Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු මරණය සමයේ සම්භාවනාවට පාත්‍රවූ ඊම් ග්‍රාමය

කොවිඩ් 19 වසංගතය හමුවේ මුළු ලෝකයම එකම ආකාරයක අරගලයක යෙදෙන කාල වකවානුවක, අතීත වසංගත සමයන්වල දී එවකට ජීවත් වූ වැසියන් ඒවාට මුහුණදුන් ආකාරය අධ්‍යයනය කිරීම හරහා ඇතැම් වටිනා පාඩම් සහ උපක්‍රම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල් කොවිඩ් අවධානමේ ඉහළම අවස්ථාවේ හිඳින මෙවන් කාලයක වසංගත ඉතිහාසය නැවත කියවා බැලීම ඉතා වැදගත්. 

කළු මරණය හෙවත් මහාමාරිය වසංගතය පිළිබඳව අප මීට ඉහත ලිපියක දී විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. කළු මරණය යුරෝපය තුළ පැතිරීයාම නිසා වර්ෂ 1347-1351 කාල සමය තුළ මිලියන 20කට අධික පිරිසකට ජීවිත අහිමි වුණා. එකල කළු මරණය යනුවෙන් හැඳින්වුණේ මහාමාරිය රෝගය යි. ඒ පිළිබඳව ඔබට මේ ලිපියෙන් කියවන්න පුළුවන්: යුරෝපය පුරාම මරණ බිය ඇති කළ කළු මරණයේ ඉතිහාසය

වර්ෂ 1665 දී පමණ එංගලන්තය පුරා නැවත මහාමාරිය වසංගතය පැතිරීයාම ආරම්භ වීමෙන්, පීක් දිස්ත්‍රික්කයට අයත් “ඊම්” නම් පිටිසර ග්‍රාමයේ ගම් වැසියන් විසින් ගනු ලැබුවේ ඉතා එඩිතර තීරණයක්. ඒ හේතුවෙන් ඔවුන් සමස්ත ලෝකයේම ගෞරව බහුමානයට පාත්‍ර වුණා. 

මහාමාරිය නිසා මරණයට පත් වූ පුදගලයන්ගේ විස්තර ග්‍රාමය පුරා පැතිරී පවතින සොහොන් කොත්වල සඳහන් වෙනවා. (Getty Images)

එංගලන්තයේ කළු මරණය

වර්ෂ 1665 මුල්භාගය වන විට මහාමාරිය වසංගතය ලන්ඩන් නගරය ආක්‍රමණය කරමින් පැවතුනා. වසංගතයට ගොදුරු දස දහස් ගණන් වූ මිනිසුන් ජීවිතය හා මරණය අතර වේදනාකාරී සටනක් සිදුකොට, අවසානයේ මරණය අභියස පරාජයට පත්වුණා. 

මහාමාරිය වසංගතයේ රෝගකාරකය වූයේ යර්සීනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාවක්. මොවුන් මීයන්ගේ ශරීරයේ වෙසෙමින් ලේ උරා බොන මැක්කන් වර්ගයක බඩවැල් තුළ වර්ධනය වූ බැක්ටීරියා විශේෂයක්. බැක්ටීරියාවෙන් මැක්කන් හට හානියක් සිදු නොවුණත්, මැක්කා විසින් ලේ උරා බොනු ලැබූ මීයන් මෙන්ම මනුෂ්‍යයන් හට ද මෙම කුඩා බැක්ටීරියාව මාරාන්තික රෝගකාරකයක් බවට පත්වුණා.

ලන්ඩනයට බොහෝ ඈතින් පැවති ඊම් ග්‍රාමයට වර්ෂ 1665 මුල් භාගය වන විට මහාමාරිය වසංගතයේ අඳුරු ඡායාවන් වැටී තිබුණේ නැහැ. නමුත් වර්ෂ 1665 සැප්තැම්බර් මාසයට ආසන්න කාල සීමාව තුළ එක්වරම කළු මරණය ඊම් මත පතිත වුණා. ලන්ඩන් නගරය මේ වන විටත් කළු මරණයේ ආධිපත්‍යය හමුවේ බිඳවැටෙමින් පැවතුණා. 

