නිරවි යුධ සමයේ ලෝකයේ විවිධ ස්ථානයන් හි විවිධ අවි ගැටුම් වාර්තා වුණා. මේ අතර රටවල් අභ්‍යන්තරයේ මෙන්ම රටවල් අතර සිදු වූ ගැටුම්වල දී ද නිරවි යුද්ධයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය එක් එක් පාර්ශවයන්ට උපකාර කරනු දකින්නට ලැබුණා. ඒවා දෙපාර්ශවයේ බල අරගලයෙහි කොටස් ලෙස විද්‍යමාන වුණා.

මෙයින් එක්තරා විශේෂිත යුද්ධයක් ලෙස සැලකිය හැක්කේ ඉතියෝපියාව සහ සෝමාලියාව අතර 1977 දී ඇති වූ ඔගාඩන් යුද්ධය යි. මීට පසුබිම් වන සිද්ධීන්ගේ ඉතිහාසය ඊට දශක කිහිපයක් පසුපසට දිවෙනවා.

සෝමාලි ප්‍රදේශ

නැගෙනහිර අප්‍රිකාවේ, "අප්‍රිකාවේ අඟ​" (Horn of Africa) ප්‍රදේශයේ සෝමාලි ජනතාව ජීවත් වෙනවා. අතීතයේ දී මේ අයගෙන් බොහෝ දෙනෙක් එඬේර ජීවිතයකට හුරු වූ අය වූ අතර අදටත් එවැනි අය එහි වසනවා. 19 වන සියවස අගභාගයේ දී මොවුන් ජීවත් වූ ප්‍රදේශ සමහරක් ඉතාලි, බ්‍රිතාන්‍ය, සහ ප්‍රංශ පාලනයට නතු වුණා. මේ අතර ඉතියෝපියාවට අයත් ඔගාඩන් හි ද ඔවුන් වාසය කළා.

සෝමාලි ජනයා වාසය කරන ප්‍රදේශ (Public Domain)

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව සෝමාලි ජනයා ජීවත් වූ ප්‍රදේශ එක්ව රාජ්‍යයක් නිර්මාණය කළ යුතු ය යන අදහසක් ප්‍රචලිත වුණා. මෙයට "මහා සෝමාලියාව​"යැ යි නම් කරනු ලැබුණා. මහා සෝමාලියාවට විවිධ ප්‍රදේශ පහක් අයත් විය යුතු බවට අදහස් මතු ව තිබුණා. ඒවා නම්,

ඉතාලි සෝමාලිලන්තය​ - මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලිය භාරයේ වූ භාරකාර ප්‍රදේශයක් ලෙස පැවතුණා. වර්තමාන සෝමාලියාවේ විශාල ප්‍රදේශයක් මීට අයත් වෙනවා.

බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය​ - වර්තමාන සෝමාලියාවේ උතුරුදිග ප්‍රදේශය යි.

ප්‍රංශ සෝමාලිලන්තය​ - වර්තමාන ජිබුටි රාජ්‍යය​. 1958 දී පවත්වන ලද ජනමත විචාරණයක් මඟින් දිගටම ප්‍රංශ පාලනයේ සිටීමට තීරණය කළා. නමුත් මෙය ඉතා දූෂිත වූ ජනමත විචාරණයක් බව සඳහන්.

ඊසානදිග පාලන ප්‍රදේශ - බ්‍රිතාන්‍ය නැගෙනහිර අප්‍රිකාවේ ඊසානදිග ප්‍රදේශය යි. මෙහි විශාල ජනතාවක් සෝමාලීන් වූ අතර ඔවුන් නිල නොලත් ජනමත විමසුමකින් සෝමාලියාවට සම්බන්ධ වීමේ කැමැත්ත පළ කොට තිබුණා. නමුත් ඔවුනට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ. වර්තමානයේ එය අයත් වන්නේ කෙන්යාවට ය​.

ඔගාඩන් - දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ අතර ඔවුන් එය ඉතියෝපියාවට ආපසු පවරා දුන්නා. ඉතියෝපියාව එහි තම පාලනය පිහිටුවන්නට කටයුතු කළා.

නිදහස් සෝමාලියාව

1960 දී සෝමාලි භාරකාර ප්‍රදේශය (පැරණි ඉතාලි සෝමාලිලන්තය) සහ බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය නිදහස ලබා සෝමාලි ජනරජය බිහි වුණා.

