණයා පිස්තෝලයක් ද අතැතිව බකිංහැම් මාලිගය අසල රැඳී සිටියේ රැජින මාලිගයට ආපසු පැමිණෙන තුරු යි.

අශ්ව කරත්තයෙන් නැවත මාලිගයට පැමිණෙමින් සිටි රැජන දෙසට දිව ගිය මෙම තරුණයා මාලිගයේ පිවිසුම අසල දී අඩියක පමණ දුරින් සිට රැජන දෙසට පිස්තෝලයක් එල්ල කළේ ය. ක්ෂණික ව ක්‍රියාත්මක වූ රැජනගේ ආරක්ෂක ජෝන් බ්‍රවුන්, ඕ’කොනර් ගේ ගෙලෙන් අල්ලා ගත්තේය. ඒ අතරතුර අනිකුත් ආරක්ෂකයන් වික්ටෝරියා රැජන එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යුහුසුළු ව  කැඳවාගෙන ගියෝ ය.

පසුව සිදු කළ විමර්ශනවල දී හෙළි වුයේ ඕ’කොනර් රැජන දෙසට එල්ල කළ පිස්තෝලය භාවිතයට ගත නොහැකි කැඩුණු එකක් බව යි. අයර්ලන්ත  විප්ලවවාදියකු වූ ඕ’කොනර් පොලිසියට සඳහන් කර තිබුණේ තමන් කිසි විටෙක රැජන ඝාතනය කිරීමට අදහස් නොකළ බව යි. ඒ වන විට සිරභාරයේ සිටි අයර්ලන්ත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන ලියවිල්ලකට අත්සන් කිරීම සඳහා ඇය බියගැන්වීමට රැජන දෙසට පිස්තෝලය එල්ල කළ බව ඔහු සඳහන් කළේ ය.

රැජන ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත වසරක සිරදඬුවම් නියම වූ ඔහු අවසානයේ ඔස්ට්‍රේලියාවට පිටුවහල් කෙරිණි. පසුකාලීන ව ඔහුගේ වීරත්වය අගයා අයර්ලන්තය ඔහුට සම්මානයක් ද ලබා දී තිබේ.

රොඩ්‍රික් මැක්ලීන් රැජනට වෙඩි තබන අයුරු දැක්වෙන සිතුවමක් – www.britishmuseum.org

අටවැනි ඝාතන තැත – 1882 මාර්තු 2

ලන්ඩන් නගරයේ සිට වින්ඩ්සර් දුම්රිය ස්ථානයට දුම්රියෙන් 1882 මාර්තු 2වැනි දින පැමිණි වික්ටෝරියා රැජන අශ්ව කරත්තයකින් රජ පවුලට අයත් මාලිගයක් දෙසට ගමන් කරමින් සිටියා ය. ඒ අවස්ථාවේ ඒ අසල පිහිටා තිබූ ඊට්න් නම් පාසලේ සිසුන් රැජනට ආචාර කරමින් සිටි අතර එක්වර ම එම සිසුන් පිරිස අතරින් මතු වූ පුද්ගලයෙක් ඔහු අත තිබූ පිස්තෝලයකින් රැජනට වෙඩි තැබුවේ ය. කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් රැජිනට කිසිදු හානියක් වූයේ නැත.

එතැන සිටි පිරිස එම පුද්ගලයා අල්ලා ගත් අතර ඔහු 28 හැවිරිදි රොඩ්රික් මැක්ලින් ලෙස හඳුනා ගැනිණි. පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර එම ස්ථානයේ සිටි සිසුන් ඔවුන් අත තිබූ කුඩවලින් ඔහුට පහර දීම නිසා රොඩ්රික් තුවාල ලැබූ බව ද කියවේ. පසුව පැවැති නඩු විභාගයකදී ඔහු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වූ බැවින් ඔහු ජිවිත කාලය පුරාවට ම සරණාගත කඳවුරකට පිටුවහල් කෙරිණි.

මෙය වික්ටෝරියා රැජන ඝාතනය කිරීමට තැත් කළ අටවැනි සහ අවසාන අවස්ථාව වේ.

කවරයේ ඡායාරූපය- වික්ටෝරියා රැජින ගමන් ගන්නා අශ්ව කරත්තයක් දෙසට පුද්ගලයෙකු වෙඩි තබන අයුරු දැක්වෙන සිතුවමක් - www.historyhouse.co.uk

මූලාශ්‍ර-

www.explorethearchive.com

www.smithsonianmag.com

www.history.com

www.radiotimes.com

www.britannica.com

Related Articles