මරණය ඊම් ග්‍රාමයට පැමිණෙයි

වර්ෂ 1665 සැප්තැම්බර් මාසයට ආසන්න කාල වකවානුවක, ඊම් ග්‍රාමයේ රෙදි මසන්නෙකු විසින් ලන්ඩනයෙන් ඇනවුම් කරන ලද රෙදි මිටි කිහිපයක් ඊම් ග්‍රාමය වෙත ළඟා වෙනවා. ඊම් වෙත ලැබුණු එම රෙදි මිටි වියළීම අවශ්‍ය වූයෙන්, රෙදි මසන්නාගේ සහායකයකු ලෙස කටයුතු කළ ජෝර්ජ් විකාර්ස් නම් තැනැත්තා ඒවා ඉවතට රැගෙන යනු ලබනවා. 

කළු මරණය මෙම රෙදි මිටි සමග ලන්ඩනයේ සිට ඊම් නගරය දක්වා සැඟවී පැමිණ තිබුණා. රෙදි මිටි තුළ සැඟවී පැමිණි රෝගවාහක මැක්කන් විශේෂය, ජෝර්ජ් විකාර්ස් ඊම් ග්‍රාමයේ පළමුවැනි මහාමාරිය ගොදුර බවට පත්කරනවා. ඊම් ග්‍රාමවාසියෙකු නොවුණු ඔහු ආගමික උත්සවයක් සඳහා රෙදි මැසීමට උපකාර කිරීම පිණිස වෙනත් ප්‍රදේශයක සිට ඊම් ග්‍රාමය වෙත පැමිණි පුද්ගලයෙකු ලෙස යි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් වර්ෂ 1665 සැප්තැම්බර් 07 වැනි දින ඊම් ග්‍රාමයේ පළමුවැනි මහාමාරිය ගොදුර ලෙස ජෝර්ජ් විකාර්ස් මරණයට පත්වනවා. 

ඊම් ග්‍රාමය තුළ වසංගතයේ පළමුවැනි ගොදුර ලෙස ජෝර්ජ් විකාර්ස් මරණයට පත්වනවා. (EYAM MUSEUM)

වර්ෂ 1665 සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ වසංගතයට ගොදුරුවීම හේතුවෙන් ගම්වැසියන් 42ක් මරණයට පත්වනවා. 1666 වසන්ත සමය වන විට වසංගතයෙන් ගැලවීමේ අරමුණ ඇතිව බොහෝ ගම්වැසියන් සිය දේපොළ හා නිවාස අතහැර ගමින් පැනයාම ආරම්භ කරනවා. නමුත් ඊම් ග්‍රාමයේ ප්‍රධාන දේවගැතිධුරයට අලුතින් පත්කර එවනු ලැබූ විලියම් මොම්පෙසන් නම් දේවගැතිවරයා මෙහිදී ඉතා බුද්ධිමත් සහ එඩිතර තීරණයක් ගනු ලබනවා. 

මේ වන විට ග්‍රාමය පුරා වේගයෙන් පැතිරී යන වසංගත තත්ත්වය සමග ගම්වැසියන් ග්‍රාමය හැර යාම හරහා අසල්වැසි ශෙෆීල්ඩ් සහ බේක්වෙල් නගර ද වසංගතයේ ගොදුරක් බවට පත්වීමේ දරුණු අවදානමක පැවතුණා. මේ බව වටහාගෙන කල්පනාකාරී සිතා බැලූ දේවගැති තැන, වසංගතය ග්‍රාමයෙන් පිටතට පැතිරී යාම වැළැක්වීම තමාගේ වගකීමක් ලෙස සලකානවා. ඔහු ඊම් ග්‍රාමය හුදෙකලා ස්වයං නිරෝධායන ගම්මානයක් බවට පත් කිරීමට තීරණය කරනවා.