1969 ඔක්තෝබර් 15 වන දා එවකට එහි ජනාධිපති වූ අබ්දිරෂිඩ් අලි ෂර්මාර්කෙ ඝාතනය කෙරුණා. ඉන් දින හයකට පසු එරට හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ අතර මොහොමඩ් සියාද් බාරේ එහි බලය අල්ලාගත්තා.

සියද් බාරේ (වමේ) 1969 දී (Mogadishu Images)

සියාද් බාරේ පාලනය සෝවියට් දේශයට සමීප වුණ අතර යාබද ඉතියෝපියාව ඇමෙරිකාවට වඩා සමීප වුණා.

ඉතියෝපියාව

මේ වනවිට ඉතියෝපියාව පාලනය කළේ හේල් සිලාසි අධිරාජයා විසින්. ඔහු සාමාන්‍යයෙන් තවත් අයෙකුට කාර්යයන් පැවරීමට අසමත් වූ අයෙකු වුණා. බොහෝ වැදගත් තීරණ ගන්නා ලද්දේ ඔහු ම යි. හේල් සිලාසි ඉතා හොඳ මතක ශක්තියකින් යුක්ත වූවෙකු වූ අතර ඔහුගේ දීර්ඝ පාලන කාලය අවසානය කරා ළඟා වෙද්දී එම මතක ශක්තිය බෙහෙවින් හීන වූ බවක් ද පෙන්නුම් කළා. එහෙයින් රටේ කටයුතු අවුල් වීමට පටන් ගත්තා.

මෙහි ප්‍රතිඵලය වූයේ 1974 දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් අධිරාජයා බලයෙන් පහ කිරීම යි. පසු ව ඔහු ඝාතනය කරනු ලැබුණා. නව රජය "ඩර්ග්" යන නමින් හැඳින්වූ හමුදා කමිටුවක් වූ අතර එහි නායකයා වූයේ මෙන්ගිස්ටු හේල් මාරියම්. නව පාලනය වෙත සෝවියට් දේශය සමීප වීමට පටන් ගත්තා. සෝවියට් දේශය විශ්වාස කළේ නව පාලනය මාක්ස්වාදී මාවතක සාර්ථක ව ගමන් කරනු ඇති බව යි. නමුත් ඔවුන් සෝමාලියාව සමග ද සබඳතා සම්පූර්ණයෙන් අත හැරියේ නැහැ. මේ වන විටත් සෝවියට් ආධාර මත සෝමාලියාවට විශාල යුධ ශක්තියක් තිබුණා.

මෙන්ගිස්ටු හේල් මාරියම් 1975 දී කියුබානු සංචාරයක් අතරතුර ෆිදෙල් සහ රාවුල් කස්ත්‍රෝ සොයුරන් සමග (AFP)

ඉතියෝපියාවේ අවුල් සහගත තත්ත්වයත් සමග එහි විවිධ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මතුවෙමින් තිබුණා. මෙය අධිරාජයාගේ පාලන සමයේ දී ද සිදු වූවක්. මේ අතර එක් ප්‍රබල සංවිධානයක් වූයේ ඔගාඩන් හි ක්‍රියාත්මක බටහිර සෝමාලි විමුක්ති පෙරමුණ යි.

මෙම සංවිධානයට සෝමාලියාවේ ආධාර ලැබුණ අතර ඔවුන් ඉතියෝපියානු හමුදාවලට පහර දීමට වුණා. සෝමාලියානු පාලක සියාද් බාරේගේ අභිප්‍රාය වූයේ "මහා සෝමාලියාව​" යළි නිර්මාණය කිරීම යි.

ඔගාඩන් ආක්‍රමණය

1977 ජූලි 13 වන දා සෝමාලි හමුදා ඔගාඩන් ආක්‍රමණය කළා. මේ අවස්ථාව වන විට ඉතියෝපියානු හමුදා යුධ ශක්තිය අතින් එතරම් හොඳ මට්ටමක වූයේ නැහැ. එහෙයින් මුල් අවස්ථාවේ වාසිය අත් වූයේ සෝමාලියාවට යි. සෝමාලි හමුදා ඉතා වේගයෙන් ඔගාඩන් ප්‍රදේශය හරහා ඉදිරියට පැමිණියා.

සෝමාලි හමුදා පළමු මාස තුන තුළ දී සම්පූර්ණ ඔගාඩන් ප්‍රදේශය ම පාහේ තම පාලනය යටතට ගත්තා. මේ අවස්ථාවේ දී ඉතියෝපියාව ඉතා බරපතල තත්ත්වයකට පත් වූ අතර, එයින් ඔවුන් ගලවා ගන්නා ලද්දේ සෝවියට් දේශය සහ වෙනත් කොමියුනිස්ට් රටවල් කිහිපයක් විසිනුයි.

