කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීම ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ නැගීමේ ඉතාමත් ම වැදගත් අවස්ථාවක් වුණා. 1453 මැයි 29 වනදා ඔටෝමන් සුල්තාන්වරයා වූ දෙවන මෙමට්ගේ හමුදා ඉපැරණි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගත්තේ ගරා වැටෙමින් පැවති බිසැන්ටියම් අධිරාජ්‍යය (Byzantine Empire) පොළවෙන් අතුගා දමමින්. මෙය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ බව අවිවාදයෙන් යුතුව පැවසිය හැකියි.

කොන්ස්තන්තිනෝපලයේ ඉතිහාසය. ​

කොන්ස්තන්තිනෝපලය ඉදි කරන ලද්දේ ක්‍රි.ව​. 330 දී කොන්ස්ටන්ටයින් රෝමන් අධිරාජයා විසින්. බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටුණ පසුව ද නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ හෙවත් බිසන්ටියන් අධිරාජ්‍යයේ අගනගරය ලෙස කොන්ස්තන්තිනෝපලය පැවතුණා. ක්‍රි.ව​. 5 වන සියවස සිට 1204 දක්වා යුරෝපයේ ධනවත් ම නගරය වශයෙන් සැළකිය හැකි වූයේ කොන්ස්තන්තිනෝපලය යි. 1204 දී සිව්වන කුරුස යුද්ධය අතරතුර කොන්ස්තන්තිනෝපලය කොල්ලකෑමෙන් පසු කලක් යනතුරු එහි පාලනය අභිනවයෙන් පිහිටවූ ලතින් අධිරාජ්‍යය විසින් ගෙනයන ලද අතර, 1261 දී නයිසියානු අධිරාජ්‍යයා නගරය නැවත අල්ලාගෙන බිසන්තියම් අධිරාජ්‍යය ප්‍රතිස්ථාපනය කළා.

කොන්ස්තන්තිනෝපලය ඓතිහාසික නගරවලින් ඉතාම හොඳ ආරක්ෂක උපක්‍රම සහිත වූ නගරයක්. නගරය පිහිටියේ තුන් පැත්තකින් සමුදුරෙන් වට වූ අර්ධද්වීපයකයි. උතුරින් ගෝල්ඩන් හෝර්න් නම් වූ ජල ප්‍රදේශයත්, දකුණින් මර්මරා මුහුදත් එ් වටා පැවතුණා. පළමු කොන්ස්ටන්ටයින් අධිරාජයා නගරය වටා පවුරක් ගොඩ නැගූ අතර ක්‍රි.ව​. 5 වන සියවස මුලදී දෙවන තියඩෝසියස් අධිරාජයාගේ සමයේදී, නගරයේ ගොඩබිම් මායිමේ කොන්ස්ටයින් විසින් ඉදිකරන ලද පවුරට කිලෝමීටර 2 ක් බටහිරින් ද්විත්ව ප්‍රාකාරයක් ඉදි කෙරුණා. මෙම ද්විත්ව ප්‍රාකාරයට තියඩෝසියන් ප්‍රාකාරය යයි කියනු ලබනවා.

බිසන්තියානු කොන්ස්තන්තිනෝපලය (Wikimedia Commons)

එයින් පසුව නගරය ගොඩබිම දෙසින් පවුරු තුනකින් ද, සමුදුර දෙසින් තනි පවුරකින් ද ආරක්ෂා වූ එකක් වුණා. දෙවරක්ම මෙම නගරය යටත් කර ගැනීමට උත්සාහ කළ උමයියාඩ් කාලිෆේතය අැතුළු විවිධ ප්‍රතිවාදීන් විවිධ අවස්ථාවල නගරය වැටලූ නමුත් මෙම පවුරු බිඳ දමන්නට ඒ කිසිවකුට හැකි වුණේ නැහැ.

කෙසේ නමුත්, 1204 දී සිදු වූ විනාශයෙන් පසු කොන්ස්තන්තිනෝපලය පෙර තිබූ ධනවත් සහ බලවත් නගරය වූයේ නැහැ. මේ අතර 14 වන සියවස පටන් එය දෙසට එල්ල වූ නවතම තර්ජනය වූයේ ඔටෝමන් තුර්කි ආක්‍රමණයි. ඔවුන් ඇනටෝලියාව සහ බෝල්කන් ප්‍රදේශවල අණසක පතුරවන්නට සමත් වූ අතර 1449 දී බිසන්ටියමේ අවසන් අධිරාජයා බලයට පත් වනවිට එම අධිරාජ්‍යයට අයත් ව තිබුණේ කොන්ස්තන්තිනෝපලය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක්, ග්‍රීසියේ පෙලපොනීසියාවේ (මොරියාවේ) වැඩි කොටසක් සහ ඊජියානු මුහුදේ දූපත් කිහිපයක් පමණයි.

තියඩෝසියානු ප්‍රාකාර (Wikimedia Commons)

දෛවයේ සරදමකට මෙන් බිසන්තියමේ අවසන් අධිරාජයාගේ නම වූයේද කොන්ස්ටන්ටයින් යන්නයි. ඒ අධිරාජයා අභිෂේක ලැබුවේ එකොළොස්වන කොන්ස්ටන්ටයින් පලයොලෝගොස් යන නමින්​.​

ඔටෝමන් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නගරය ආරක්ෂා කිරීම සඳහා කොන්ස්ටන්ටයින් යටතේ සිටියේ 10,000 ක පමණ හමුදාවක් බව කියැවෙනවා. කෙසේ වෙතත් නගර ප්‍රාකාර ඉතා ශක්තිමත් වූ අතර ගෝල්ඩන් හෝර්න් ජල ප්‍රදේශයට ඇතුළු වන මුවවිට හරහා යකඩ දම්වැලක් යොදා තිබීමෙන් එම ආරක්ෂාව තවත් වැඩි කර තිබුණා. මේ අනුව, පිරිස් ශක්තියෙන් ප්‍රබල වුවද​, ඔටෝමන්වරුන් මුහුණ දුන්නේ පහසු අභියෝගයකට නොවෙයි.

සුල්තාන් දෙවන මෙහ්මඩ්.

මෙම අභියෝගයට මුහුණ දුන් සුල්තාන්වරයා වූයේ 21 හැවිරිදි දෙවන මෙහ්මඩ් සුල්තාන්වරයායි. ඔටෝමන් සුල්තාන් දෙවන මුරාද්ගේ පුත්‍රයා වූ දෙවන මෙහ්මඩ් පළමුවෙන් ම සුල්තාන් පදවියට පත් වූයේ වයස අවුරුදු 12 දී ය​. ඒ 1444 වසරේදී ඔහුගේ පියා සිහසුන අතහැරිය විටයි​. නමුත් 1446 දී දෙවන මුරාද් යළි සිහසුනට පත් වූ අතර දෙවන මෙහ්මඩ් සිය පියාගේ මරණයෙන් පසු 1451 දී නැවත සුල්තාන් බවට පත් වූවා​. දෙවන මෙහ්මඩ් 1481 දී ඔහුගේ මරණය තෙක්ම සුල්තාන් පදවිය දැරුවා​.

කොන්ස්තන්තිනෝපලය අල්ලාගත් හෙයින් ඔහු වඩාත් ම ප්‍රකටව සිටින්නේ “විජයග්‍රාහකයා” යන නමින්.

නගරය වටලෑම.

බලයට පත් වූ විගසම දෙවන මෙහ්මඩ් කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමේ බලවත් අරමුණින් යුද්ධයට සූදානම් වුණා. නගරයට උතුරින් ගෝල්ඩන් හෝර්න් ජල ප්‍රදේශයට එපිටින් වූ භූමියේ ඔහු රුමෙලි හිසාරි නම් බලකොටුවක් ඉදි කරවූයේ 1452 දී. එහි අරමුණ වූයේ කොන්ස්තන්තිනෝපලය දෙසට එන ක්‍රිස්තියානි ආධාරක නාවික යාත්‍රාවලට පහර දීමයි. නගරයට දකුණු දෙසින් වූ මර්මරා මුහුද මේ වනවිටත් පැවතියේ ඔටෝමන් පාලනය යටතේයි. මේ හේතුවෙන් රුමෙලි හිසාරි බලකොටුව ඉදිකළ පසු නගරය මුහුදෙන් වටලන ලද තත්ත්වයක් ඇති වුණා.

ළඟ එන උවදුර පිළිබඳ අවබෝධයක් තිබූ එකොළොස්වන කොන්ස්ටන්ටයින් අධිරාජයා අනෙකුත් ක්‍රිස්තියානි රටවලින් ආධාර ඉල්ලා සිටි නමුත් ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි බිසන්තියමට ආධාර දීමට කතෝලික රටවල් තරමක් අදිමදි කරනු දක්නට ලැබුණා. මේ අතරම පෙලපොනීසියාවේ සිටි හමුදාවලට ද කොන්ස්තන්තිනෝපලය දෙස පැමිණීමටත් හැකියාවක් තිබුණේ නැහැ.

1453 අප්‍රේල් මස මුලදී දෙවන මෙහ්මඩ් සිය යුධ හමුදා සමඟ නගරය අසළ කඳවුරු බැඳගත්තා. මේ අතර ඔටෝමන් නාවික හමුදාව ද නගරය වටලාගත්තා. කෙසේ වෙතත් ඔවුනට ගෝල්ඩන් හෝර්න් ජල ප්‍රදේශයට ඇතුළු වීමට පුළුවන්කමක් නොතිබුණ හෙයින් නගරයේ උතුරුදිග ප්‍රදේශවලට මුහුදේ සිට පහර දීමට නොහැකි වුණා.

කොන්ස්තන්තිනෝපලයේ ශක්තිමත් පවුරු බිඳ හෙළීම සඳහා මෙහ්මඩ්ගේ හමුදාව සතුව විශාල ප්‍රමාණයේ කාලතුවක්කු තිබුණ අතර ඒවායෙන් දිගින් දිගටම නගර ප්‍රාකාර වෙත පහර දෙනු ලැබුවා. කෙසේ නමුත් බිසන්තියානුවෝ හැකි උපරිම වේගයෙන් කැඩුණු බිඳුණු කොටස් ප්‍රතිසංස්කරණය කළ අතර​, නගර ප්‍රාකාර ශක්තිමත් වූයෙන් ඒවා බිඳ දැමීම පහසු වූයේ නැහැ.

මේ අතර නාවික හමුදාව ද එල්ල කළ මූලික ප්‍රහාරයන් අසාර්ථක වූ අතර ඔටෝමන් සෙබලුන් විශාල පිරිසක් එම ප්‍රහාරවලදී මරණයට පත් වුණා. මේ අතර තවත් අවස්ථාවක, නගරයට ආධාර පිණිස පැමිණි නැව් කිහිපයක් ඔටෝමන් නාවික සේනාංකය සමඟ සටන් කර ඔවුන් මගහැර කොන්ස්තන්තිනෝපලය වෙත ළඟා වීමට සමත් වූ බවත්, එය දුටු සුල්තාන්වරයා තම අද්මිරාල්වරයා කෙරෙහි දැඩි සේ කේන්තියෙන් ඔහුට මරණ දඬුවම පැණවීමට නියම කළ බවත් සඳහන්. කෙසේ වෙතත් අද්මිරාල්වරයා යටතේ සිටි නිලධාරීන් සුල්තාන්වරයාට අභියාචනය කිරීමෙන් පසු ඔහුට අභයදානය දුන් සුල්තාන්වරයා ඔහුගේ සියලු නිලතලවලින් ඔහු නෙරපා දැමූ බවත්, ඔහුගේ දේපළ සිය විශේෂ බලකාය වූ ජැනිසරිවරුන් අතරේ බෙදා දුන් බවත් සඳහන් වනවා.

ගොඩබිමින් නැව් ගමන් කිරීම. ​

1453 අප්‍රේල් 22 වනදා උදෑසන හිරු නැගෙද්දී බිසන්තියානුවන් දුටුවේ ලොමු දැහැ ගැන්වෙන දසුනක්. ගෝල්ඩන් හෝර්න් ජල ප්‍රදේශයට උතුරින් වූ ගලාටාව හරහා ගොඩබිමින් ඔටෝමන් නෞකා පැමිණෙමින් තිබුණා. සමුදුර ඔස්සේ එම ප්‍රදේශයට ළඟා විය නොහැකි බැව් අවබෝධ කරගත් මෙහ්මඩ් සිය හමුදාවලට අණකර තිබුණේ දැව කොටන් ආධාරයෙන් මාර්ගයක් තනා ඒ ඔස්සේ නැව් ගෝල්ඩන් හෝර්න් වෙත ගෙනෙන ලෙසයි. මෙය දුටු බිසන්තියානුවන් දැඩි ලෙස අධෛර්යයට පත් වුණා.

ගෝල්ඩන් හෝර්න් වෙත නැව් ගෙන ඒම – ෆවුස්ටෝ සොනාරෝගේ චිත්‍රයක් (Public Domain)

කෙසේ නමුත් දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හමුවේ තම නගරය තවදුරටත් ආරක්ෂා කරගැනීමට බිසන්තියානුවන් සමත් වුණා.