දේවගැති මොම්පෙසන්ගේ තද තීරණය 

නවක දේවගැතිවරයෙකු ලෙස වර්ෂ 1664 දී ඊම් ග්‍රාමයට පැමිණෙන මොම්පෙසන් දේවගැතිවරයාගේ මෙම තීරණය ඉතා වැදගත් වුණා. නමුත්, සිය ජීවිත පුදා වසංගතය ගම තුළ රඳවා ගැනීමට ගම්වැසියන්ගෙන් ඉල්ලා සිටීම පිළිබඳ බරපතල ගැටළුවක් ඔහු ඉදිරියේ පැනනැඟුනා. ඊට හේතුව වූයේ ඔහු ගම තුළ ඉතා අප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී සිටීම යි. 

මොම්පෙසන් දේවගැතිවරයාට පෙර එහි ප්‍රධාන දේවගැතිධුරය හෙබවූ තෝමස් ස්ටැන්ලි දේවගැතිවරයා, ආගමික කාරණාවක් සම්බන්ධයෙන් ඇතිව තිබූ ගැටලුවක දී ධුරයෙන් පහකොට තිබුණා. නමුත් ඊම් ගම්වැසියන් සහ ස්ටැන්ලි දේවගැතිවරයා අතර ඉතා සමීප සබඳතාවක් තිබූ බව සඳහන් වෙනවා. ස්වයං නිරෝධායනය පිළිබඳව ගම්වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා මොම්පෙසන් දේවගැතිවරයා ඉදිරියේ තිබූ එකම විකල්පය වූයේ ස්ටැන්ලි දේවගැතිවරයා ලවා ගම්වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීම පමණ යි. පිටුවහල් කරනු ලැබ සිටියත්, ස්ටැන්ලි දේවගැතිවරයා මොම්පෙසන් දේවගැතිවරයාගේ ආරාධනාව පිළිගෙන ඔහු මුණගැසීමට එකඟ වුණා.

මුල් කාලීනව ගම්වැසියන් අතර දුරස්‍ථභාවය පවත්වාගනිමින් මරණයට පත්වූවන්ගේ අවසන් දේවමෙහෙය පවත්වනු ලැබුණා. (EYAM MUSEUM)

වර්ෂ 1666 ජූනි 24 වැනි දින, ස්ටැන්ලි දේවගැතිවරයාගේ ද සහාය ඇතිව, මොම්පෙසන් දේවගැතිවරයා ස්වයං නිරෝධායනය පිළිබඳ සිය අදහස ගම්වැසියන් ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබුවා. ගමේ කිසිවෙකු ගමෙන් පිටවීම හෝ පිටත කිසිවෙකු ගමට ඇතුළුවීම නොකළ යුතු බව අවධාරණය කෙරුණා. ඩොවොන්ෂයර්හි අර්ල්වරයා විසින් නිරෝධායන කාල සීමාව තුළ ගම්වැසියන්ට අවශ්‍ය ආහාර සහ අනෙකුත් සැපයුම් ලබාදීමට එකඟ වූ බවත්, මරණය නොතකා ගම තුළ රැඳී සිටීමට ගම්වැසියන් එකඟ වන්නේ නම් සිය ජීවිතය කැප කරමින්, ගම්වැසියන්ගේ දුක්ඛිත ජීවිතවලට සහනයක් වීමට තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවත් මොම්පෙසන් දේවගැතිවරයා ප්‍රකාශ කළා. අසල්වැසි ගම්වලට වසංගතය පතුරුවනවාට වඩා ගම තුළම රැඳෙමින් මියයාම යහපත් බව ද ඔහු පවසා සිටියා. ගම්වැසියන් ද මෙයට එකඟ වූයෙන්, ඊම් ගම්මානය ස්ටැන්ලි දේවගැතිවරයාගේ උපකාරය සහ මොම්පෙසන් දේවගැති බිරිඳ කැතරීන්ගේ ධෛර්යවන්ත සහාය ඇතිව ස්වයං නිරෝධායන ග්‍රාමයක් ලෙස වසංගතය මර්දනය කිරීමේ උදාර අරමුණ ක්‍රියාත්මක කරනු ලබනවා. 