යුද්ධය ඇරඹෙන අවස්ථාවේ සෝවියට් දේශය සෝමාලියාව සමග ද සබඳතා අතැර තිබුණේ නැහැ. ඔවුන් මෙම යුද්ධය පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොදැක්වූ අතර එය සමථයකට පත් කිරීමට ද උත්සාහ කළා. නමුත් එය අසාර්ථක වන තැන ඔවුන් ඉතියෝපියාව දෙසට නැඹුරු වුණා.

සෝවියට් අවි ආයුධ සහ "උපදේශකයන්" ද කියුබානු හමුදා ද නැගෙනහිර ජර්මනිය ආදී තවත් කොමියුනිස්ට් රටවල් කිහිපයක සහය ද ඉතියෝපියාවට ලැබෙන්නට වුණා. මේ අතර ඉතියෝපියානු ගුවන් හමුදාව යුධබිමෙහි ගුවන් ආධිපත්‍යය පිහිටුවා ගැනීමට සමත් වී තිබුණ අතර එය ඔවුනට විශේෂ වාසියක් වුණා. සෝමාලි සැපයුම් මාර්ග කඩාකප්පල් කිරීමේ දී ගුවන් ආධිපත්‍යය විශාල සහයක් ඉතියෝපියානුවන්ට ලබා දුන්නා.

හැරවුම් ලක්ෂය​

1977 ඔක්තෝබරයේ සිදු වූ හරාර් සංග්‍රාමය යුද්ධයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වුණා. හරාර් යනු ඉතියෝපියාවේ ප්‍රධානම මුස්ලිම් නගරය යි. එය වෙත එල්ල වූ ප්‍රහාරයට ඉතියෝපියානු හමුදා මුහුණ දුන්නේ සෝවියට් සහ කියුබානු සහය ද සහිත ව යි. සෝමාලි හමුදා හරාර් නගර මායිමට ම පැමිණි නමුත් ඉන්පසු පසුබස්වනු ලැබුණා.

මෙයින් පසු සෝමාලි හමුදාවේ පසුබැසීම ඇරඹුණා. තවදුරටත් ඉදිරියට යාමට ඔවුනට ශක්තියක් වූයේ නැහැ. අල්ලාගත් ප්‍රදේශයන්ගෙන් පසු බැසීමටත් ඔවුන් සූදානම් වූයේ නැහැ. එහෙයින් ඔවුනට කළ හැකි ව තිබූ එකම දෙය නම් ඉතියෝපියානු ප්‍රතිප්‍රහාරය සඳහා හැකි පමණ සූදානම් වීම යි.

1978 පෙබරවාරියේ ඉතියෝපියානු ප්‍රතිප්‍රහාරය ඇරඹුණා. සෝමාලි හමුදා වේගයෙන් ඔගාඩන් වෙතින් පසු බස්වනු ලැබුණා. මාසයක් පමණ ඇතුළත අල්ලාගත් ප්‍රදේශ අහිමි වූ සෝමාලි සේනාංක යළි තම දේශසීමාව වෙත පැමිණියා. ඉතියෝපියානුවන් මාර්තු 15 වන දා යුද්ධය නිමා කළා.

මියගිය ඉතියෝපියානු සහ කියුබානු සෙබළුන් සිහිවීමට ඉදි කළ ටිග්ලචින් ස්මාරකය​ (face2faceafrica.com)

මෙම යුද්ධය සියද් බාරේ පාලනය විසින් තම ඉතිහාසය තුළ කරන ලද බරපතළ ම උපක්‍රමික වරද ලෙස සැලකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෝමාලි සන්නද්ධ අංශ බොහෝ සේ දුර්වල වීම සහ එරට ආර්ථිකය කඩා වැටීම ද සිදු වුණා. එයින් ගොඩ ඒමට සෝමාලියාවට හැකි වූයේ නැහැ. ප්‍රාදේශීය හමුදා නායකයන් මෙම පසුබිම තුළ සිය බලය වර්ධනය කරගත් අතර, 1980 දශකයේ අවසන් සමය වන විට සෝමාලියාවේ සිවිල් යුධ වාතාවරණයක් ඇති වීමට එය බලපෑවා.

කවරයේ පින්තූරය: සෝමාලි හමුදාවන් වෙතින් අල්ලාගත් ආයුධ ඉතියෝපියාවේ දී ප්‍රදර්ශනය කරයි. (face2faceafrica.com)

මූලාශ්‍රයයන්: