දෙවරගම්පොළ සිල්වත් තැනගේ විශිෂ්ට සිතුවම් කලාව

උඩරට විහාර සිතුවම් ගැන කතාකිරීමේ දී නිතර කියවෙන නමක් තමයි දෙවරගම්පොළ සිල්වත් තැන කියන්නේ. රාජ අණ නිසා මේ හිමියන්ට උපසම්පදාවීමට ඉඩ ලැබුණේ නැහැ. අදටත් අපට දෙගල්දොරුව ඇතුළ විහාර කිහිපයක දී මේ හිමියන්ගේ විශිෂ්ට නිර්මාණ රසවිඳීමට පුළුවන්. නමින් පමණක් දැන සිටින සිත්තර භික්ෂුවගේ යට ගිය තොරතුරු සොයා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

සිතුවම් පරම්පරා

මහනුවර රාජධානි කාලේ ඇරඹෙන්නේ සේනාසම්මත වික්‍රමහබාහු (1473-1511) රජුගෙන් වුණත් උඩරට රාජධානිය වඩාත් විධිමත්ව ඇරඹෙන්නේ පළමුවැනි විමලධර්මසූරිය (1592- 1604) රජුගෙන් පසු ව යි. ඊට පස්සේ දළදා මාලිගය ඇතුළු විහාරාරාම මහනුවර රාජධානියේ බහුල ව ආරම්භ වුණා.

පුරාණ සිත්තරකු දුටු මහනුවර නගරය – serendib.btoptions.lk

මේවායේ ඇඳි චිත්‍ර උඩරට සම්ප්‍රදාය නමින් අලුත් ම ආරක් ගත්තා. අද අපට දකින්න ඉතිරි ව තිබෙන සිත්තම් කලා නිර්මාණ නම් අයත් වන්නේ නායක්කර් වංශික රජවරුන් සිටි කාලෙට  යි. ඒ අතරිනුත් කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781), රාජාධි රාජසිංහ ( 1781- 1798) රජවරුන්ගේ කාලවලට යි.

මේ කාලයේ රාජ අනුග්‍රහයෙන් විහාර රාශියක් උඩරට වගේ ම පහතරටත් හතර කෝරළේ සහ හත්කෝරළේත් ඉදි වුණා. ඒවායේ චිත්‍ර නිර්මාණය කළ දක්ෂ ශිල්පී පරම්පරා කිහිපයක් ගැන ම සඳහන් වෙනවා. නීලවල, නිලගම, උල්ලඳුපිටිය, කඩොල්ගල්ල හා දේවේන්ද්‍ර මූලාචාරී ආදී පරම්පරා ඒ අතර ඉදිරියෙන් සිටිනවා.  මෙම යුගයේ දී භික්ෂුන් වහන්සේ ද චිත්‍ර ශිල්පීන් වශයෙක් විශාල මෙහෙවරක් කළ බවට සාධක හමුවෙනවා. දෙවරගම්පොල සිල්වත් තැන කියන්නේ එවැනි හිමිනමක්.

දෙවරගම්පොලට නුදුරු දනගිරිගල විහාරය – Kusumsiri Wijayawardhana

උපසම්දාවට කුලය හරස් වුණු හිමිනම

දක්ෂකම නිසා ම ප්‍රකට වුණු සිත්තරකු වශයෙන් දෙවරගම්පොල සිල්වත් තැන උඩරට රාජධානියේ කැපී පෙනුණා. සිල්වත් තැන කියන්නේ මේ හිමියන් උපසම්පදා නොවී අපවත් වන තෙක් ම සාමණේර නමක් ලෙස සිටි නිස යි. එයට හේතුව එකල පැවති එකම නිකාය වූ සියම් නිකායෙහි මහණ කරන ලද්දේ ගොවි කුලයට අයත් වූවන් පමණක් බවට වූ රාජ නීතිය නිස යි.

 දෙවරගම්පොල හිමියන් ඉපදී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි දෙවරගම්පල නම් ගමේ යි. මේ හිමියන්ගේ බාල කාලය ගැන නම් විස්තර සඳහන් වන්නේ නැහැ.  මුලින් ම තමන් වැඩ වාසය කළ විහාරයේ චිත්‍ර ඇඳ පසු ව ක්‍රමයෙන් හැකියාව ගැන ප්‍රසිද්ධ වූ පසු අනෙක් විහාරවලටත් චිත්‍ර අඳින්නට උන්වහන්සේට ආරාධනා ලැබෙන්නට ඇති බව සිතෙනවා. උන් වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී බොහෝ ගරුබුහුමන් ලැබූ සිත්තරකු ලෙස සඳහන් වෙනවා.

මේ හිමියන්ගේ දක්ෂතාව හඳුනා ගත් කීර්ති ශ්‍රී රාංජසිංහ රජු විහාර ප්‍රතිසංස්කරණය සඳහා ආරාධනා කර තිබෙනවා. රජ වාසලෙන් වැලිවිට සංඝරාජ හිමියන්ට ලැබුණු සැලකිල්ල දෙවරගම්පොල හිමියන්ටත් ලැබුණු බව කලාශූරී එස්. පී. චාල්ස් සඳහන් කරනවා. උන්වහන්සේ හොඳින් දැන උගත් භික්ෂුවක් ලෙසත් සමාජයේ ගරු බුහුමන් ලබා  තිබෙනවා.  එම හිමියන්ගේ සිතුවම්වල නිරූපිත චමත්කාරයට හේතුව චිත්‍ර ශිල්පය පිළිබඳව තිබුණු හසල දැනීම බව උගතුන් පෙන්වා දෙන කරුණ්ක්.

දනගිරිගල මූර්ති-  rasula-sri.blogspot.com

මෙම හිමියන්ගේ සිත්තර පරපුරට අයත් බව සැලකෙන කුලගම්මන සිරිමත් ඩයස්  මෑත අතීතයේ දී බුදුපිළිම හා විහාර සිතුවම් කලාවේ යෙදී සිටි ප්‍රසිද්ධ සිත්තරකු වුණා. දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගෙන් විහිදී ගිය සිත්තර පරපුරක් පහතරට විහාරාරාමවලත් චිත්‍ර නිර්මාණය කර තිබෙනවා. දෙවරගම්පොල හිමියන් සමඟ හිරියාලේ නයිදේ, දේවේන්ද්‍ර මූලාචාරීන්, කොස්වත්තේ හිත්තර ‍ නයිදේ, නිලගම පටබැන්දා, වෑත්තෑවේ හිමියන් හා දකුණේ කටුවන හිමියන් ද චිත්‍ර නිර්මාණය කර තිබෙනවා.

මේ ශිල්පීන් නිසා උඩරට විහාර කලාවේ පුනර්ජීවනයක් ඇති කිරීමේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහ වැලිවිට හිමියන්ගේ වැඩපිළිවෙළට අනගි සහායක් ලැබුණා. බිතු සිතුවම් ඇඳීමට මෙන් ම මූර්ති නිර්මාණයටත් එකසේ දස්කම් දැක්වූ සිත්තරකු ලෙස දෙවරගම්පොල හිමියන් සැලකෙනවා. ජීවමාන සියුම් රේඛා, රූපවල සජීවී බව, අදහස් ප්‍රකාශනයේ ආකර්ශනීයත්වය ඒ සිතුවම්වලින් අදත් අපට පෙනෙනවා.

දෙගල්දොරුව විහාරය- wikipdia.org

සිතුවම් ඇඳි විහාර

දෙගල්දොරුව දෙවරගම්පල සිල්වත්තැනගේ කෘතීන් ලෙස හඳුනාගෙන ඇති ප්‍රධාන විහාරයක්.  දෙගල්දොරුව විහාරයේ සිතුවම්, සිත්තර කණ්ඩායමක සිතුවම් බව මහාචාර්ය එම්.සෝමතිලක පෙන්වා දෙනවා.  එහි ප්‍රධානියා වී ඇත්තේ නිලගම පටබැන්දා බවත් ඔහු සඳහන් කරනවා. නමුත් ජනප්‍රවාද පවසන්නේ දෙවරගම්පොල සිල්වත් තැන එහි සිත්තරුන් අතර මුල් තැන ගත් බව යි.  

එමෙන් ම බොහෝ උගතුන් ද පිළිගත් මතය වන්නේ මෙම බිතුසිතුවම්වල නිර්මාණ අයිතිය දෙවරගම්පල සිල්වත් හිමියන්ට අයත් වන බව යි. දේවේන්ද්‍ර මූලාචාරි, නිලගම පටබැන්දා, කොස්වත්තේ සිත්තර නයිදේ යන අයත් මේ සිතුවම් ඇඳීමට හවුල් වී තිබෙන බව සඳහන්.