ඊම්හි වසංගතය

පුරා මාස 14ක් පුරාවට ඊම් ගම්මානය තුළ ස්වයං නිරෝධායනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එක් දිනක් තුළ මරණ 6ක් සිදුවන තරම් භයානක අන්දමින් වසංගතය පැතිර ගිය බව සඳහන්. ග්‍රාමයේ සුසාන භූමිය වසා දැමීමත්, දේව මෙහෙයන් පැවැත්වීම නතරකර දැමීමත් හේතුවෙන්, ගම්වැසි කාන්තාවක් වන එළිසබෙත් හැන්කොක් දින අටක් තුළ ඇගේ දරුවන් හයදෙනා සහ ස්වාමියා සිය දෑතින්ම ගමේ හුදෙකලා භූමියක් වෙත ඇදගෙන ගොස් භූමදානය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වාර්තාවල සඳහන් වන පරිදි ඊම් ග්‍රාමය තුළ මරණ 260ක් සිදු වී තිබූ අතර, එය ගමෙහි ජනගහනයෙන් 75%ක අගයක් බවත් සඳහන් වෙනවා.

එළිසෙබෙත් හැන්කොක් සිය දෑතින් පවුලේ සියළුදෙනා භූමිදානය කරනු ලැබුවා (BBC)

මොම්පෙසන් දේවගැතිවරයාගේ සටහන්වල, ග්‍රාමය පුරා “දුකත් මරණයත්” පැතිරී ගිය බව සඳහන් වෙනවා. මරණය හා පොරබදමින් සිටි ගම්වැසියන්ට සිය උපරිම සහයෝගය ලබාදුන් මොම්පෙසන් දේවගැති බිරිඳ කැතරීන් වර්ෂ 1666 අගෝස්තු මාසය වන විට රෝගයේ ගොදුරක් බවට පත්වී තිබෙනවා. ඇය අගෝස්තු මස 22 වැනිදා වයස අවුරුදු 27ක්ව සිටිය දී මරණයට පත්වෙනවා. ඇගේ දේහය ශාන්ත ලෝරන්ස් දේවස්ථාන සුසාන භූමියෙහි මොම්පෙසන් දේවගැතිවරයා විසින්ම තනන ලද සොහොන් ගර්භයක තැන්පත්කොට තිබෙනවා. 

දේවගැති බිරිඳ කැතරින්ගේ දේහය ලෝරන්ස් දේවස්ථාන සුසාන භූමියෙහි තැන්පත් කොට තිබෙනවා. (GEOSPACE)

පරාර්ථකාමී මිනිසුන් ලෙස ඉතිහාසය තුළ ගෞරව බහුමානයට පාත්‍ර වන ඊම් ගම්වැසියන්ගේ කැපකිරීම, වර්තමාන සමාජයට පවා ඉතා විශාල ආදර්ශයක් සපයනු ලබනවා. කෝවිඩ් වසංගතය හමුවේ සමස්ථ ලෝකයම බිඳවැටී ඇති මෙවන් වකවානුවක සිය ජීවිත කැප කරමින් අසල්වැසියා ආරක්ෂා කිරීමට තරම් පරර්ථකාමී මිනිසුන් මෙලොව විසූ බව අප උගත යුතු කාරණයක්. කොවිඩ්-19 නිරෝධායන නීති රෙගුලාසිවලට අවනත වෙමින්, රෝගය පැතිරී යාම වැලැක්වීමට තනි තනි පුද්ගලයින් වශයෙන් වගකීමෙන් ක්‍රියා කිරීම මඟින් අපටත් ගෞරවණීය රටවැසියකු ලෙස කටයුතු කිරීමේ වටිනා අවස්ථාව හිමි වී තිබෙනවා.

Related Articles