අවසන් ප්‍රහාරය. ​

මැයි මස අවසන් සතිය එලඹෙන විට ඔටෝමන් කඳවුරේ පැවතුණේ මතභේදාත්මක තත්ත්වයක්. දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ පවා කොන්ස්තන්තිනෝපලය යටත් කරගැනීමට නොහැකි වීමත් සමඟ මෙම ප්‍රහාරයට මුල පටන් විරෝධය පෑ උපදේශකයින් සමහරක් දෙනා සුල්තාන්වරයාට කියා සිටියේ මෙම උත්සාහය අතැර දමන ලෙසයි. එහෙත් අවසානයේ යුධ කවුන්සිලය තීරණය කළේ නගරය වෙත අවසන් ප්‍රහාරයක් දියත් කිරීමටයි. සිය පිරිස් බලය උපයෝගී කරගෙන නගරය අල්ලා ගැනීමට මෙහ්මඩ් බලාපොරොත්තු වුණා.

බිසන්තියානුවන්ට ද ළඟ එන ප්‍රහාරය පිළිබඳ ඉව වැටුණා. ඉතිහාසයේ සඳහන් වන අන්දමට මැයි 28 වනදා රාත්‍රියේ නගරයේ ප්‍රධාන දේවස්ථානය වූ හගියා සොෆියා ඇතුලු දේවස්ථානවල අවසන් වතාවට දේව මෙහෙයන් පවත්වා තිබෙන්නේ අනාගතය පිළිබඳ වූ ඉතාම විශාල භීතියකින් යුතුවයි. ඔවුන්ගේ මෙන්ම නගරයේ අනාගතය ද තිබුණේ අතිශයින් ම අවිනිශ්චිත තත්ත්වයකයි.

ඔටෝමන් හමුදා සිය ප්‍රහාරය ආරම්භ කළේ මධ්‍යම රාත්‍රිය පසුවී සුළු වේලාවකින්. ඔවුන් මූලිකව ම පහර දුන්නේ කොන්ස්තන්තිනෝපලයේ පවුරු දුර්වල වූ ස්ථානවලටයි. ප්‍රහාරය දැඩි වත් ම ආරක්ෂකයින්ද දුර්වල වූ අතර ජැනිසරි විශේෂ බලකාය විසින් අවසන් ප්‍රහාරය එල්ල කරනු ලැබුවා. එයින් පසු නගර ප්‍රාකාර බිඳිමින් ඔටෝමන් හමුදා නගරයට ඇතුළු වුණා.

මෙහ්මඩ් කොන්ස්තන්තිනෝපලයට ඇතුළු වේ – ෆවුස්ටෝ සොනාරෝගේ චිත්‍රයක් (Public Domain)

ක්‍රිස්තියානි හමුදා අතරේ දැඩි භීතියක් ව්‍යාප්ත වූ අතර ඔවුන් පසු බසින්නට වුණා. තුර්කීන් කෙමෙන් කෙමෙන් නගරය අල්ලා ගත්තා. මේ අතර කොන්ස්ටන්ටයින් අවසානය තෙක් ම සටන් කර සටන් බිමේදී මියගියා.

දින තුනක් යනතුරු නගරය කොල්ලකෑමට හමුදාවන්ට ඉඩ දෙන ලද අතර නගරයේ ඉතිරිව තිබූ ධනය තුර්කි සෙබලුන් විසින් කොල්ලකනු ලැබුවා. එමෙන්ම සිවිල් වැසියන් මරා දැමීම සහ ස්ත්‍රී දූෂණ ද වාර්තා වුණා. විශාල පිරිසක් වහලුන් ලෙස ගෙනයනු ලැබුවා.

මේ ආකාරයෙන් වසර දහසක් පමණ පැවති නැගෙනහිර ඕම අධිරාජ්‍යය අවසන් වුණා. ඒ සමඟම පැරණි කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ අගනුවර බවට පත් වුණා.

කොන්ස්තන්තිනෝපලය වැටීමත් සමඟ පෙරදිග සමඟ බටහිර යුරෝපයට තිබුණු සබඳතා මාර්ගය ඇහිරුණා. බටහිර යුරෝපා රටවල සමුදුරු ගවේෂණය සඳහා වූ උද්‍යෝගය ඇතිවීමට මෙය හේතු වුණා.

වැඩිදුර මූලාශ්‍ර:

​Ancient Discoveries – The Janissaries (Discovery Channel)

කවරයේ රූපය: කොන්ස්තන්තිනෝපලය වටලෑම – ෆවුස්ටෝ සොනාරෝගේ චිත්‍රයක් (Public Domain)