රිදී විහාරයේ සිතුවම් -hobbylanka.com

කුරුණෑගල රිදී විහාරයේ සිතුවම් ද මේ හිමියන්ගේ කෘති ලෙස සැලකෙනවා. රිදී විහාරයේ ඉහළ විහාර මන්දිරයේ ඇතුළත දකුණු බිත්තියේ ඇඳ තිබෙන සොළොස්මස්ථාන දැක්වෙන සිත්තම විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි යි.  එහි මකර තොරණ හා බුදු පිළිම ද අගනා නිර්මාණ ලෙස සැලකෙනවා.  

ආයිත්තා ලියද්දේ මුහන්දිරම් ලියූ “සංඝ රාජ සාධු චර්යාවේ විස්තර වන්නේ වැලිවිට සරණංකර හිමියන් දෙවරගම්පල සිල්වත්තැන ලවා මහනුවර ගංගාරාමයේ සහ දඹුල්ලේ ද සිතුවම් අන්ඳවා නයනාභිරමණීය විහාර බවට පත් කරවූ බව යි.

රිදී විහාරයේ ප්‍රතිමා- hobbylanka.com

 

දෙවරගම්පල සිල්වත්තැන රිදී විහාරයෙහි චිත්‍ර අඳිමින් සිටින විට පැමිණි  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ට උපසම්පදාව අවශ්‍ය ද නැතහොත් ගම අවශ්‍ය ද ඇසූ විට හිමියන් ‘දේවයන් වහන්ස! මට ගම හොඳයි’ යනුවෙන් පවසා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ නිසා නින්දගමක් ලැබුණු බවත් උපසම්පදාව නොලැබුණු බවත් පැවසෙනවා.  එස්. ජී. චාර්ල්ස්  සඳහන් කරන අයුරින් අහුගොඩ, දුම්බර යන පළාත්වල වෙසෙන බොහෝ විහාර සිත්තරුන් දෙවරගම්පොල හිමිගේ පරපුරෙන් පැවත එන අයයි.

දඹුල්ල -unesco.org

 

හතර කෝරළයට අයත් මාවනැල්ල ප්‍රදේශය අවට දනගිරිගල හා දෙවනගල, අම්බුලුගල වැනි මහනුවර සමයට අයත් චිත්‍ර සහිත විහාර ගණනාවක් පිහිටා තිබෙනවා. ඒ අතරින් විශිෂ්ට සිතුවම් සහිත දනගිරිගල විහාරයේ නිර්මාණ දෙගල්දොරුව, රිදී විහාරයේ සහ දඹුලු විහාරයේ සිත්තර ගුරුකුලවලට සමානත්වයක් දක්වන බව කලා ඉතිහාසඥයන් සඳහන් කරනවා. ඒ අනුව දෙවරගම්පල හිමියන් දනගිරිගල  චිත්‍ර නිර්මාණය කළ බවට සමහර විද්වතුන් මත පළ කරනවා. නමුත් ලිඛිත ව නම් ඒ සඳහා සාධක හමුවන්නේ නැහැ.  

8 පුරාණ සිත්තරුන් භාවිත කළ තෙලිකූරු හෙවත් පින්සල්- lankadeepa.lk

වර්ණ භාවිතය

සුදු, රතු, කහ, කොළ, කළු, නිල් යන ප්‍රධාන වර්ණ භාවිතයෙන් අලංකාර සිත්තම් මැවීමට දෙවරගම්පොල හිමි සමත්ව තිබෙනවා. ජන කලාවක් වූ උඩරට බිතුසිතුවම්වල විශිෂ්ට උදාහරණ ලබාදෙන්නේ උන්වහන්සේ ඇතුළු ගුරුකුල කිහිපයක් මගින්. මේ ගැන අගනා උදාහරණ දෙගල්දොරුව විහාරයෙන් පමණක් වුව සපයාගත හැකියි. ජාතක කතාවේ විවිධ අවස්ථා ස්වභාවික ලෙස නිරූපණය කිරීමේ හැකියාව දෙගල්දොරුවේ වෙස්සන්තර ජාතක සිත්තමෙන් පැහැදිලි වෙනවා. එක් එක් ජවනිකාවකින් මතුවන සියුම් රසය නරඹන්නාට පහසුවෙන් ලබාගත හැකි පරිදි සිතුවම් පෙළ ගස්වා තිබෙනවා.

 අගනා වර්ණ භාවිතයක් සහිත  දෙගල්දොරුවේ වෙස්සන්තර ජාතකය – srilankanstylecom

 

දෙවරගම්පොල හිමියන් විසින් ඉතා තුනී කඩදාසිවල අඳින ලද චිත්‍ර අත්පිටපත් බොහෝ ගණනක් ප්‍රකට කැටයම් ශිල්පියකු වූ ඒ. පී. ස්වර්ණතිලක ළග තිබී 1965 දී කොළඹ පැවැත්වූ ප්‍රදර්ශනයක දී දැකගැනීමට ලැබුණු බව එස්. පී. චාර්ල්ස් සඳහන් කරනවා:

බොහෝ සෙයින් ජරාජීර්ණව තිබූ ඒ චිත්‍ර රාජ්‍ය ලේඛනාගාරය විසින් පිළිසකර කරනු ලැබුවා. දෙගල්දොරුවේ සහ රිදී විහාරයේ මා දැක ඇති බොහෝ තනි රූප මේ අත්පිටපතම යි. මේවායේ තෙලිකූරෙන් අඳින ලද සියුම් රේඛා හිසකෙස් ගස් තරම්ම සියුම්ය. මේ අතර රජ රූප, දේව රූප, නොයෙන් නාට්‍ය විලාසයන් දැක්වෙන රූප ද විය.

(මහනුවර යුගයේ විහාර බිතුසිතුවමින් පෙනෙන වර්ණ හා බදාම- කලාසූරී එස්. පී. චාල්ස්, 13 පිට, සංස්. කටයතු දෙපා.)

උඩරට කලාව දකුණට

පහතරට විහාර බිතුසිතුවම් ශිල්පය උඩරටට වඩා මඳක් වෙනස් ආරක් ගන්නවා. එම සිත්තර පරම්පරාව උඩරටින් පෝෂණය වූ සිත්තර පරම්පරාවක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.    දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගේ ගුරුහරුකම්  දකුණේ සිත්තරුන්ට ලැබී ඇති බව පෙනෙන කරුණක්.  පහතරටින් ගිය වෑත්තෑවේ හිමියන් සහ කටුවන හිමියන් දෙවරගම්පල සිල්වත්තැන හිමියන්ගෙන් චිත්‍ර ශිල්පය හදාරා ඇති බවට සාධක හමුවෙනවා.  පසුව දකුණේ උඩරට සිතුවම් කලාව ව්‍යාප්ත කිරීමට කටුවන හිමියන් සමත් වුණා. වස්තු නිරූපණය, වර්ණ සංයෝජනය, කලා කෞශල්‍යය යන අංග කටුවන හිමියන්ගේ චිත්‍රවල කදිමට දැකගත හැකි යි.

දෙවරගම්පොල හිමියන් ස්වේච්ඡාවෙන් බොහෝ චිත්‍ර අඳිමින් රාජ ප්‍රසංශාවට ලක්වෙමින් චිත්‍ර ශිල්පී පරපුරක් බිහි කළත්  ඔහුගේ චිත්‍රයක් කිසිම විහාරයක දකින්න නැතිවීම නිසා ඔහුගේ රුව අපට සිතිවිල්ලක් ව  පමණක් පවතිනවා. එය වැඩවසම් ක්‍රමයේ තවත් අඳුරු පැල්ලමක් ලෙස සිතාගත හැකියි.

 කවරයේ ඡායාරූපය:- දෙගල්දොරුව විහාරය - erp.lakpura.com

මූලාශ්‍ර:

චිත්‍ර කලාව- පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා- 1990 -  සංස්. නන්දදේව විජේසේකර 

යුගයේ විහාර බිතුසිතුවමින් පෙනෙන වර්ණ හා බදාම- කලාසූරී එස්. පී. චාල්ස්, සංස්. කටයුතු දෙපා.

Dinamina.lk - කේ. උදේනි අරුණසිරි  

Related Articles